කොලඹ වරායේ සියලු වැඩකටයුතු ඇනහිටවමින් දහස් ගනනක් කම්කරුවෝ වැඩ වරති

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට එරෙහිව, වරාය කම්කරුවන් විසින් දින ගනනාවක් පුරා අඛන්ඩව ගෙනයන විරෝධතා උද්ඝෝෂනය නව නැම්මක් ගනිමින්, වරායේ සියලු වැඩකටයුතු ඇනහිටවූ වැඩ වැඩවර්ජනයක් බවට පත්ව ඇත. ඊයේ දවල් 12.00 සිට වරායේ සියලු ප්‍රවේශයන් අවහිර කල කම්කරුවෝ සියලු පර්යන්තයන්හි වැඩ නවතා දැමූහ. ඉංජිනේරු, තාක්ෂනික සහ පරිපාලන අංශයන්හි සේවකයන් ද ඇතුලත් දහස් ගනනක් කම්කරුවෝ වර්ජනයට සහභාගිවී සිටිති.

උක්ත පර්යන්තය ඉන්දියාවට පවරා නොදෙන බවට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් හෝ අගමැති මහින්ද රාජපක්ෂගෙන් "ලිඛිත පොරොන්දුවක්" ලැබෙනතෙක් අත් නොහරින බවට ශපථ වෙමින්, "කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව", ජූලි 29 දා සිට "සත්‍යග්‍රහයක" නිරතව සිටී. වරායේ බැස්ටියන් ද්වාරය අසල තාවකාලිකව ඉදිකල වේදිකාවක එය පවත්වාගෙන යනු ලැබේ.

ඊයේ මධ්‍යහනයේ වරායේ ප්‍රධාන ද්වාරය අසලට රැස්වූ දහසකට අධික කම්කරුවෝ, සත්‍යග්‍රහයට සහයෝගය දක්වමින්, බැස්ටියන් ද්වාරය දක්වා පෙලපාලියකින් ගමන් කලහ. එහිදී විරෝධතා උද්ඝෝෂනයක නිරතවූ ඔවුහු, හර්තාල් පාලම අවහිර කරමින්, වරායට ඇති  ප්‍රවේශයන් වසා දැමූහ. ඒ සමගම වරායේ සියලු කටයුතු නතරවිය.

පූර්ව සැලසුමක් හෝ නොමැතිව, කම්කරුවන් දහස් ගනනක් ක්ෂනිකව සහභාගි කෙරුනු වැඩවර්ජනයක් ලෙස මෙම අරගලය පුපුරාගොස් සමස්ත වරායම ඇනහිටවන තත්වයක් නිර්මානයවීම තුල අර්ථභාරී වර්ධනයන් රැසක්ම ප්‍ර‍කාශයට පත්වෙයි. 

පලමුව, පුපුරා යාමට පටන්ගෙන ඇත්තේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් තම රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි වලටත්, ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතීන් වලටත් එල්ල කරන ලද සහ එල්ල කරමින් පවත්නා රුදුරු ප්‍ර‍හාරයන්ට එරෙහිව දශක ගනනාවක් පුරා වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය තුල සමුච්ඡය වූ දැවැන්ත කෝපය යි.

දෙවනුව, වරාය කම්කරුවන් විසින් පෙන්වා ඇත්තේ එම ප්‍ර‍හාරයන්ට එරෙහිව සටන් කිරීමේ දැඩි අවශ්‍යතාව සහ ඒ සදහා ඔවුන් සතුව පවත්නා අධිෂ්ඨානය යි.

තෙවනුව, හුදෙක් නැගෙනහිර පර්යන්තයේ කම්කරුවන්ට හෝ එක් ශ්‍රේනියකට පමනක් සීමා නොවී, පර්යන්ත සහ ශ්‍රේනි රේඛා කපාගෙන සමස්ත වරාය කම්කරුවන්ම මෙම වර්ජනය තුල ඒකාබද්ධවීම මගින්, ධනපති ප්‍ර‍හාරයන්ට එරෙහිව සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයකට වෛෂයිකව පවත්නා ගාමකය ප්‍ර‍කාශයට පත්වෙයි. එය අනෙකුත් ක්ෂේත්‍ර‍යන්හි කම්කරුවන්ට ද මගපෙන්වන සහ ආශ්වාදය දල්වන වැදගත් වර්ධනයකි.

