ජර්මානු වාම පක්ෂ නායිකා සහරා වාග්නෙහ්ට් ගෝලීයහරනය ඉල්ලා සිටී

මෙම ලිපිය ජූනි 11 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ජාතිකවාදයේ මල සිරුරෙන් වෛරසයක් එන්නත් කිරීමෙන් ආර්ථික ජීවිතය බේරා ගැනීමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලය ලේ විෂ වීමයි, එය ෆැසිස්ට්වාදී නාමය උසුලා ගෙන යයි. 

ලියොන් ට්‍රොට්ස්කි, “ජාතිකවාදය හා ආර්ථික ජීවිතය” 1934 අප්‍රේල්. 

කොරෝනා වෛරස් අර්බුදයට වාම පක්ෂ නායිකා සාරා වාග්නෙහ්ට්ගේ පිලිතුර, ගෝලීයහරනය ඉල්ලා සිටීම යි. මැයි 20 වන දින ඇය දක්ෂිනාශික සතිපතා සඟරාවක් වන ෆෝකස් සඳහා නිතිපතා ලියන තීරුවේ  සිය අදහස් සාරාංශ කර දැක්වූවා ය.

සාරා වාග්නෙහ්ට් (Raimond Spekking/CC BY-SA 4.0 via Wikimedia Commons)

“මධ්‍යම පන්තියේ සමෘද්ධිය සුරැකීමට ජර්මනියට දැන් අවශ්‍ය වන්නේ කුමක්ද” යන මාතෘකාව යටතේ වාග්නෙහ්ට් පවසන්නේ “ලාභ ආනයන හා සතුරු අත්පත් කරගන්නන්ගෙන් කම්කරුවන් හා  ගෘහස්ථ සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම ජාතිකවාදී නො ව ප්‍රජාතන්ත්‍රවාදී යුතුකමකි… අප කාර්මික වටිනාකම් නිර්මානය නැවත යුරෝපයට ගෙන ආ යුතු අතර ඩිජිටල් ආර්ථිකය වැනි ප්‍රධාන අංශ මත අපගේ යැපීම ජයගත යුතු ය. ”

19 වන ශතවර්ෂයේ අගභාගයේ දී ජර්මනිය හා එක්සත් ජනපදය ඔවුන්ගේ කාර්මික පසුගාමීත්වය “ඉහල තීරු බදු තාප්ප ආරක්ෂාව පිටුපසින්” ජය ගත් බව තර්ක කරමින් වාග්නෙහ්ට් “දේශීය ආර්ථිකය සඳහා ආරක්ෂිත පියවර” සඳහා කල ඉල්ලීම සාධාරනීකරනය කරයි. ඇය තවදුරටත් මෙසේ කියයි: “දෙරට ම ධනවත් කලේ නිදහස් වෙලඳාම නො ව ආරක්ෂනවාදය යි.”

වඩාත් මෑත ගෝලීයකරනයෙන් ප්‍රතිලාභ ලබන අය, “බටහිර ක්‍රීඩාවේ නීති රීතිවලට අනුකූලව, එනම් නිදහස් වෙලඳාම, ප්‍රාග්ධනයේ නිදහස් චලනය, ආර්ථිකයෙන් රාජ්‍යය ඉවත් කර ගැනීමේ නීති අනුව නො ව, තමන්ගේ ම නීතිරීති අනුව කටයුතු කල රටවල් ය.” චීනය, ජපානය සහ දකුනු කොරියාව “ජාතික කාර්මික අංශ ජාත්‍යන්තර තරඟයට විවෘත කලේ, අතිශයින් ම වරනාත්මකව හා  සෑම විට ම ඔවුන්ට සමාන පදනමක් මත දිවි ගලවා ගැනීමට හැකි වූ තාක් පමනි.”

වාග්නෙහ්ට් “ඇන්ග්ලෝ සැක්සන් මූල්‍ය ආයෝජකයින්”, “ජාත්‍යන්තර ප්‍රකෝටිපතියන්ගේ සමාජය” හා “බටහිර මහනගරවල නවීන ඇතුලු නගර දිස්ත්‍රික්කවල ජීවත්වන ශාස්ත්‍රාලිකයන්ගෙ' නව ඉහල පන්තිය” යැයි ඇය පවසන “ගෝලීයකරන ජයග්‍රාහකයන්ට” පහරදීම් සමඟින් ආරක්ෂනවාදය සඳහා වන කැඳවීම සම්බන්ධ කරයි. 

