එක්සත් ජනපද රාජ්‍ය ලේකම් චීනය සමඟ ගැටුමට හේතු ගොතයි

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

බොරු, කුහකකම සහ කොමියුනිස්ට් විරෝධී වාචාලකම් වලින් පිරි බ්‍රහස්පතින්දා කල කතාවක දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, චීනය සම්බන්ධයෙන් දශක ගනනාවක් තිස්සේ අනුගමනය කල ඇමරිකානු ප්‍රතිපත්තිය, නිල වශයෙන් අවලංගු කල අතර, බීජිනය සමඟ වොෂින්ටනයේ ගැටුම තවදුරටත් තීව්‍ර කිරීමට වේදිකාව සැකසීය.

ජනාධිපති රිචඩ් නික්සන්ගේ නිවස සහ පුස්තකාලය කථාව පැවැත්වීමට තෝරා ගැනීමම, පොම්පියෝගේ පනිවිඩය කුමක්දැයි අවධාරනය කරයි. චීනය සමඟ සහයෝගීතාවයක් වෙනුවෙන් පෙනීසිටි, එවකට සිය ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසිංගර් සමඟ නික්සන් එවැන්නක් ඇති කර ගත්තේය. 1972 දී නික්සන් බීජිං බලා ගමන්කල අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) නායක මාඕ සේතුං හමුවිය. එය, 1979 දී දෙරට අතර පූර්න රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමට මග පෑදීය.

පොම්පියෝ ප්‍රකාශ කලේ, “ෂී ජින්පින් සිහින දකින චීන සියවස නොව, නිදහස් 21 වන සියවසක්  අපට අවශ්‍ය නම්, චීනය සමඟ අන්ධව සම්බන්ධ වීමේ පැරනි ආදර්ශය” වෙනුවට “මෙ නව කෘෘරත්වය පරදා නිදහස් ලෝකය ජය ගත යුතුය” යනුවෙනි. ඔහු තවදුරටත්, “අපි චීනය වඩාත් නිර්මානශීලී හා ස්ථීර ආකාරයකින් වෙනස් කිරීමට පොලඹවා ගත යුතුයි. මක්නිසා ද යත් බීජිනයේ කටයුතු, අපගේ ජනතාවටත්, අපගේ සෞභාග්‍යටත් තර්ජනයක් වන බැවිනි” යයි පැවසීය.

එක්සත් ජනපද යුද නැව් [අනුග්‍රහය: Flickr.com/US නාවික හමුදාව]

පොම්පියෝ සීතල යුද්ධයේ වංචනික “කොමියුනිස්ට් චීනය” ගැන සඳහන් කරමින්, එය පාලනය වුනේ “මාක්ස්-ලෙනින්වාදී තන්ත්‍රයක්” යටතේ බවත් “මහ ලේකම් ෂී ජින් පිං, බංකොලොත් ඒකාධිපති මතවාදය සැබෑවටම විශ්වාස කරන්නෙකු” බවත් පැවසීය.

එවැනි දෝස්මුරයක් යථාර්ථයට කිසිදු සම්බන්ධයක් නොදක්වයි. 1972 සම්මුතිය, චීනය එක එල්ලේ ධනවාදී පුනස්ථාපනයට සහ ලෝකයේ විශාලතම ලාභ ශ්‍රම වේදිකාව බවට පරිවර්තනය කිරීමට මග පෑදීය. වොෂිංටනයේ භීතිය චීන කොමියුනිස්ට්වාදය ගැන නොවේ. වේගයෙන් වර්ධනය වන චීන ධනවාදය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය අභිලාෂයන්ට හා අවශ්‍යතාවන්ට තර්ජනයක් වීම ගැනයි.

කොමියුනිස්ට්වාදයට එරෙහි “නිදහස් ලෝකය” පිලිබඳ සීතල යුද්ධ ප්‍රචාරය, සැමවිටම, වියට්නාමයේ නව යටත් විජිත යුද්ධය ඇතුලු ප්‍රජාතන්ත්‍ර විරෝධී එක්සත් ජනපද මැදිහත්වීම් සහ ආක්‍රමන සඳහා වැරහැලිවූ කඩතුරාවක් විය. එහෙත් පොම්පියෝ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොංකොං හි “මානව හිමිකම්” සහ ෂින්ජියැන්ග් පලාතේ මුස්ලිම් උයිගුර්වරුන්ට සැලකීම සම්බන්ධයෙන් බීජිනයට දොස් නඟද් දී කුහකකම නව මට්ටමකට නංවා ඇති අතර,  පෝට්ලන්ඩ් වැනි ඇමරිකානු නගරවල  සාමකාමී විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් දැමීමට සහ අත්තනෝමතික ලෙස පුද්ගලයන් අල්ලා ඇදගෙන යාමට කඩාපනින ෆෙඩරල් හමුදා භටයින් (storm troopers) යොදවා ඇත.