ඒ සමගම, වරාය කම්කරුවන් එක්ව සිටින්නේ, රටක් රටක් පාසා ධනපති පාලකයන් විසින් කොරෝනා වසංගතය මධ්‍යයේ යලි වැඩට දැක්කීමට සහ රැකියා විනාශ කිරීමට එරෙහිව ලොවපුරා කම්කරුවන් අතරින් පැන නගිමින් පවත්නා ගෝලීය පංති අරගල මාලාවටයි. 

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, අනෙකුත් ක්ෂේත්‍ර‍යන්හි කම්කරුවන් වරාය කම්කරු අරගලය ආරක්ෂා කිරීමට සහ එයට තම පූර්න සහයෝගය දීමට ඉදිරියට පැමිනියයුතුයැයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටී. 

කෙසේ නමුත්, මෙම වර්ධනයන් සම්බන්ධයෙන් භීතියට පත්ව සිටින සමිති නිලධරය, කම්කරුවන්ගේ දැවෙන ප්‍ර‍ශ්නයන් වන දුෂ්කර රැකියා සහ ජීවන කොන්දේසි පිලිබඳව හෝ ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍ර‍හාරයන් පිලිබඳව හෝ කිසිම ඉල්ලීමක් මෙම උද්ඝෝෂනය තුල මතු නොකරයි. සමිති නිලධරය, ඊට විපරීතව, "ලංකාව සතු සම්පතක් ඉන්දියාවට හිමිවීම නතර කිරීමේ" ජාතිකවාදී උද්ඝෝෂනයකට අරගලය සිඳුවා දැමීමට සෑම උත්සාහයක්ම දරයි.

ඊයේ රාත්‍රියේ මාධ්‍ය අමතමින් සමිති එකමුතුවේ ලේකම් ශමාල් සුමනරත්න පැවසුවේ, "ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතා වටිනා සම්පතක් ආරක්ෂා කිරීම සඳහා" මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කල බව සහ එමගින් "අනාගතයේ දී රටේ සියලුම පුරවැසියන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගත හැකි" බවයි.

නිලධරයේ මෙම ප්‍රතිගාමි ජාතිකවාදී ප්‍ර‍යත්නයෙන් ගැම්මගත්, සිංහල ස්වෝත්තමවාදී සහ ජාතිකවාදී නඩ වර්ජනය මැදට පැන එය පීලි පැන්නවීමට හැති සෑම උත්සාහයක්ම දරති. 

සිංහල වර්ගවාදී "ජාතික හෙල උරුමයේ" නායක, හිටපු ඇමතිවරයෙකු වන චම්පික රනවක ඊයේ දහවල්  සත්‍යග්‍රහ වේදිකාව වෙත ගොස්  වෘත්තීය සමිති නායකයන්ට කියා සිටියේ උද්ඝෝෂනයට පූර්න සහයෝගය ලබාදෙන බවයි.

වරාය භූමියට ගිය, සිංහල-බෞද්ධ අන්තවාදී "සිංහල රාවයේ" ප්‍රධාන ලේකම්, පාහියංගල ආනන්ද සාගර භික්ෂුව මෙම ඉන්දියානු-විරෝධය ඇවිලවීමට යත්න දරමින් කියා සිටියේ, "වත්මන් රජයේ ඇමතිවරු ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා ව්‍යාපාරික ආයතන හරහා මිල කල නොහැකි වත්කම් අඩු මිලට විකිනීම සඳහා ගිවිසුම්වලට එලඹෙමින් සිටින" බවයි.

තවත් කුප්‍රකට සිංහල වර්ගවාදියෙකු සහ ජාතිකවාදියෙකු මෙන්ම, රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙකු වන විමල් වීරවංශ ද ඊයේ රාත්‍රියේම වරායට කඩාවැදී උද්ඝෝෂනයට "සහාය දෙන" බවට ශපථ වී ඇත.

කම්කරු පංතියේ පංති එකමුතුවට දැනුවත්ව වල කපන මෙම වර්ගවාදී හැඩියන්ගේ "සහාය" ප්‍ර‍තික්ෂේප කරමින් වරාය කම්කරුවන් අවශේෂ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ සහාය දිනා ගැනීමට වහා හැරීගත යුතුය.