ඇය “ඔවුන්ගේ ජීවිත වඩා දුෂ්කර හා අවිනිශ්චිත වී ඇති” සියලු දෙනා සමඟ ඔවුන් වෙන් කර දක්වයි. ගෝලීයකරනයේ “පරාජිතයින්” අතර බොහෝ ශාස්ත්‍රාලිකයින් සිටින නමුත්, සියල්ලටත් වඩා “විශ්ව විද්‍යාල උපාධියක් නොමැති සහ ස්ථිර රැකියාවක් සහ වෘත්තීය දියුනුවක් සඳහා වන අපේක්ෂාවන් පසුගිය සියවසේ දෙවන භාගයට වඩා අද බෙහෙවින් අඩු පුද්ගලයෝ සිටිති.”

සමාජීය වශයෙන් අවාසි සහගත පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා තීරුබදු තාප්ප සහ වෙනත් ආරක්ෂන පියවරයන් සේවය කරන බවට කරන ප්‍රකාශය ව්‍යාජ හා දේශපාලනික වශයෙන් ප්‍රතිගාමී ය. එය පවතින්නේ සමාජවාදයේ සම්ප්‍රදාය තුල නොව ෆැසිස්ට්වාදයේ සම්ප්‍රදාය තුල ය. එය ජාතිකවාදය ඇවිස්සීමට, ජාත්‍යන්තර කම්කරු පන්තිය බෙදීමට, හා වෙලඳ යුද්ධය හා මිලිටරි යුද්ධයට සූදානම් කිරීමටත් සේවය කරයි.

මුසෝලිනී හා හිට්ලර් යන දෙදෙනා ම 1930 ගනන්වල ගැඹුරු අවපාතය වෙනුවෙන් ලෝක ආර්ථිකයට දොස් පැවරූ අතර ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කලහ. ලෙනින් පසෙකින් රුසියානු ඔක්තෝබර් විප්ලවයේ වැදගත් ම නායකයා මෙන් ම හතරවැනි ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි 1934 අප්‍රේල් මාසයේ දී “ජාතිකවාදය හා ආර්ථික ජීවිතය” යන ලිපිය ලියා ඇති අතර, ඉහත උපුටා දැක්වීම ගෙන ඇත්තේ එයිනි. 

එහි දී ට්‍රොට්ස්කි ආර්ථික ජාතිකවාදයේ කාලානුරූපී, ගැඹුරින් ප්‍රතිගාමී අන්තර්ගතය පැහැදිලි කරනවා පමනක් නොවේ. දෙවන ලෝක යුද්ධයට වසර පහකට පෙර ඔහු මෙසේ පුරෝකතනය කරයි. “පරිහානිගත ෆැසිස්ට් ජාතිකවාදීන් ලෝක කරලියේ ප්‍රචන්ඩ පිපිරීම් හා මහත් ලෙස පෙනෙන ගැටුම් සූදානම් කිරීම හා විනාසය මිස කිසිවක් බිහි නො කරයි. පසුගිය වසර 25 හෝ 30 තුල මෙම මාතෘකාව පිලිබඳ අපගේ සියලු අත්දැකීම් ඉදිරියේ දී සිදුවීමට යන නිරයේ සංගීතයට සාපේක්ෂව සලකන කල අමිහිරි ප්‍රකාශයක් පමනක් වනු ඇත. ”

ට්‍රොට්ස්කිගේ තක්සේරුව පදනම් වූයේ ඉතිහාසය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය මත වන අතර ඒ අනුව නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය මානවෙ ප්‍රගතියේ ගාමක බලය වේ. 18 වන හා 19 වන සියවස් වන විට ධනේශ්වර විප්ලවයෝ මධ්‍යකාලීන විශිෂ්ටවාදය  (medieval particularism) ජයගෙන ධනවාදී ආර්ථිකය වර්ධනය විය හැකි නවීන ජාතික රාජ්‍යයන් බිහි කලෝ ය.

එහෙත් ජාතික රාමුව තුල ආර්ථික සංවර්ධනය නතර නො වීය. ලෝක වෙලඳාම වර්ධනය වූ අතර අවධානය අභ්‍යන්තරයේ සිට බාහිර වෙලඳපොල වෙත මාරු විය.

“19 වන සියවස සනිටුහන් වූයේ, ජාතියේ ඉරනම එහි ආර්ථික ජීවිතයේ ඉරනම සමඟ සම්මිශ්‍රනය වීමෙනි; නමුත් අපගේ සියවසේ මූලික ප්‍රවනතාවය වන්නේ, ජාතිය හා ආර්ථික ජීවිතය අතර වැඩෙන ප්‍රතිවිරෝධය යි. ”ට්‍රොට්ස්කි පැහැදිලි කරයි. "අතීතයේ පැවති සියලු ධනවාදී අර්බුද සංස්ලේෂනය කර ඇති වර්තමාන අර්බුදය, සියල්ලට ම වඩා ජාතික ආර්ථික ජීවිතයේ අර්බුදය සංකේතවත් කරයි."

