හිරෝෂිමා සහ නාගසාකි නගරවලට බෝම්බ හෙලීම පිලිබඳව: “කිව නොහැකි තරමේ කුරිරුකමක්”

මෙම ලිපිය අගෝස්තු 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1945 අගෝස්තු 6 සහ අගෝස්තු 9 යන දිනවල ජපාන හිරෝෂිමා සහ නාගසාකි නගර මත එක්සත් ජනපදය පරමානු බෝම්බ හෙලීමේ 75 වන සංවත්සරය සමරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඇමරිකානු ට්‍රොට්ස්කිවාදයේ නිර්මාතෘ ජේම්ස් පී. කැනන් විසින් කරන ලද කතාවක් පල කරයි. අගෝස්තු 22 බෝම්බ ප්‍රහාරයෙන් සති දෙකකට පසු නිව්යෝර්ක් නගරයේ පැවති රැස්වීම කැඳවා තිබුනේ, 1940 අගෝස්තු 21 වන දින රුසියානු විප්ලවයේ ව්ලැඩිමීර් ලෙනින් සමඟ සම නායකයත්වය දැරූ, හතරවන ජාත්‍යන්තරයේ නිර්මාතෘ ලියොන් ට්‍රොට්ස්කි, මෙක්සිකෝ නගරයේදී ස්ටැලින්වාදී ඝාතකයෙකු විසින් මරාදැමීමේ පස්වන සංවත්සරය සැමරීම සඳහාය. 

1919දී ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සමාරම්භකයා වීමට පෙර කැනන් (1890-1974), 20 වන සියවසේ මුල් භාගයෙහි ඇමරිකානු සමාජවාදී  පක්ෂයේ (IWW) සාමාජිකයෙක් හා සංවිධායකයෙක්ව  සිටියේය.  කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ 6 වන සම්මේලනයේ නියෝජිතයෙකු ලෙස 1928 වසරේ මොස්කෝවට ගිය ඔහු, කොමින්ටර්නයේ කෙටුම්පත් ක්‍රියාමාර්ගගය ගැන ට්‍රොට්ස්කි කල විවේචනයේ පිටපතක් හොරෙන් ගෙන ආ අතර, ට්‍රොට්ස්කි ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ගෙන ගිය අරගලයට සිය සහාය පලකරමින් ජාත්‍යන්තර විපක්ෂය ගොඩනැඟීමට මූලිකත්වය ගත්තේය. ට්‍රොට්ස්කි අවසාන වශයෙන් මෙක්සිකෝවට පිටුවහල් වුන අවධියේදී ඔහු සමඟ සමීපව වැඩකරමින් කැනන්, 1938දී ගොඩනඟන ලද හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව ලෙස සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්පී) පිහිටුවීමට පෙරමුන ගත්තේය. එස්ඩබ්පීයේ තවත් සාමාජිකයින් 17 දෙනෙකු සමඟ ඇමරිකානු  ආන්ඩුව පෙරලා දැමීමට උපදෙස් දුන්නාය යන චෝදනාව යටතේ 1944දී අත්අඬංඟුවට ගනු ලැබූ කැනන්,මෙම කථාව පැවැත්වීමට මාස 6ක් පමන තිබියදී  නිදහස ලැබීය. හතරවන ජාත්‍යන්තරය දියකර හැරීමට උත්සාහ කල, ස්ටැලින්වාදී ගැති පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාවට එරෙහිව සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කල හතරවන ජාත්‍යන්තතරයේ ජාතත්‍යන්තර කමිටුව පිහිටුවන ලද "විවෘත ලිපිය" 1953දී ලිවීමට ඔහු මූලිකත්වය ගත්තේය.  පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලය සමඟ එක්වීමට 1963දී සහාය දුන් ඔහුගේ පසුකාලීන දේශපාලන පරිහානිය තිබුනේවී නමුත් කැනන්, ඇමරිකානු කම්කරු පන්තිය තුල විප්ලවවාදී පක්ෂයක් ගොඩනැඟීමේ  දිග්ගැස්සුන අරගලයටත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය තුලත් තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටුකරන ලදී.

