ගැඹුරු හා දිග්ගැස්සෙන ගෝලීය අවපාතය පිලිබඳ වැඩෙන සලකුනු

මෙම ලිපිය ජූලි 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

යුරෝපයේ විශාලතම ආයෝජන සමාගමක් වන පීඑන්බී පරිබාස් වත්කම් කලමනාකරනයේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත්තේ, කොවිඩ්-19  වසංගතයේ බලපෑම ලොව පුරා ව්‍යාප්ත වන බැවින් ගෝලීය ආර්ථිකය “සියලු අවපාත පරයා යන” තත්වයකට මූනපා  සිටින බව යි.

ප්‍රධාන විධායක නිලධාරී ෆ්‍රෙඩ්‍රික් ජැන්බන් “වසංගතයෙන් ඉක්මන් ගොඩයාමක් පිලිබඳ අදහස මත  සීතල වතුර වත් කර” ඇති බව කියමින් ඔහුගේ ප්‍රකාශයෙන් උපුටා දැක්වූ ෆිනෑන්ෂල් ටයිම්ස් පැවසුවේ, “ ලෝකය වටා ආර්ථිකයන් බොහොමයක කටයුතුවල ඉතා වැදගත් අඩුවීමක්” සලකුනු කෙරෙන බවයි. 

ජැන්බන් V- හැඩැති ප්‍රකෘතියක් සිදුවිය නො හැකි බව ප්‍රකාශ කල අතර, ආර්ථික කටයුතුවල කිසියම් දියුනුවක් ඇතිවීමට පෙර දිගු අවපාතයක් ගැන පුරෝකථනය කලේය. මාර්තු මැද සිට කොටස් වෙලඳපොලවල් ඉහල නැඟීම, යටින් ඇති ගෝලීය ආර්ථික තත්වයන් පිලිබිඹු නො කරන බව එය පවසයි.

“මාර්තු මාසයේ අවම ලක්ෂ්‍යයක සිට මාස කිහිපයක් තිස්සේ අප දුටු දැවැන්ත රැල්ල, පෙනෙන අන්දමට ඕනෑවට වඩා වේගවත් වන අතර, සමහර විට දෙවන රැල්ලක අවදානම සැලකිල්ලට නො ගනී” යැයි ලොව පුරා වෛරස් ආසාදන ඉහල යාම පෙන්වා දෙමින් ඔහු පැවසී ය. 

“දෙවන රැල්ල” ගැන සඳහන් කිරීම අපනාමයකි. එක්සත් ජනපදය, ලතින් ඇමරිකාව හා ලෝකයේ බොහෝ රටවල පලමු රැල්ල තවමත් වර්ධනය වෙමින් පවතී. එපමනක් නො ව, වෛරසය පාලනය කල ද, ආර්ථිකයට එහි බලපෑම දිගු කල් පවතිනු ඇත. රැකියා මිලියන ගනනක් විනාශ කෙරී ඇති අතර ඒවා ආපසු නො එනු ඇත.

එක්සත් ජනපදයේ බොහෝ විශාල සමාගම් මාර්තු හා අප්‍රේල් මාසවලදී ගත් පියවරයන් ප්‍රමානවත් නො වනු ඇතැ යි තීරනය කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සති අන්තයේ වාර්තා කලේ ය. කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීම හා සම්බන්ධ අගුලු දැමීම් ඉක්මනින් ප්‍රකෘතිමත් වීමේ බලාපොරොත්තු සුන් කර තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ගුවන් සමාගම්වල සිට ආපනශාලා දාමයන් දක්වා වූ ව්‍යාපාර ඔවුන්ගේ මූලෝපාය මාරු කරමින් සිටින්නේ, “කලකට නිවාඩු ගැන්වීම් ස්ථීර දොට්ට දැමීම් බවට හරවමින්, තම ප්‍රධාන ව්‍යාපාරවලින් අවධාරනය ඉවත් කරමින් හා නිෂ්පාදනය දින නියමයක් නො මැති ව අඩු කරමිනි.” 

ගුවන් සේවා කර්මාන්තයේ විශාල රැකියා කප්පාදුවක් මධ්‍යයේ - රැකියා 25,000 ක් අවදානමට ලක්ව ඇති බව ඇමරිකානු ගුවන් සේවය පවසා ඇති අතර යුනයිටඩ් එයාර් ලයින් කාර්ය මන්ඩලයේ රැකියා 36,000 ක් කපා හැරීමට සැලසුම් කරමින් සිටී - ඩෙල්ටා සමාගම ගිම්හානයේ දී අලුතින් ගුවන් ගමන් එකතු කිරීමේ සැලසුම් පසෙක තබා ඇති බවත් ව්‍යාපාරික ගුවන් ගමන් පූර්ව වසංගත මට්ටම්වලට නැවත පැමිනෙනු ඇතැ යි අපේක්ෂා නො කරන බවත් පැවසී ය. 

