මහජන සෞඛ්‍ය පරීක්ෂක සමිති නායකත්වය ආන්ඩුව සමග සම්මුතියකින් වර්ජනය නතර කරයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (මසෞපස), දින 11 ක් පැවති මහජන සෞඛ‍්‍ය පරීක්ෂකවරුන්ගේ අඛන්ඩ වර්ජනය ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් සමග සම්මුතියකින් ජුලි 29 වෙනිදා නතර කලේ ය. 

ජුලි 17 වෙනිදා වර්ජනය ආරම්භ කෙරුනේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ කටයුතුවල දී ඔවුන් මුහුන දෙන ගැටලුවලට නෛතික රැකවරනයක් සම්පාදනය කිරීම ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධවය. නිරෝධායන ගැසට් පත්‍රය තුලින් එවන් නෛතික රැකවරනයක්  ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. 

එමෙන් ම, පාර්ලිමේන්තු මැතිවරන කටයුතු වලට ද මෙවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි කරගන්නා හෙයින් ඊට අදාල ගැසට් පත්‍රයට ද ඔවුන්ව නිල වසයෙන් ඇතුලත් කිරීම ඔවුන්ගේ තවත් ඉල්ලීමක් විය. වර්ජනය නතර කලේ මේ එකදු ඉල්ලීමකටවත් නිසි විසඳුමකින් තොරවය.

නෛතික රැකවරන ඉල්ලීම් මුල්කරගෙන අරගලයට පිවිසියද, දෙදහසකට ආසන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයට සහභාගිවීම මගින් පෙන්නුම් කලේ,  කාලයක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු වලින් තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කෙරී ඇති ප්‍රහාරයන්ට එරෙහිව ඔවුන්තුල කැකෑරෙන කෝපය සහ එම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට පවතින අධිෂ්ඨානය යි. සමිති නායකයන් වර්ජනය නතර කිරීමේ සම්මුතියක එලඹ ඇත්තේ එම උවමනාවට සහ අධිෂ්ඨානයට  පයින් ගසමිනි.

අගමැති මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සමග ජුලි 28 වෙනිදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී “පිලිගත හැකි විසඳුමක්” ලැබුන හෙයින් වර්ජනය නතර කල බව සමිති නිලධරය මාධ්‍යයට පවසා ඇත. 

ඒ අනුව “මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති බලතල යටතේ  යම් නඩු පැවරීමක දී එය කල යුත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අනුමැතිය ඇතිවය. ඔහු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර ඒ සම්බන්ධව මත ගැටුමක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතුය”. 

කෙසේ වෙතත්, නිරෝධායන හා පාර්ලිම්න්තු ගැසට් පත්‍ර වලට  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  කටයුතු ඇතුලත් කර ඔවුන්ට නෛතික රැකවරනයක් සම්පාදනය කිරීමේ ඉල්ලීම පසෙකට දමා ඇත. මසෞපස ආන්ඩුවෙන් ලැබුන මෙම “පිලිගතහැකි විසඳුමට” එකඟ වී ඇත්තේ සාමාජිකත්වයෙන් කිසිදු විමසීමක් නැතිවය. 

මෙය නිශ්චිතවම ආන්ඩුව ඉදිරියේ දන ගැසීමකි. සකාකච්ඡාවට නීතිපති වෙනුවෙන්  සහභාගී වූ නියෝජිතයා 1897 නිරෝධායන පනතේ 38 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරෝධායන රාජකාරිවලදී නෛතික බලය ඇතිබව පැහැදිලි කරදුන් බවත් ඒ අනුව ඉහත විසඳුමට එකඟ වූ බවත් පවසමින් තම යටත්වීම සාමාජිකයන් ඉදිරියේ  වසන් කිරීමේ ප්‍රයත්නයක් දරා තිබේ. 

නිරෝධායන ආඥා පනතේ ඇතැම් අංශවල “සුලු” ගැටලු පවතින බවත්, ඒවා කාලීනව වෙනස් විය යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ එහි දී පවසා ඇත. ඒවා ඉදිරියේදී පාර්ලිමේන්තුව හරහා සංශෝධනය විය යුතු බව ද ඔහු සඳහන් කර තිබේ. කෙසේ නමුත් එකී ගැටලු කවරේදැයි ඔහු පැහැදිලි කර නැත. 