ට්‍රොට්ස්කිගේ විප්ලවීය උරුමය ආරක්ෂා කරමින් කල දේශනයේ දී කැනන්, අධිරාජ්‍යවාදයේ පරමානු බෝම්බ හෙලීම දුෂ්ඨ හා කුරිරු ක්‍රියාවක් ලෙස හෙලා දුටුවේය. ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රතිචාරය ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, නිල වෘත්තීය සමිති නායකයින් සහ ජාතියේ සුලු ධනේශ්වර “වාම” ලිබරල්වාදීන්ගේ ප්‍රතිචාරයට වඩා හාත්පසින්ම වෙනස් විය. ඔවුන් සියල්ලෝම එක්සත් ජනපද යුද අපරාධය ආරක්ෂා කලහ.

මීට වසර පහකට පෙර අද වැනි දිනක, අධිරාජ්‍යවාදී යුද්ධය විසින් ඇති කරන ලද මහා ප්‍රතිගාමිත්වයට ලෝකය මුහුනදී සිටියදී, අපගේ ශ්‍රේෂ්ඨ නායකයා සහ ගුරුවරයා වන ට්‍රොට්ස්කි සහෝදරයා ස්ටැලින්වාදී ඝාතකයෙකු අතින් මිය ගියේය. අපි ඔහු අනුස්මරනය කලේ, ලෝකය විසින් තවමත් පිලිගෙන නැති නමුත්, අදහස්වල ශ්‍රේෂ්ඨ මිනිසා ලෙස නොව, මානව වර්ගයාගේ අනාගතය නියෝජනය කරන අදහස් ඇති මිනිසෙකු ලෙසය. ලෝක ඉතිහාසයේ දැවැන්තම විප්ලවීය අර්බුදයේ මුවවිට, අදහස් හා වචන ක්‍රියාවන් බවට හැරවිය යුතු අද, ඔහුගේ ඛේදනීය හා අකල් මරනයේ පස්වන සංවත්සරය වෙනුවෙන් අපි, ක්‍රියාකාරී මිනිසා ලෙස ට්‍රොට්ස්කි වෙත අපගේ කෘතඥතාව පල කරන්නෙමු. 

මහා ජුබිලි රැස්වීමක් මෙන් අපි, 1938 දී අපේ පක්ෂයේ 10 වන සංවත්සරය සමරන විට, ට්‍රොට්ස්කි සහෝදරයා එහි කථිකයෙකු විය. ඔහුට නිව්යෝර්ක් වෙත පැමිනිය නොහැකි වූ නමුත් ඔහු එම අවස්ථාව සඳහා සාදන ලද ෆොනොග්‍රැෆික් සටහනකින් අප සමඟ කතා කලේය. එහිදී ඔහු අපගේ පක්ෂයේ 10 වන සංවත්සරයට සුබ පැතුම් එක් කලේය. ඔබගෙන් බොහෝ දෙනෙක් එම කථාව අසා ඇති බවට සැකයක් නැත. අතීත ජයග්‍රහන සැමරීම සඳහා, කාලය ගත කිරීමට අපට අයිතියක් ඇත්තේ අනාගතය සඳහා සූදානම් වීමක් ලෙස පමනක් බව ඔහු පැවසූ බව ඔබට මතක ඇති. එම අර්ථයෙන් අපට කිව හැක්කේ, අපගේ උදාර හා කීර්තිමත් මියගිය පුද්ගලයා අනුස්මරනය කිරීම සඳහා අද රාත්‍රියේ කාලය ගත කරන්නේ නම්, අප එය මූලික වශයෙන් කරන්නේ, ඔහු අපට පෙන්වා දුන් ඉලක්කය සඳහා මිනිසාගේ අරගලය සූදානම් කිරීමේ හා සංවිධානය කිරීමේ අර්ථයෙනි.

