එලොන් මස්ක්, දාස් කැපිටල් සොයාගනී

මෙම ලිපිය ජූලි 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ලෝකයේ හත්වන ධනවත්ම පුද්ගලයා වන එලොන් මස්ක්, මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙකු වීම ඇමරිකානු දේශපාලනය ගැන උනන්දු වන අයට  පුදුමයක් විය හැකිය. ටෙස්ලා, ස්පේස්එක්ස් SpaceX සහ ඔහුගේ අනෙකුත් ව්‍යායාමයන් වෙනුවෙන් ගතකරන  කාලය අතරතුර මස්ක්,  මාක්ස්ගේ විශිෂ්ට වෙලුම් තුනේ කෘතියක් වන දාස් කැපිටාල් (Capital) විමර්ෂනය කිරීමට සැලකිය යුතු පරිශ්‍රමයක් දරා ඇති බව පෙනෙන්නට තිබේ.

සඳුදා පස්වරුවේ ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මස්ක්, සිය අධ්‍යයනයේ නිගමනය ඉදිරිපත් කලේය. “දාස් කැපිටාල් ගැන කෙටියෙන්, “මට එය නොමිලේ දෙන්න” “Gib me dat for free”යනුවෙන් මස්ක් ලිවී ය.

එලොන් මස්ක් ට්විටර් පනිවිඩය: දාස් කැපිටාල් ගැන කෙටියෙන්,-“මට එය නොමිලේ දෙන්න”

ඇත්ත වශයෙන්ම, දීප්තිමත් දැක්මක්! අවිධිමත් භාෂාවක් භාවිතා කිරීම ගැන අපට මස්ක්ට සමාව දිය හැකිය. මන්ද ඔහු ධනවාදයේ වැදගත් කරුනක් සාරාංශ ගතකරන හෙයිනි.  ධනේශ්වර පන්තිය සමුච්ඡයකර ගන්නා ලාභය ගලා එන්නේ, කම්කරුවන් විසින් නිපදවන වටිනාකම, ඔවුන්ට ගෙවනු ලබන වැටුපට වඩා වැඩි නිසාය. එනම්, එය “නොගෙවූ ශ්‍රමය” යන්නයි.

ක්‍රියාවලිය වඩා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටී.

මාක්ස්ගේ දාස් කැපිටාල් කැප කෙරෙන්නේ, දැන් ලොව පුරා පවතින සමාජ හා ආර්ථික ක්‍රමය වන, ධනවාදයේ මූලික නීති විශ්ලේෂනය කිරීම සඳහා ය. මෙම ආර්ථික ක්‍රමයේ මූලික ඒකකය වන වෙලඳ භාන්ඬය අධ්‍යයනය කිරීම මඟින් ඔහු විමසීම අරඹයි.

ආහාර හා නවාතැන්වල සිට ප්‍රවාහන හා සන්නිවේදන තාක්‍ෂනය දක්වා වන මිනිස් ජීවිතයේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව සහිත ජීවන ශ්‍රම ශක්තියක් සමාජයට ඇත. විවිධ නිෂ්පාදකයින් අතර ශ්‍රමය බෙදීයාමේ ප්‍රතිපලයක් ලෙස, මෙම ශ්‍රමයේ නිෂ්පාදනය, වෙලඳ භාන්ඬවල ස්වරූපය ගනී. මෝටර් රථ සහ ජංගම දුරකථන, ආහාර සහ නිවාස, විවිධ පුද්ගලයින් සහ කර්මාන්ත විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, ඒවා වෙලඳපොලේ මිලදී ගැනීම හා විකිනීම සිදුකරනු ලැබේ.

