සැබෑ ආර්ථිකය කඩා වැටෙන නමුත් මූූූූල්‍ය ලාභ ඉහල නඟී

මෙම ලිපිය ජූලි 16 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මේ සතියේ එක්සත් ජනපදයේ ප්‍රධාන බැංකු හතරක් නිකුත් කල වාර්තා මගින්, සැබෑ ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය අතර පුලුල් වන ආගාධය සලකුනු කර තිබේ.

එක්සත් ජනපදය මහා අවපාතයෙන් පසු ඇති වූ දරුනුතම ආර්ථික පසුබෑම වාර්තා කිරීමට සූදානම් වන අතර, ඉහල මට්ටමේ විරැකියාව සහ බංකොලොත් රැල්ල අනාගතයට ද තර්ජනය කරයි. එහෙත් මූල්‍ය වෙලඳපොලවල සෑම අස්සක් මුල්ලක් නෑරම මහ බැංකුවේ දැවැන්ත මැදිහත්වීම මගින්, අරමුදල් සපයන සමපේක්ෂන මෙහෙයුම් හරහා බැංකු ඩොලර් බිලියන ගනනක් රැස්කරගෙන සිටී.

අඟහරුවාදා, ජේපී මෝර්ගන් චේස්, වෙල්ස් ෆාගෝ සහ සිටිගෘප් ඔවුන්ගේ නය වලින් වත්මන් හා අපේක්ෂිත අලාභ සඳහා ඩොලර් බිලියන 28 ක ප්‍රමානයක් වෙන් කලහ. බැංකු තුන සඳහා 2020  දෙවන කාර්තුවේ වෙන් කරන ප්‍රතිපාදන මුදල ඩොලර් බිලියන 47 දක්වා ඉහල නඟියි. එය පසුගිය වසර තුන සඳහා පසෙකට කල වටිනාකමට වැඩි මුදලකි.

ඒ අතරම, ජේපී මෝර්ගන් සහ සිටිගෘප්, මූල්‍ය වෙලඳපොල වෙලඳාමෙන් ලැබෙන ආදායමේ විශාල වැඩිවීමක් වාර්තා කලහ. ඊයේ, ගෝල්ඩ්මන් සැක්ස් දෙවන කාර්තුවේදී ඩොලර් බිලියන 2.4 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය වසරකට පෙර පැවති තත්වයට සමාන විය. ෆිනෑන්ෂල් ටයිම්ස් එය විස්තර කලේ “බැඳුම්කර වෙලඳාම සඳහා ලැබුන ප්‍රසාදයක්” ලෙසයි. එය නය අලාභ සඳහා සිදුවන වෙන්කිරීම් ඉක්මවා ගියේය.

නය පාඩු සඳහා ඉහල නංවා ඇති විධිවිධාන උපුටා දක්වමින් බැංකු විධායකයින්, සැබෑ ආර්ථිකයේ නරක අතට හැරෙන තත්ත්වය පෙන්වා දී තිබේ. ඔවුන්ගේ ප්‍රකාශයන්හි සත්‍යයේ සැලකිය යුතු අංශුවක් ඇත, නමුත් ඔවුන්ගේ ප්‍රකාශයන් යොමු වී ඇත්තේ,  එතරම් පොහොසත් ප්‍රතිලාභ ලබා ඇති මූල්‍ය වෙලඳපොලවල් සඳහා ෆෙඩරල් බැංකුව පෙර නොවූ විරූ සහයෝගයක් පවත්වා ගෙන යන බව සහතික කිරීම සඳහා ය.

ජේපී මෝර්ගන් විසින් නය සඳහා වන පාඩු සඳහා ඩොලර් බිලියන 10.5 ක වාර්තාගත ප්‍රතිපාදන වෙන්කිරීමෙන් පසුව, එහි ප්‍රධාන විධායක ජේමි ඩිමොන් පැවසුවේ, ආර්ථිකය නරක අතට හැරුනහොත් ගාස්තු ඉහල යා හැකි බවයි. "අනාගතය කෙබඳු වේදැයි අපි නොදනිමු," ඔහු පැවසීය. “මෙය සාමාන්‍ය පසුබෑමක් නොවේ. මෙහි ඇති අවපාත කොටස පාර දිගේදී  ඔබට පෙනෙනු ඇත. ” බැංකුව “නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටින” බව ඔහු පැවසීය.