පනතේ “සුලු ගැටලු” පවතින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නෛතික රැකවරනය සම්බන්ධයෙන් නම් ඔවුන්ට තම රාජකාරී කටයුතුවල දී ලැබෙන රැකවරනය කුමක් දැයි සාධාරන ප‍්‍රශ්නයක් ඔවුන් ඉදිරියේ මතු කෙරෙයි.

මෙම අරගලය  කෙරෙහි සෙසු සෞඛ්‍ය සේවකයන් සහ කම්කරුවන් අතර ද පුලුල්  සහයෝගයක් වර්ධනය වෙමින් පැවතුනි. එම තතු තුල වර්ජනය තම වෘත්තීය සහ සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ සෙසු කොටස්  අතරට පැතිරයාම සම්බන්ධ භීතියකින් පෙලුන ආන්ඩුව තමන්ට ගැතිකම් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්  මෙහයවා ගනිමින් වර්ජනය බිඳීමේ දුෂ්ට ප්‍රයත්නයක යෙදුනි. 

වර්ජනය තමන්ගේ පාලනයෙන් ගිලිහීයාමට ඇති හැකියාව කෙරෙහි මසෞපස නායකයන් තුල ද භීතියක් පැවතුන බව නිසැකය. ආන්ඩුව සහ සමිති නායකයන් අතර සම්මුතියකින් වර්ජනය නතර කෙරුනේ එවන් කොන්දේසි තුලය.

මුල සිටම  මසෞපස නායකයන්ගේ අරමුන වුයේ වර්ජනය හැකි තරම් සීමා කිරීම සහ සාමාජිකයන්ට ගිල්ලවිය හැකි වෙතැයි  යි ඔවුන් අපේක්ෂා කරන “පිලිගත හැකි විසඳුමක්” හරහා ආන්ඩුව හා සෞඛ්‍ය බලධාරීන් සමග සම්මුතියක් ඇති කර ගැනීමය. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දීමනා සහ අතිකාල  කප්පාදුව, සෞඛ්‍යාරක්ෂක පහසුකම් ප්‍රමානවත් නොවීම, ඔවුන් සඳහා පීසීආර් පරීක්ෂන නොකිරීම, ප්‍රවාහන පහසුකම් සම්බන්ධ ගැටලු ඇතුලු ඉල්ලීම්, වර්ජනයේ ඉල්ලීම් වලින් ඉවත් කර එය හුදෙක් නිරෝධායන කටයුතුවල දී නෛතික රැකවරනය සම්බන්ධ කාරනයට පමනක් සිඳවුනේ ඒ අනුවය. 

එම ඉල්ලීම් වර්ජනයට ඇතුලත් කෙරුනේ නම් නිසැකවම, ඒ වටා සෙසු සෞඛ්‍ය සේවකයන් සහ සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ අවශේෂ කොටස් ආකර්ෂනය වනු ඇත. එවන් තත්වයක් තුල රාජපක්ෂ තන්ත්‍රය සමග දේශපාලන ගැටුමක් අනිවාර්ය බව සමිති නායකයෝ දනිති. 

ඒ නිසා මසෞපස මෙන් ම සමස්තයක් ලෙස සමිති නිලධරය අනුගමනය කරන්නේ “අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්” පිලිවෙතකි. එනම් අන් සියල්ලටමත් වඩා සමිති නිලධරය උත්සුක වන්නේ ධනපති රාජ්‍යය සහ හාම්පුතුන්  සමග පවතින සම්බන්ධතාවය නොබිඳී පවත්වා ගැනීමට ය.