නූතන ධනවාදයේ බොහෝ සංකීර්න කටයුතු  සියල්ලම පදනම් වී ඇත්තේ, මාක්ස් විසින් මුලින් විස්තාරනය කරන ලද එක් නීතියක් මත ය:  වටිනාකම පිලිබඳ ශ්‍රම න්‍යාය, එනම් වෙලඳ භාන්ඩවල වටිනාකම තීරනය වන්නේ, ඒ සඳහා වැය කරන සමාජීය වශයෙන් අවශ්‍ය මිනිස් ශ්‍රම ප්‍රමානය අනුව ය. නිදසුනක් වශයෙන්, ටෙස්ලා මෝටර් රථයකට කිරි ගැලුමකට වඩා වැඩි වටිනාකමක් ඇත, මන්ද කිරි ගැලුමක් නිපදවීමට වැය කරනවාට වැඩි ශ්‍රමයක් මෝටර් රථය නිපදවීමට වැය කරන බැවිනි. වෙලඳපොලේදී වෙලඳ භාන්ඩ, සමාන වටිනාකමක් ඇති වෙනත් වෙලඳ භාන්ඬ සඳහා හුවමාරු වේ. (හෝ, මුදල් වැඩී ඒමත් සමඟ, එක හා සමාන මුදලකට).

කෙසේ වෙතත් භාන්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය මත පදනම්ව ඒවා එකිනෙක සමඟ හුවමාරු වන්නේ නම්, අසමානතාවය හටගන්නේ කොහෙන්ද? සැබෑ ශ්‍රමය වැය කරන කම්කරු පන්තිය දරිද්‍රතාවයට පත්වන අතර මෙතරම් විශාල ධනයක් කුඩා තට්ටුවකගේ ඒකාධිකාරී අයිතිය වන්නේ ඇයි?

Tටෙස්ලා හි ප්‍රධාන විධායක එලොන් මස්ක් (ඒපී ඡායාරූපය / ජේ සී. හොං)

එලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 70 කි. මෙය එක්සත් ජනපදයේ සාමාන්‍ය පුද්ගල ආදායම (ඩොලර් 31,000) මෙන් මිලියන දෙකක ගුනයටත් වැඩිය. මෙයින් අදහස් කරන්නේ මස්ක් පෘථිවියේ ගත කල වසර 49ක කාලය තුල, මිලියන දෙකක් මිනිසුන් වසරක් තිස්සේ වැය කල මිනිස් ශ්‍රමයට සමාන ශ්‍රමයක් වැය කල බව ද? මස්ක් විශේෂයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙකු බව අප පිලිගත්ත ද, සංඛ්‍යා පෙන්නුම් කරන තත්වයට එය සමාන නොවේ.

අසමානතාවයේ ප්‍රභවය, වෙලඳපොලේදී මිලට ගෙන විකුනනු ලබන එක් භාන්ඩයක සුවිශේෂී ස්වභාවය තුල පවතින්නේ යයි මාක්ස් පැහැදිලි කලේය: ඒනම් ශ්‍රම ශක්තිය. පොදු භාෂාවෙන් කිවහොත්, කම්කරුවා ඔහුගේ හෝ ඇගේ ශ්‍රමය ධනපතියාට විකුනන බව කියනු ලැබේ. මෙය නිවැරදි නොවේ. කම්කරුවා ධනපතියාට විකුනන්නේ ශ්‍රමය නොව ශ්‍රම ශක්තිය නම් වෙලඳ භාන්ඩයයි.  එනම්, නිෂ්පාදනය තුලට අන්තර්ගත අනෙකුත් සියලුම භාන්ඩවල  වටිනාකම තීරනය කරන වැඩ කිරීමේ හැකියාව  ය.

නිෂ්පාදන මාධ්‍යයන්හි හිමිකරු, උදාහරනයක් ලෙස  කැලිෆෝනියාවේ ෆ්‍රෙමොන්ට් හි ටෙස්ලා කම්හල සතු මස්ක් ,  කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය මිලදී ගනී. එනම්, යම් වැටුපක් හෝ වේතනයක් වෙනුවෙන් කම්කරුවන් සතු වැඩකිරීමේ හැකියාව ඔහු මිලට ගනී.

