ජනාධිපති රාජපක්ෂ වසංගතය පැතිරීමේ වගකීම මහජනයාගේ ඇඟට කපයි.

ජුලි 14 වෙනිදා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක රැස්වීමේ දී, “කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට” අවශ්‍ය පියවර ගැනීම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගේ “වගකීමක්”  බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ වසංගතයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහලයන කොන්දේසි යටතේ එහි වගකීම මහජනයා මත පැටවීමේ දුෂ්ට අරමුන ඇතිවය.

ආන්ඩුවේ නිල වාර්තා වලට අනුව ජුලි 17 වන විට තහවුරු වූ ආසාදිතයන් ගනන 2697 ක් ද  ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 674 ක් ද මියගිය ගනන 11 ක් ද වේ. 

කන්දකාඩු සහ සෙනරත්පුර පුනරුත්ථාපන කඳවුරු දෙකෙන් සහ ආශ්‍රිතයන්ගෙන් ජුලි 17 වන විට වාර්තා වූ  ආසාදිතයන් සංඛ්‍යාව 542 කි.  මෙම නව රෝගීන් වාර්තාවීමත් සමග  අනුරාධපුර දිස්ත්‍රික්කයේ  රාජාංගනය යාය 1, 3, 5 සහ 6 ගම්මානවල සංචරනය සීමා කොට ඇත. 

ඊට අමතරව  තංගල්ල, හෝමාගම, කොලඹ, රත්නපුර සහ කලවාන ප්‍රදේශවල ආසාදිතයන් ඇසුරු කල විශාල පිරිසක් සොයා ගෙන ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් ප්‍රදේශවල මේ වන විට දහස් ගනනක් නිරෝධායනයට ලක් කර සිටිති.   

“කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කන්ඩායම් ආශ්‍රිතව  වෛරසය පැතිරයාමේ ඉහල අවදානමක්” පවතින බවත්, “කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට නිදසුනක්” බවත් රාජපක්ෂ ඉහත රැස්වීමේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එහෙත් ඔහු, සෞඛ්‍ය බලධාරීන්, කොවිඩ් මර්දන බලකායේ ප්‍රධානියා වන හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ධනපති මාධ්‍ය පසුගිය  දිනවල එක දිගටම අවධාරනය කලේ වසංගතය “ඉතා සාර්ථකව” පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ බවකි. වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග මෙම පම්පෝරියේ පල්ල  ගොස් ඇත.

දිවයිනේ නොයෙක් ප්‍රදේශ වලින් අසාදිතයන්  හමුවන තත්වයක් තුල වුව ද ජූලි 16 වනදා පැවැත්වුනු මාධ්‍ය සාකච්ඡාවක දී  ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කලේ “ප්‍රජා සම්ප්‍රේෂනයක ලකුනු තවමත් නොමැති” බවයි. නමුත් ඊට පටහැනිව  කන්දකාඩු සිදුවීමෙන් සමාජ සම්ප්‍රේෂනයකට ඉඩකඩ ඇති බව වෛද්‍ය  විශේෂඥයන් අවධාරනය කලහ.   එම නිසා පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව දිනකට පන්දහස දක්වා වැඩි කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

පීසීආර් පරීක්ෂන 1,30,000 ක් සිදු කර ඇති බව, ඉහත කාර්ය සාධක බලකා රැස්වීමේදී අනිල් ජාසිංහ උජාරුවෙන් පැවසීය. කෙසේ වෙතත් මෙහි ඇති සීමිත ස්වභාවය පැහැදිලි වන්නේ පෙබරවාරි 17 වනදා සිට දිනකදී කෙරුනු පීසීආර් පරීක්ෂනවල සාමාන්‍ය අගය සැලකූ විටය. එය දිනකට 860 කට ආසන්න සීමිත අගයක් වන අතර, එය වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශිත අවම අගයෙන් පහෙන් එකකටත් අඩු අගයකි. වසංගතයේ ව්‍යාප්තිය මැද පරීක්ෂන ප්‍රමානවත්  පරිදි නොකිරීම සම්බන්ධයෙන් මහජන විරෝධය වැඩෙන තතු තුල “පීසීආර් පරීක්ෂන අඛන්ඩව” සිදු කල යුතු බව රාජපක්ෂ සඳහන් කර ඇත. 

