මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලු බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත් වෙති

නිරෝධායන කටයුතු සඳහා නෛතික බලය ලබා නොදීමට, සෞඛ්‍යාරක්ෂක මාර්ගෝපදේශයන් ගැසට් නොකිරීමට සහ තම රාජකාරි කටයුතු මහජනතාවන්ට පීඩාවක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමතිනිය  කරන ලද ප්‍රකාශයට විරුද්ධව, දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කොරෝනා  වසංගතය ඇතුලු සියලුම බෝවන රෝග පාලනයෙන් ඉවත් ව ජුලි 17 වෙනිදා සිට අඛන්ඩ වර්ජනයකට පිවිස සිටිති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (මසෞපස ) විසින් කැඳවුම් කල මෙම වර්ජනයට 2000 ට ආසන්න සියලුම මහජන පරීක්ෂකවරු  සහභාගිවී සිටිති. 

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් නිරෝධායන පනතට අනුව කෙරෙන සියලු කටයුතු වලට මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරු ඍජුව සම්බන්ධ විය යුතු නමුත් එම කාර්යයන් මෙතෙක් නෛතිකව තහවුරු  කර නැති හෙයින්  ඒ සම්බන්ධයෙන් කිසියම් නීතිමය ප්‍රශ්න  මතු වුවහොත් තමන්ට  බරපතල ගැටලුවලට මුහුන දීමට සිදුවන බව ඔවුහු කියති. එමෙන් ම, මැතිවරන කටයුතුවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරගැනීම මැතිවරන පනතේ නොමැති හෙයින් එය අදාල ගැසට් පත්‍රයට ඇතුලත් කරන ලෙස ඔවුන් ඉල්ලා ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය  විසින් එය පැහැර හැර තිබේ.  

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරෝධායන කටයුතු සම්බන්ධව නෛතික බලය පැවරීමෙන් මහජනතාව පීඩාවට පත්වන බව පසුගිය සතියේ පැවති  මාධ්‍ය හමුවකදී ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර ඇති බවත් එය ඉල්ලා අස්කර ගතයුතු බවත් ඔවුහු අවධාරනය කරති.

“සමහර සිද්ධි වලදී උසාවි යන්න වුනාම අපියි වැරදිකාරයො බවට පත්වෙන්නේ. ආන්ඩුවෙන් බලය පවරලා තියෙන්නේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට. නමුත් ඔවුන් කිසිම දෙයකට  වගවෙන්නේ නැහැ. ආන්ඩුව එහෙම කරල තියෙන්නෙම කොවිඩ්-19 මර්දනයට අපි කරන මැදිහත්වීම් නොකෙරෙන්න ඕනෙ නිසා” බව කලුතර දිස්ත්‍රික්කයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පැවසීය. 

ආන්ඩුව ආසාදිතයන් පිලිබඳ සත්‍ය තොරතුරු වසන් කරන බව ද ඔහු සඳහන් කලේ ය. “අපට  හැම තොරතුරක්ම එන නිසා අපි සැබෑ තත්වය දන්නවා. ආන්ඩුව දවස අවසානයේදී ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු. වසංගතයේ ව්‍යාප්තිය අඩුකරල පෙන්නන්න දිනකට වාර්තාවන රෝගීන් දවස් කිහිපයකට බෙදලා නිවේදනය කරනවා. වසංගතය දරුනු තත්වයකට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ආශ්‍රිතයන් ව්‍යාප්තවෙලා තියෙන වපසරිය අනුව පීසීආර් පරීක්ෂන විශාල වශයෙන් වැඩි නොකලොත් තත්වය බරපතල වෙනවා. ලංකාවේ තියෙන දැඩි සත්කාර පහසුකම් මදි නිසා රෝහල් ධාරිතාව ඉක්මවා ගියොත් අනිවාර්යයෙන්ම මරන ගනන වැඩිවෙනවා.” 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මොන තරම් සමීපව රෝගීන් සමඟ ගැටුනත් ඔවුන් පීසීආර් පරීක්ෂන වලට භාජනය නොකරන බවත්, ඒ හේතුවෙන් ඔවුන් පමනක් නොව, ඔවුන්ගේ පවුල්වල  සාමජිකයන්ගේ මෙන් ම ආශ්‍රිතයන්ගේ ජීවිත වලටත් අනතුරක් පවතින බව ත් ඔහු පැවසීය.වෘත්තීය පුහුනුවක් තිබෙන නිසා වසංගතය ආසාදනය වීමෙන් වැලකීමට පරිස්සම් වන නමුත් අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක උපකරන සැපයුම කිසිසේත් සතුටුදායක නැති බව ද ඔහු පැවසීය. 