සමිති සහ ආන්ඩුව  අතර ඇතිකරගෙන තිබෙන සම්මුතිය ගැන අදහස් දැක්වූ කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මෙසේ පැවසීය: “අපේ ඉල්ලීම ඉටු නොවුන බවක් තමයි පෙනෙන්න තියෙන්නේක. දීමනා කප්පාදුව සහ අනෙකුත් ඉල්ලීම් ගැන කිසිම කතාවක් ඇත්තෙත් නැහැ දැන්. කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන්  අපේ සේවය ඇගයීමක් විදිහට මාසයකට දවස් 20 ක වැටුපට සමාන මුදලක් ප්‍රසාද දීමනාවක් විදිහට දෙනවා කියල ආන්ඩුව ප්‍රකාශ කලා. වයඹ පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ඒක වරු 20 ට කැපුව. නමුත් අප්‍රේල්-මැයි මාසවලට ලැබියයුතු ඒ මුදලවත් අපට ලැබුනේ නැහැ. ඔබ කියනවා වගේ සියලුම සෞඛ්‍ය සේවකයන්ට පොදු ප්‍රශ්න තියෙනවා. වෘත්තීය සමිති අපේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒකාබද්ධ අරගලයක් නොකරන බවත් පැහැදිලියි”.   

ආන්ඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම වෛද්‍යවරුන්ගේ  සහ සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන්ට එරෙහි පොදු ප්‍රහාරයක කොටසකි. වැටුප් හා දීමනා කප්පාදුව, කොවිඩ් 19 වසංගත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක පහසුකම් ප්‍රමානවත් ලෙස සම්පාදනය නොකිරීම, උපකරන සහ මානව සම්පත් හිඟකම  ඇතුලු ප්‍රශ්න මත පසුගිය මාස කිහිපය තුල වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂන ගනනාවක් මතුවිය. 

මෙම අයිතීන් කප්පාදුව මෙන් ම, කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් පවතින උපකරන සහ මානව සම්පත් හිඟකම රාජපක්ෂ ආන්ඩුව  සහ අනුප්‍රාප්තික ආන්ඩු විසින් මහජන සෞඛ්‍ය සේවය සඳහා අරමුදල් කප්පාදු කිරීමේ හා පුද්ගලික සෞඛ්‍ය ව්‍යාපාර දිරි ගන්වමින් මහජන සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ ඍජු ප්‍රතිවිපාකයකි.   

කොරෝනා වසංගතය විසින් ගැඹුරු කරනු ලැබ ඇති ආර්ථික-දේශපාලන අර්බුදය තුල රාජපක්ෂ ආන්ඩුව හැරී සිටින්නේ කම්කරු පන්තියේ අයිතීන් දීමට නොව අරගල මගින් දිනාගෙන ඇති අයිතීන් උදුරා ගැනීමේ පිලිවෙතකටය. එය ලෝක පරිමානව ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමන සමාජ ප්‍රතිවිප්ලවය සමග බද්ධ වූ එකකි. 

සමාජ ප්‍රතිවිප්ලවයත් සමග ෆැසිස්ට් සහ ආඥාදායක පාලන තන්ත්‍රයන් කරා ධනපති පාලක පන්තීන් මාරුවෙමින් සිටිති. ජනාධිපති රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පාර්ලිමේන්තු මැතිවරනයේ දී තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ තම කම්කරු විරෝධී පිලිවෙත්වලට විරුද්ධව මතුවන සමාජ අරගල තලා දැමිය හැකි, හමුදාව මත පදනම් වූ ජනාධිපති  ආඥාදායක පාලනයක් තහවුරු  කර ගැනීමේ එල්ලය ඇතිවය.

මහජන සෞඛ‍්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයන් ට සහ පොදුවේ කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ, ධනපති ක්‍රමය අහෝසිකිරීම සඳහා  ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කරන අරගලයක් තුලින් පමනි.  

ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති එවන් අරගලයකට සපුරාම විරුද්ධය. කම්කරුවන්ට තම අයිතීන් සඳහා අව්‍යාජ සහ දැනුවත් අරගලයක් සංවිධානය කල හැක්කේ වෘත්තීය සමිතිවලින් බිඳී විකල්ප සංවිධාන ලෙස, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පිහිටුවා ගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි. 

එය රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමේ හුදු විරෝධතා උද්ඝෝෂනයක් නොව, කම්කරු පන්තිය අතට දේශපාලන බලය ගැනීමේ, එනම් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

Loading