පුද්ගලීකරනයට එරෙහිව කම්කරුවන් අතර වැඩී ඇති අව්‍යාජ විරෝධය, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවෙන් බේරා ගැනීමේ ඊනියා දේශප්‍රේමී සටනකට පිරිහෙලීමේ ව්‍යායාමයක යෙදී සිටින සමිති නිලධරය ඒ සදහා සරන පතන්නේ ජනාධිපති සහ අගමැති දෙබෑයන්ගෙනි.   

කෙසේ නමුත්, ඒ  සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉතා පරිස්සම් සහගතබව අගමැති මහින්ද රාජපක්ෂගේ සැඳහුම් මගින් ප්‍රකාශයට පත්වේ. 

වරාය සමිති එකමුතුව ජූලි 24 වන දා පැවැත්වූ උද්‌ඝෝෂනයකදී එක්සත් ජාතික පක්ෂයට (එජාප) අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම් උදේනි කලුතන්ත්‍රි කියා සිටියේ, “නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්, වරාය අධිකාරිය යටතේ ඇරඹීම ඉන්දියාවේ හා ඇමරිකාවේ උදහසට හේතුවිය හැකි බැවින්, එයට ඉඩදිය නොහැකි” බව, අගමැති රාජපක්ෂ වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්ඡාවේදී පැවසු බවයි. 

පෙර පැවති මහින්ද රාජපක්ෂ තන්ත්‍රය චීනය දෙසට වඩාත් නැඹුරු වූ තතු තුල, ඇමරිකාව තම කලාපීය සගයා වන ඉන්දියාවද මැදිහත්කර ගනිමින් 2015 දී කල තන්ත්‍ර මාරු සිද්ධිය  මතක් කරමින්, රාජපක්ෂ ඔහුගේ ග්‍රාම්‍ය භාෂාවෙන්ම සමිති නිලධරයට කියා ඇත්තේ "එක සැරයක් මං කෙලව ගත්තා. ආයෙත් කෙලව ගන්න බෑ" යනුවෙනි.   

කලුතන්ත්‍රි තවදුරටත් පැවසුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද, ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය පැවරීමට විරුද්ධ නොවන ලෙස වෘත්තීය සමිති වලට අනතුරු ඇඟවූ බවයි.

ඉන්දියානු සාගර කලාපයේ චීනයට එරෙහිව වොෂින්ටනය ගෙනයන යුද සූදානමේ, ප්‍රධාන කොටස්කරුවෙක් ලෙස සිටින නවදිල්ලිය, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලා සිටින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවයන්ගේ කොටසක් ලෙසය. 

ඇමරිකාව සහ චීනය අතර භූ-මූලෝපායික ආතතීන් පෙර නොවූවිරූ අයුරින් උත්සන්න වී ඇති මෙම කාලයේ රාජපක්ෂ දෙබෑයෝ, වොෂින්ටනය, නවදිල්ලිය සහ බීජිනය සමග ගනුදෙනු කරනුයේ ඉතා පරිස්සමෙනි. පසුගිය සතියේ චීනය විසින් හිම්කම් කියන දකුනු චීන මුහුදේ ඇමරිකානු යුද නැව්, අතිශය ප්‍රකෝපකාරී අන්දමින් සිදුකල බලය විදහා පෑම් මගින් මෙම තත්වය වඩාත් උග්‍ර කෙරී ඇත. 

මෙම භූගෝලීය වර්ධනයන් බරපතල ලෙස සැලකිල්ලට ගැනුනු ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් තොරව, සමිති නිලධරය ගෙනයන ජාතිකවාදී සහ ධනේශ්වරගැති වැඩපිලිවෙල මගින්, වරාය කම්කරුවන් මුහුනදෙන පුද්ගලීකරනය ඇතුලු දැවෙන ප්‍රශ්න කිසිවක් විසඳාගත නොහේ. 

සමිති නිලධරය ඊයේ දහවල් කම්කරුවන් අමතා කල කතා වලදී උත්සාහ දැරුවේ, මෙම අතිමූලික ප්‍රශ්න වසන් කර, නැගෙනහිර පර්යන්තය පිලිබද ප්‍රශ්නය ලංකාව තුල විස‍ඳා ගත හැකි දෙයක් බව පෙන්වමින් කම්කරුවන් අවමංගත කිරීමටය.

සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ චන්ද්‍රසිරි මහගමගේ සඳහන් කලේ මෙම සටන "නැගෙහිර පර්යන්තය ජයග්‍රහනය කිරීමෙන්" කෙලවර කරන බවයි. ආන්ඩුව මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකලහොත් "එම්සීසී ගිවිසුම අහෝසි කිරීමට, නැගෙනහිර පර්යන්තය බේරා ගැනීමට, විජාතික බලවේග වලට එරෙහිව" රට  තුල පොදු සන්ධානයක් ගොඩනගා එය පරාජය කිරීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් පැවසීය.

මෙම ද්‍රෝහී නායකයන් යෝජනා කරන්නේ "විජාතික බලවේග වලට එරෙහිව"  සටන් කිරීමට"පොදු සන්ධානයක්" ගොඩනැගිය යුතු බවයි. එම සන්ධානයට එකතුවනු ඇත්තේ, කම්කරු පංතිය බෙදා වෙන් කිරීමේ වාර්ගික දේශපාලනයේ ලෙයින් අත් නාවාගත්, චම්පික රනවක, විමල් වීරවංශ සහ ආනන්ද සාගර වැනි වර්ගවාදී හැඩියන් බව දැනටමත් පැහැදිලිය.

වරාය කම්කරුවන් මෙම ප්‍රතිගාමී ක්‍රියාමාර්ගය මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතුය. ඔවුන් ඇතුලු සමස්ත කම්කරු පංතියට මෙම ප්‍රහාරයන් පරාජය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන ව්‍යාපාරයක් මගින්, එම ප්‍රහාර එල්ල කරන ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව, දේශපාලනික සටනක් ගෙනයාම මගින් පමනකි.

එම අරගලය සූදානම් කිරීමේදී තමාට මුහුන දීමට සිදුවන බරපතල දේශපාලනික අභියෝගයන් කම්කරුවන් විසින් වටහාගත යුතුය.

ගැඹුරුම ආර්ථික අර්බුදයක කිඳී සිටින රාජපක්ෂ ආන්ඩුව, අගෝස්තු 05 මහමැතිවරනය හමාර වූ වහාම කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි රුදුරුම ප්‍රහාරයකට කඩා පනිනු ඇත. එයට එරෙහිව අනිවාර්යයෙන්ම පැන නගිනු ඇති දැවැන්ත පන්ති අරගල ලෙයින් මැඩීම සඳහා අවශ්‍ය ජනාධිපති ආඥාදායක පාලනයක් තහවුරු කරගනු වස්, ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට ජනාධිපති රාජපක්ෂ වලිකයි. මෙවර මැතිවරනයේදී පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතරයක් ඉල්ලා සිටින්නේ එබැවිනි.

රැකියා ඇතුලු සමාජ අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාරයන්, ආඥාදායක සැලසුම් සහ වරායන් අත්පත්කර ගැනීම් ඇතුලු අධිරාජ්‍යවාදී යුධ මූලෝපායික සැලසුම් පරාජය කල හැක්කේ, ලංකාව තුලත් ලෝකය පුරාමත් කම්කරු පන්තිය ඒකාබද්ධ කර ගනිමින්, ලෝක ධනවාදයට එරෙහිව ගෙනයන අරගලයකින් පමනි. එය ජාත්‍යන්තර සමාජවාදය සදහා සටනයි.

ධනපති ක්‍රමයට සහ ජාතික රාජ්‍ය පද්ධතියට ඓන්ද්‍රීයව බැඳීගත් වෘත්තීය සමිති එවන් සටනකට පරම සතුරුය. වැඩ වර්ජිත වරාය කම්කරුවන් මෙන්ම අනෙකුත් කම්කරුවන් මෙම ප්‍රතිගාමී වෘත්තීය සමිති වලින් බිඳී ජාත්‍යන්තරවම ධනපති ක්‍රමය පෙරලීමේ සමාජවාදී ඉදිරි දර්ශනය මත තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය. එම ක්‍රියාකාරී කමිටු වටා, පීඩිත ගොවීන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින්,  කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් ඉහත ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නැංවිය හැක.  

Loading