පොම්පියෝ බීජිනය හෙලා දැකීම සලකුනු කරන්නේ, කියනු ලබන චීනයේ මුරන්ඬුකම නොව, ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික පරිහානිය හා ට්‍රම්ප් පාලනාධිකාරයේ දැවැන්ත අර්බුදය යි.

චීනය, COVID-19 හි අන්තරායන් වසන් කර ඇති බව කියන ට්‍රම්ප්ගේ බොරුවේ අරමුන, රට තුල පුලුුල් විරෝධයක් ජනනය කර ඇති, වසංගතයට ඔහුගේ පරිපාලනය දක්වන ප්‍රතිචාරයේ විනාශකාරී හා සාපරාධී ස්වභාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමයි.

චීන ඔත්තු බැලීම සහ “බුද්ධිමය දේපල සොරකම” පිලිබඳ සනාථ නොකල චෝදනා, එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියේ මහා පරිමාන ගෝලීය ඔත්තු බැලීම නොසලකා හරින අතර, ඇමරිකානු අධි තාක්‍ෂනික ආධිපත්‍යයේ පිරිහීම අවධාරනය කරයි. චීන විදුලි සංදේශ දැවැන්තයා වන හුආවේ එතරම් “ජාතික ආරක්ෂාවට තර්ජනයක්” නොව චීනයේ එක්සත් ජනපද ව්‍යාපාරික ප්‍රතිවාදීන්ට අවදානමකි.

ඒ සමානවම, ඇමරිකානු නිෂ්පාදන බාහිරට යැවීම (outsourcing) චීන කුමන්ත්‍රනයක් නොව, එක්සත් ජනපද ව්‍යාපාරවල ලාභදායීතාවය පහත වැටීම නිසා සිදුව ඇත්තකි. ට්‍රම්ප්ගේ ආරක්ෂනවාදී වෙලඳ යුද ක්‍රියාමාර්ග, ඇමරිකානු රැකියා ආරක්ෂා කිරීමක් නොව, යුද්ධයට එක්සත් ජනපදයේ දුරදිග යන සූදානමක කොටසකි.

ට්‍රම්ප්ගේ ඡන්ද පදනම හෝදා පාලුවීමේ කොන්දේසි යටතේ අර්ධ වශයෙන් අනුමාන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝසෆ් බිඩෙන්ට එරෙහිව චීන විරෝධී උද්ඝෝෂනය වේගවත් කිරීම යොමු වී තිබුනත්, ඊට වඩා පුලුල් වෛෂයික වැදගත්කමක් ඇත.

චීනය “අප මීට පෙර කවදාවත් නොදුටු සංකීර්න නව අභියෝගයක්” වී ඇති හෙයින් “මධ්‍යස්ථ” (“containment”) සීතල යුද්ධ ප්‍රතිපත්තිය කරා නැවත නොයන බව පොම්පියෝ ප්‍රකාශ කලේය. “සෝවියට් සංඟමය නිදහස් ලෝකයෙන් ඈත්වී ඇති අතර, කොමියුනිස්ට් චීනය දැනටමත් අපේ දේශසීමා තුලටම පිවිස ඇත ” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය. මෙය චීනයේ සහ එක්සත් ජනපදයේ සංකීර්න ආර්ථික ගැටුම ගැන ඇඟවුම් කරයි.

පොම්පියෝගේ ප්‍රකාශය, කොරියානු යුද්ධයේදී ප්‍රමුඛ තැනකට පැමිනි, 1950 දශකයේ මුල් භාගයේ ඇමරිකානු පාලක කවයන්හි විවාදය සිහිපත් කරයි. මධ්‍යස්ථභාවය සඳහා විකල්පය වූයේ, “පෙරලීම”, එනම් සෝවියට් සංගමය, නැගෙනහිර යුරෝපය සහ චීනය යන රටවල ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර, යුද්ධය ඇතුලු සියලු ක්‍රම හරහා පෙරලා දැමීමේ මූලෝපායකි.

එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘෘමන්, පූර්න පරිමාන ලෝක යුද්ධයේ තර්ජනයක් වන, චීනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කරන ලෙස ඉල්ලා සිටි කොරියාවේ ඔහුගේ අනදෙන නිලධාරී ජෙනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු ධුරයෙන් පහ කලේය.

මධ්‍යස්ථ පිලිවෙත කරා යලි නොයන බවට පොම්පියෝ කරන ප්‍රකාශයේ ඇඟවුම, දිග්ගැස්සුනු නව සීතල යුද්ධයක ආරම්භය නොව, බීජිනයේ පාලන තන්ත්‍ර වෙනසක් අරමුනු කරගත් ප්‍රතිපත්තියකි. “අපට මෙම අභියෝගයට තනිවම මුහුන දිය නොහැක. “එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝව, ජී 7 රටවල්, ජී 20 ඇතුලු අපගේ ඒකාබද්ධ ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි බලය මහත් ධෛර්යයකින් යුතුව කෙලින්ම මෙහෙයවන්නේ නම්, අභියෝගය පැහැදිලිවම ජයගත හැකිය.”

පොම්පියෝ ඇඟවුම් කලේ එක්සත් ජනපදය, සිය මූලෝපායික හවුල්කරුවන්, වොෂින්ටනයේ පිලිවෙතින් බැහැරවීම නොඉවසන බවයි. “හොංකොං සම්බන්ධයෙන් නැගී සිටීමට අපොහොසත් වීම” ගැන ඔහු ජර්මනිය පිලිබඳව සියුම් විවේචනයක් කලේය. “බීජිනය චීනයේ වෙලඳපලට පිවිසීම සීමා කරනු ඇතැයි ඔවුන් බිය වෙති.” ඔහු තවදුරටත් කියා සිටියේ, “මෙය ඓතිහාසික අසාර්ථකත්වයට තුඩු දුන් ආකාරයේ හීලෑකමකි, අපට එය නැවතත් සිදුවීමට ඉඩදිය නොහැක.”

නික්සන්ගේ බීජිං සංචාරය චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හේතු වූ අතර ට්‍රම්ප් පරිපාලනය එම සබඳතා විනාශ කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. “ඔත්තු බැලීමේ හා බුද්ධිමය දේපල සොරකම් කිරීමේ කේන්ද්‍රස්ථානයක්” ලෙස සනාථ නොකල චෝදනා යටතේ එක්සත් ජනපදය, හූස්ටන්හි චීන කොන්සල් කාර්යාලය වසා දමා ඇති බවට පොම්පියෝ පුරසාරම් දෙඩුවේය.  ඇහිඳගත් චීන විරුද්ධවාදීන් ද ඇතුලත් ඔහුගේ දක්ෂිනාංශික ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීතිඝෝෂාවට මෙය හේතු විය.

බීජිං හි සැන් ෆ්‍රැන්සිස්කෝ කොන්සල් කාර්යාලයේ සැඟවී සිටි බව කියන චීන විද්‍යාඥයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු දැන්, එක්සත් ජනපද ව්‍යාපාර පිලිබඳ බුද්ධිමය දේපල සොරකම් කිරීම සඳහා “ඔත්තු බැලීමේ ජාලයක්” පවත්වාගෙන යාමට චීනය සිය රාජ්‍යතාන්ත්‍රික තනතුරු භාවිතා කල බවට අධිකරන දෙපාර්තමේන්තුව චෝදනා කරයි.

ට්‍රම්ප් සිය සමාරම්භක උත්සවයට මොහොතකට පෙර චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල පදනම ප්‍රශ්න කලේය. එනම් තායිවානයත් ඇතුලු සමස්ත චීනයේ නීත්‍යානුකූල පාලනය ලෙස බීජිනය පිලිගන්නා ඊනියා එක්-චීනයක් පිලිබඳ ප්‍රතිපත්තියයි. මෙම ප්‍රතිපත්තිය අවලංගු කිරීම චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරනු ඇත. මෙය ට්‍රම්ප් කිසි විටෙකත් අකුලාගෙන නැති අතර දැන් එය වෙනත් මාධ්‍යයන් තුලින් පෙරට ගෙනයයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දැමීම යුද්ධයට යන මාවතේ ඉහල අවධියකි.