අනෙක් සෑම වෙලඳ භාන්ඩයක මෙන්ම, මෙම විශේෂිත වෙලඳ භාන්ඩයේ වටිනාකම එනම් ශ්‍රම ශක්තිය තීරනය වන්නේ, එය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශ්‍රම ප්‍රමානය අනුව ය. මෙය සේවකයාගේ පැවැත්ම සහ ප්‍රතිනිෂ්පාදනය සඳහා අවශ්‍ය භාන්ඩ ප්‍රමානයට සමාන වේ. මෙම පැවැත්ම හා ඊලඟ පරම්පරාවේ වැටුප් ශ්‍රමිකයන්ගේ ප්‍රතිනිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ප්‍රමානය අඩු වන්නට වන්නට , කම්කරුවා දුප්පත් වන අතර ඔහුගේ හෝ ඇයගේ ශ්‍රම ශක්තිය ලාභදායී වන්නේ ය.

ධනපතියා මෙම වෙලඳ භාන්ඬය, එනම් ශ්‍රම ශක්තිය මිලදී ගත් පසු ඔහුට හෝ ඇයට එය පරිභෝජනය කිරීමේ අයිතිය ඇත. ඔහු ඒ අනුව කම්කරුවා වැඩට යොදවයි. කෙසේ වෙතත්, මෙය තීරනාත්මක කාරනය වුව ද, සේවකයා නිෂ්පාදනයේ, ගබඩාවේ හෝ භූමියේ යොදවන ශ්‍රම ප්‍රමානය, ඔහුගේ හෝ ඇයගේ වැටුපෙන් ප්‍රකාශ වන ඔහුගේම ශ්‍රම ශක්තියේ වටිනාකම ඉක්මවා යයි. වෙනත් ආකාරයකින් කිවහොත්, කම්කරුවා සිය පැවැත්ම ගෙන යාමට අවශ්‍ය භාන්ඬවල වටිනාකමට වඩා වැඩ කරයි.

කම්කරුවා විසින් නිපදවන වටිනාකම සහ ඔහු ජීවත්ව තබා ගැනීමට අවශ්‍ය දේ අතර වෙනසක්, එනම් අතිරික්ත වටිනාකමක්, තිබේ. සූරාකෑම වැඩි වන තරමට, එනම් ධනේශ්වරයාට කම්කරුවාගෙන් ශ්‍රමය උරාගත හැකි තරමට,  ශ්‍රම ශක්තියේ පිරිවැය අඩු වේ, ඔහු හෝ ඇය කම්කරුවාට ජීවත්වීමට ගෙවන මුදල අඩු වේ, උකහා ගන්නා අතිරික්ත වටිනාකම වැඩි වේ.

කම්කරුවන්ගේ ශ්‍රමයේ නිෂ්පාදිතය අයිති වන්නේ කම්කරුවාට නොව ධනපතියාට ය. වෙලඳපොලේ වෙලඳ භාන්ඩ විකිනීමේදී, ලාභයේ ස්වරූපයෙන් ධනපතියා උපුටා ගත් අතිරික්ත වටිනාකම  හිමිකර ගනී.

මේ ආකාරයට සමස්තයක් ලෙස ධනේශ්වර පන්තිය සමස්තයක් ලෙස කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම උපුටා ගනී. ඉන්පසුව මෙම අතිරික්ත වටිනාකම, මිල යාන්ත්‍රනය, තරඟය, සීරුමාරු කිරීම්, වෙලඳ සම්බාධක යනාදිය හරහා වෙලඳපොල තුල කෙරෙන අරගලයේදී ධනේශ්වර පන්තියේ විවිධ කොටස් අතර බෙදී යයි.  දාස් කැපිටල් හි මාක්ස් මෙම සංකීර්නතා විශ්ලේෂනය කරයි. එහෙත් වෙලඳපොල අරගලය තුල බෙදී යන දෙය, දැනටමත් නිර්මානය වී ඇත්තේ, කම්කරු පන්තියේ ශ්‍රම ශක්තියේ වියදමිනි.