අධිරාජ්‍යවාදී බලවත්හු තම ප්‍රතිවාදීන්ගේ වියදමින් ප්‍රචන්ඩ ලෙස ව්‍යාප්ත වීමෙන් මෙම අර්බුදය “විසඳීමට” උත්සාහ කලහ. ලෝක යුද්ධ දෙක සඳහා ප්‍රධාන හේතුව මෙය යි. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. “[පලමු ලෝක යුද්ධයේ එක් ප්‍රධාන හේතුවක් වූයේ ජර්මානු ප්‍රාග්ධනය පුලුල් තලයකට කඩා වැදීමයි. හිට්ලර් 1914-1918 දී කෝප්‍රල්වරයෙකු ලෙස සටන් කලේ ජර්මානු ජාතිය එක්සත් කිරීමට නො ව, සුපිරි ජාතික අධිරාජ්‍යවාදී වැඩපිලිවෙලක නාමයෙනි.”

එහෙත් යුද්ධය කිසිදු විසඳුමක් ගෙන ආවේ නැත. එබැවින් 1933 දී පාලක ප්‍රභූහු හිට්ලර් චාන්සලර් වශයෙන් පත් කොට, ඔහුට ඒකාධිපති බලතල ලබා දුන්හ. කම්කරු ව්‍යාපාරය බිඳ දමා ජාතික ආර්ථිකය සංකේන්ද්‍රනය කරමින් දෙවන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයකට සූදානම් වීමට නාසීන් යොදා ගන්නා ලදී.

අවුරුදු 90 ක් තරම් පැරනි වුවත්, ට්‍රොට්ස්කිගේ ලිපිය වෙන කවරදාටත් වඩා අදට අදාල වේ. ලෝක ආර්ථිකයේ ඒකාබද්ධතාවය පෙර නො වූ විරූ මට්ටමකට පැමින තිබේ. වෙලඳාම පමනක් නොව නිෂ්පාදන දාමයන් ද දැන් ලොව පුරා විහිදේ. ආසන්න වශයෙන් බිලියන 8ක ජනගහනයක් සමග, ලෝක ජනගහනය 1933 ට වඩා හතර ගුනයකින් විශාල වන අතර, ඔවුන්ගෙන් අඩකට වඩා නගරවල ජීවත් වෙති.

“යල් පැන ගිය ජාතික රාජ්‍යයට,  ආර්ථිකය බලහත්කාරයෙන් යටත් කිරීමට ” ගන්නා උත්සාහය එදාට වඩා අද වඩාත් විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙයි. එය මනුෂ්‍යත්වයේ පැවැත්ම ප්‍රශ්නයට ලක්  කරයි.

එසේ වුව ද, එක්සත් ජනපදයෙන් පටන් ගෙන ආර්ථික ජාතිකවාදය හා වෙලඳ යුද්ධය ලැව් ගින්නක් මෙන් පැතිරෙමින් තිබේ. නැවත වරක් ට්‍රොට්ස්කි උපුටා දක්වතොත්, “නවීන තාක්ෂනයේ ක්‍රියාකාරිත්වය සඳහා සුදුසු විශාල ක්ෂේත්‍රයක් එලිපහලි කරනවා වෙනුවට පාලකයෝ ආර්ථිකයේ ජීවමාන ව්‍යූහය කැබලි කොට පෙති ගසා දමති.”

ජර්මනිය ඇතුලු සියලු අධිරාජ්‍යවාදී බලවත්තු, දැවැන්ත යලි සන්නද්ධ වීමක නිරතව සිටිති. න්‍යෂ්ටික අවි ආයුධ අලුත් කිරීම සඳහා බිලියන ගනනක් වැය කෙරෙමින් තිබේ. විශේෂයෙන් චීනයට එරෙහි යුද්ධය සඳහා කල්තියා සූදානම් වේ. සෑම තැනක ම දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග හිස ඔසවමින් සිටී.

සාමකාමී මාර්ගයෙන් ආර්ථිකය දශක ගනනාවකට හෝ සියවස් ගනනාවකට පෙර තත්වයට ආපසු ගෙන ඒමට නො හැකි බව, ආචාර්ය උපාධියක් ඇති ආර්ථික විද්‍යාඥවරියක වන වාග්නෙහ්ට් ස්වභාවිකව ම දනියි . වෙනත් ඕනෑ ම රටකට වඩා ජාත්‍යන්තර ශ්‍රම විභජනය මත යැපෙන ජර්මනිය වැනි ආර්ථික වශයෙන් ඉහල සංවර්ධිත රටක මෙම අදහස විකාරයකි.