පොම්පියෝගේ කතාවට පෙරාතුව පෙන්ටගනය, දකුනු චීන මුහුදේ මහා පරිමාන හා ප්‍රකෝපකාරී යුද අභ්‍යාස පැවැත්වීය. හයිනාන් දූපතේ සංවේදී චීන නාවික කඳවුරු හා චීන ප්‍රධාන භූමියේ දොරටුව අසලය. එක්සත් ජනපද ගුවන් යානා හාරක නෞකා දෙකක් සහ ඒවායේ ප්‍රහාරක බලඇනි යුද්ධය සඳහා “ඉහල මට්ටමේ” පෙරහුරුවක් සිදු කල අතර ඉන් අනතුරුව අසල්වැසි පිලිපීන මුහුදේ ඕස්ට්‍රේලියානු හා ජපාන යුද නැව් සමඟ තවත් හමුදා අභ්‍යාස පවත්වන ලදී.

බිඩෙන් සහ ජනාධිපති බරක් ඔබාමා, බීජිනය කෙරෙහි වඩා මෘදු පිලිවෙතක් අනුගමනය කලේ යයි ට්‍රම්ප් සහ ඔහුගේ හෙංචයියන් විසින් කරන ලද චෝදනාව, ඔබාමා පාලනාධිකාරයේ චීනයට එරෙහි “ආසියාවට හැරීම” මගින් බොරු කරයි. ඔබාමා ආසියාව පුරා චීනයට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික වශයෙන් මුහුන දුන්නා පමනක් නොව, 2020 වන විට එක්සත් ජනපද යුද නැව් සහ යුද ගුවන් යානා වලින් සියයට 60 ක් කලාපයේ ස්ථානගත කරන බව පවසමින් දැවැන්ත එක්සත් ජනපද මිලිටරි තරකිරීමකට මුල පිරීය.

වොෂිංටනයේ සමස්ත දේශපාලන සංස්ථාපිතයම - ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් එක හා සමානව - මෙම භයානක යුද ව්‍යායාමයට කැපවී සිටිති. බිඩෙන්ගේ මැතිවරන මූලෝපායේ ප්‍රධාන අංගයක් වන්නේ බීජිනයට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීමට අපොහොසත් වීම නිසා ට්‍රම්ප්ට දකුනෙන් පහර දීමයි.

පොම්පියෝ කතා කලේ තමා වෙනුවෙන් පමනක් නොවේ. ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, එෆ්බීඅයි අධ්‍යක්ෂ ක්‍රිස් ව්රේ සහ නීතිපති විලියම් බාර් විසින් මෑතකදී කරන ලද සමාන චීන විරෝධී කථා මාලාවක් ගැන ඔහු සඳහන් කලේය. මේ සතියේ ෆොක්ස් නිවුස් හි පෙනීසිටි ෆැසිස්ට් වර්ගයේ ට්‍රම්ප්ගේ  හිටපු උපදේශක ස්ටීව් බැනන් ඔවුන් විස්තර කලේ, ට්‍රම්ප්ගේ “යුද කවුන්සිලයේ” “එලිදරව්වී ඇති අසරුවන් සිව්දෙනා” යනුවෙනි. ඔවුන්ගේ රාජකාරිය වන්නේ, “පලමුව අභිමුඛ කර පසුව චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ගනුදෙනු බේරාගැනීමය.”   පොම්පියෝගේ කතාව තුල අන්තර්ගතව තිබුන දෑ බැනන් වඩාත් සෘජුලෙස ගෙනහැර දක්වා ඇතුවා පමනි. 

ඇමරිකානු පාලක පන්තියේ නොසැලකිලිමත්කමේ තරම මෙසේ සිහිපත් කල හැකිය: “දෙවිවරුන්, විනාශ කිරීමට යන අය මුලින්ම පිස්සු වට්ටයි.” COVID-19 වසංගතය විසින් වේගවත් කර ඇති ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයට මුහුන දී සිටින ට්‍රම්ප් පරිපාලනය, දැවැන්ත සමාජ ආතතීන් බාහිර සතුරෙකුට එරෙහිව පිටතට හරවා විභව ප්‍රතිවාදියෙකු “පහතට” ඇද දැමීමේ මංමුලා සහගත උත්සාහයක දී, චීනයට පහර දෙයි.

එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුනයින්ට ලෝක ජනතාව විනාශකාරී යුද්ධයකට ඇද දැමීමට ඉඩ දිය නොහැක. ගෝලීය ධනවාදය සහ යුද්ධයේ මූල හේතුව වන එහි ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් බංකොලොත් ක්‍රමය අවසන් කිරීම සඳහා, සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂවල ඉදිරිදර්ශනය එයයි.

Loading