ට්‍රොට්ස්කි ජීවත් වූ හා සිය ජීවිතය කැපකල ප්‍රධාන අදහස්,  සාපේක්ෂව සරල ය. සමාජයේ විශාල ගැටලුව පැන නගින්නේ, අවශ්‍යයෙන්ම අති විශාල ජනකායක් විසින් සමාජීයව ක්‍රියාත්මක කරන නවීන කර්මාන්තයට, මිනිසාගේ අවශ්‍යතාවන්ට වඩා පෞද්ගලික හිමිකාරිත්වය සහ එහි ලාභය පිලිබඳ අරාජිකත්වය විසින්  බාධා පමුනුවමින් හා අවහිර කරනු ලබන බැවින් බව ඔහු දැකගත්තේය. නූතන නිෂ්පාදන බලවේග, ජාතික රාජ්‍යයන්ගේ කෘතිම බාධක ඉක්මවා ගොස් ඇති බව ඔහු දුටුවේය. මෙම මහා ප්‍රතිවිරෝධතා දෙක, එනම්,  නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික හිමිකාරිත්වය සහ පුද්ගලික ලාභය සඳහා ඒවා ක්‍රියාත්මක කිරීම සහ ජාතික රාජ්‍යයන්හි යල් පැන ගිය රාමුව තුල කර්මාන්තය හිරවී තිබීම, නූතන සමාජයේ මහා ව්‍යසනයන් වන දුප්පත්කම, විරැකියාව, ෆැසිස්ට්වාදය , සහ යුද්ධයේ මූලශ්‍රයන්ය.

කල් ඉකුත් වූ ධනවාදය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම, මානව වර්ගයාට ඇති එකම ගැලවුම් මාර්ගය බව ට්‍රොට්ස්කි දුටුවේය. කර්මාන්තය සමාජගත කර ක්‍රියාත්මක කල යුත්තේ, සැලසුම්ගත පදනමක් මත මිස ලාභ සඳහා නොවේ. වෙන් වෙන් ධනේශ්වර රාජ්‍යයන්ගේ ජාතික ප්‍රතිවිරෝධතා, ජාත්‍යන්තර සමූහාන්ඩුවක්, එනම්  ලෝක රාජ්‍යයන්ගේ සමාජවාදී එක්සත් සමූහාන්ඩුවකට ඉඩ ලැබෙන පරිදි අයින් කල යුතුය. සමාජීය හා සැලසුම් සහගත ආර්ථිකයකට, එක් ජාතියක පමනක් නොව, සියලු ජාතීන්ගේ, සියලු ජනතාවන් සඳහා සියල්ල ලබා දිය හැකිය. වෙන් වෙන් සමාජවාදී ජාතීන්ට, අන්‍යයන් සූරාකෑමේ අවශ්‍යතාවයක් හෝ තල්ලුවක් නොමැති අතර, වෙලඳපලවල්, බලපෑම් ක්ෂේත්‍ර සහ ආයෝජන ක්ෂේත්‍ර මුල්කරගෙන ගැටුම් ඇතිකරගැනීමේ අවශ්‍යතාවක් නොමැත. සූරාකෑමට හා වහල්භාවයට පත් කිරීම පිනිස යටත් විජිත අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැති මෙම වෙන් වෙන් සමාජවාදී ජාතීන්, ලෝක ව්‍යාප්ත ශ්‍රම විභේදනයක් මත අනිවාර්යයෙන්ම සාමය හා සහයෝගීතාව සහිතව එක්සත් වනු ඇත . එක් ජාතියක ශක්තිය සියලු දෙනාගේ ශක්තිය බවට පත්වනු ඇත, එක් අයකුගේ හිඟය සෑදී ඇත්තේ අන් අයගේ බහුලත්වයෙනි. කලාව හා විද්‍යාව අත්පත් කර ගත් සියලු ජයග්‍රහන, සියලු භූමි ප්‍රදේශවල සියලු ජාතීන් අතර සහයෝගිතා හුවමාරුව සඳහා මානව වර්ගයා විසින් සංවිධානය කරනු ඇත.

