අවුරුදු 100කට පෙර: තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන සම්මේලනය ආරම්භ වේ

මෙම ලිපිය ජූලි 13 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1920 ජූලි 19 වන දින කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ* දෙවන සම්මේලනය ‍පෙට්‍රොග්‍රෑඩ් හිදී විවෘත කරන ලද්දේ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ විධායක කමිටුවේ සභාපති ග්‍රිගෝරි සිනොවියෙව් විසිනි.

පෙට්‍රොග්‍රෑඩ්හි  කම්කරුවන් දහස් ගනනක් සමඟ පැමිනි නියෝජිතයින් ස්මොල්නි ආයතනයේ සිට පෙලපාලියෙන් ගොස් ටෝරයිඩ් මාලිගයේ පිහිටි උරිට්ස්කි රඟහලට රැස් විය. සම්මේලනය ආරම්භ කලේ , පලමුවන සම්මේලනය පැවැත්වූ දින සිට පසුගිය වසර එකහමාර තුල මිය ගිය කම්කරු පන්තික සටන්කරුවන් සිහිපත් කරමින් නියෝජිතයෝ මොහොතක නිහඬතව ප්‍රකාශ කරමිනි. එහිදී ධනේශ්වර පාලන තන්ත්‍රයන් විසින් සිරගත කරන ලද කොමියුනිස්ට්වාදීන්ට විශේෂ උපහාර දක්වීමක් ද සිදු විය. ඇමරිකාවේ වුඩ්රෝ විල්සන් පරිපාලනයේ මර්දනයෙන් සහ එරට නීතිපති ඒ. මිචෙල් පාමර් විසින් අලුතින් පිහිටුවන ලද විමර්ශන කාර්යාංශය ( Bureau of Investigation) ඇතුලු ධනේශ්වර පාලන තන්ත්‍රයේ සිරගත කිරීම් වලින් පීඩා විඳින ඇමරිකානු කම්කරුවන් සහ කොමියුනිස්ට්වාදීන් ද එම විශේෂ උපහාර දැක්වීම තුල සිහිපත් කරන ලදී.  

එය අධිරාජ්‍යවාදී මිත්‍ර පාක්ෂිකයන්ගේ අවහිර කිරීම් සහ සෝවියට් රුසියාව සහ පෝලන්තය අතර පැවති යුද්ධය නිසාත්  සෝවියට් සමූහාන්ඩුවට ඇතුලුවීම දුෂ්කර ව පැවති කාලයක් වුව ද එම සමුලුවට, ඡන්ද අයිතිය සහිත කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ශාඛා වල සාමාජිකයින් ඇතුලු රටවල් 38 කින් නියෝජිතයෝ පැමින සිටියහ. තවද වාමාංශික හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල, සහ නිරීක්ෂකයින් ලෙස පැමිනි සින්ඩිකල්වාදී හා වෘත්තීය සමිති කන්ඩායම්වල සාමාජිකයෝ ද සහභාගීවී සිටියහ.

රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ සහ 1917 ඔක්තෝබර් විප්ලවයේ නායක වී. අයි. ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි,  ආරම්භක සැසියේ ප්‍රධාන දේශපාලන වාර්තාව ඉදිරිපත් කලහ. එහිදී නියෝජිතයින් වෙත බෙදා දුන් ලියකියවිලි අතර සමුලුවේ වාර්තා, යෝජනා, සහ නවතම පොත් දෙකක් වූ ට්‍රොට්ස්කිගේ ත්‍රස්තවාදය සහ කොමියුනිස්ට්වාදය (Trotsky’s Terrorism and Communism) යන පොත ද ලෙනින්ගේ “වාමාංශික” කොමියුනිස්ට්වාදය: ලදරු වලිප්පුවක් (Lenin’s “Left-Wing” Communism: An Infantile Disorder) යන පොත ද විය.

විවෘත වී දින තුනකට පසු සම්මේලනය මොස්කව් වෙතට ගෙන යන ලදී. එහිදී සති කිහිපයක් පුරා විවාදයට භාජනය වූ මාතෘකා අතර, ජාතික නිදහස හා යටත් විජිත විරෝධී අරගල, වෘත්තීය සමිති, සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සාමාජිකත්වය සඳහා කොන්දේසි යන මාතෘකා ඇතුලු දිනයේ විප්ලවවාදී මූලෝපායට සම්බන්ධ මූලික ප්‍රශ්න විය. අවසාන කාරනයට අදාලව කොන්ග්‍රසය, සුප්‍රකට කොමියුනිස්ට් ජාත්‍යන්තරයට ඇතුලුවීම සඳහා “කොන්දේසි 21” සම්මත කර ගත්තේය.

අගෝස්තු 7 වන දින එහි අවසන් සැසියේදී ට්‍රොට්ස්කි, කොංග්‍රසය පිලිබඳ සෝවියට් කම්කරු පන්තියේ හැඟීම් මෙසේ ප්‍රකාශ කලේය:

ලෝක කම්කරු පන්තියේ හොඳම සටන්කරුවන් අපේ රටේදී දෙවන වරටත් හමුවීමට හැකිවීම ගැනත් අපගේ අත්දැකීම් මත පදනම්ව, ඔවුන්ගේ ආයුධ සකසා ගැනීමට ඔවුන්ට උදව් කිරීමට අපට හැකි වීම ගැනත්, මොස්කව්හි සහ සමස්ත රුසියාවේ කම්කරුවන් වන අපට හැඟෙන්නේ මොන තරම් නම් ප්‍රීතියක්ද, මොන තරම් නම් ආඩම්බරයක්ද. සහෝදරවරුනි, ඔබගේ දෑතින් අපි මොස්කෝව නැමති කම්හලට ගිනි අවුලුවා ගත්තෙමු. එම ගින්නෙන් අපි නිර්ධන පන්තිය නැමති වානේ දන්ඬ සුදු පැහැයට එන තෙක් රත් කර ගත්තෙමු. එය අපගේ නිර්ධන පන්තියේ සෝවියට් විප්ලවය නම් මිටිය මගින් තලා හැඩ වැඩ කර ගත්තෙමු. අපි එය සිවිල් යුද්ධයේ අත්දැකීම් සමඟ පදම් කර ගෙන ජාත්‍යන්තර නිර්ධන පන්තිය සඳහා අපූරු හා අසමසම කඩුවක් සාදා ඇත්තෙමු. අපි මේ කඩුවෙන් සන්නද්ධ වෙමු. අනෙක් අයත් එයින් සන්නද්ධ කරමු. අපි මුලු ලෝකයේම කම්කරුවන්ට මෙසේ කියමු: “අපි මොස්කව් ගින්නෙන් ශක්තිමත් කඩුවක් සාදා ඇත්තෙමු. එය ඔබේ අතට ගෙන ලෝක ප්‍රාග්ධනයේ හදවතට කිඳා බස්සන්න.”

*තෙවන කොමියුනිස්ට් ජාත්‍යන්තරය ආරම්භ කලේ 1919 මාර්තු 2-6 දා තෙක් මොස්කව් නුවර පැවති සමාරම්භක සම්මේලනය තුලිනි. මෙය කොමින්ටර්නය (Comintern) යනුවෙන් පුලුල්ව හැඳින්වින. එය ස්ටාලින් විසින් 1943 දී විසුරුවා හලේය.

Loading