ආන්ඩුව අනාරක්ෂිතව පාසල් ඇරඹීම ගැන ලංකාවේ ලමාරෝග විශේෂඥයින් විරෝධය පලකරයි

ජූලි 13 වනදා ලමා සෞඛ්‍යය පිලිබඳ ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනයක් වන ශ්‍රී ලංකා ලමා රෝග විශේෂඥ විද්‍යායතනය, කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ පාසල් ආරම්භ කිරීමේදී ගුරුවරුන් සහ සිසුන් මුඛ ආවරන පැලඳීම අවශ්‍ය නොවන බවට ආන්ඩුව කල නිර්දේශයට දැඩිව විරෝධය පලකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කලේය.

පන්ති කාමරය තුල මුහුනු ආවරන පැලඳීම අනවශ්‍ය බවට පාසල් දරුවන්ට ලබා දී ඇති උපදෙස් පිලිබඳව තමන් දැඩි අප්‍රසාදය පලකරන බවත් ඒ පිලිබඳ පුදුමයට පත්වන බවත් සඳහන් කරන ලමාරෝග විශේෂඥයන් අවධාරනය කරන්නේ ආන්ඩුවේ නිර්දේශය, කොවිඩ් -19 සම්ප්‍රේෂනය පිලිබඳ වත්මන් විද්‍යාත්මක සාක්ෂි වලට නියත වශයෙන්ම විරුද්ධ බවයි.

මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව සෞඛ්‍ය විශේෂඥයන් විරෝධය පලකල පලමු අවස්ථාව මෙය නොවේ. ප්‍රමානවත් තරම් පරීක්ෂන නොපැවැත්වීම සහ සෞඛ්‍යාරක්ෂක විධිවිධානයන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් රටේ ප්‍රමුඛ පෙල වෛද්‍යවරු සහ රසායනඥයෝ දිගින් දිගටම සිය අප්‍රසාදය පලකරමින් සිටිති. ආන්ඩුවේ එම නොතැකීම මේ වනවිට රට තුල වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියකට පාර කපා ඇති අතර එම තතු තුල ජූලි 6වනදා ඇරඹි පාසල් සතියක් විවෘතව තැබීමෙන් පසු යලිත් වසාදමන්නට ආන්ඩුවට සිදුවී ඇත.  

පාසල් පැවති සතිය තුල සෞඛ්‍ය ආරක්ෂක පිලිවෙත් අඩාල කිරීමේ විපාක දැන් දිගහැරෙමින් පවතියි. රාජාංගන ප්‍රදේශයේ පාසලක ආසාදිත සිසුවෙකු වාර්තා වීම හේතුවෙන් එම පාසලේ අනෙකුත් සිසුන් නිරෝධානයනට ලක්කර ඇති අතර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකුට වෛරසය වැලඳීම නිසා ඔවුන් සේවයේ නිරත වූ පාසල් වල සිසුන් රෝගයට ගොදුරුවීමේ අවදානමක් මතුවී ඇත. ආන්ඩුව ආසාදිතයන් පිලි‍බඳ පුලුල් ලෙස තොරතුරු වසංකරමින් සහ අප්‍රමානවත් ලෙස පරීක්ෂන පවත්වමින් සිටින තතු තුල සැබෑ සංඛ්‍යාවන් මීට වඩා බරපතල වීම බොහෝ කොටම ඉඩ ඇත.

වසංගතයට මුහුනදීමේදී විද්‍යාත්මක තහවුරු කිරීම්වලට පයින් ගැසීම ලොවපුරා සෑම ධනපති ආන්ඩුවක්ම සිදුකරමින් සිටින දෙයයි. මහජන ජීවිත නොතකා යලි ආර්ථිකයන් විවෘත කරමින් කම්කරුවන් වැඩට දැක්කීම සඳහා ගෙනයන මිනීමරු වැඩපිලිවෙල තුලදී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වාම පාලකයෝ, විශේෂඥයන් විසින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අනුගමනය කලයුතු යැයි යෝජනා කරන ක්‍රියාමර්ගයන් දැකගන්නේ තම නැරුම වැඩපිලිවෙලට එල්ලවන බාධාවන් ලෙසයි. 