ආරක්ෂනවාදය වෙනුවෙන් ඇගේ පෙනී සිටීම වෙනස් ඉලක්කයක් පසුපස හඹා යයි. එසේ කිරීමෙන් ඇය චීනයට එරෙහිව, හා විශේෂයෙන් එක්සත් ජනපදයට එරෙහි අනාගත වෙලඳ යුද්ධ හා මිලිටරි යුද්ධවල දී ජර්මානු ධනේශ්වරයට සහාය දක්ව යි. ධනවාදය පෙරලා දැමිය හැකි එක ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමට විරුද්ධ බලවේග බලමුලු ගැන්වීමට ඇය උත්සාහ කරයි.

අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා  විකල්පයේ (ඒඑෆ්ඩී) ප්‍රශංසාව ඇයට නැවත නැවතත් ලබා දී ඇති,  සරනාගතයින්ට එරෙහි වාග්නෙහ්ට්ගේ උද්ඝෝෂනය අහම්බයක් නො වේ. ඇය සිය දේශපාලන ජීවිතය තුල බොහෝ වමට දකුනට පැන ඇති නමුත්, එක් දෙයක් - ඇගේ ජාතිකවාදය සැමවිට ම ස්ථාවරව පවතී. 

1991 දී ජර්මානු යලි එක්වීමෙන් පසුව, 20 හැවිරිදි ඇය, එය ස්ටැලින්වාදයට හා “තනි රටක සමාජවාදය” පිලිබඳ ජාතිකවාදී න්‍යායට ඇලී සිටි වැඩිහිටි නැගෙනහිර ජර්මානු ක්‍රියාකාරීන්ගේ එකතුවකට වඩා වැඩි දෙයක් නො වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයේ (පීඩීඑස්) කොමියුනිස්ට් වේදිකාවේ තරුනියක් ලෙස සේවය කලා ය. වසර විස්සකට පසු ඇය ප්‍රතිගාමී පශ්චාත් යුද ඇඩිනෝවර් යුගය හා එහි ආර්ථික විද්‍යාඥයන්ට ප්‍රශස්ති ගායනා කිරීමට පටන් ගත්තා ය. ඇය තවදුරටත් මාක්ස් උපුටා දැක්වූයේ නැත. ඒ වෙනුවට ඇය පිලිගත්තේ සමාජවාදය යනු සැබවින් ම  තරඟකාරිත්වය, කුසලතා හා පෞද්ගලික වගකීම් සහිත ස්ථාවර ලිබරල්වාදය යන්න යි.

ඇය මැයි 21 වන දින කැපිටල් නම් ව්‍යාපාරික සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කල පරිදි,  “චීන අපනයන අපද්‍රව්‍ය” සහ “විදේශ අත්පත් කර ගැනීම්” වලින් ජර්මානු ආර්ථිකය ආරක්ෂා කර ගැනීමටත් “කාර්ය සාධනය සඳහා අව්‍යාජ තරඟයක්” සහතික කිරීමටත් දැන් ඇය ඉල්ලා සිටි යි. ඊට වෙනස්ව, ඇය පැහැදිලිවම “රාජ්‍ය ආර්ථිකයක්” ප්‍රතික්ෂේප කරයි. “ස්ථිර පදනමක් මත සමාගම් කලමනාකරනය කිරීම රජයේ කාර්යයක් නොවේ,” ඇය ප්‍රකාශ කරයි.

වාග්නෙහ්ට් පසුගිය නොවැම්බරයේ වාමාංශික පාර්ලිමේන්තු කන්ඩායමේ ප්‍රධානියා ලෙස විශ්‍රාම ගියද, ඇය දිගට ම පක්ෂයේ ප්‍රමුඛ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි. කතා සංදර්ශනවල සහ මාධ්‍යවල ඇය නිතර ම වාම පක්ෂය නියෝජනය කරයි. ඇය සංකේතවත් කරන්නේ ජර්මානු අධිරාජ්‍යවාදයට පිටුපසින් අනවරතයෙන් සිටින පක්ෂයක් වන අතර රට තුල සිටින කම්කරු පන්තියට සහ ජර්මානු අධිරාජ්‍යවාදයේ බාහිර ප්‍රතිවාදීන්ට එරෙහිව ඕනෑ ම ආකාරයකින් ජර්මානු ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම් ය.

Loading