කොවිඩ් 19 ගෝලීය වසංගතයකි. ජුලි 17 වන විට ලොව පුරා රටවල් 216 ක වසංගතය ව්‍යාප්ත වී ඇත. ආසාදිතයන් ගනන මිලියන 13 ඉක්මවා තිබුනි. මියගිය සංඛ‍්‍යාව 585,727 කි. මෙම සතියේ රටතුල නව ආසාදිතයන් සිය ගනනක් මතු වීමත් සමග, ගෝලීයව  වසංගතය වේගයෙන් පැතිරෙන ආකාරය අත්දකිමින් සිටින, ශ්‍රී ලංකාවේ මහජනයා අතරේ  විශාල නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් ඇත. 

රාජපක්ෂ ගේ මෙම ඊනියා “සාර්ථකත්වය” පදනම් වී ඇත්තේ වසංගතය පිලිබඳ සැබෑ තක්සේරුවක් මත නොවේ. ආන්ඩුව ආරම්භයේ සිටම පීසීආර් පරීක්ෂන අඩු කිරීම මගින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පිලිබඳ නිසි තක්සේරුවක් කිරීමේ හැකියාව වලක්වාගෙන සිටියේය. මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අවශ්‍යනම් දිනකට පරීක්ෂන 4000 ක් කල හැකි බව ජුලි 16 මාධ්‍ය සාකච්ඡාවේ දී ජාසිංහ සඳහන් කලේ ය. එහි තේරුම ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් හිතාමතා ම පරීක්ෂන පැවැත්වීම සීමා කර ඇති බවය.

එමෙන් ම වසංගතය පාලනය කල බව පෙන්වීමට ආන්ඩුව සැබෑ තොරතුරු වසන් කල බවට සැක සහිත අවස්ථා රාශියක් මතු විය.  වෛරසය අසාදනය වී ඇති බවට තම ආයතනය විසින් සියයට 100 ක් තහවුරු කල රෝගීන් පවා කොරෝනා ආසාදිතයින්ගේ ලැයිස්තුවට ඇතුලු නොකල බවට චෝදනා කරමින්, පසුගිය සතියේ දී, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේශන ආයතනය පීසීආර් පරීක්ෂන වලින් ඉවත් වීමත් සමග එම සැකය වඩාත් තහවුරු වී ඇත.

වසංගත රට තුල ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව  ඍජුව වගකිව යුතු ය. පාලිමේන්තු මැතිවරනය කෙසේ හෝ පවත්වා, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ඉදිරි ප‍්‍රහාරයන් සඳහා අත ශක්තිමත් කර ගැනීමේ දුෂ්ට උවමනාවෙන් පෙලුන ආන්ඩුව  මාර්තු 19 වනදා නාමයෝජනා භාර ගන්නා තෙක් රට සහ ගුවන්තොටුපල විවෘත කර තැබුවේය. 

පලමු කොරෝනා රෝගියා ලංකාවෙන් හමුවූයේ ජනවාරි මාසයේ වන අතර මාර්තු මස අග වනතෙක්ම කිසිදු සැලකිය යුතු පියවරක් නොගත්තේය. එතෙක් ගුවන් තොටුපල හරහා රට අභ්‍යන්තරයට පරීක්ෂන නොමැතිව නිදහසේ පුද්ගලයින් පැමිනි අතර කිසිදු ආකාරයකින් සංචරනය සීමා නොකෙරිනි. අප්‍රේල් 19 වෙනිදා දක්වාම දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂන  ගනන පැවතියේ  පන්සියය හෝ ඊට අඩු මට්ටමකය.

රට අගුලු දැමීම සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් හෝ පියවරක් ගැනීම මාර්තු 20 වන තුරුම රාජපක්ෂ ආන්ඩුව මගහැර තිබුනි. මුල ම අසාදිතයා හමු වුයේ ජනවාරි මාසයේ ය.  මාර්තු 17 වනවිට ආසාදිතයන් 26 ක් වාර්තා විය. එහෙත්, “කොරෝනා 26 ක් තියෙද්දි රට වහන්න ඕනිද” යනුවෙන් එදින රාජපක්ෂ අසා තිබුනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 සිට මෙවන් වෛරසයක් පිලිබඳව අනතුරු අඟවා තිබූ අතර ලෝකය පුරා සියලු ධනපති ආන්ඩු මෙම අනතුරු ඇඟවීම් නොතකා සිටියේය. වෛරසය පැමිනෙන තෙක්ම කිසිදු සූදානමක් මෙම ආන්ඩු නොදැක්වූ අතර එය කඩා වැදීමෙන් පසු පවා සෞඛ්‍ය යටිතල පහසුකම් වෙත එකදු විශාල පරිමානයේ ආයෝජනයක් හෝ නොකරමින් මහජනතාව වෛරසයට ගොදුරු වන්නට ඉඩ හැරියහ. අවම වශයෙන් වසංගතය සමග සෘජුව මුහුන දෙන සෞඛ්‍ය සේවකයන්ට අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරන ප්‍රමානවත් තරම් සම්පාදනය කිරීමක් පවා සිදු නොවීය. 

