වසර 75 කට පෙර: එක්සත් ජනපදය හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමානු බෝම්බ හෙලයි

මෙම ලිපිය අගෝස්තු 3 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

හිරෝෂිමාවට බෝම්බය හෙලීමට පෙර සහ පසු

එක්සත් ජනපද මිලිටරිය 1945 අගෝස්තු 6 සහ 9 යන දෙදින තුල ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගර වලට න්‍යෂ්ටික බෝම්බ හෙලා පුපුරවා දැමූහ. එම යුද අපරාධයේ ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ ගනනක් මිය ගියහ.

එක්සත් ජනපද ආන්ඩුවේ මෑන්හැටන් ව්‍යාපෘතිය (Manhattan Project) කේන්ද්‍ර කර ගනිමින් න්‍යෂ්ටික අවි නිපදවීමේ සැලසුම් වසර ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවතිනි. පරමානු බෝම්බ හෙලීමට පෙරාතුව, 1944 මැද භාගයෙන් පසු, ජපානයේ නගර 67 කට සාම්ප්‍රදායික බෝම්බ යොදා ගනිමින් ඇමරිකාව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලේය. ගුවනින් එල්ල කල මෙම ප්‍රහාර සඳහා යොදාගත් ටොන් දහස් ගනනක  ගිනි බෝම්බ (incendiary devices) වලින් ජපානයේ ජනාකීර්න නගරවල දැවැන්ත ගිනි කුනාටු ඇති කෙරින.  ටෝකියෝවට 1945 මැයි මාසයේදී එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරයෙන් 100,000 ක් පමන ජීවිතක්ෂයට පත්විය.

මිත්‍ර පාක්ෂිකයින් මිලිටරිමය වශයෙන් පලවා හැරීමේ හැකියාවක් ජපාන තන්ත්‍රයට නැති බවත්, පැසිෆික් කලාපය තුල දෙවන ලෝක යුද්ධය අවසානයකට පැමිනෙමින් තිබෙන බවත් 1945 මුල් භාගය වන විට පැහැදිලි වන්නට විය. ජපාන ආන්ඩුවට එහි නීත්‍යානුකූල පැවැත්ම සීඝ්‍රයෙන් අහිමි වෙමින් පැවති අතර මිලිටරි විනාශයට හා අභ්‍යන්තර සමාජ විරෝධයට ඇති වූ බියත් සමග නායකයෝ 1945 අප්‍රේල් සහ මැයි මාසවලදී යටත් වීමේ කොන්දේසි පිලිබඳව සාකච්ඡා කිරීමට පටන් ගත්හ. සෝවියට් සංගමය ද මැන්චූරියාව තුල ජපානයට එරෙහිව  යුද්ධයට එලඹීමට ආසන්න විය. මේ දේවල්  සිදුවෙමින්  තිබුන ද එක්සත් ජනපද ප්‍රහාරය උත්සන්න විය.

හිරෝෂිමාවට අගෝස්තු 6 වැනිදා ප්‍රහාරය එල්ල කලේ, එක්සත් ජනපද ගුවන් හමුදාවේ 393 වන බෝම්බ හෙලීමේ බලඇනිය විසිනි. එදින උදෑසන, ඉනෝලා ගේ (Enola Gay) නමින් හැඳින්වූ බී-29 බෝම්බ හෙලන යානය න්‍යෂ්ටික බෝම්බයක් රැගෙන ටීනියන් (Tinian) දූපතෙන් පිටත් විය. යුරේනියම්-235 කිලෝග්රෑම් 64 ක් පමන අඩංගු “ලිට්ල් බෝයි” (“little boy”) නම් වූ එම බෝම්බය නගරයට අඩි 1,900 ක් පමන ඉහල අහසේ දී පුපුරවා හලේය. ඒ සමගම ක්ෂනික ආලෝක ධාරාවක් සහ විශාල පිපිරුම් ශබ්දයක් ඇති වූ බව එහි වැසියන් අත්දැක තිබින. පිපිරීමෙන් හා ඉන් පසු ඇති වූ විශාල ගිනි කුනාටු වලින්  80,000 ක් පමන වැසියන් මිය ගිය අතර 70,000 ක් හෝ ඊට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරයෙන් ලෝක ජනතාව කම්පනයට පත් වූ නමුත් ජනාධිපති හැරී ටෘෘමන් එය අගය කරමින් කියා සිටියේ, එක්සත් ජනපදය නියම කලට ලොව ප්‍රථම න්‍යෂ්ටික අවිය නිපදවා ඇති බව යි. ඔහු තව දුරටත් අනතුරු අඟවමින් “පෘතුවිය මත කිසිදා දක්නට නොලැබුනු ආකාරයේ විනාශයක් අහසෙන් වසිනු ඇත” යයි පැවසී ය.  

දින තුනකට පසු දෙවන න්‍යෂ්ටික බෝම්බය නාගසාකි නඟරයට ඉහල අහසේදී පුපුරවා හැරින. නගරය පුරා විශාල විනාශයක් සිදු වූ අතර, විශේෂයෙන් කාර්මික කම්කරුවන් විශාල ප්‍රමානයක් ඒ අතර විය. විනාශයේ පරිමාව කෙතෙක් ද යත් එහි සිදු වූ මරන සංඛ්‍යාව ස්ථිරව ගනනය කල නොහැකි විය. ඇස්තමේන්තු කල ආකාරයට එය 39,000 සිට 80,000 දක්වා විය. තවත් 60,000 ක් තුවාල ලැබූහ. ඊලඟ වසරවලදී විකිරන බලපෑමෙන් තවත් දහස් ගනනක් මිය ගියහ.

ඉන් දින කිහිපයක් ඇතුලත, අගෝස්තු 14 දින, ජපාන අධිරාජ්‍ය ආන්ඩුව යටත් වීමේ නිවේදනයක් (capitulation notice) නිකුත් කල අතර ඒ සමඟම යටත් වීමේ කටයුතු ආරම්භ විය.

මෙම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර මගින් එක්සත් ජනපදය එහි සතුරන්ට සහ ලෝක ජනතාවට දුන්  සංඥාව වන්නේ, යුද්ධය අවසන් වූ පසු, එක්සත් ජනපදයේ ආධිපත්‍යයට කිසිදු අභියෝගයක් ඉවසන්නේ නැත යන්න ය. විශේෂයෙන්ම මෙම ප්‍රහාරය මගින් අදහස් කලේ, සෝවියට් සංගමයට තර්ජනයක් එල්ල කිරීම යි. එනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අසීමිත අවශ්‍යතා සඳහා ඔවුන්ගේ පශ්චාත්-යුද පර්යාය ගොඩනැගීමේ සැලසුම් වලට ස්ටැලින්වාදී තන්ත්‍රය බාධා කලහොත් එයට එක්සත් ජනපද හමුදාවෙන් සිදුවිය හැකි විනාශයේ තරම පෙන්වා දීමකි.  

Loading