වසංගතයට මහජනයා ගොදුරු කරමින් ආන්ඩුව හා විපක්ෂය මැතිවරන උද්ඝෝෂනයේ යෙදෙති

කෝවිඩ්-19 වසංගතය ආසාදිත වූවන්ගේ හා මරනයට පත්වූවන්ගේ සංඛ්‍යාවට ලොව සෑම කලාපයකින්ම දහස් ගනනින් තවත් රෝගීන් සහ මරන දිනපතා  එකතු වෙමින් පවතී. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 17,226,328 දක්වාත් මරනයට පත් වූ සංඛ්‍යාව 671,043 දක්වාත් ඉහල ගොස් තිබේ. වර්ධනය වෙමින් පවතින්නේ ගෝලීය හදිසි තත්වයකි. එහි කොටසක් ලෙස ලංකාවේ ද, වසංගතය සමාජ ගතවීමේ අන්තරාය වර්ධනය වී තිබේ. 

රටතුලත් ජාත්‍යන්තරවත් තත්වය එසේ වුවද, ආන්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන ධනපති පක්ෂ මහ මැතිවරනයේ දී මහජනයාගේ ඡන්ද ඩැහැ ගැනීම සඳහා ගෙන යන උද්ඝෝෂන නිරෝධායන නීතිරීති මුලුමනින්ම උල්ලඝනය කරමින් තිබේ. එය යලිත් පෙන්නුම් කර ඇත්තේ මහජන ආරක්ෂාව සම්බන්ධ සමස්ත දේශපාලන සංස්ථාපිතයේම පවතින පරිපූර්න නොතැකීමයි.  

මේ වන විට රටතුල වසංගතය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2,800 ඉක්මවා ඇති අතර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 500 ක් ඉක්මවා තිබේ. කන්දකාඩු හා සෙනරත්පුර “නිරෝධායන” මධ්‍යස්ථානවලින් මේ වනවිට සොයා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව පමනක් 550 ක් ඉක්මවා තිබේ. මේ මස මැද එම කඳවුරුවල ආසාදිතයන් වාර්තාවීමෙන් පසු ඔවුන් ඇසුරුකල පුද්ගලයන් දහස් ගනනක් රටපුරා නිරෝදායනයට ලක් කර තිබේ. ඔවුන් අතරින් දිනපතා රෝගීන් වාර්තා වෙමින් තිබේ.   

ජුලි 14 වෙනිදා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක රැස්වීමේ දී, “කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට” අවශ්‍ය පියවර ගැනීම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගේ “වගකීමක්”  බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කලේ ය. ඔහු එසේ ප්‍රකාශ කරන්නේ වසංගත ව්‍යාප්තියේ වගකීම මහජනයා මත පැටවීමේ දුෂ්ට අරමුනෙනි. 

එම තානයම අනුගමනය කල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන නැවත නැවතත් මාධ්‍යය ඉදිරියේ තර්ජනාත්මකව කියා සිටින්නේ මුඛ ආවරන නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව හා ඉහල දඩ නියම කරන බවයි. 

රෝගයේ සීග්‍ර ව්‍යාප්තිය තවදුරටත් යටගැසිය නොහැකි තත්වයේ දී “කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කන්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහල අවදානමක්” පවතින බවත්, “කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට නිදසුනක්” බවත් රාජපක්ෂ ඉහත රැස්වීමේදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.  

රාජපක්ෂගේ එම ප්‍රකාශයත් සමග ශ්‍රීපොජපෙ මැතිරවන රැලි සියල්ල නවතා දමන බව නිවේදනය කලේ ය. අනෙක් පක්ෂත් එය අනුගමනය කරන බව මවාපෑ නමුත් සතියක් ගතවීමටත් මත්තෙන් කිසිදු දැනුම්දීමකින් තොරව ආන්ඩුවත් හා අනෙක් ධනපති පක්ෂ මැතිවරන ප්‍රචාරක රැලි යලි ඇරඹී ය. 

වසංගත ව්‍යාප්තිය පිලිබඳවත් මහජනයා රෝගයට ගොදුරුවීම සම්බන්ධවත් ආන්ඩුවේ උත්සුකය මුලුමනින්ම ප්‍රෝඩාවකි. මුල සිටම රටතුල රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව හා ආන්ඩුවේ සර්ව පාක්ෂික රැස්වීම්වලට රිංගා ගත් මෙම ඊනියා විපක්ෂයි. 

ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන (ශ්‍රීපොජපෙ), සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය (සජබ), රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), වතුකරයේ කම්කරු කොංග්‍රසය, උතුරේ දෙමල ජාතික සන්ධානය හා ජාතික ජනබලවේගය යන සියලු සංස්ථාපිත පක්ෂවල මැතිවරන රැලිවලදී සෞඛ්‍යය නීති, මැතිවරන නීති පමනක් නොව රටේ සාමාන්‍ය නීති පවා උල්ලංඝනය වෙමින් තිබේ. ඊට පොලීසියේ හා ධනපති මාධ්‍ය සංස්ථාපිතයේ සහයෝගය හිමිව තිබේ.  

රෝග ව්‍යාප්තියේ වගකීම මහජනයා මත පැටවීමට උත්සාහ කරන ශ්‍රී‍ලපොජපෙ ප්‍රමුඛ ආන්ඩුව මෙහි ඉදිරියෙන්ම සිටී. එහි ඡන්ද අපේක්ෂයන් විසින් විශාල ලෙස මුදල් වියදම් කොට ජනයා ඒකරාශී කරන ලද මැතිවරන රැලි මේ දිනවල රටපුරා පැවැත්වේ. මැතිවරනයේ දී තුනෙන් දෙකක බලයක් ඩැහැ ගැනීමට දතකන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කායිකවම මේ සෑම රැස්වීමකටම සම්බන්ධ වී සිටී. 

එම රැස්වීම්වලට ජනයා එකපොදියට රැස් කොට ඇත්තේ පුද්ගල දුරස්තභාවය මුලුමනින්ම නොතකා ය. මුඛ ආවරන පැලැඳ සිටින රාජපක්ෂ හා ඔහුගේ ගෝලබාලයන් තෙරපෙමින් සිටින ජනයා සමග දුරස්ථව සිට කතාබහේ නියැලෙන දර්ශන රූපවාහිනි නාලිකා තුල දිනපතා ප්‍රචාරය කෙරේ. 

පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මැතිවරන ප්‍රචාරනය සඳහා යතුරුපැදිවලින් රථ පෙරහැරක නිරත වන්නේ මුඛආවරන පමනක් නොව හිස්වැසුම් පවා නොමැතිවයි. එම අවස්ථාවේ දී සනත් නිශාන්ත පාර දෙපස සිටින ජනයා සමග සමීපව කතාබහේ යෙදෙන ආකාරය දැක්වෙන දර්ශනයක පොලිස් නිලධාරීහු ද සිටිති.  

සනත් නිශාන්ත සම්බන්ධව මැතිවරන කොමසාරිස් මහින්ද දේශප්‍රිය පොලීසියට පැමිනිලි කර ඇතැයි වාර්තා වන නමුත් කිසිදු ආකාරයක නීතිය ක්‍රියාත්මකවීමක් මෙතෙක් සිදු වී නැත. ආන්ඩුවේ ඉහල සිට පහලට මහජන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තුච්ච නොතැකීම මෙවැනි සිදුවීම් මගින් පැහැදිලි වෙයි. 

මහජනයා මුහුන දෙන අනෙක් ප්‍රශ්නවල දී මෙන්ම, ආන්ඩුවේ නොතැකීම සම්බන්ධව කිසිදු විවේචනයක් හෝ මැදිහත්වීමක් අවශේෂ පක්ෂවලට නැත. ඔවුන්ගේ මැතිවරන උද්ඝෝෂනයන් ද සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය අතින් ද ආන්ඩුවට දෙවෙනි නොවේ. 

මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂනන මධ්‍යස්ථානය විසින් පසුගිය දා නිකුත් කල වාර්තාවකට අනුව ජුලි මාසයේ සිට මේ වන තෙක් පැවති මැතිවරන ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලන පක්ෂ රුපියල් මිලියන 514 ක් වියදම් කොට තිබේ. ඉන් මිලියන 185 ක් ජාසජබ විසින් ද මිලියන 151 ක් ශ්‍රීලපොපෙ විසින් ද වියදම් කොට තිබේ. මෙම වියදම්වලින් සැලකිය යුතු කොටසක් වෙන්වන්නේ සංවිධානය කරනු ලබන රැස්වීම්වලට ජනයා රැස් කරමින් ඡන්ද කොල්ලකෑම සඳහා ය. 

මහජන සෞඛ්‍ය ආරක්ෂාව නොතකා හුදෙක් ඡන්ද ගසාකෑම සඳහා පමනක් මෙම පක්ෂ පොරයක යෙදී සිටිය ද සෞඛ්‍ය බලධාරීන් සැබෑ අන්තරායන් සම්බන්ධව අනතුරු අඟවා තිබේ. දිවයිනේ නොයෙක් ප්‍රදේශ වලින් අසාදිතයන් හමුවන තත්වයක් තුල කන්දකාඩු සිදුවීමෙන් සමාජ සම්ප්‍රේෂනයකට ඉඩකඩ ඇති බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරනය කලහ. එම නිසා පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව දිනකට පන්දහස දක්වා වැඩි කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. 