මෙම විප්ලවීය පරිවර්තනය ඇති කල හැක්කේ කම්කරුවන්ට පමනක් බව ට්‍රොට්ස්කි ඉගැන්වීය. නූතන සමාජයේ සැබවින්ම ප්‍රගතිශීලී හා විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය, පීඩිත හා සූරාකෑමටත් වහල්භාවයටත් පත් සියලු දෙනාගේ නායකයා ලෙස පෙනී සිටින ඔවුන්, සමාජයේ මෙම මහා විප්ලවීය පරිවර්තනය හා ප්‍රතිසංවිධානය ඇති කරනු ඇත. එකම ප්‍රගතිශීලී පන්තිය කම්කරුවන් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව හා සමාජයේ ඔවුන් දරන මූලෝපායික තත්ත්වය අනුව ඔවුන් බලවත්ම පන්තිය වේ. සියලුම කම්කරුවන් සිය ඓතිහාසික අවශ්‍යතා සහ තම බලය පිලිබඳව දැනුවත් වීම සහ එය පලදායී කිරීමට සංවිධානය වීම අවශ්‍යය.

මෙය “වෙනත් පක්ෂ මෙන් පක්ෂයක් නොවේ”

මේ වන විට ඓතිහාසික න්‍යාය පත්‍රයට ඇතුලත්ව තිබෙන, ලෝකයේ විප්ලවීය පරිවර්තනයක් සඳහා වන මෙම අරගලයට පක්ෂයක නායකත්වය අවශ්‍ය බව ට්‍රොට්ස්කි ඉගැන්වීය. එහෙත් ට්‍රොට්ස්කි සහෝදරයා අවධාරනය කලේ, වෙනත් පක්ෂ මෙන් පක්ෂයක් නොවන බවයි. අපගේ 10 වන සංවත්සර රැස්වීමට ඔහු දුන් පනිවිඩය  එයයි: “‘වෙනත් පක්ෂ මෙන් පක්ෂයක් නොවේ', බාගෙට එකඟවන, ප්‍රතිසංස්කරනවාදී නොවන, කතා කරන හා සම්මුතිවාදී පක්ෂයක් නොව, අරටුවටම විප්ලවවාදී පක්ෂයක්, සිතනමතන සහ ක්‍රියාකාරී පක්ෂයකි. සෑම පෙරමුනකම, විශේෂයෙන් ධනවාදී යුද්ධයට, ධනවාදයට විරුද්ධ පක්ෂයක්. කල් ඉකුත් වූ සමාජ ක්‍රමයකට එරෙහි මෙම දැවැන්ත ප්‍රහාරයට නායකත්වය දීමට එවැනි පක්ෂයක් අවශ්‍ය” බව ඔහු පැවසීය.

ලෝක කම්කරුවන්ට 1940 දී ට්‍රොට්ස්කිගේ අදහස් අවශ්‍ය විය. ධනවාදයේ සිට සමාජවාදය දක්වා සමාජය පරිවර්තනය කිරීම සඳහා වූ සියලු භෞතික කොන්දේසි බොහෝ කලකට පෙරම පරිනත වී තිබුනි. පසුපසින් ගෑටුවේ, කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ සංවිධානවල ජනතා විඥානය සහ අවබෝධයයි. ට්‍රොට්ස්කි, දෙවන අධිරාජ්‍යවාදී යුද්ධයේ ව්‍යසනයට එරෙහිව   එක් ශ්‍රේෂ්ඨ ලෝක හඬකින් කතා කරන විට, ඔවුන්ට ඔහුගේ අදහස් අවශ්‍ය විය. එහෙත් ට්‍රොට්ස්කිගේ අදහස් තේරුම් ගැනීමට සහ ඒවා උඩ ක්‍රියාත්මක වීමට ඔවුන් තවමත් සූදානම් නොවූ අතර, ඔවුන් ඒ සඳහා තවමත් නිසි ලෙස සංවිධානය වී නොතිබුනි.

දේශපාලන හා කාර්මික කම්කරුවන්ගේ මහා සංවිධාන, ඇත්ත වශයෙන්ම, කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි නායකත්වයක් අතට නොව වැටී තිබුනේ, කම්කරු ව්‍යාපාරය තුල ධනේශ්වරයේ ඒජන්තයින් වූ මිනිසුන්ගේ නායකත්වය අතටය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ; කොමියුනිස්ට්වාදයට සහ නිර්ධන පන්තියට ද්‍රෝහි වූ කොමින්ටර්නයේ (තුන්වන ජාත්‍යන්තරයේ) කොමියුනිස්ට් පක්ෂ; මහා වෘත්තීය සමිති - ඔවුන් සියල්ලෝම ට්‍රොට්ස්කිගේ විප්ලවීය වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කලහ. ඔවුන් සියල්ලෝම ධනේශ්වර ආන්ඩු වලට සහාය දුන්හ. ආන්ඩු, ජනතාව යුද්ධයේ ලේවැකි කම්පනයට යටත් කලහ.