වසංගතයේ පැතිරීම පිලි‍ඳව සාවද්‍ය චිත්‍රයක් මවාපෙන්වීම සඳහා ආන්ඩුවේ උත්සාහයට මුලුමුනින්ම කරබදු වී සිටින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පාසල් ආරම්භ කෙරුනු දිනයේම මාධ්‍ය අමතමින්, පාසල් තුලදී සිසුන් මුඛ ආවරන පැලඳීම අත්‍යවශ්‍ය නොවන බව පැවසුවේ කිසිඳු විද්‍යාත්මක පැහැදිලි කිරීමකින් තොරවයි. එතැනින් නොනැවතී ඔහු පැවසුවේ පාසල් තුල උෂ්නත්වමාන භාවිතා කිරීමට පවා තමන් නිර්දේශ නොකරන බවයි. ඒ සඳහා හාස්‍ය උපදවන හේතුවක් ඉදිරිපත් කරමින් ජාසිංහ පැවසුවේ, සිසුන් එක් ස්ථානයකට රැස්කර ශරීර උෂ්නත්වය පිරික්සීමට ගියහොත් සිසුන් එකිනෙකා හා ගැටීම ඉහලගොස් වසංගත ව්‍යාප්තිය ඉක්මන්විය හැකි බවයි. 

එහෙත් ලමාරෝග විශේෂඥයින් ආන්ඩුවේ නිල සෞඛ්‍ය නිවේදන වලට අභියෝග කරමින් මුහුනු ආවරන පැලදීමේ තීරනාත්මකභාවය පැහැදිලි කරයි. “මුහුනු ආවරන පැලඳීම පන්ති කාමරවල ජනාකීර්න වටපිටාව තුල විශේෂයෙන් වැදගත් වේ. රෝගය වාතයෙන් සම්ප්‍රේෂනය වීමේ හැකියාව පිලිබඳ වැඩි වැඩියෙන් සාක්ෂි මතුවෙමින් පවතින බැවින් එය කල යුතුමය. ඇත්ත වශයෙන්ම, කෙල බිදිති වාතය පුරා පැතිරී යාම වලක්වමින් මුහුනු ආවරන පැලඳීම යනු කොවිඩ් -19 පැතිරීම මන්දගාමී කල හැකි වැදගත්ම ප්‍රායෝගික පියවර බවට පත්වෙමින් තිබේ” 

මෙතරම් සුපැහැදිලිව පෙනෙන විද්‍යාත්මක සත්‍යයක් ආන්ඩුව විසින් බැහැරලූයේ පාසල් තුල වසංගතය පැතිර නොයන තරමට එය පාලනය කර ඇති බව මවාපෑමටයි. එය, ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, කම්කරුවන් ගේ සහ ඔවුන්ගේ දරු පවුල් බිල්ලට දෙමින් යලි විවෘත කල ආර්ථික ක්‍රියාවලිය අඛන්ඩව පවත්වාගෙන යාමට උදව්කාරක වන පරිදි, වසංගත ව්‍යාප්තිය පාලනය වී රට යතා තත්වයට පත්ව ඇති බවට ව්‍යාජ චිත්‍රයක් නිර්මානය කිරීමේ කොටසකි.

අනෙක් අතට ආන්ඩුව පාසල් තුල සෞඛ්‍යාරක්ෂාව අතහැර දමමින් දියත් කර ඇති දැවැන්ත පරිමාන කප්පාදුවට එරෙහිව දෙමව්පියන් ඇතුලු මහජනතාවන් අතරින් මතුවන විරෝධය යටපත් කරගැනීම සඳහාද එවැනි මවාපෑමක් තුලින් පසුබිම සකස්කර ගැනීමට හැකිවෙතැයි ආන්ඩුව ගනන් බලයි.

