ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආසාදන අහස උසට නගී. ආපසු වැඩට දක්කන පක්ෂ  දෙකේ උද්ඝෝෂනය ව්‍යසනයක් නිර්මානය කරයි

මෙම ලිපිය ජූලි 14 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපදය තුල කොවිඩ්-19 වසංගතය මහත් ව්‍යසනයක් බවට හැරී තිබේ. සඳුදා (ජූලි 13) එක්සත් ජනපදය නව ආසාදන 65,000ක් වාර්තා කල අතර, දෛනික ආසාදන අප්‍රේල් මැද දී දැකගන්නට ලැබුනු එවකට පැවති වැඩි ම ගනන මෙන් දෙගුනයකි. එක්සත් ජනපදයේ සිටින්නේ ලෝක ජනගහනයෙන් යන්තම් සියයට හතරක් පමනක් වුව ද ගෝලීය නව ආසාදනවලින් තුනෙන් පංගුවක් එරටින් වාර්තා වේ.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රෝහල් 40ට වැඩි ගනනක් පිරී ඇති අතර, ටෙක්සාස්හි රෝහල් ගිලන් රථ හරවා යවයි. පරීක්ෂනවලට මුහුන දීම සදහා පුද්ගලයින් දින ගනනක් බලා සිටියි. දත්ත බෙදා හදා ගැනීමට ෆැක්ස් යන්ත්‍ර මත විශ්වාසය තබා සිටින සහ පරීක්ෂන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සතියක් පමන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටින ඇමරිකාවේ, ප්‍රාථමික හා බිඳ වැටුනු මහජන සෞඛ්‍ය පද්ධතිය පිරී ඉතිරී යයි. හෙදියෝ හා වෛද්‍යවරු ආරක්ෂිත උපකරනවල උග්‍ර හිඟයකට මුහුන දෙමින් සිටිති. 

මෙම ව්‍යසනය, රට පුරා ව්‍යාපාර කලට පෙර යලි විවෘත කිරීමේ ප්‍රතිඵලය යි. මාස දෙකකට පෙර අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදකයන් යලි වැඩ ඇරඹූ තැන් පටන්, කොවිඩ්-19 ආසාදන සිද්ධි ගනන මිලියන 3.4ක් දක්වා දෙගුනයකින් ඉහල ගොස් ඇති අතර, සමස්ත මරන සංඛ්‍යාව 138,000ට නඟිමින් තවත් පුද්ගලයන් 43,000ක් මියගොස් ඇත. 

විනාශකාරී විපාක ගෙන එමින් සමාජ අපරාධය සිදුකෙරෙමින් පවතී. එහෙත්, වසංගතය ගැන සාකච්ඡා කිරීමට නිමක් නැති පැය ගනන් කැප කරනු ලබන විද්‍යුත් ප්‍රවෘත්ති හා පුවත්පත් අටුවාකරුවන් කිසිවෙක් මෙම ප්‍රශ්න ගැඹුරින් නො අසයි: වගකිව යුත්තේ කවුරුන් ද? ව්‍යාපාර නියමිත කලට පෙර යලි විවෘත කිරීමට තීරනය කලේ කවුද? එම පිලිවෙත්වල සමාජ අවශ්‍යතා මොනවා ද?

නිසැකයෙන් ම, වසංගතය ලඝු කොට සැලකූ හා සමාජ දුරස්ත භාවය නො තකා හැරීමට මිනිසුන් දිරිමත් කල ට්‍රම්ප්  හා ඔහුගේ අන්ත-දක්ෂිනාංශික රිපබ්ලිකන් සගයන්, තීරනාත්මක භූමිකාවක් ඉටු කොට ඇත. වසංගතය දැන් පාලනයෙන් පිට පනිමින් තිබෙන්නේ ය යන පැහැදිලි ව පෙනෙන කරුන පෙන්වා දීමට නිර්භීත වීම මුල්කරගෙන, අසාත්මික හා බෝවන රෝග පිලිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසිට එරෙහි ව ට්‍රම්ප් යුද්ධයක් දියත් කරමින් සිටී.

එහෙත් එය හුදෙක් ට්‍රම්ප් පිලිබඳ කරුනක් පමනක්නො වේ. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකේ ම සෑම ආන්ඩුකාරයෙක් ම පාහේ, අත්‍යවශ්‍ය නො වන ව්‍යාපාර යලි විවෘත කලේ, ප්‍රමානවත් පරීක්ෂන හා රෝගීන් හඳුනාගැනීමේ හිඟයකින් රට පෙලෙද්දී ය.