වර්ධනය වන තත්වය හමුවේ අහඹු ලෙස තෝරාගත් ප්‍රදේශවල සීමිත පිසීආර් පරීක්ෂන මේ වන විට ආරම්භ කොට තිබේ. දැනට රටපුරා සිදුකර ඇති මුලු පිසීආර් පරීක්ෂන සංඛ්‍යාව 1,50,000 ක් ඉක්මවා ඇතත් එම සංඛ්‍යාවේ අප්‍රමානවත්භාවය පැහැදිලි වන්නේ පෙබරවාරි 17 දා සිට දිනකට සිදු කර ඇති සාමාන්‍ය අගය සැලකූ විට ය. එම පරීක්ෂන සෞඛ්‍ය විශේෂඥයන් ඉල්ලා සිටින ප්‍රමානය ආසන්නයට හෝ පැමින නැත. 

කොවිඩ් 19 ගෝලීය වසංගතයකි. කම්කරු පීඩිත මහජනයාගේ ජීවිත සම්බන්ධ මෙවැනි නොතැකීම් සහගත පිලිවෙත් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුලු ලොව පුරා බොහොමයක් රටවල ඇති කර ඇත්තේ බරපතල සමාජ ව්‍යසනයකි. 

ආසාදිතයන් මිලියන හතරහමාරක් ඉක්මවා තිබෙන ඇමරිකාවේ වත්මන් මරන සංඛ්‍යාව 153,871 වී තිබේ. ආසාදිතයන් හා මරන සංඛ්‍යාව අතින් ලොව තෙවන තැන පසුවන අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයන් 1,590,297 ක් හා මරන 35,048 ක් වාර්තා වේ. ලංකාවත් ඇතුලු සමස්ත දකුනු ආසියානු කලාපය රෝගය සීග්‍රයෙන්ම ව්‍යාප්ත වන කලාපය බවට පත්ව තිබේ. 

ලෝක ආර්ථිකය සමග සෑම රාජ්‍යයක්ම අන්තර් සම්බන්ධිතව පැවතියත් ආර්ථික, සෞඛ්‍යමය හා දේශපාලනිකව යන කුමනාකාරකින් හෝ ජාත්‍යන්තර සහයෝගීතාවයක් ධනවාදය තුල තහවුරු කර ගත නො හැක. රාජපක්ෂ ආන්ඩුවත් අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්හල් හා පාසල් විවෘත කොට තිබේ. ඉදිරියේ දී ගුවන් තොටුපල හා සංචාරක කර්මාන්තය විවෘත කිරීමට නියමිතය. ඒ තත්වය තුල, ගෝලීය වසංගතයට මහජනයා ගොදුරු කිරීමත් එය උපයෝගී කොට ගෙන කම්කරු පන්තියේ රැකියා, සේවා කොන්දේසි හා සුබසාධන තවදුරටත් විනාශ කිරීමත් ආන්ඩුවේ එල්ලයයි.     

වර්ධනය වන පන්ති අරගල තත්වයන් මධ්‍යයේ,  රාජපක්ෂ දැනටමත් මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට ගමන් කොට තිබේ. ඔහු මැතිවරනයෙන් පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට දතකන්නේ, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඒකාධිපති විධායක බලතල තහවුරුකර ගැනීම සඳහායි. ඒ, වසංගතය මගින් තවත් උග්‍ර කෙරෙන රටේ ආර්ථික අර්බූදයේ බර කම්කරු පන්තිය හා ගම්බද දූගීන් මත මුලුමනින්ම පැටවීම සඳහා ය.  

වසංගතයෙන් හෝ ඉන් පැන නැග ඇති ආර්ථික අර්බූදයෙන් අත්මිදීම සඳහා වැඩපිලිවෙලක්, වසර 70 කට අධික කාලයක් මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වනසා දමා ඇති ලංකාවේ ධනේශ්වර පාලක පන්තියේ කවර කොටසකින් හෝ සම්පාදනය වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් විසින් තවදුරටත් විනාශය හා කප්පාදු රැගෙන එනු ඇත යන්න, උද්ගතව ඇති තත්වය හමුවේ මහජනයා උකහා ගත යුතු නිගමනයි. 

Loading