එක්සත් ජනපදයේ තම විකුනුම් සියයට 87කින් පහත වැටී ඇති බවත් වෙලඳසැල් 20ක් වසා දැමීමට සැලසුම් කර ඇති බවත් සැන්ඩ්විච් දාමය විසින් ප්‍රකාශයට පත් කිරීම පිලිබඳව ප්‍රෙට් ඒ මැන්ගර් සමාගමේ ප්‍රධාන විධායක පැනෝ ක්‍රිස්ටෝ කල ප්‍රකාශය එම ලිපියෙන් උපුටා දැක්වීය. “අපට ගුරුත්වාකර්ෂනය නො සලකා හැර වසංගතයට පෙර තිබූ ව්‍යාපාර ආකෘතිය සමඟ ඉදිරියට යා නො හැක” යයි ඔහු පැවසී ය.

සමස්ත තත්වය සාරාංශගත කරමින් ලිපියේ මෙසේ සඳහන් විය. “මාස ගනනක කඩාකප්පල්කාරී තත්වයකට මුහුන දුන් විධායකයෝ දැන් අවුරුදු ගනන් එසේ වනු ඇතැයි සිතමින් සිටිති. ඔවුන්ගේ රැකියාව (දුෂ්කර අවස්ථා) මග හැර යාමේ සිට නව සොයාගැනීම දක්වා වෙනස් වී ඇත. කලක් වැදගත් යැයි සිතූ කටයුතු දැන් පමන ඉක්මවීමකි. වසන්තයේ දී සකස් කරන ලද මූලෝපායන් දැන් යල්පැන ගොස් ය.”

එනම්, එක්සත් ජනපදයේ හා ලොව පුරා වසංගතයට පෙර ක්‍රියාත්මක වෙමින් තිබුන ක්‍රියාමාර්ග, දැන් වේගවත් කෙරෙමින් තිබේ. සමස්ත කර්මාන්තය විසින්, රැකියා මිලියන ගනනක් විනාශ කෙරෙන ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරනු ලැබේ. මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කර ඇති සීමිත ආධාරක පැකේජ ඉවත් කර ගැනීමට  ආන්ඩු මුල පිරීමත්  සමඟ, රැකියා විරහිත තර්ජනය යටතේ ඉතිරිව සිටින අයට පහල වැටුප් හා කොන්දේසි පිලිගැනීමට බල කෙරෙනු ඇත.

අර්බුදයේ බලපෑම් සමස්ත ආර්ථිකය පුරා විහිදේ. වසරේ මුල් භාගයේ දී ගෝලීය දේපල වෙලඳාම් ආයෝජනය සියයට 33 කින් පහත වැටී ඇති බව බ්ලූම්බර්ග් ඊයේ වාර්තා කලේ ය. මේ වන විට ආසියා-පැසිෆික් කලාපයට වඩාත්ම පහර වැදී ඇත්තේ, ආයෝජන පසුගිය වසරට වඩා සියයට 45න් අඩුවීමත් සමඟ යි.

ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය එක තැන පල් වීම හමුවේ, වසරේ මුල් භාගයේ දී හෝටල් ආයෝජනය සියයට 59 කින් පහත වැටුනි. කුඩා දේපලවල ආයෝජනය සියයට 41 කින් පහත වැටුනි.

අග්නිදිග ආසියානු කලාපයේ වෙලඳ මංතීරුවල කේන්ද්‍රයේ පිහිටා ඇති සිංගප්පූරු ආර්ථිකයේ දැවැන්ත සංකෝචනය තුල, වඩාත් තියුනු ලෙස ප්‍රකාශ වන්නා වූ, වෙලඳාමේ පහත වැටීම, අපනයන මත යැපෙන ආර්ථිකයන්ට විනාශකාරී පහරවල් එල්ල කරමින් තිබෙන බවට වන ප්‍රකාශනයකි.

පසුගිය සතියේ එරට වෙලඳ හා කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, දෙවන කාර්තුවේ දල දේශීය නිෂ්පාදිතය (දදේනි) පෙර මාස තුනට වඩා සියයට 41.2 කින් අඩු විය.