ජූලි 10 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කල ප්‍රකාශයෙහි, මහජනතාව මත වගකීම පැටවීමේ ව්‍යායාමයට විරුද්ධව සඳහන් කර තිබුනේ, “ජනතාව සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් වලින් ඈත් වීමට ප්‍රධාන හේතුව කොවිඩ් 19 අවදානම් තත්වය තවදුරටත් නොමැති බව” ඇඟවෙන ආකාරයෙන් ආන්ඩුව දැඩි පාලන තත්වයන් ක්‍රමයෙන් ලිහිල් කිරීම බවයි.

නිරෝධායන කඳවුරු පිලිබඳ “කිසිදු රටකින්” අසන්නට නොලැබුනු බවටත්, එය “අප” විසින් හඳුන්වා දුන් බවටත් සිය කතාව තුලදී රාජපක්ෂ පාරම් බෑවේය. 

නිරෝධායන කඳවුරුවල නාමයෙන් අටවා තිබෙන මධ්‍යස්ථාන වල සැබෑ ස්වභාවය විමසා බැලීමෙන් මෙම ප‍්‍රකාශයේ ව්‍යාජ බව පැහැදිලිවේ. ඒවා පවත්වාගෙන  යන්නේ හමුදා කඳවුරුතුල ය. රෝගීන් ට අවශ්‍ය පහසුකම් සහ පුහුනු කල මානව සම්පත් ඒවායේ නැත. කන්දකාඩුව හා  සෙනරත්පුර ආසාදිත පොකුරු මතුවීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ ඒවා නිරෝධායන කඳවුරු වලට  වඩා වසංගතය පතුරවන  මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බවකි.

මහජනතාව සම්බන්ධයෙන් ආන්ඩුවේ නොතැකීම විදේශගත කම්කරුවන්ගේ ගැටලුවේදී පැහැදිලිව ප්‍රකාශයට පත් විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව, 40 කට ආසන්න පිරිසක් වසංගතයෙන් මියගොස් ඇති අතර 1800 වෛරසය වැලඳී ඇත. ආන්ඩුව මෙම කම්කරුවන් ලංකාවට ගෙන්වීම දිගින් දිගටම ප‍්‍රමාද කරමින් ඔවුන් වෛරසයට ගොදුරු වීමට ඉඩ හැරීය. මෙවන් තත්වයක් තිබිය දී ත් රාජපක්ෂ කුහකව කියා සිටියේ,  “රටවල් 74ක සිට පුද්ගලයන් 16,279” දෙනෙක් ලංකාවට ගෙනැවිත් නිරෝධායනය කල බව ය.

ලෝකයේ සෙසු ධනපති ආන්ඩු  මෙන් ම, ආයෝජකයන්ගේ ලාභ පිපාසිත උවමනාවන් වෙනුවෙන් අනාරක්ෂිත ලෙස “ආර්ථිකය යලි විවෘත කිරීම” තුලින් වැඩකරන ජනතාවගේ ජීවිත බිලි දී ඇත. වසංගතය ව්‍යාප්තවීම මෙන් ම ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා සහ සමාජ අයිතීන්ට දුෂ්ට ප්‍රහාරයක් එල්ල කෙරී ඇත. කම්කරු පන්තියේ අයිතීන්ට පහර දෙන ආන්ඩුව ධනපති සමාගම් සඳහා රුපියල් බිලියන 400 ක මුදල් ලබාදුනි. 

අනෙක් අතට තම ජීවන තත්වයන් ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර වලට විරුද්ධව වැඩෙන මහජන විරෝධය මැඩලීම සඳහා වසංගත අර්බුදය ගසාකමින් රට  මිලිටරීකරනය කිරීමේ  සහ මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායක පාලනයකට මාරු වීමේ ප්‍රතිගාමී සැලසුම් තීව්‍ර කර ඇත.

එම තතු තුල වසංගතය පැතිරීමේ වගකීම රාජපක්ෂ ආන්ඩුව විසින් මහජනයා මත පැටවීම එහි ජනතා විරෝධී ආර්ථික දේශපාලන පිලිවෙත් වලට විරුද්ධව නැගෙන මහජන විරෝධය රුදුරු ලෙස මැඩලන බවට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

Loading