COVID-19 රෝගීන් මිලියන 16 ඉක්මවා යද්දී, වසංගතය සංවර්ධනය වෙමින් පවතින ජාතීන් විනාශකරයි

මෙම ලිපිය අද දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

සති අන්තයේ වාර්තා වී ඇති අස්ථාවර සංඛ්‍යා සහිත පහත බැසීම නොතකා, ගෝලීය SARS-CoV-2 වසංගතය, පෘථිවියේ වැසියන්ට විනාශය ගෙන ඒමේ රුදුරුකම පෙන්වයි. සෙනසුරාදා මිලියන 16 ක්  ඉක්මවූ රෝගීන් සංඛ්‍යාව, ගෝලීය ඒක පුද්ගල ජනගහනයට අනුපාතිකව සියයට 0.21 ක් හෙවත්  ජනගහනය මිලියනයකට 2,089 ක් දක්වා ඉහල ගියේය. හඳුනා නොගත් රෝගීන්ගේ සංඛ්‍යාව 5 හෝ 10 ගුනයකින් වැඩිවිය හැකි වුව ද, බොහෝ සෙයින් වසංගතය තවමත් එහි වර්ධනයේ ආරම්භක අවධියේ පවතී.

නුදුරු අනාගතයේදී ස්වාභාවික රංචු ප්‍රතිශක්තිය පිලිබඳ අපේක්ෂාව, කුමන ආකාරයකින් ගත්ත ද දුරස්ථ වන අතර, ශක්‍ය එන්නතක් හඳුන්වා දීම භූ-දේශපාලනික අවුලක් වනු ඇති අතර, එක්සත් ජනපද පරීක්ෂන අවුල දරුවන්ගේ ක්‍රීඩාවක් බවට පත්ව ඇත. ඔවුන්ගේ ආන්ඩුවල ලාභදායී ගනුදෙනු වලින් තරවී සිටින බොහෝ කර්මාන්ත, වසංගතය ලාභ ඉපැයීමේ මඟක් ලෙස ඉක්මනින්ම තේරුම් ගෙන ඇත.

දින හතක නව ආසාදන  සාමාන්‍යය, දිනකට 253,089 දක්වා ඉහල ගොස් තිබේ. මරන 650,000 කට වඩා වැඩි වී ඇති අතර දින හතක මරන සාමාන්‍යය, දිනකට  5,655 ක් දක්වා ඉහල නැඟ ඇත. හදිසියේ ඉහල නැඟුන සංඛ්‍යාලේඛන වලින් පෙන්වන එක් කරුනක් වන්නේ, බරපතල හෝ අසාධ්‍ය ආසාදිත පුද්ගලයින්ගේ කාන්ඩයයි. අප්‍රේල් 29 වන දින රෝගීන් 59,817 ක් දක්වා ඉහල ගිය පසු එය 44,583 ක් දක්වා අඩු වූ අතර පසුව එය නැවත නැගීමට පටන් ගත්තේය. මේ වන විට එය රෝගීන් 66,170 ක් දක්වා ඉහල ගොස් තිබේ. මෙම රෝගීන්ගේ මරන අනුපාතය සියයට 30 සිට 50 දක්වා වෙනස් වන අතර, එයින් ඇඟවෙන්නේ දෛනික මරන සංඛ්‍යාව යම් කාලයක් සඳහා නොනැවතී ඉහල යන බවයි.

දකුනු අප්‍රිකාවේ ඔලිෆන්ට්ස්වැලි සුසාන භූමියේ දී අවසන් කටයුතු කෙරෙන අයුරු (ඡායාරූපය අනුග්‍රහය/ මිෂෙල් ස්පාටාරි)

එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවල් තුනේ රෝගීන් සංඛ්‍යාව මිලියන දහයකට වඩා වැඩිය. තවත් රටවල් 20 ක් රෝගීන් 100,000 කට වඩා වාර්තා කර ඇත. වසංගත ආසාදිතයින් ඉහල අනුපාතයක් ගන්නා හෝ ඉහල නඟින රටවල් අතර දකුනු අප්‍රිකාව, ඉන්දියාව, මෙක්සිකෝව, කොලොම්බියාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය වේ.  ඉරානයේ මාරාන්තික අනුපාතය, දිනකට මරන 200 කට වඩා වැඩි වන අතර, ආරම්භක වැඩිවීම පෙන්වූ මාර්තු මාසයට වඩා එය ඉහල අගයක් ගෙන තිබේ. ප්‍රධාන ධාරාවේ COVID-19 වාර්තා අතරට ගැනෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරට, සෞඛ්‍යාරක්‍ෂක යටිතල පහසුකම් කඩාවැටීමට ආසන්නව ඇති ඉන්දුනීසියාව, පිලිපීනය, කසකස්තානය සහ කිර්ගිස්තානය ඇතුලත් ය.

ශීත සෘතුව එලඹෙන දකුනු අප්‍රිකාව මේ වන විට අප්‍රිකානු මහාද්වීපය තුල COVID-19 වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර, වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවෙන් ලෝකයේ පස්වන ස්ථානයට පත්ව ඇත. මෙය ලියන අවස්ථාව වන විටත්, ආසාදන 445,433 ක් වාර්තා වී ඇති අතර, ඉන් අඩක්ම තහවුරු වී ඇත්තේ ජූලි 7 වනදා සිට ය. මරන 6,769 ක් වාර්තා වී ඇති අතර, දින හතක සාමාන්‍යය වූ 244, දැන් දිනකට  සිදුවන්නා වූ ප්‍රමානයයි. සෙනසුරාදා මරන 312 ක් සිදුවිය.

වැඩිවන ආසාදන වලක්වා ගැනීම සඳහා, ජුනි මාසයේදී විවෘත කරන ලද පාසල් අවම වශයෙන් සති හතරක්වත් නැවත වසා දමනු ලබයි. පරීක්ෂාවට ලක් කල සිසුන් සහ ගුරුවරුන් දහස් ගනනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගෙන ඇත. වසංගත රෝග ආකෘතිකරනයෙන් Epidemiological modeling පෙන්නුම් කරන්නේ, වර්තමාන නැගීමේ උච්චතම අවස්ථාව සැප්තැම්බරයෙදී ඇතිවන බවයි. ජුනි මාසයේදී තම ආර්ථිකයන් විශාල වශයෙන් නැවත විවෘත කිරීමට පියවර ගත් බොහෝ රටවල් මෙන්ම දකුනු අප්‍රිකාව ද, දැන් තම ජනතාවගේ සෞඛ්‍යයට ඇති කෙරෙන ප්‍රතිවිපාක හෝ ආර්ථිකයේ සෞඛ්‍යය තෝරා ගැනීමට මුහුන දී සිටී.

ෂයිට් පූජකවරයා ඉරාකයේ COVID-19 ගොදුරුවූ අයෙක් වෙනුවෙන් යාඥා කරයි. (ඡායාරූපය අනුග්‍රහය/ AP)

වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව, දකුනු අප්‍රිකාවේ සිදු කෙරෙන සියලුම පරීක්ෂන වලින් සියයට 25 ක්ම ධනාත්මක ප්‍රතිපල පෙන්වයි. දකුනු අප්‍රිකානු වෛද්‍ය පර්යේෂන කවුන්සිලය පැවසුවේ, මැයි 6 සිට ජූලි 14 දක්වා කාලය තුල, පෙර වසරවලට සාපේක්ෂව අමතර මරන 17,090 ක් සිදුව ඇති බවයි. ජොහැන්නස්බර්ග්හි ගෝතෙන්ග් පලාත සහ අගනුවර වන ප්‍රිටෝරියා යන ප්‍රදේශවල රෝහල් ඇඳන් හිඟවීමත් සමඟ නව රෝගීන් සඳහා ක්ෂේත්‍ර රෝහල් ඉදිකරනු ලැබේ.