“හමුදාවට වසංගත මර්දනයේදී මුල්තැන දීම වැරදියි. ඔවුන්ට පුහුනුවක් නැහැ වසංගත මර්දනය ගැන. නාවික හමුදාවේ පොකුර සහ කන්දකාඩු පොකුර කියන අවස්ථා දෙකේ  දි ම පෙනුනෙ ආන්ඩුව මේ සඳහා හමුදාව යොදා ගැනීමේ විපාක. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේතරම් සමීපව රෝගීන් සමඟ වැඩකරලත් ආසාදිත වුනේ එක්කෙනෙක් විතරයි. ඒ අපිට තියෙන පුහුනුව නිසා”යැයි ඔහු  සඳහන් කලේ ය. 

ඉහත ගැටලුවලට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අතිකාල  හා විශේෂ දීමනා කප්පාදු කිරීම ක් ද ක්‍රියාවට දමා ඇත. කලින් පැවති මාසයකට අතිකාල පැය 150, 100 දක්වා කප්පාදු කර ඇති අතර කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන් ඉටුකරන සේවය ඇගයීමක් ලෙස දින 20 ක වැටුපට සමාන  විශේෂ දීමනාවක් ගෙවන බව ආන්ඩුව ප්‍රකාශ කල නමුත් බොහෝ පලාත්වල එය මෙතෙක් ගෙවා නැත. එමෙන් ම, ඇතැම් පලාත්වල පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරුන්ගේ අභිමතයට අනුව දින 20 වරු 20 ට කප්පාදු කර තිබේ. රාජකාරි සඳහා යතුරු පැදි පාවිච්චය වෙනුවෙන් ලැබෙන්නේ රුපියල් 1500 ක මාසික දීමනාවක් පමනි. කන්ඩායමක් වශයෙන් රාජකාරියකට යාමේ දී ඒ සඳහා ප්‍රවාහන පහසුකම් නොලැබෙන බව ද ඔවුහු කියති. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය බිඳීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) මැදිහත් වී ඇත.  ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් සහ සෞඛ්‍ය බලධාරීන් වෙත  යවන ලද ලිපියක් මගින් “සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සිදු කරන කාර්යයන් වඩා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා වන සියලු පහසුකම් සැපයීම, අවශ්‍යතාවයක් ඇති සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස වලට වෛද්‍යවරුන් වැඩිපුර අනුයුක්ත කිරීම, කොවිඩ් රෝග පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හට අමතරව අවශ්‍ය වන මානව සම්පත් සඳහා විකල්පයක් හඳුනාගෙන ඒ අය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ඍජු අධීක්ෂනය හා තාක්ෂනික උපදෙස් මත වහාම සේවයේ  යොදවන ලෙස ඉල්ලා ඇත. රවෛනිස  රාජපක්ෂ ආන්ඩුවට ඍජුව පන්දම් අල්ලන වෘත්තීය සමිතියකි.

