යුද්ධයේ පීඩනය යටතේ යේමනය කැබලි වීම, බිඳ වැටෙන ආර්ථිකය සහ කොවිඩ්-19

මෙම ලිපිය ජූලි 15 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

යේමනයේ පස් අවුරුදු යුද්ධය හේතුවෙන් මැද පෙරදිග දුප්පත්ම රට තුල දැවැන්ත පරිමානයේ ව්‍යසනයක් නිර්මානය වී ඇත.

ඉහල නිලධාරීන් ඝාතනය  කිරීමේ අරමුනින් පසුගිය සතියේ සෞදි අරාබිය, හවුති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින  සානා අගනුවර අවට සාඩා සහ උතුරේ අනෙකුත් නගරවලට ගුවන් ප්‍රහාර ගනනාවක් දියත් කලේය.

සෞදි අගනුවර වන රියාද් හා ජිසාන්, නජ්රාන්, ඛාමිස් මුෂයිට්  අභාහි හමුදා මධ්‍යස්ථාන වෙත හවුති මිසයිල හා ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කිරීමෙන්  පසුව මෙම ප්‍රහාර එල්ල විය. තමන් මිසයිල දෙකක් සහ ඩ්‍රෝන යානා හයක් අල්ලා විනාශ කල බව සෞදි වරුන් පැවසූ අතර, හවුති සටන්කරුවන් මෙන්ම සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ද කියා සිටියේ,  සෞදි හා යේමනයේ නායකයන් මුනගැසුනු තඩවින් කඳවුරට පහර එල්ලවූ බව හා දුසිම් ගනනක් මරන හා තුවාල සිදු වූ බවයි.

මාස හතක් වයසැති ඊසා ඉබ්‍රාහිම් නසාර්, 2020 ජුනි 14 වන ඉරිදා ඩියර් අල් හසී හි සායනයකට ගෙන එනු ලැබීය. මාස හතක් වයසැති ඊසාගේ බර කිලෝග්‍රෑම් තුනක් පමනි. ඔහු මෙන්ම දරුවන් සිය ගනනක් දුප්පත්කම හා ඇවිලෙන ගැටුම් නිසා උග්‍ර මන්දපෝෂනයෙන් පෙලෙති. යේමනය. (ඒපී ඡායාරූපය / ඊසා අල්-රාජි)

සෞදි  ප්‍රමුඛ සන්ධානයේ අපරාධවලට ප්‍රතිචාරයක් ලෙස තමන් ප්‍රහාර එල්ල කල බව හවුතිවරු පැවසූහ. මැයි මාසයේ රටේ වයඹ පලාතේ හජ්ජා නුවරට එල්ල වූ නාවික ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුලු සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කිරීම සහ  ආහාර, ඖෂධවර්ග ඇතුලු මූලික වෙලඳ භාන්ඩ යේමනයේ ජනතාව වෙත ලඟා වීම වලක්වන හෝඩෙයිඩා වරාය නාවික අවහිර කිරීමට දැක්වූ ප්‍රතිචාරයකි. යේමනයේ මිලියන 28 ක ජනගහනයෙන් මිලියන 14 ක් පමන සාගතයට ගොදුරුවී ඇති අතර සියයට 80 ක් ආහාර ආධාර මත යැපේ.

 මිලියන 3.6 ක් අවතැන් වී ඇත.257,000 ක් සෞදි  ගුවන් ප්‍රහාර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාවික අවහිරය හේතුවෙන් සාගින්න හා රෝග පැතිර යාම නිසා සෘජුව හා වක්‍රව, සිවිල් වැසියන් 230,000 ක් මිය ගොස් යුද්ධය ආරම්භයේ සිට අවම වශයෙන් වයස අවුරුදු පහට අඩු ලමුන් 75,000 ක් කුසගින්නෙන් මියගොස් ඇති බවට පසුගිය වසරේ සේව් ද චිල්ඩ්‍රන් ඇස්තමේන්තු කලේය. වාර්තා වී ඇති දරුනුතම කොලරා වසංගතය මිලියන 1.2 ක ජනතාවකට ආසාදනය වී අවම වශයෙන් 2500 ක් පමන මියගොස් ඇති අතර, මෑතදී ඇති වූ ගංවතුර හේතුවෙන් හද්රමාව්ට් හි ඩෙංගු උන පැතිර ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වසරේදී කොලරාව හා පාචන රෝගීන් 137,000 ක් වාර්තා කල අතර ඉන් හතරෙන් එකක් පමන වයස අවුරුදු පහට අඩු ලමුන්ය.