ආන්ඩුවේ මෙම උත්සුකය පිලිබඳ අවබෝධයෙන් යුතුව කොලඹ ප්‍රධාන පාසලක 5වසර පන්තිභාර ගුරුවරියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ සිය අදහස් දැක්වූවාය. “ආන්ඩුව කලේ වසංගතය පාලනය වී ඇතිබවට මිනිස්සු අතර කෘතීමව මතයක් හැදීමයි. පාසල් වල ආරක්ෂාවට ඒ තරම්ම් දෙයක් කරන්න අවශ්‍ය නැහැ කියන එක මිනිස්සුන්ට දැනෙන්න සලස්වන්න ආන්ඩුවට අවශ්‍ය වුනා. පාසල් ලමුන් මුහුන ආවරන පැලඳීම අත්‍යවශ්‍ය නැහැ කිව්වම අපි පුදුම වුනා. පහලම වයස් කාන්ඩයකට උගන්වන ගුරුවරියක් හැටියට මම ඇත්තෙන්ම බය වුනා තමන්ගේ ආරක්ෂාව ගැන අදහසක් නැති කුඩා දරුවො මුහුන ආවරන නැතුව කුඩා පන්ති කාමරයක තියාගන්නෙ කොහොමද කියල. මගේ පන්තියේ ලමයි 42ක් ඉන්නව. හැකිතාක් ලමයින්ම දුරස් කලත් මීටරයක පරතරයක් ගන්න බැහැ”  

පාසල්වල සෞඛ්‍ය පහසුකම් ගොඩනැගීම සඳහා ආන්ඩුව වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 1.5ක් වැනි සොච්චමකි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිර්දේශයන් පාසල් තුල ක්‍රියාත්මක කිරීමට එම මුදල කිසිලෙසකින් හෝ සෑහෙන්නේ නැත.

සිසුන් 4500ක් පමන සිටින කොලඹ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් ලෝසවෙඅ ට දැක්වූ අදහස් ආන්ඩුවේ කප්පාදුවේ පරිමාව බරපතල ලෙස හෙලිදරව් කරයි. ඇය පවසන පරිදි එම පාසලට ආන්ඩුවෙන් ලැබී ඇත්තේ රුපියල් 26000ක් පමනි. ඇය පවසන පරිදි තම පාසල අයත්වන එම අධ්‍යාපන කලාපයේ පාසලකට ලැබුනු වැඩිම මුදල එයයි.

“සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අපිට නිර්දේශ එවා තිබුනත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වනවාදැයි බැලීමට කිසිම සෞඛ්‍ය නිලධාරියෙක් පාසලේ නැහැ. මුහුනු ආවරන සහ උෂ්නත්වමාන සපයන බව අධ්‍යාපන ඇමති පැවසුවත් ඒ දේවල් ලැබී නැහැ. උෂ්නත්වමාන නොලැබීම විශාල ප්‍රශ්නයක්. ලමයෙක් අසනීපෙන් පාසලට ආවොත් දැනගන්නේ කොහොමද? ඊලඟ ප්‍රධානම ගැටලුව තමයි විෂබීජහරනය. දැන් ඒක සම්පූර්නයෙන්ම දෙමව්පියන්ගෙ කරමත පැටවුනු දෙයක් වෙලා. පාසල් ආරම්භ කිරීමට සූදානම් වූ දිනවල ආන්ඩුව ප්‍රධාන පාසල් කිහිපයක මහපරිමානයෙන් විෂබීජහරනයන් කලේ මාධ්‍ය සංදර්ශන හැටියටයි. බහුතරයක් පාසල් වල අවම ආරක්ෂාව වත් නැහැ. මේ තත්වය යටතේ යලි පාසල් ආරම්භ කලොත් ඒක සිසුන්ගේත්, ගුරුවරුන්ගේත් ජීවිත බිල්ලට දීමක්” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