ප්‍රධාන බැංකු වල දැක්ම, ආර්ථිකය සඳහා වූ ඔවුන්ගේ ප්‍රක්ෂේපන පහලට සංශෝධනය කර, බොල් නය සඳහා අපේක්ෂිත ප්‍රමානයට වඩා වැඩි ප්‍රතිපාදන වෙන්කිරීමට යොමුව ඇති අතර, ඒවා ධවල මන්දිරයේ ප්‍රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් ය. සඳුදා ෆොක්ස් නිව්ස් සමඟ අදහස් දක්වමින් ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ පැවසුවේ, “V හැඩැති ප්‍රකෘතියට බාධාවක් මා දකින්නේ නැහැ” යනුවෙනි. “ඇඟිලි තද කරගෙන සමහර යාඤා ද” සමඟ එක්සත් ජනපදය “වසරේ ඉතා ශක්තිමත් දෙවන භාගය සඳහා ගමන් කරමින් සිටින්නේය” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

බැංකු විසින් පෙන්නුම් කරන ලද පින්තූරය බෙහෙවින් වෙනස් ය. පලමු කාර්තුවේදී නිකුත් කරන ලද බැංකුවේ දෘෂ්ටිය පහතට සංශෝධනය කිරීම නියෝජනය කරමින් ලබන වසර දක්වා විරැකියාව සියයට 10 ට වඩා ඉහල මට්ටමක පවතිනු ඇතැයි අපේක්‍ෂා කිරීම නිසා , බොල් නය පියවීම සඳහා අමතර මුදල් වෙන් කර ඇති බව ජේපී මෝර්ගන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරි ජෙනිෆර් පීප්සාක් පැවසීය.

“මෙම ප්‍රකෘතියට අනුව මැයි සහ ජුනි මාස පහසු මාසයන් වනු ඇත,” ඇය පැවසුවාය. “දැන් අපි ඇත්ත වශයෙන්ම ඉදිරි මාස කිහිපය තුල සත්‍යයේ මොහොතට මුහුන දෙමු.”

බැංකුවේ පාඩු ප්‍රතිපාදන දිගටම ඇදී ගියේය. ඩොලර් බිලියන 5.83 ක විශාලතම කොටස පාරිභෝගික බැංකුවෙන් ද ඩොලර් බිලියන 2 ක් ව්‍යාපාරික හා ආයෝජන බැංකුවෙන් ද තවත් ඩොලර් බිලියන 2.43 ක් වානිජ බැංකුවෙන් ද ලැබුනි.

මූල්‍ය විශ්ලේෂකයින් සමඟ සම්මන්ත්‍රනයකට අදහස් දක්වමින්, බොල් නය සඳහා ඩොලර් බිලියන 7.9 ක් වෙන් කර ඇති සිටිගෘප් හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් කෝබට්, එක්සත් ජනපද ආර්ථිකය යම් ආකාරයක කඩිනම් හැරීමක් අත් විඳිනු ඇතැයි යන අදහස මත සීතල වතුර වත් කලේය.

"මම හිතන්නේ නැහැ,  නරකම තත්වය අපට පිටුපසින් ඇති බවත් ඉදිරි මාවත රෝස පැහැති එකක් වනු ඇතැයි යන නිගමනය මත කිසිවෙකු බැංකු ඉපැයීම් පිලිබඳ ප්‍රකාශ අතහැර දමනු ඇතැයි කියා." "V හැඩය ගන්නා ප්‍රකෘතියක් යයි සිතමින් මිනිසුන් ලෝකය විශිෂ්ට ස්ථානයක් යැයි සිතා බංකු ප්‍රකාශ නොතකා හැරීම අපට අවශ්‍ය නැත." 

කම්කරුවන් විශාල විරැකියාවේ හා කුඩා හා මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර බංකොලොත් රැල්ලකින් ද තර්ජනයට ලක්ව ඇති සැබෑ ආර්ථිකයේ තත්වය, මූල්‍ය ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් ය.