සන්නද්ධ කල්ලි, මිලීෂියා සහ හිටපු සෞදි කුලී හේවායන් ජනතාව බිය ගන්වන අතර මුදල් කප්පම් ගනී. රෝහල් සහ පාසල්වල මූලික අවශ්‍යතා නොමැති අතර සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ජල සැපයුම්, විදුලි සංදේශ, විදුලි උත්පාදනය සහ මාර්ග පද්ධතිය  බිඳවැටී නැත්නම් ක්‍රියාත්මක වන්නේ යාන්තමින්ය. 

මානව හිමිකම් සංවිධාන විසින් යේමනයේ නිල නොවන රැඳවුම් මධ්‍යස්ථානවල සහ බන්ධනාගාරවල නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම, පහර දීම, නියපොතු ගැලවීම සහ විදුලි කම්පන යොදාගැනීම ඇතුලු වධ බන්ධන පැමිනවීම් ගැන වාර්තා කර ඇති අතර යුද්ධයේදී සියලු පාර්ශවයන් විසින් සිදුකරන ලද අපයෝජනයන් සමඟ, ඒවා පැතිර ගොස් ඇත. මෙය නිල බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල ඇති කුරිරු තත්වයන්ට අමතරව ය.

එක්සත් ජනපදයේ හා ප්‍රන්සයේ පිටුබලය ඇතිව පසුගිය වසරේ නොවැම්බරයේදී හාඩි ආන්ඩුව සහ බෙදුම්වාදී දක්ෂින අන්තර්වාර කවුන්සිලය විසින් අත්සන් කරන ලද රියාද් ගිවිසුම මෙන්ම, බලය බෙදා ගැනීමේ ගනුදෙනුවක් සඳහා පසුගිය සිව් මාසයේ සටන් විරාමයක් ඇතිකිරීමට ගත් සෞදි උත්සාහයන් ද අසාර්ථක වීමෙන් පසු මෑතදී සටන් උත්සන්න විය. සති කිහිපයකින් ජය ලැබිය හැකි යයි  අපේක්‍ෂා කල, 2015 දී ආරම්භවූ මිල අධික යුද්ධය අවසන් කිරීමට සෞදි නායකත්වයෙන් යුත් සභාගය අපොහොසත් වූ කොන්දේසි යටතේ සටන් විරාමයකට එකඟ වීමට හව්තිවරු පසුබට වී සිටිති.

යුද්ධයේ මූල් වැටී ඇත්තේ,  2011 අරාබි වසන්තය තුල ය. එක්සත් ජනපදයේ හා සෞදියේ පිටුබලය ලත් ජනාධිපති අලි අබ්දුල්ලා සාලේගේ 32 වසරක ඒකාධිපති පාලනයට එරෙහිව මහජන විරෝධතා පැනනැගුන අතර සාලේ විරෝධතාකරුවන්ට පහර දීම පිනිස හමුදාව යෙදවීය. ඔහුගේ උප ජනාධිපති අබ්දුල් රබ්බු මන්සූර් හාඩිට බලය පවරමින් ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. එය 2012 පෙබරවාරි මාසයේ මැතිවරනයට මග පෑදූවේය.  අන්තර්වාර ආන්ඩුව මෙහෙයවූ එකම මැතිවරන අපේක්ෂකයා හාඩි  විය. රටේ උතුරේ හව්ති කැරලිකරුවන් හාඩිගේ නාමික ප්‍රතිසංස්කරන ප්‍රතික්ෂේප කල අතර, හිටපු ඒකාධිපතියාගේ සහාය ඇතිව ඔවුන් සානා අගනුවර අල්ලා ගත් අතර, හාඩිට සෞදි අරාබියේ රැකවරනය ලබා ගැනීමට බල කෙරුනි.

2020 ජුනි 1 වන විට යේමනයේ තත්වය. හරිත ප්‍රදේශය පාලනය කරන්නේ උත්තරීතර දේශපාලන කවුන්සිලය (හවුති) වන අතර රෝස පැහැති ප්‍රදේශය පාලනය කරනු ලබන්නේ හාඩිගේ නායකත්වයෙන් යුත් ආන්ඩුව හා එහි සහචරයින් විසිනි.