ක්‍රිස් හනි බරග්වානාත් රෝහලේ හෙදියක් ඉතාලියේ, ස්පාඤ්ඤයේ සහ නිව්යෝර්ක් නගරයේ සිදුවීම් පරයා යන තත්වය මෙසේ  සඳහන් කලාය: “අපේ රෝහල දැනටමත් සම්පූර්නයෙන් පිරී ඇත. පසුගිය සති දෙක තුල රෝගීන්ගේ ගලා ඒමක් දක්නට ලැබුනි. COVID වාට්ටුවල සේවය නොකරන අපේ සගයන් පවා පරීක්‍ෂන වලින් වැඩි වැඩියෙන්  ධනාත්මක  positive යයි තීරනය කෙරේ.” අප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයින් 8,000 කට වඩා ආසාදනය වී ඇති අතර, දකුනු අප්‍රිකාවේ 4,000 ත් 5,000 ත් අතර සංඛ්‍යාවක් ධනාත්මක යයි පරීක්‍ෂා කර ඇති බවට ගනන් බලා තිබේ. මාසය අවසන් වන විට රෝහල් ඇඳන් පිරී යනු ඇතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. වෛද්‍ය ඔක්සිජන් medical oxygen හිඟය ද දැඩි කනස්සල්ලට හේතු වේ.

වසංගතයට පෙර සිටම විරැකියාව සියයට 30 ක් දක්වා ඉහල යාමත් සමඟ දකුනු අප්‍රිකාවේ ආර්ථිකය, අවපාතයක පැවතුනි. රට මත පනවා ඇති දැඩි අගුලු දැමීමෙන් දල දේශීය නිෂ්පාදිතය සියයට 33 කින් පහත වැටුනි. වර්ෂය තුල ආර්ථිකය සියයට 7.3 කින් හැකිලෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. කම්කරුවන්ගෙන් සියයට 25 කට වඩා වැඩි පිරිසකට වැටුප් අහිමි වී ඇති අතර, කුටුම්භයන්ගෙන් අඩකට පමන ආහාර මිලදී ගැනීම සඳහා මුදල් හිඟ වී ඇත.

 දශක ගනනාවක සම්බාධක, යුද්ධ සහ දූෂනය නිසා ඉරාකයේ සෞඛ්‍ය පද්ධතිය විනාශ වී ඇත. දැන් එරට COVID-19 ආසාදන ඉහල නඟිමින් ඇති අතර ඊයේ දිනයේදී මුලු රෝගීන් සංඛ්‍යාව 110,000 ක් වූ අතර  දිනය තුල නව රෝගීන් 2,459 ක් හඳුනාගෙන ඇත. සියලු රෝගීන්ගෙන් හා මරන වලින් අඩක්ම වාර්තාවී ඇත්තේ ජූලි මාසයේ සිට ය. මිලියන 39 ක ජනගහනයක් සිටින රටක පරීක්ෂන මිලියනයකට වඩා අඩු සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, ජාතියේ සැබෑ සංඛ්‍යා නිල සංඛ්‍යා වලට වඩා එය බෙහෙවින් නරක තත්වයක් වනු ඇත.

කිර්ගිස්තානයේ ක්ෂේත්‍ර රෝහල (ඡායාරූපය අනුග්‍රහය/ ව්ලැඩිමීර් පිරෝගොව්)

මිනිසුන් අතර ඇති අවිශ්වාසය සැලකිල්ලට ගත් කල, සෞඛ්‍ය සේවකයින් අපයෝජනයට හා ප්‍රචන්ඬත්වයට මුහුනපා සිටී. අල්-මොනිටර් සමඟ අදහස් දක්වමින් ඉරාක වෛද්‍ය සංගමයේ ප්‍රධානී අබ්දුලාමීර් මොහ්සින් හුසේන් පැවසුවේ, “බොහෝ වෛද්‍යවරුන්, ඔවුන්ගේ පුද්ගලික අයිතීන් සහ උසාවිවල පැමිනිලි කිරීම් අත්හැරීමට බල කරන ත්‍රිත්ව තර්ජනයන්ට ලක්ව ඇත.” වෛද්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආන්ඩුව අවධානය යොමු කරන්නේ අල්ප වශයෙනි. “සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හා කෙටුම්පත් අනුගමනය කලත්, එය කඩදාසියට සීමාවූ මාධ්‍ය සංදර්ශනයකට වැඩි දෙයක් නොවේ. වැඩිවන රෝගීන් සංඛ්‍යාව සමඟ පොර බැදිය හැකි  රෝහල් ඇත්තේ කිහිපයක් පමනි. රෝග විනිශ්චය මෙවලම් සහ චිකිත්සක උපකරනවල හිඟයක් පවතී. ”