එක්සත් ජනපදය හා චීනයෙන් පසු ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානය, පූර්ව මාස තුනට සාපේක්ෂ ව දෙවන කාර්තුවේ දී දල දේශීය නිෂ්පාදිතයේ සියයට 20ක හැකිලීමක් වාර්ෂික පදනමින් ප්‍රකාශයට පත් කරනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

2020 හා 2021 සඳහා වන සමස්ත නිෂ්පාදන අලාභය ඩොලර් ට්‍රිලියන 12.5 දක්වා ලඟා වනු ඇති අතර මේ වසරේදී ගෝලීය දල දේශීය නිෂ්පාදිතය සියයට 4.9 කින් හැකිලෙනු ඇතැ යි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

පලමු කාර්තුවේ දී සියයට 6.8 කින් හැකිලීමෙන් පසුව චීනය, දෙවන කාර්තුව සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.2 ක වර්ධනයක් වාර්තා කලේ ය. මෙම වැඩිවීම බොහෝ දුරට වානේ නිෂ්පාදනය ඉහල යාමට හේතු වූ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා පලාත් පාලන ආයතනවලට නය ලබා ගත හැකි ප්‍රමානය වැඩි කිරීමට මධ්‍යම රජය ගත් තීරනවල ප්‍රතිඵලයකි. කෙසේ වෙතත්, සිල්ලර විකුනුම් සියයට 3.9 කින් පහත වැටුනි.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශිකා ලියු අයිහුආ  සංඛ්‍යාලේඛන “ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වීමක්” පෙන්නුම් කරන බව පැවසූ නමුත්, කොරෝනා  වෛරසය අඛන්ඩව පැතිරීම හේතුවෙන් “වැඩිවන බාහිර අවදානම් හා  අභියෝග” පෙන්වා දුන්නා ය.

2008 මූල්‍ය අර්බුදයෙන් පසුව, කිසියම් පුනර්ජීවනයක සලකුනු නො සලකා, රජයේ වියදම් හා නය වැඩි කිරීමේ ප්‍රතිඵලයක් වූ, දැවැන්ත උත්තේජක පැකේජයක්, ලොව වටා අමුද්‍රව්‍ය අපනයන ආර්ථිකයන්ට තල්ලුවක් ලබා දුන් නමුත්, චීන ආර්ථිකයට දැන් එම භූමිකාව ඉටු කිරීමට නො හැකි වනු ඇත. 

යුරෝපය තුල, යුරෝපීය මහ බැංකුව (ඊසීබී), දෙවන කාර්තුවේ දී සියයට 13 කට ආසන්න හැකිලීමක් සමග තුන්වන කාර්තුවේ ආපසු හැරීමක්  පුරෝකථනය කර ඇත. එහෙත් පසුගිය සතියේ එහි පාලක මන්ඩල රැස්වීමකින් අනතුරුව, ඊසීබී සභාපතිනි ක්‍රිස්ටීන් ලගාඩ් අනතුරු ඇඟවූයේ, ආදායම හා රැකියා අහිමිවීම මෙන්ම “සුවිශේෂී ලෙස ඉහල යන අවිනිශ්චිතතාව,” පාරිභෝගික මනෝගතීන් හා ව්‍යාපාර ආයෝජන මත බරක් වනු ඇති බව යි.

ඊසීබී හි මූල්‍ය ප්‍රතිපත්තිය අත්හිටුවා ඇති අතර, එය ඩොලර් ට්‍රිලියන 1.35 ක වත්කම් මිලදී ගැනීමේ වැඩපිලිවෙල ලබන වසරේ ජුනි මාසය දක්වා පෙරට ගෙනයන බව නිවේදනය කරමින් ලැගාඩ්, යුරෝපා සංගමයේ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, කාලය නාස්ති නො කර, වසංගතයෙන් පහර වැදුනු රටවල් සඳහා ඩොලර්  [බිලියන] 750  ක ප්‍රතිසාධන අරමුදල සඳහා එකඟතාවකට පැමිනෙන ලෙස යි.

ඊට පසු යුරෝපා සංගම් නායකයින් ඉතිහාසයේ දෙවන දීර්ඝතම රැස්වීම පැවැත්වීය. සිකුරාදා පටන්ගෙන අඟහරුවාදා පාන්දර වන විට ඔවුන් එකඟත්වයකට "ආසන්න වෙමින්" සිටින බවට වාර්තා වීමට පෙර, එය කටුක ගැටුම්වලින්  සලකුනු කෙරුනි. 

ප්‍රධාන ගැටුම වූයේ ආරම්භක ප්‍රන්ස-ජර්මානු සැලැස්මේ යෝජිත ආර්ථික වශයෙන් දුර්වල රටවලට ඩොලර් බිලියන 500ක ප්‍රදාන වෙන් කිරීම සැලකිය යුතු ලෙස අඩු කරන මෙන් ඉල්ලා සිටි නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය හා ස්වීඩනය යන ඊනියා “සකසුරුවම් හතරදෙනා” සමඟ ය.

ගිවිසුමක් ඇති කර ගැනීමට අපොහොසත් වීම “යුරෝපයේ තනි වෙලඳපොල විනාශයට” හේතු විය හැකි බව පැවසීමට එක් අවස්ථාවකදී ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ මෙහෙය වුනි. මේ වන විට භේදය වසන් වී ඇති නමුත් ගැඹුරු වන අවපාතය යටතේ බෙදීම් නැවත මතුවනු ඇත.

Loading