පාසල් සම්බන්ධයෙන් ආන්ඩුව ගෙන යන සාපරාධී පිලිවෙත අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ ආයතන සම්බන්ධයෙන්ද නොවෙනස්ය. ජූලි 14වනදා දි අයිලන්ඩ් පුවත්වතේ වාර්තාවක පලකෙරුනේ ගුරුවරුන් පුහුනු කිරීම සඳහා දිවයිනේ පවතින ප්‍රමුඛතම ආයතන ජාලය වන අධ්‍යාපන විද්‍යාපීඨ තුල පුහුනුව ලබන තම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳව දෙමව්පියන් බියවී සිටින බවයි. 

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දිවයින පුරා පිහිටි අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරුවරුන් ලෙස පුහුනුවන තරුන තරුනියන් 5000ක් පමන සිටින අතර තදබදය සහිත නේවාසිකාගාරවල නවාතැන්ගෙන සිටින ඔවුන්ගේ ජීවිත අවදානමක පවතින බව දෙමව්පියෝ පවසති. 

ගෝලීය කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ලොව පුරා පාලක පන්තීන්ගේ ක්‍රියාකලාපය තීරනාත්මක ලෙස හෙලිදරව් කර ඇත්තේ ධනපති රාජ්‍යයේ සියලු තීන්දු තීරන ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා පමනක් සේවය කරන බවත්, මහජන ජීවිත තඹයකට හෝ නොතකන බවත්ය. වසංගතය මේසා පරිමාවකින් පැතිර තිබියදී පවා අගුලු දැමීමක් (ලොක්ඩවුන්) පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ආන්ඩුව පවසන්නේ ධනපති ලාභ අවශ්‍යතාවයන් ආරක්ෂා කරගැනීමට සඳහා කම්කරු පීඩිත මහජනතාවන්ගේ ජීවිත බිල්ලට දීමට තමන් සූදානම් බවට සංඥා කරමිනි. 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම ‍අන් සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරගැනීම ධනපති ආන්ඩු හරහා ඉටුනොවන බව තේරුම් ගනිමින්, ආරක්ෂාව තමන් අතට ගැනීමට ස්වාධීන දේශපාලන අරගලයක් දියත්කලයුතු බව ලෝසවෙඅ ලිපි මාලාවක් හරහා අවධාරනය කර ඇත. 

එම ලිපි පරිශීලනය කර ඇති උසස්පෙල තාක්ෂන ගුරුවරයෙකු වන දීප්ති පැවසුවේ කම්කරුවන් තමන්ගේ භූමිකාව කඩිනමින් හඳුනාගත යුතු බවයි. “කොවිඩ්-19 වසංගතය විසින් අපට කියාදෙන පාඩම් උකහා ගැනීම තුලින් ධනපති ක්‍රමයේ නියම ස්වරූපය වටහාගැනීම තීරනාත්මකයි. ආන්ඩු තියෙන්නේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න නෙවෙයි, ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කරන්නයි. ඒ නිසා ගුරුවරුන් තමන්ගේත්, සිසුන්ගේත් ආරක්ෂාව සඳහා සංවිධානය විය යුතුයි. ඒක දේශපාලනික සූදානමක් විය යුතුයි.”

කතුවරයා පහත ලිපි නිර්දේශ කරයි:

වසංගතයෙන් තීව්‍ර වූ අර්බුදයේ බර ගුරුවරුන් මත පැටවෙන අයුරු පාසල් විවෘතව පැවති කෙටි කාලය තුල හෙලිවෙයි

ආන්ඩුව විධිමත් සෞඛ්‍යාරක්ෂන පහසුකම් තහවුරු නොකොට අන්තරායකාරී ලෙස පාසල් අරඹයි

වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

Loading