අපි අවුරුදු හයක් යුද්ධ කරලා තියෙනවා. යුද්ධයට කම්කරු නායකයින්ගේ සහාය ලැබුනා. මහාචාර්යවරුන් සහ බුද්ධිමතුන් විසින් ආරක්ෂා කරන ලද යුද්ධයක්. පල්ලිය විසින් ආශීර්වාද කරන ලද යුද්ධයක්. දැන් අපට ප්‍රතිපල ගනන් කල හැකිය. මිනිස් සංහතියට ප්‍රතිලාභ ගෙන දෙන බවට පොරොන්දු වූ මෙම යුද්ධයේ ප්‍රතිවිපාක මොනවා ද? යුරෝපය දෙස බලන්න! ආසියාව දෙස බලන්න! නැතහොත් ඇමරිකාව දෙස සමීපව බලන්න. කර්මාන්තශාලා වසා දැම්ම සහ විරැකියා කාර්යාල ඉදිරිපිට ඇති දිගු පෝලිම්,   කුසගින්නෙන් පෙලෙන අයගෙන් පිරෙන දිගු පෝලිම්, යුදපිටිවල සිට  නැවත පනපිටින් ආපසු පැමිනීමට වාසනාවන්ත සොල්දාදුවන් ඉක්මනින්ම වෙහෙසට පත් තම ස්ථාන වලට යනු ඇත. 

ධනවාදය යටතේ කර්මාන්තශාලා විනාශයේ උපකරන නිෂ්පාදනය කිරීම සඳහා මුලු වෙර යොදා වැඩකරයි. නමුත් ඊනියා සාමය පවතින කාලය තුල මිනිස් අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කිරීමට ඔවුන්ට කම්හල් විවෘතව තැබිය නොහැක. මුලු යුරෝපයම, සමස්ත සංස්කෘතික යුරෝපයම, කුසගින්න, බලාපොරොත්තු සුන්වීම, විනාශය හා මරනය පිලිබඳ මහාද්වීපයකි.

පොට්ස්ඩෑම් හි ජයග්‍රාහකයෝ, යුරෝපීය ජයග්‍රහනයේ සහ විමුක්තියේ ප්‍රතිපල ප්‍රකාශයට පත් කලහ. යුරෝපා මහාද්වීපයේ බලවත්ම හා පලදායීම කර්මාන්තය වන ජර්මානු කර්මාන්තය බිඳ දැමීම ඔවුන් විසින් නියම කරන ලදී. යුරෝපයේ වැඩපොල වන කාර්මික ජර්මනියේ ජීවන තත්ත්වය, විනාශ වූ පසුගාමී කෘෂිකාර්මික රාජ්‍යයන්ට වඩා ඉහල නොවිය හැකි බව ඔවුහු ප්‍රකාශ කලහ. පහත් මට්ටම ඉහලම මට්ටමට ඔසවා තැබීමට නොව, ඉහලම හා වඩාත්ම සංවර්ධිත හා සංස්කෘතික රටවල් පහත් හා අවම සංවර්ධිත රටවල මට්ටමට ඇදදමයි. එය ඊනියා සාමය ඇති කරන්නන්ගේ පැහැදිලි වැඩසටහනයි. යුරෝපය සඳහා වූ වැඩසටහන එයයි.