සැපයුම්, විශේෂයෙන් ඔක්සිජන් අඩු මට්ටමක පවතිද්දී දූෂනය පැතිරී ඇත. බොහෝ වෛද්‍යවරු රට අතහැර යමින් සිටින්නේ, පිලිගත නොහැකි මංමුලා සහගත තත්වයක් පවතින බැවිනි. මිනීවලවල් කනින්නෙක් සීඑන්එන් වෙත පැවසුවේ, දිනකට සිරුරු 70 ත් 80 ත් අතර ප්‍රමානයක් ඔවුන්ට ලැබෙන බවයි. දිවා කාලයේ දැරිය නොහැකි හිරුරැස් බැසයන සවස් කාලයේ ඔවුන් තම රාජකාරි කටයුතු අරඹයි.

ජුලි 28 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වෙන මක්කම හජ් වාර්ෂික මුස්ලිම් වන්දනා කාලයේදී සාමාන්‍යයෙන් ලොව පුරා මිලියන ගනනක් ජනයා ශුද්ධ නගරයට පැමිනෙති. කෙසේ වෙතත්, ඉරානයෙන් පසු මැද පෙරදිග දෙවන විශාලතම වසංගත උවදුර සමඟ පොරබදමින් සිටින සෞදි බලධාරීන්, මේ වන විටත් රටේ දේශසීමා තුල සිටින 10,000 කට අඩු පිරිසකට මෙම උත්සවය සීමා කර තිබේ. හජ් කාලය තුල ඩොලර් බිලියන ගනනක ආදායමක් රජයට ලැබේ.

කොරොනා වෛරස් රෝගීන් මිලියන 1.44 ක් සිටින ඉන්දියාව, දකුනු ආසියානු උප මහද්වීපය තුල වසංගතයේ කේන්ද්‍රස්ථානයයි. COVID-19 දෛනික ආසාදිත හා මරන සංඛ්‍යාව ඉහල යමින් පවතී. කෙසේ වෙතත්, ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය මාසික ගුවන් විදුලි දේශනය කරමින්, “පසුගිය මාස කිහිපය තුල කොරෝනාවට එරෙහිව සටන් කිරීමට ඉන්දියානුවන් එක් වූ ආකාරයෙන් අපි, ලෝකය වැරදි බව ඔප්පු කර ඇත්තෙමු” යයි පැවසීය.

ඉන්දියානු සීඩීසී ඇස්තමේන්තු කර ඇත්තේ, රටේ වඩාත්ම පීඩාවට පත් නගරය වන දිල්ලියේ නිවැසියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි. ඒක පුද්ගල පරීක්ෂන අනුපාතය කිසිසේත්ම ප්‍රමානවත් නොවේ. වෛරස් විද්‍යාඥයෙකු වන වෛද්‍ය ෂාහිඩ් ජමීල් බීබීසීයට පැහැදිලි කලේ, රට ප්‍රජා සම්ප්‍රේෂන අවධියක පවතින බව ආන්ඩුව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බවයි. එයින් අදහස් වන්නේ එය භූගෝලීය වශයෙන් පුලුල් ලෙස මුල්බැස ඇති බවයි. මෙම නිලධාරීන් වෛද්‍යවරුන්ට සහ විශේෂඥයින්ට ඇහුම්කන් දීම සහ ලබා දෙන සාක්ෂි පිලිගැනීම ඉතා වැදගත් බව ඔහු කියා සිටියේය.