මැයි මස මුල දී ප්‍රාන්ත, අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන යලි විවෘත කල අතර, ඉන් අඩකට වැඩි ගනනක් එසේ කලේ, නිව් යෝක් ටයිම්ස්හි විශ්ලේෂනයකට අනුව, “ආසාදන සංඛ්‍යා ඉහල නගිමින්, පරීක්ෂනවල ධන ප්‍රතිඵල ඉහල යමින් හෝ ඒ දෙක ම සිදුවෙද්දී ය.” මධ්‍යම ආන්ඩුවේ අති මූලික උපදේශනයන් සම්පූර්න නො කොට යලි විවෘත කල ප්‍රාන්ත අතරට, මේන්, උතුරු කැරොලිනා, කන්සාස් හා කොලොරාඩෝ අයත් වූ අතර, එම ප්‍රාන්ත සියල්ලේ ම සිටින්නේ ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන් ය.

මෙම උද්ඝෝෂනයට ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලගැසුනු මාධ්‍යවල ක්‍රියාකාරී සහභාගීත්වය ද පැවතුනි. වසංගතය සීමාකිරීමේ පියවර අතහැර දැමීම හෙවත් “රංචු ප්‍රතිශක්තිය” වෙනුවෙන් කතා කරන තෝමස් ෆ්‍රීඩ්මාන්ගේ තීරු ලිපි 11කට නො අඩු ගනනක් නිව් යෝක් ටයිම්ස් පත්‍රය පලකලේ, රංචු ප්‍රතිශක්තියේ “ස්වීඩන මොඩලය සිත් ඇදගන්නාසුලු” යි සඳහන් කරන කතුවැකියක් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පලකරද්දී ය.

ආපසු වැඩට දැක්කීමේ ඉල්ලීමට විධාන කොට ඇත්තේ වෝල් වීදිය, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය විසිනි. පාලක පන්තිය පැත්තෙන් ගත් කල, වසංගතය දැවැන්ත මුදල් උපයන අවස්ථාවක් වී ඇත. රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී එක් කොටස් වෙලෙන්දෙක් එය පැහැදිලි ව ප්‍රකාශ කලේ ය: 

කොවිඩ්-19 දැන් වෙලඳපොලට සම්බන්ධ වන්නේ ප්‍රතිලෝම වසයෙන්. කොවිඩ්-19 නරක් වන තාක් දුරට, එක්සත් ජනපද මහ බැංකුව (ෆෙඩ්) උත්තේජන ගෙන එන නිසා, වෙලඳපොල වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා. වෙලඳපොලවල් ධාවනය කරනු ලැබ ඇත්තේ එමගින්.

මාර්තුවේ පටන් මහ බැංකුව වෙලඳපොල වෙත ඩොලර් ට්‍රිලියන 3ක් පොම්ප කර ඇත්තේ, එහි ශේෂ පත්‍රය ඩොලර් ට්‍රිලියන 4 සිට ට්‍රිලියන 7ට අධික ප්‍රමානයක් දක්වා ඉහල දමමිනි. මාර්තු අග ඊනියා කෙයාර්ස් පනත සම්මත කරද්දී, කොංග්‍රසයේ ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් ඒකමතික ව ම පාහේ මෙම පිලිවෙතට අනුමැතිය දුනි.

මෙම සීමාරහිත මුදල් සම්පාදනය කිරීම වත්කම් වටිනාකම් යෝධ ලෙස ඉහල දමා තිබේ. එස්ඇන්ඩ්පී 500 කොටස් දර්ශකය වසංගතය පැතිරීම ඇරඹුනු තැන් පටන් ඉහල ම අගය සඳුදා වාර්තා කල අතර, එය දැනට වසරකට පෙර පැවති අගයට වඩා ඉහලින් පවතී. “අපි දැන් ඉන්නේ අතාර්කික සමෘද්ධියක- මෙය බුබුලක්...ආර්ථිකය ඇඹරෙමින් මන්දගාමී වෙමින් තිබෙනවා. අපි කොවිඩ් රෝගයට ලං වෙමින් හා වරෙක ඈත් වෙමින් සිටිනවා, එහෙත් තාක්ෂන වෙලඳපොල දිනපතා නව ඉහල අගයන් වාර්තා කරනවා. මෙය සම්භාව්‍ය සමපේක්ෂන බුබුලක්” බව මෑත දී ෆෝචූන් වෙත අදහස් දැක්වූ එක් මූල්‍ය කලමනාකරුවෙක් සඳහන් කලේ ය.