2015 මාර්තු මාසයේදී හව්ති කැරලිකරුවන් මර්දනය කර රියාද් රැකවරන ලබා සිටිසෞදි  රූකඩය වන හාඩි, යලි ප්‍රානවත් කිරීම  සඳහා සෞදිය මිලිටරි මෙහෙයුමක් දියත් කලේය. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් අරාබි රටවල් සමඟ මිලිටරි සන්ධානයක් ගොඩනඟා ගත්තේ ය. සෞදිය  ගුවන් ප්‍රහාර එල්ල කරද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යේමනයේ ප්‍රධාන රතු මුහුදේ වරාය වන හොඩෙයිඩා අවහිර කලේය. දේශීය හෝ ගෝත්‍රික මිලීෂියාවන් සමඟ අස්ථායී හා ලිහිල් සන්ධාන ඇතිකරගෙන සිටින මිලිෂියාවන් ද ඇතුලු බොහෝ භට පිරිස් ද ඔවුන් වෙත සැපයීය. සමහරක් රියාද් සමඟ ද සමහරක් අබුඩාබියේ ද සහාය ලැබූහ. ගිය වසරේ යුද්ධයෙන් ඉවත් වන තුරු.

එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලු අනෙකුත් ප්‍රධාන බලවතුන්,  සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයට ඉහලම පිටුබලය දී තිබේ. ඔවුන් ප්‍රහාරක ජෙට් යානා, නවීන ආයුධ, ද්‍රව්‍ය, හමුදා බුද්ධි අංශ, ඉන්ධන පිරවීමේ පහසුකම් සහ භූමියේ රහසිගත මිලිටරි බලවේග පවා සන්ධානයට සපයා ඇත. ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලයේදී එයට රාජ්‍ය තාන්ත්‍රික ආවරනය සපයනවා පමනක් නොව, හව්තිවරුන්ට සහ හිටපු ජනාධිපති සාලේගේ පාලනය යටතේ පැවති කන්ඬායම්වලට ආයුධ සැපයුම් මාර්ග පවා අවහිර කලේය. ඒ සාලේ පැති මාරුකරනතෙක් ය. 

පස් අවුරුදු යුද්ධය ගැටුම් ගනනාවක් නිර්මානය කරමින්, රට ප්‍රදේශ තුනකට කඩා දැමීය.  උතුරේ අන්සාර් අල්ලාහ් ලෙස හැඳින්වෙන පලමුවැන්න හව්තිවරුන් පාලනය කරයි. දෙවැන්න පාලනය කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිටුබලය ලබන දකුනේ  එස්.ටී.සී. ය විසිනි. සොකෝත්‍රා දූපත් සමූහය සමඟ ඒඩන් බොක්කට පිවිසුම් දොරටුව වන ප්‍රධාන නැව් මාර්ග පිහිටි ප්‍රදේශයකි ඒ. එය ජුනි මාසයේදී අල්ලා ගන්නා ලද අතර, හිටපු ජනාධිපති සාලේගේ බෑනනුවන් විසින් අල්ලා ගන්නා ලද බටහිර කොටස  රිපබ්ලිකන් ගාඩ්ස් විසින් පාලනය කරයි. නැගෙනහිර පලාත්වල තෙවැන්න පාලනය කරනු ලබන්නේ, හාඩිගේ පිරිහෙමින් පවතින බලවේගයන් විසිනි. ඔවුන් සානාහි හව්තිවරුන්ට පමනක් නොව, ඒඩන් හි පිහිටි එස්.ටී.සී. හා ෂබ්වා, මාරිබ් සහ හද්රමාවට් ආන්ඩුකාරවරුන්ගේ විරුද්ධවාදීන් සමඟ ද සටන් වැදී සිටියි. එයින් පෙන්නුම් කරන්නේ, සෞදි වරුන්ටත් ඔවුන්ගේ දේශීය හෙන්චයියන් කෙරෙහිත් පවතින විශ්ව පරිමාන වෛරයයි. 

ආර්ථිකය ද කඩා වැටී ඇත. යේමනයේ  රියාල් මුදල, 2015 මාර්තු මාසයේ යුද්ධය ආරම්භවූදා සිට විදේශ මුදල්වලට සාපේක්ෂව එහි අවම අනුපාතයට ඇද වැටී ඇති අතර, තවදුරටත් පහත වැටීමේ හැකියාව ගැන ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් නිකුත්වී ඇත. 2020 ආරම්භයේ සිට එක්සත් ජනපද ඩොලරයක් රියාල් 800 දක්වා, සියයට 12 කින් පහත වැටී ඇත. මෙය සිදුවෙමින් ඇති  යුද්ධයේ ප්‍රතිපලය පමනක් නොව, යේමනයේ නැගෙනහිර සහ දකුනු පලාත්වල  තෙල් හා ගෑස් නිධි පාලනය කිරීම, මහ බැංකුව සනා සිට ඒඩන් දක්වා ගෙනයාම ඇතුලුව රට මත පටවා ඇති මිලිටරි සන්ධානයේ ආර්ථික යුද්ධයේ ද ප්‍රතිපලයයි. හවුතිවරු ඊට ප්‍රතිචාර දැක්වූයේ, ඒඩන් හි මුද්‍රනය කරන ලද නව මුදල් නෝට්ටු භාවිතය තහනම් කිරීම මඟිනි. එය වෙනම ආර්ථික ක්‍රම දෙකක් නිර්මානය කල අතර  මුදල් වෙලඳපොලේ  සමපේක්ෂන ප්‍රහාරයන්ට රියාල් මුදල මුහුනපෑවේය.

