පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමට රාජපක්ෂ කැසකවන්නේ ජනාධිපති ආඥාදායකත්වය තහවුරු කර ගැනීමටයි

ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා එල‌‌‌ඹෙන මහ මැතිවරනයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) මැතිවරන උද්ඝෝෂනයේ ප්‍රධානම සටන් පාඨය බවට පත්ව තිබේ. 

පසුගිය සති අන්තයේ හාරිස්පත්තුව අලවතුවල සංවිධානය කර තිබූ ජන රැලියකදී ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ යලිත් අවධාරනය කරනු ලැබුවේ “ජනතා ගැටලු විසඳීමේදී 19 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ලවන බාධා සහ එය නිවැරදි කිරීමට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය” බවයි. 

බද්දේගමදී ජූලි 2 පැවති ශ්‍රීලංකාපොපෙ නියෝජිත රැස්වීමකදී 2/3 බලය ලබා ගැනීමේ අවශ්‍යතාව පිලිබඳව අවධාරනය කල අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය “යහපාලන ආන්ඩුව” සමයේ සංවර්ධනය කඩා වැටුනේ ජනාධිපති හා අගමැති කඳවුරු දෙකක සිටි නිසා බැවින් එවන් තත්වයක් වලක්වා ගතයුතු බව කියා සිටියේය.

ශ්‍රීලංකාපොපෙ මූලස්තානයේ ජූලි 8 දා පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක හා රාජපක්ෂගේ බාල  සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ පවසා සිටියේ තුනෙන් දෙකක බලය නොලැබුනහොත් මැතිවරනයෙන් පසුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒ්මේදී ආන්ඩුව අනෙකුත් කන්ඩායම්වල ප්‍රාන ඇපකාරයෙකු බවට පත්වන බවයි.

රාජපක්ෂලා තුනෙන් දෙකක බලයක් දෙන ලෙස මෙසේ මොරදෙන්නේ  “ජනතාවගේ ගැටලු” විසඳීමට නොවේ. ඒකාධිපති බලතල ජනාධිපති අතේ ගොනුකරගෙන කම්කරුවන් අතර වැඩෙන සටන්කාමිත්වය හා ගම්බද දුගීන්ගේ පෙරලිකරිත්වය මැඩීම සඳහා සූදානම් වීමට ය. 

කලෙක සිට ගැඹුරු වෙමින් තිබූ ධනපති ආර්ථික හා දේශපාලන අර්බුදය  කොවිඩ් 19 වසංගතය සමඟ අතිශයින් උග්‍රවී තිබේ. ජනාධිපති රාජපක්ෂ ජූලි16 දින ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග පැවසුවේ “තමා රට භාර ගන්නා විට තිබූ තත්ත්වයට වඩා කොවිඩ් අර්බුදය හමුවේ අභියෝග දස ගුනයකින් වැඩි වී ඇතැ”යි යනුවෙනි. ඔහු සඳහන් කරන මහා අර්බුදය ගෝලීය අර්බුදය මධ්‍යයේ ආර්ථික බිඳ වැටීම පමනක් නොව එහි බර පටවමින් වැටුප් හා රැකියා විනාශ කිරීමට සහ ජීවන වියදම් ඉහල දැමීමට විරුද්ධව කම්කරුවන් හා දුගීන් අතරින් නැගීඑන පෙරලිකාරිත්වයයි. 

සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදය යොදා ගනිමින් කම්කරු පන්තිය බෙදා වෙන් කර බෙලහීන කිරීමට යත්න දරන අතරම ආඥාදායක පාලනයක් තහවුරු කර ගැනීමේ ප්‍රයත්නයක ජනාධිපති රාජපක්ෂ ඇතුලු ශ්‍රීලංපොපෙ යෙදී සිටින්නේ මෙම පසුබිම තුල ය.

බලයට පැමිනි තැන් පටන් පවුලේ සහෝදරයන් ද මුදුනේ තබාගෙන මිලිටරිය පාදක කරගත් ආඥාදායකත්වයක් තහවුරු කරගැනීමට ජනාධිපති රාජපක්ෂ බොහෝ දුර ගොස් තිබේ.  ඒ අනුව, විශ්‍රාමික හා විශ්‍රාමික නොවන මිලිටරි ජෙනරාල්වරුන් රොත්තක් මේ වනවිට පරිපාලනයේ මුදුන්වලට පත්කර ඇත. ඔවුන්ගෙන් සමහරෙක් මෙසේය:  *ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න, *ජාතික බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්, *සිවිල් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික රෙයාර් අද්මිරාල් ආනන්ද පීරීස්, *ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය, *පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක, *වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක, *මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා *රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සාලි. කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධනියා ලෙස පත් කෙරුනේ *හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාය. 

ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයක් ගොඩ නගා ගැනීම සඳහා දැනටම කරගෙන යන වැඩ කටයුතුවලට ඊනියා ජනවරමක් ඇතැයි  පෙන්වීමට ලබන මස පැවැත්වීමට නියමිත මැතිවරනය යොදා ගැනීමට රාජපක්ෂලා ප්‍රමුඛ ශ්‍රීලංපොපෙ ක්‍රියාත්මක වෙමින් සිටියි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවූ හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ පසුගිය ව්‍යාජ යහපාලන ආන්ඩු සමයේදී 2015 අප්‍රේල් මසදී සිදු කෙරුනු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මඟින් විධායක ජනාධිපතිගේ සමහර බල තල සීමා කිරීමක් සිදු කෙරිනි. මෙම සීමා කිරීම, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ 2010 දී සිදු කල 18වන සංශෝධනයෙන් ජනාධිපති ධූර කාලය  වාර දෙකක සීමාව ඉවත් කිරීම හා අධිකරන විනිසුරුවන් හා සිවිල් නිලධාරීන් පත් කිරීමේ බලය ජනාධිපති අතට ගැනීම ඇතුලු ආඥාදායක බලතල පුලුල් කර ගැනීමට එරෙහිව පැන නැගුනු කම්කරු හා දුගී ජනයාගේ කෝපය ගසා කෑම සඳහා දැරූ උත්සාහයකි. 

මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් උග්‍ර වෙමින් පැවති නය අර්බුදය කම්කරු පීඩිතයින් මත පටවමින් ගෙන ගිය කප්පාදු වැඩපිලිවෙල නිසා මෙම කෝපය උත්සන්න කෙරුනි . 

මෙම සමාජ පිපිරුම්  සහගත තත්වය, මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්කර ගැනීමේ තන්ත්‍ර මාරුවක් ක්‍රියාවට දැමීමට වොෂින්ටනයට උදවු වන අයුරින් හැරවීමේ කාර්ය සිදුකලේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ  ව්‍යාජ වාම කන්ඩායම්, වෘත්තීය සමිති හා ශාස්ත්‍රාලිකයින් රොත්තක් විසිනි. 

එවක ඔබාමා පාලනය විසින් ක්‍රියාත්මක කෙරුනු “ආසියාවට හැරීමේ” වැඩ පිලිවෙලින් ඉස්මතු කෙරුනු චීනය වට කිරීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදී ක්‍රියා මාර්ගය සමඟ මහින්ද රාජපක්ෂ බෙයිජිනය සමඟ පවත්වාගෙන ගිය සමීප සම්බන්ධතාව ගැටුනු හෙයින් මෙම තන්ත්‍ර මාරුවට වොෂින්ටනය අත ගැසුවේය. නමුත් වොෂින්ටනයට ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය කෙරෙහි කිසිදු විරුද්ධත්වයක් නොවීය. 

දහ නවවන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ කථානායකගේ නායකත්වය සහිතව ඇති කල “ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව” හා ඒ් යටතේ පත් කෙරුනු මැතිවරන, රාජ්‍ය සේවා හා පොලිස් කොමිෂන් සභා ආදිය ප්‍රජාතන්ත්‍රවාදී ආටෝපයක් ලෙස ඉදිරිපත් කෙරුනි.  

1977 – 78 සමයේදී පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන නායකත්වය කම්කරු පීඩිත ජනයා ගෝලීය අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයට සූරා කෑම සඳහා කොන්දේසි සකස් කිරීම එල්ල කර ගනිමින් ස්ථාපිත කල ජනාධිපති ක්‍රමය ද පරයා යන මට්ටමේ බලය සංකේන්ද්‍රගත කිරීමක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍යව ඇත.     

සිදු කෙරෙමින් තිබෙන මිලිටරිකරනය සමඟ ගෝඨාභය රාජපක්ෂ හට තමන් නියෝජනය කරන්නාවූ ශ්‍රීලංපොපෙ ට එරෙහිව මහජන විරෝධය පල වීම කෙසේ හෝ වලක්වා ගැනීම අවශ්‍ය වී තිබේ. මැතිවරනයේ ප්‍රතිපලය මත සියල්ල තීරනය නොවුනත් මිලිටරිය, මත පදනම් වූ තම ඒකාධිපති පාලනයට “ජනවරමක්” ලැබී ඇතැයි පෙන්වීමට තමන්ට ලැබෙන චන්දය හුවා දැක්වීමට රාජපක්ෂ අපේක්ෂා කරයි. 

 තම රූපය මැතිවරන ව්‍යාපාරයේ යොදා නොගතයුතු යැයි වංචනික ප්‍රකාශයක් කල ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ නොයෙකුත් පලාත් වල මැතිවරන ප්‍රචාරන රැලි වලට සහභාගී වන්නේ කොවිඩ් වසංගතය වැලැක්වීමේ සෞඛ්‍ය රෙගුලාසිද නොතකමිනි.

 ඒකාධිපති තන්ත්‍රයක් තහවුරු කරගැනීමට රාජපක්ෂ හා ශ්‍රීලංපොපෙ ගෙනයන වියරු ප්‍රයත්නයට එජාප, දෙමල ජාතික සන්ධානය, ජාතික සමගි බලවේගය, ජනතා විමුක්ති පෙරමුන  ආදී එකදු ධනපති පක්ෂයකින් වත් විරුද්ධත්වයක් පලවී නැත. මේ පක්ෂ කොවිඩ්-19 මැඩීමේ වැඩපිලිවෙල පැහැදිලි කිරීමට යයි අගමැති කැඳවූ වටමේස සාකච්චාවලට සහභාගිවී ජනාධිපති ගෙනයන ක්‍රියාමාර්ගය ගැන ප්‍රසංශා කොට ඉදිරියේ අවශ්‍ය සහාය දීමට ද සපථ කලහ. මේ සියලු පක්ෂ, බලයේ සිටියදී හා විපක්ෂයේ සිටිමින් ප්‍රජාතත්ත්‍රවාදී අයිතීන් මැඩීමට  හා වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසි තලා දැමීමට ක්‍රියාකල ඒවා ය.  ඔවුන්ට ජනාධිපතිගේ පාලනය සමග ඇත්තේ වෙනත් සුලු  මතභේද පමනකි 

ජනාධිපති වටේ හොරගල් අහුලමින් කැරකෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ඒකාධිපති පාලනයක් “සුදුසු නැතිබවට” හීන් කෙඳිරියක් නගමින්, එවන් පාලනයකට පිඹුරුපත් සූදානම් කරන අගමැතිට සිය සහාය පල කරන ලිපි යැවිය. 

මෙම සියලු ධනපති පක්ෂවලට, ඒවා වටා භ්‍රමනය  වන ව්‍යජ වාම  සංවිධාන සහ ඊනියා ස්වාධීන කන්ඩායම්  වලට සහයෝගය දීම හා චන්දය ප්‍රකාශ කිරීම කම්කරුවන්, තරුනයන් සහ දුගීන් එක හෙලා ප්‍රතික්ෂේප කල යුතුය. 

ඔවුන් ඒකරාශි විය යුත්තේ වසංගතය මැදින්  රාජපක්ෂ පාලනය ගෙන එන ආඥාදායකත්වයට, සමාජ ව්‍යසනයට හා අධිරාජ්‍යවාදීන් සූදානම් කරන ලෝක යුද්ධයට එරහිව සමාජවාදී වැඩ පිලිවෙලට  සටන් කිරීමටයි. කොලඹ පාලක පන්තිය මෙම ලෝක යුද සූදානමට කරබදුවී සිටියි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැතිවරන ප්‍රකාශය තුල සඳහන් වන පරිදි, සසප සටන් වදින්නේ දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට යි. එවන් ආන්ඩුවක් විශාල විදේශීය හා දේශීය සමාගම් ද විශාල වතු හා බැංකු ද කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරන අතර, විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, නිෂ්පාදනය හා බෙදාහැරීම සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කරනු ඇත." 

කොලඹ, නුවර එලිය හා යාපනය දිස්ත්‍රික්කාවල තරඟ  වදින සසප කන්ඩායම්  වලට චන්දය ප්‍රකාශ කර මෙම වැඩපිලිවෙලට සහයෝගය දෙන්න. අන් සියල්ලටමත් වඩා ඉහත දක්වා ඇති විප්ලවවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ නායකත්වය ගොඩ නැගීමට සසපට බැඳෙන්න.  

Loading