මේ සියල්ල යොමුව ඇත්තේ, ධනපතියාගේ ලාභය සහ ධනය, ඔහුගේ ශ්‍රමයේ ප්‍රතිපලයක් නොව අනෙක් අයගේ ශ්‍රමය වන එනම් කම්කරු ශ්‍රමයේ ප්‍රතිපලය බවටය. වටිනාකම, මිල සහ ලාභය යන  සිය පෙර කෘතීන් තුල මාක්ස් හඳුන්වා දුන් "අතිරික්ත වටිනාකම,  අතිරික්ත ශ්‍රමය හෝ නොගෙවූ ශ්‍රමය විසින් සාක්ෂාත් කරනු ලබන්නාවූ,  වෙලඳ භාන්ඩයක මුලු වටිනාකමෙන් කොටසක් වන අතර එය, මම ලාභය ලෙස හඳුන්වමි" යනුවෙන් සටහන් කලේය.

නැතහොත්, මස්ක් විසින් තරමක් සරල කරන ලද අනුවාදයේ: “එය මට නොමිලේ දෙන්න” ලෙස සඳහන් කරයි.

කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා එක් විස්තාරනයක් අවශ්‍ය වන අතර ඒ, විශේෂයෙන් පසුගිය දශක හතර තුල, පාලක පන්තිය විසින් රාජ්‍ය උපකරන මත සිය පාලනය යොදාගෙන, අවසානයේදී සුපිරි ධනවතුන්ගේ බැංකු ගිනුම් වලට යන පරිදි, කෙලින්ම මූල්‍ය වෙලඳපොලට මුදල් පොම්ප කිරීමයි. 

කොරෝනා ව‍ෛරස් වසංගතයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු පාලක පන්තිය, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය හරහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෝල් වීදියට හරවා යවමින්, කොටස් වටිනාකම් අසාමාන්‍ය මට්ටමකට නංවා තිබේ.

මස්ක්ගේ “මට එය නොමිලේ දෙන්න” හි තවත් අනුවාදයක් වන සංස්ථා සහ බැංකුවල මෙම දැවැන්ත ඇපදීම, මාර්තු අග දී කෙයාර්ස් CARES පනත සම්මත කරමින්, පක්ෂ දෙක විසින්ම අනුමත කරන ලදී. ඇත්ත වශයෙන්ම, මස්ක්ගේ ධනය ද විශාල ලෙස වැඩිවී ඇත්තේ, එවැනි මූල්‍ය මෙහෙයුම් වලින් ය. වර්ධනය වන මරනය සහ සමාජ කාලකන්නි තත්වය මධ්‍යයේ, ඉහල යන කොටස් වෙලඳපොලෙහි ප්‍රතිපලයක් ලෙස, මස්ක් මේ වසරේ මුල් මාස හත තුල සිය ශුද්ධ වටිනාකම තුන් ගුනයකින් වැඩිකර ගෙන තිබේ.

පෙනී යන පරිදි, ෆෙඩරල් සංචිතයේ මුද්‍රනාලය හරහා කිසිදු පදනමකින් තොරව මුදල් අච්චු ගැසීමෙන්, ධනවතුන් වෙත හරවා යැවෙන සියලු ධනය, සියලු වටිනාකම්වල ප්‍රභවය වන කම්කරු ශ්‍රමය සූරාකෑම මඟින් ගෙවිය යුතුය. 

වසංගතය පාලනය කර ගත නොහැකිව තිබියදීත්, නැවත සේවයට පැමිනීම වෙනුවෙන් පාලක පන්තිය කරන බලපෑමේ අර්ථය මෙයයි. වසංගතය පැතිරීම වැලැක්වීම පිලිබඳ සියලු සීමා අවසන් කල යුතු බවත්, කම්කරුවන්ට ගෙවන අතිරේක විරැකියා සහන කපා හැරිය යුතු බවත් අවධාරනය කිරීමේදී, මස්ක් විසින්ම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. අතිරික්ත වටිනාකම සහ ලාභය නිපදවීම සඳහා කම්කරුවන් බලහත්කාරයෙන් ආපසු වැඩට දැක්කිය යුතුය.