රියාද් පාලනය සත්කාරකත්වය දැරූ යේමනයට මානුෂීය ආධාර සැපයීම සම්බන්ධ  මෑතකදී පැවැත්වූ සම්මන්ත්‍රනය, ඩොලර් බිලියන 1.35 ක් රැස් කර ගත් නමුත් එය ඉලක්කයට වඩා ඩොලර් බිලියන 1 ක් පමන අඩු මුදලකි. පසුගිය වසරේ රැස් කරගත් ඩොලර් බිලියන 3.2 න් අඩකටත් වඩා අඩු මුදලකි. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරන කාර්යාලයේ (OCHA) ප්‍රධානී මාර්ක් ලොකොක් පැවසුවේ, තවත් මුදල් එකතුකර ගැනීමට නොහැකි වුවහොත් යේමනය “වසර අවසානයේදී බිහිසුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙනු ඇති” බවයි. “යේමනය දැන් කන්ද ප්‍රපාතයට ආසන්නව සිටියි, පහලින් ඇත්තේ ඓතිහාසික පරිමානයේ  ඛේදවාචකයකි.”

පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ ලමා ඒජන්සිය වන යුනිසෙෆ් අනතුරු ඇඟවූයේ, ජූලි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 30 ක් නොලැබුනොත් ජනතාව සඳහා ජලය, සනීපාරක්ෂක හා සනීපාරක්ෂක සේවා ජූලි මාසයේදී වසා දැමීමට පටන් ගන්නා බවයි. යේමනයේ යුනිසෙෆ් හි නියෝජිත සාරා බෙයිසොලෝ නයන්ති පැවසුවේ, “සෞඛ්‍ය හා ජල පද්ධති කඩා වැටීම වැලැක්වීමට අපි උත්සාහ කරමින් සිටින අතර, අපි එම අංශ ඒකාබද්ධව තබාගෙන සිටියෙමු. දැන් අපි කඩාවැටීමේ අද්දරට පැමින ඇත්තෙමු. ” “COVID-19  එහි මූලික ලක්ෂ්‍යය විය හැකිය. මේ වන විට, ප්‍රජාවන්ගෙන් සියයට 75 කට සබන් මිලදී ගැනීමට නොහැකි වන අතර, ඔවුන් සතුව මුදල් තිබේ නම් මිලට ගනු ඇත්තේ කෑමබීම හෝ බේත්හේත් ය. ”

සෞඛ්‍යාරක්ෂාව, ජලය හා සබන්  නොමැතිකම හේතුවෙන් හා අරමුදල් හය නිසා සහන  සේවකයින්ට ආධාර සැපයීමට ඇති නොහැකියාව හේතුවෙන් ඉදිරි මාස හය තුල ලමුන් 6,000 කට වැඩි ප්‍රමානයක් වැලැක්විය හැකි රෝග හා මන්දපෝෂනය නිසා මිය යා හැකි බවට ඇය අනතුරු ඇඟවීය. මෙම වසර අග වන විට තවත් ලමුන් 30,000 ක්, ජීවිතයට තර්ජනයක් වන, උග්‍ර මන්දපෝෂනයට ගොදුරු විය හැකිය. ඒ  එම වයස් කාන්ඩයේ වයස අවුරුදු පහට අඩු මන්දපෝෂනයෙන් පෙලෙන මුලු සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහල යා හැකිය.

අප්‍රේල් මාසයේදී වාර්තා වූ පලමු රෝගියාගේ තැන් පටන් මේ දක්වා COVID-19 රෝගීන් 1,500 ක් පමන සොයාගෙන ඇති අතර මරන 400 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. රෝගීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව ඉහල මරන අනුපාතය, ගෝලීය සාමාන්‍යයට වඩා හතර ගුනයක් පමන වන අතර, එයට හේතුව රට තුල පරීක්ෂන ධාරිතාවයේ ඌනතාවයයි.

Loading