දෙවන කාර්තුවේදී ජේ. පී. මෝගන් ඩොලර් බිලියන 33.8 ක ආදායමක් උපයා ඇති අතර එය ඩොලර් බිලියන 4.69 ක ලාභයක් වාර්තා කරයි. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මහ බැංකුවේ කටයුතු හේතුවෙන් මූල්‍ය වෙලඳපොලවල  ක්‍රියාකාරිත්වය ඉහල යාමයි.

ව්‍යාපාරික නාලිකාව වන සීඑන්බීසී සිය වෙබ් අඩවියේ සඳහන් කල පරිදි, “වසංගතයට ප්‍රතිචාර වශයෙන් උදා වූ අවස්ථාවන් ග්‍රහනය කර ගැනීමට” එයට හැකි විය. එය තවදුරටත් මෙසේ පැවසීය: “ඉහල යන උච්ඡාවචනයන් ද නය වෙලඳපොලවලට සහාය වෙමින් ෆෙඩරල් මහ බැංකුව විසින් ගනු ලැබූ පෙර නොවූ විරූ පියවර ද නිසා, වෙලඳාමට සහ වසර ගනනාවක් යන තුරු කොටස් නිකුත් කිරීම සඳහා උපදෙස් දීමේ හොඳම වාතාවරනයක්  නිර්මානය වී ඇත.”

ජේපී මෝර්ගන්හි ව්‍යාපාරික හා ආයෝජන බැංකුව, දෙවන කාර්තුවේදී එහි ලාභය දෙගුනයකටත් වඩා ඉහල නංවා ගනිමින් වාර්තාගත ඩොලර් බිලියන 5.5ට පැමින තිබේ.

බැඳුම්කර වෙලඳුන් ඩොලර් බිලියන 7.3 ක ආදායමක් උපයාගත් අතර, එය පෙර වසරට වඩා සියයට 120 ක වැඩිවීමකි. එය ප්‍රක්ෂේපනය කර තිබුන ඩොලර් බිලියන 5.84 ඉක්මවා යාමකි. ව්‍යාපාර වස්තු වෙලඳාමෙන් ඇස්තමේන්තු කර තිබුනේ ඩොලර් බිලියන 2.07 ක් වුවත් උපයාගත් ප්‍රමානය ඩොලර් බිලියන 2.4 කි. වසංගතයේ ප්‍රතිවිපාක මැඩපැවැත්වීම සඳහා මුදල් ගබඩා කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ උපදේශන ගාස්තු මත, ආයෝජන බැංකු ආදායම සියයට 91 කින් ඩොලර් බිලියන 3.4 ක් දක්වා ඉහල නංවාගෙන තිබේ.

ස්ථාවර ආදායම් වත්කම් වෙලඳාමේ වසර නවයක් තුල හොඳම කාර්තුව ගෝල්ඩ්මන් සැක්ස්  වාර්තා කලේය. එය පෙර වසරේ ඩොලර් බිලියන 1.7 ට සාපේක්ෂව කාර්තුව තුල ඩොලර් බිලියන 4.24 ක ආදායමක් උපයා ඇත.

ෆෙඩරල් මහ බැංකුවේ සහය ඇතිව කල, බැඳුම්කර වෙලඳපොලවල මෙහෙයුම්වල ප්‍රතිපලයක් ලෙස, ස්ථාවර ආදායම් වෙලඳාමේ ආදායම සියයට 68 න් ඉහල යාම සමඟ සිටිගෘප්, සිය පාරිභෝගික බැංකු අංශයෙන් ලැබෙන ආදායමේ සියයට 10 ක පහත වැටීමකට මුහුන දීමට සමත් විය. වෙලඳපල සහ සේවා ආදායම සියයට 48 කින් ඉහල ගොස් ඩොලර් බිලියන 6.9 ක් විය.

ප්‍ර‍ධාන විධායක නිලධාරී කෝබට් පැවසුවේ නය පිරිවැය ශුද්ධ ආදායම පහතට තල්ලු කරද්දී සමස්ත ව්‍යාපාර ක්‍රියාකාරිත්වය “ශක්තිමත්” බවත් “COVID-19 වසංගතය තුල සාධාරන ලෙස සැරිසැරීමට බැංකුවට හැකි වූ” බවත්ය.