සෞඛ්‍ය සේවයේ බිඳ වැටීම සිදුවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ “අත්තනෝමතික ක්‍රියාවන්”: හේතුවෙන් බව හුවා දැක්වීමට රවෛනිස දරන තැත අතිශයින් ම නින්දිතය. සෞඛ්‍ය සේවය බිඳ වැටී ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව සහ අනුප්‍රාප්තික ආන්ඩු විසින් නිදහස් සෞඛ්‍ය සේවය සඳහා යෙදවිය යුතු රාජ්‍ය අරමුදල් ක්‍රමානුකුලව කප්පාදු කිරීම නිසාවෙනි. 

කොරෝනා වසංගතය මර්දනය කිරීමේ ව්‍යායාමයේදී අත්‍යවශ්‍ය අංගයක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මහා පරිමානයෙන් පීසීආර් පරීක්ෂන පැවැත්වීම ආන්ඩුව මුල සිටම නොතකා හැරියේ ය. වසංගතය මධ්‍යයේ  පවා වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මන්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපකරන ප්‍රමානවත් තරම් සැපයීමට ආන්ඩුව මුලුමනින් ම අසමත් විය. කොරෝනා වසංගතය පාලනය කිරීම නිසි ලෙස සිදු නොවීම එම සාපරාධී නොතැකීමේ සෘජු ප්‍රතිපලයකි. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය හේතුවෙන් තවදුරටත් එම කටයුතු අඩාල වේනම් එයට වගකිව යුත්තේ ද ඔවුන්ගේ සහ සෙසු සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය සහ සමාජ අයිතීන් නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කරන රාජපක්ෂ ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් මිස තම වෘත්තීය අයිතීන් සහ සමාජ අයිතීන් සඳහා අරගලයක යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවේ.

වෛද්‍ය සංගමය සහ ආන්ඩුව වර්ජනය බිඳීමට දරන ප්‍රයත්නයට එරෙහිව එයට සහයෝගය දීම සඳහා සෞඛ්‍ය කීට විද්‍යා  නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් වී ඇත.  වර්ජනය කඩා කප්පල් කිරීම පිනිස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යයන් සඳහා ඉදිරි දිනවල කීට විද්‍යාඥයන් කැඳවීමට ඉඩ ඇති බවත් එවන් කැඳවීමක් කලොත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් සංගමය සිය සාමාජිකයන් ට දැනුම් දී ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සහ සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරය සෙසු සෞඛ්‍ය සේවකයන්ට හා  සමස්ථ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයක කොටසකි.    

මීට පෙරාතුව ද අවශ්‍ය ආරක්ෂක පහසුකම් ප්‍රමානවත්  ලෙස සම්පාදනය නොකිරීමට හා දීමනා කප්පාදුවට  විරුද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උද්ඝෝෂන ගනනාවක් පැවැත්වුනි. එමෙන් ම, සමාන ඉල්ලීම් මත හෙද නිලධාරීන්, කනිෂ්ඨ සේවකයන්, අතුරු වෛද්‍ය සේවකයන් හා වෛද්‍යවරුන් විරෝධතා උද්ඝෝෂන වල යෙදුනි. දීමනා නොගෙවීමට විරුද්ධව ජුලි 13 වෙනිදා මහනුවර රෝහලේ හෙද නිලධාරීහු පිකට් උද්ඝෝෂනයක නිරත වූහ. එම අරගල පෙන්නුම් කරන්නේ තම අයිතීන් කප්පාදුවට  එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර පවතින කෝපය සහ අයිතීන් සඳහා සටන් කිරීමට ඇති බරපතල උවමනාවයි. එහෙත් වෘත්තීය සමිති කරන්නේ ආන්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට  බලපෑම්  දැමීමේ නිස්සාර උද්ඝෝෂන  වලට කොටු කර ඒවා විසුරුවා හැරීමය.

කතුවරයා විසින් නිර්දේශිත වෙනත් ලිපි:

වයඹ පලාත් සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දීමනා නොදීමට එරෙහිව උද්ඝෝෂනය කරති

ෂේන් බන්ඩාර, 6 ජූලි 2020

රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

සමාජවාදී සමානතා පක්ෂය, 20 ජූනි 2020

Loading