පාන් විකුනන කාශ්මීර මිනිසා (ඡායාරූපය අනුග්‍රහය/ මුක්තාර් ඛාන්)

මාස දෙකකට වඩා වැඩි කාලයක් පැවති කුරිරු අගුලු දැමීමකින් පසු, මැයි 30 වන දින ඉන්දියාවේ සීමාවන් ලිහිල් කරන ලදී. ඒ වන විට එහි සිටියේ රෝගීන් 200,000 කට වඩා අඩු සංඛ්‍යාවකි. ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් සියයට 80 කට වැඩි ප්‍රමානයක් අවිධිමත් අංශයේ වැඩ කරන අතර, වීදි වෙලෙන්දන්, කුඩා පරිමාන සේවා සහ කෘෂිකර්මාන්තය ඊට ඇතුලත් වේ. ආන්ඩුව විසින් දුර්වල ලෙස නියාමනය කර ඇති මෙම ක්ෂේත්‍රයේ  කම්කරුවන්ට, තාවකාලික කුටි, ජනාකීර්න වෙලඳපොලවල් සහ විශාල පිරිසක් සමඟ කටයුතු කිරීමට සිදුව තිබේ. තත්වය එසේ තිබියදී මෙම කම්කරුවන් බොහෝ විට ආන්ඩුව විසින් නොසලකා හරිනු ලබන අතර දැන් වසංගතයේ හා එහි ආර්ථික බරට කරගැසීමට ඔවුන් අත්හැර දමා ඇත. 

ඒ හා සමාන ලෙස දකුනු ඇමරිකාවේ, කොලොම්බියාව (ඊයේ නව රෝගීන් 8,000 කට වැඩි සංඛ්‍යාවක්), පේරු, ආර්ජන්ටිනාව, බොලිවියාව, ඉක්වදෝරය සහ ග්වාතමාලාව වැනි රටවල කම්කරු පන්තිය හා දුප්පතුන් සෞඛ්‍ය අර්බුදයකට හා ආර්ථික අර්බුදයකට මුහුන දී සිටී. පලමු වරට ලතින් ඇමරිකාව, එක්සත් ජනපදය හා කැනඩාවේ මුලු රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති අතර, එය ගෝලීය රෝගීන්ගෙන් සියයට 27 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරයි.

COVID-19 ආසාදන වැඩිවීම නිසා දැන් විනාශයට පත්ව ඇති මෙම රටවල් බොහොමයක්, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ බැංකු සහ අරමුදල් කලමනාකරුවන්ට ගෙවිය යුතු නය උගුලේ සිරව සිටිති. ආදායම හා සෞඛ්‍ය සේවා පිරිවැය අඩුවීමත් සමඟ, නය ආපසු ගෙවීමට සිදුවීම නිසා, උපයෝගිතා, යටිතල පහසුකම් සංවර්ධනය සහ අධ්‍යාපනය වැනි වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට මුදල් නැතිව තිබේ. වසංගතයේ බලපෑමෙන් පැන නගින වක්‍ර සෞඛ්‍ය හා සමාජ අර්බුදය මෙ මඟින් තවදුරටත් උග්‍ර කරයි.

ලෝක බැංකුවට අනුව, “වසංගතය වඩාත් දරුනු වී ඇති සහ ගෝලීය වෙලඳාම, සංචාරක, වෙලඳ භාන්ඬ අපනයන සහ බාහිර මූල්‍යකරනය මත දැඩි ලෙස රඳා පවතින රටවලට, මෙම ප්‍රහාරය දැඩි ලෙස බලපායි. කඩාකප්පල් වීමේ විශාලත්වය කලාපයෙන් කලාපයට වෙනස් වන අතර, සියලු  නැගී එන වෙලඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට EMDEs බාහිර කම්පන මගින් විශාල කර ඇති අනාරක්‍ෂිතතා ඇත. එපමනක් නොව, පාසල් අධ්‍යාපනය හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රවේශයට ඇති බාධා, මානව ප්‍රාග්ධන සංවර්ධනය කෙරෙහි සදාකාලික බලපෑමක් ඇති කරයි. ” එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවූයේ, “ද්‍රවශීලතා අර්බුදයට මුහුනපා සිටින රටවල් මාලාව, ගෝලීය අවපාතයක් ඇති කිරීමට දැඩි ලෙස බලපානු ඇත.”  

Loading