කොවිඩ්-19 පැතිර යාමේ තෝතැනි වන කම්හල් තුලට කම්කරුවන් ගාල් කිරීම සඳහා ගෙන යන උද්ඝෝෂනයේ තීව්‍රතාව විස්තර කරන්නේ, මෙලෙස විශාල පරිමානයෙන් ධනය ඉහලට ගලා යාමෙනි. මූල්‍ය වෙලඳපොලවල් වෙත පොම්ප කරනු ලබන “අරුමු පුදුම මුදල්” ව්‍යාජ විය හැකි වුවත්, මූල්‍ය කතිපයාධිකාරයේ ධනය -ඔවුන්ගේ ගුවන් යානා,  සුපිරි මෝටර් රථ, මන්දිර හා ආධිපත්‍යය- මුලුමනින් ම යථාර්තවත් ය. කම්කරු පන්තියේ ඩාදිය මහන්සියෙන් මෙම ධනය අවසානයේ සූරාගනු ලැබිය යුතු ය.

ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මෙහි දී සුවිශේෂී උදාහරනයක් ලෙස ගත හැක. ප්‍රාන්තයේ නීතිය උල්ලංඝනය කරමින්, එහි ඩිමොක්‍රටික් පක්ෂ ආන්ඩුවේ දුස්සහාය සහිත ව, මැයි 11දා කැලිෆෝනියාවේ ටෙස්ලා ප්‍රධාන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යලි ඇරඹීම මස්ක් විසින් නිවේදනය කලේ ය.

ටෙස්ලා කම්හල යලි විවෘත කල තැන් පටන් ගත ව ඇති කාලය තුල, එහි කොටස් අගය සියයට 50න් ඉහල ගොස් ඇත්තේ, වෙලඳපොල පිරිවැටුම අනුව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බවට එය පත්කරමිනි. මෙය අවසානයේ මස්ක්ගේ පුද්ගලික ධනය ඩොලර් බිලියන 30න් බිලියන 70 දක්වා ඉහල යාමට හේතු වී ඇති අතර, එය වසර දෙකකට පෙර පැවති ඔහුගේ ශුද්ධ වත්කම මෙන් තුන්ගුනයකි.

කම්කරුවන් ආපසු වැඩට ගෙන්වීම මෙම අදියර සඳහා තීරනාත්මක විය. ටෙස්ලා සමාගම “අගුලු දැමීම මධ්‍යයේ සතියක් තුල ඩොලර් මිලියන 500 බැඟින් ඉහල නඟිමින් තිබුනේ” යයි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කලේ ය.“මින් පෙර ලාබදායී වසරක් අත්දැක නො තිබුනු සමාගමකට එය දරාගත නො හැකි මුදලකි.” 

සේවකයන් වෙත යැවූ ලිපියක, යලි විවෘත කිරීම සඳහා වන ප්‍රේරකය මස්ක් විසින් පෙන්වා දුන්නේ ය. “පාඩු නැති වීම සුපිරි  ස්ථාවර බවක් පෙන්නුම් කරන්නේ” යයි ඔහු පැවසීය. “ඔබට නිෂ්පාදනය කොට බෙදාහැරිය හැකි සෑම මෝටර් රථයක් ම එය සැබෑ වෙනසක් බවට පත්කරයි.”

ටෙස්ලා සමාගමේ කොටස් වටිනාකම යෝධ ලෙස ප්‍රසාරනය වීමේ ප්‍රතිඵලයක් ලෙස, ප්‍රධාන විධායක නිලධාරීයෙකුට ඉතිහාසයේ ඉහල ම  ගෙවීම - විශාලත්වයේ අනුපිලිවෙලින්- මස්ක්ට දින ගනනක් තුල ඩොලර් බිලියන 2.4ක බෝනස් මුදලක් ගෙවනු ලැබී ය.

ක්‍රියාවට දමා ඇති පිලිවෙත සමාජීය ව නිෂ්ක්‍රීය නො වේ. “ආර්ථිකය” රැකගැනීම පිලිබඳ කරුනක් නො වන එය, වෝල් වීදිය ආරක්ෂා කරගැනීමත්, අතිමහත් මූල්‍ය වත්කම් දරා සිටින ධනපති කතිපයාධිකාරයෙහි ධනය පවත්වා ගැනීම හා ප්‍රසාරනය කිරීමත් පිලිබඳ කරුනකි.