දක්ෂ සංචාලනය ඒ හා සම්බන්ධ වන්නේ ඉතා සුලුවෙන් හෝ කොහෙත් ම  නැති ගානටය. ප්‍රධාන සාධකය වී ඇත්තේ, 2008 වසරෙන් පසුව සමස්ත පද්ධතියම දියවී යාමකට මුහුන දී සිටි මාර්තු මැද සිට  මහ බැංකුව, ක්ෂනිකව ඩොලර් ට්‍රිලියන 3 කට වැඩි මුදල් ප්‍රමානයක් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කර තිබීමයි.

සැබෑ ආර්ථිකයේ නරක අතට හැරෙමින් පවතින තත්වය සැලකිල්ලට ගෙන, බැංකු සහ සමස්තයක් වශයෙන් වෝල් වීදිය මහ බැංකුවේ තවත් මැදිහත්වීම් සඳහා බල කරනු ඇත. එමඟින් පහල මට්ටමේදී අතිශයින්ම වැදගත් වන මූල්‍ය පරපෝෂිත භාවයේ උද්‍යෝගය දිගටම පවත්වා ගත හැකිය.

ඊලඟ පියවර සූදානම් වෙමින් පවතී. ෆෙඩරල් මහ බැංකුව දැන් ඊනියා ප්‍රතිලාභ වක්‍රය ඉලක්ක කිරීම පිලිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, ඒ යටතේ නිශ්චිත රජයේ බැඳුම්කරවල ප්‍රතිලාභ ස්ථාවර අනුපාතයකට තබා ගැනීම සඳහා මහ බැංකුව මූල්‍ය වෙලඳපොලවලට මැදිහත් වේ.

කෙයාර්ස් පනත යටතේ  ඇපදීම්වල ප්‍රතිපල වශයෙන්,  එක්සත් ජනපද රජයේ නය වැඩිවීම, භාන්ඩාගාර බැඳුම්කර සැපයුම ඉහල නංවන අතර ඒවායේ මිල අඩු අඩුවීමට සහ ප්‍රතිලාභ (පොලී අනුපාත) ඉහල නැංවීමට හේතුවන හෙයින් මෙම පියවර සලකා බලනු ලැබේ.

තව දුරටත් මහ බැංකුවේ මැදිහත්වීම මඟින් බැඳුම්කර මිල ඉහල නංවා ප්‍රතිලාභ අඩු කරනු ඇති අතර එමඟින් බැංකු සහ වෝල් වීදියේ වෙලඳුන් විසින් මූල්‍ය ලාභ නැවත ලබා ගැනීම සඳහා කේන්ද්‍ර කරගෙන ඇති අතිශය අඩු පොලී අනුපාත තන්ත්‍රය වැඩි දියුනු කරනු ඇත.

ව්‍යාපාර ආර්ථික විද්‍යාව සඳහා වූ ජාතික සංගමය විසින් වෙබිනාර්හි පැවැත්වූ සමුලුවක කල කථාවකදී,  ෆෙඩරල් මහ බැංකුවේ පාලක මන්ඩල සාමාජික ලාල් බ්‍රේනාර්ඩ්, “බංකොලොත්වීම් රැල්ලක්” ඇතිවීමේ හැකියාව ගැන අනතුරු ඇඟවූ අතර, ඉදිරිය දෙස බලන විට මූල්‍ය ප්‍රතිපත්තිය “ස්ථායීකරනයේ සිට අලුත් තත්වය කරා  හැරීම” වැදගත් වන බව පැවසීය. එනම්, තව තවත් මුදල් සැපයීම.

දෘෂ්ටියට අවාසිදායක අවදානම් සහිතව, “ප්‍රතිලාභ වක්‍රයේ කෙටිකාලීන හා මධ්‍ය පරිමානයේ ඉලක්ක වැඩි කිරීමත් සමඟ ඉදිරි මගපෙන්වීමේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමට…  ප්‍රයෝජනවත් වන කාලයක් පැමිනිය හැකිය." අතිරේක අවධානයෙන් හා සාකච්ඡාවකින් පසුව පමනක් එය අවධානයට ලක්වන බවට වන නිල ස්ථාවරයෙහි ඇය රැඳී සිටිය ද, පැහැදිලිවම වෝල් වීදියට තවත් ආධාර සැපයීම සඳහා මහ බැංකුව, සිය මැදිහත්වීම සක්‍රීයව සලකා බලමින් සිටී.

Loading