අදටත් ඉමහත් අදාලත්වයක් ඇති වචන වලින් මාක්ස්, දාස් කැපිටාල්හි පලමු වෙලුමේ අවසානය දක්වා, ධනේශ්වර සංවර්ධනයේ ගතිකය සහ එහි විප්ලවීය ප්‍රතිවිපාක දීප්තිමත් ලෙස සාරාංශගත කලේය:

මෙම පරිවර්තන ක්‍රියාවලියේ සියලු වාසි උදුරාගනිමින් හා ඒකාධිකාරී අයිතිය තහවුරු කරගන්නා ප්‍රාග්ධනයේ බලපෑම, නිරන්තරයෙන් අඩුවෙමින් පවතින අතර, කාලකන්නිකම, පීඩාව, වහල්භාවය, පරිහානිය, සූරාකෑම වර්ධනය වන නමුත්  කම්කරු පන්තියේ කැරලිකාරිත්වය ද මේ සමඟම වර්ධනය වන අතර, සෑම විටම සංඛ්‍යාවෙන් වැඩි වන ඒ පන්තිය, ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලියේම යාන්ත්‍රනය විසින් විනයගරුක, එක්සත්, සංවිධිත පන්තියක් කරනු ලැබේ. එය වර්ධනය වී සමෘධිමත් වූ එම නිෂ්පාදන මාදිලියේම විලංගුවක් බවට ප්‍රාග්ධනයේ ඒකාධිකාරය පත්ව ඇත. නිෂ්පාදන මාධ්‍ය මධ්‍යගත කිරීම සහ ශ්‍රමය සමාජගත කිරීම අවසානයේ දී ඒවායේ ධනේශ්වර අන්තර් ක්‍රියාකාරිත්වයට නොගැලපෙන තැනකට ලඟා වේ. අන්තර් ක්‍රියාකාරිත්වය පුපුරා යයි. ධනේශ්වර පෞද්ගලික දේපල ක්‍රමයට ඇනය ගසනු ලබන අතර අත්පත් කර ගත්තවුන්ගෙන් අත්පත්කර ගනු ලැබේ.

මාක්ස්ගේ දාස් කැපිටල් පිලිබඳ ඔහුගේ ට්විටර් සටහනෙන් මස්ක්, කම්කරු පන්තිය සූරාකෑමේ ධනපති ක්‍රියාවලිය සාරාංශගත කිරීමට  අදහස් නොකල බව සමහරු තර්ක කල හැකිය. සමහර විට ඔහු යෝජනා කලේ,  තමන් සූරාකෑමට විරෝධය දැක්වීමේදී කම්කරුවන්ට කෙසේ හෝ නොමිලේ යමක් අවශ්‍ය  විය හැකි බව ද?

එවැනි අදහසකින් මස්ක්, නොදැනුවත් හා හිරිහැර කරන්නෙකු මෙන් පෙනෙනු ඇත. කෙසේ වෙතත්, කම්කරුවන් ඔහුගේ ට්වීටර් සටහන මේ ආකාරයෙන් අර්ථ නිරූපනය කරන්නේ නම්, ඔවුන් පිලිතුරු දෙනු ඇත්තේ, ඔවුන් හුදෙක් නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන සමාජයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවත්, මානව ශ්‍රමයේ නිෂ්පාදිතය සමානාත්මතාවයේ පදනම මත බෙදා හරින බවත් මිනිස් අවශ්‍යතාවය මිස ස්වල්ප දෙනෙකු විසින් අති විශාල ධනයක් එක්රැස් කිරීම නොවන බවත් පවසමිනි. අත්පත් කර ගත්තවුන්ගෙන් අත්පත්කර ගත යුතු බව ඔවුන් පවසන කල ඒ පේලියේ පෙරමුනේම සිටින්නෙකි මස්ක්.  

Loading