පාලක පන්තියේ දෘෂ්ටියෙන් වසංගතය සතුව තවත් වාසි තිබේ. මූලික ගොදුරු වැඩිහිටි පුද්ගලයන් වන තරමට, පාලක පන්තියේ චින්තන තටාක විසින් දීර්ඝ කාලයක් තිස්සේ මූලෝපායික ගැටලුවක් ලෙස ගෙනහැර දැක්වූ ඉහල යන සෞඛ්‍යාරක්ෂන පිරිවැය පහත දැමීමට එය උපකාරී වනු ඇත.

ඒ හා සමාන ව, වසංගතය විසින් නිර්මිත මහා පරිමාන විරැකියාව ද  පාලක පන්තියට වාසිදායක වේ. මේ වසර මුල දී එක්සත් ජනපදය දශක ගනනක් තුල වඩාත් ම අසීරු ශ්‍රම වෙලඳපොලට මුහුන දෙමින් සිටි නමුත්, වසංගතය විසින් අවුලුවන ලද ආර්ථික අර්බුදය, රැකියා දස දහස් ගනනක් විනාශ කර ඇති අතර, ඉන් බොහොමයක් සදහටමය.

කෙයාර්ස් පනත යටතේ සම්මත කරන ලද සතියකට ඩොලර් 600ක් වන විරැකියා රක්ෂන සහනාධාරය නවතා දමන ලෙස කරන කැඳවුමට ට්‍රම්ප් පරිපාලනය නායකත්වය දී ඇතත්, එම ඉල්ලීමට ද පක්ෂ දෙකේ ම සහයෝගය ලැබී ඇත. කම්කරුවන්ට ගෙවන සහන “වැඩකිරීම අධෛර්යයට පත්කරන” බව ප්‍රකාශ කරමින්, ඒවා අවසන් කිරීමට ඉඩ දෙන ලෙස කරන ඉල්ලීමේ තානයට කොනෙක්ටිකට්හි ඩිමොක්‍රටික් ආන්ඩුකාර නෙඩ් ලැමොන්ට් ද එක් විය. 

ශිෂ්‍යයන් හා ගුරුවරුන් දස දහස් ගනනකගේ ජීවිතවලට තර්ජනය කරන්නා වූත්, ජනතාව අතර විශාල පරිමානයෙන් නව ආසාදන ඉහල යාමට අනිවාර්යයෙන් ම තුඩු දෙනු ඇත්තාවූත්, වේගයෙන් පැතිර යන වසංගතයක් මධ්‍යයේ, පාසල් යලි විවෘත කිරීම සඳහා වන ධාවනය, පාලක පන්තියේ ආපසු වැඩට දැක්කීමේ උද්ඝෝෂනයට තීරනාත්මක ය.

කොවිඩ්-19 වසංගතය පැතිර යාමට පෙර පැවති ක්‍රියාවලීන් ප්‍රසාරනය කිරීම හා තීව්‍ර කිරීම පිනිස, එය යොදාගැනීමට පාලක පන්තිය බලාපොරොත්තු වේ: සමාජ අසමානතාවේ වර්ධනය, සමාජීය යටිතල පහසුකම් ඉරා දැමීම සහ ඇමරිකානු ශ්‍රම බලකාය අනියම් ලාභ ශ්‍රම තටාකයක් බවට පරිවර්තනය කිරීම ඒවා ය.

යෝධ පරිමානයක සමාජ අපරාධයක් සිදුකරනු ලැබේ. එම අපරාධයට ගොදුරු වන අය මිනීශාලා හා සොහොන්වල තීරුවෙන් තීරුවට අසුරති. මෙයට වැරදිකාරී පාර්ශව වන්නේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන පාලක පන්තියේ නියෝජිතයන් හා ඔවුන්ගේ මාධ්‍ය සහායකයන් ය. මෙහි ප්‍රේරකය රැඳී තිබෙන්නේ කතිපයාධිකාරයේ හා ධනේශ්වර පද්ධතියේ ධනය ආරක්ෂා කිරීම තුල යි. කම්කරු පන්තියේ ප්‍රතිචාරය විය යුත්තේ සමාජවාදී විප්ලවය යි. වසංගතයෙන් ගලා එන පලා යා නො හැකි නිගමනය වන්නේ මෙය යි.

Loading