මිනිසා සම්බන්ධයෙන් ගත් කල ප්‍රතිපල මොනවාද? මම අද ෆ්‍රෑන්ක්ෆර්ට් හි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් කියෙව්වා. එය අනියම්, සත්‍ය තොරතුරු අඩංඟු කොටසක් වන අතර, එම ප්‍රදේශයේ තත්වය පිලිබඳ නිල වාර්තාවක් ලෙස  මම ඉන් උපුටා දැක්වීමක් කරමි. ටයිම්ස් වාර්තාකරු පවසන පරිදි, “මෙම කලාපයේ සාමාන්‍ය පාරිභෝගිකයා දිනකට කැලරි 1,100 ත් 1300 ත් අතර ප්‍රමානයකින් ජීවත් වන බව පෙනේ. හමුදාවේ සලාකය කැලරි 3,600 කි.” සොල්දාදුවන් කාර්යක්ෂම මට්ටමක පවත්වා ගැනීම සඳහා හමුදාව විසින් ඇස්තමේන්තු කර ඇති ආහාර වලින් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමානයක්, ජර්මනියේ ඇමරිකානු කලාපයෙහි “නිදහස්” ජනතාවට ලබා දී ඇත. නිසැකවම යුරෝපීය ජනතාව, විමුක්තිකාමීන් කෙරෙහි ඉමහත් ආදරයක් හා ඇගයීමක් කරනු ඇත.

නිසැකවම වසර දහසක සාමය සඳහා අඩිතාලම දමනු ලැබ තිබේ. ධනවාදය එහි මරනයේ වේදනාවෙන් මනුෂ්‍යත්වය අගාධයට ඇද දමයි. ධනවාදය සෑම දිනකම වඩ වඩාත් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ, යුද්ධයේ දී මෙන් ඊනියා සාමයේ දී ද ජනතාවගේ සතුරා ලෙසට ය. මිනිසුන් මරාදැමීමට බෝම්බ දමන්න! ගිනි අවුලුවන බෝම්බවලින් ඔවුන් පුලුස්සා දමන්න! ඔවුන්ගේ කර්මාන්ත බිඳ දමා කුසගින්නේ මරනයට පත් කරන්න! එය එතරම් භයානක නොවේ නම්, පරමානු බෝම්බවලින් ඔවුන් පෘථිවි තලයෙන් දවා හලුකර  ඉවතට පිස දමන්න! ධනවාදය නිදහස් කිරීමේ වැඩපිලිවෙල එයයි.

ධනවාදයේ පරිහානියේ අවධියේ සැබෑ ස්වභාවය පිලිබඳ විවරනය මෙයයි, එනම්, සියලු මනුෂ්‍ය වර්ගයාගේ බර සැහැල්ලු කිරීම සඳහා තාර්කිකව භාවිතා කල හැකි පරමානු ශක්තියේ පුදුමාකාර රහස විද්‍යාත්මකව ග්‍රහනය කර ගැනීම, පලමුවෙන්ම යොදාගනු ලැබුවේ  අඩ මිලියනයක් මිනිසුන් තොග පිටින් විනාශ කිරීම සඳහා  වීමයි.

පලමු ඉලක්කය වූ හිරෝෂිමා හි ජනගහනය 340,000 කි. දෙවන ඉලක්කය වූ නාගසාකි හි ජනගහනය 253,000 කි. වාර්තාකරුවන් පැහැදිලි කල පරිදි, නිවාසවල  වහලවල් එකිනෙකට පූට්ටු කල, දුර්වල ඉදිකිරීම් සහිත නගරවල, ආසන්න වශයෙන් 600,000 ක ජනතාවක් සිටි මේ නගර දෙකෙහි කී දෙනෙක් මැරුනා ද? පරමානු ශක්තියේ රහස සොයා ගැනීම සැමරීම සඳහා ජපන් ජාතිකයින් කී දෙනෙක් ජීවිත බිලි දුන්නා ද තුවාල කර ගත්තා ද? සියලු ඇඟවීම් වලින්, මේ දක්වා අපට ලැබී ඇති සියලුම වාර්තා වලින්, ඔවුන් සියල්ලන්ම පාහේ මිය ගොස් හෝ තුවාල ලැබා ඇත. 

පරමානු බෝම්බ දෙකක් සමඟින් ගනන් බලා සිදුකල ප්‍රහාර දෙකකින් ඇමරිකානු අධිරාජ්‍යවාදය මිනිසුන් මිලියන භාගයක් මරා දැමුවා හෝ තුවාල කලේය. වෝල් වීදිය සහ ජපානයේ ඒ හා සමාන කල්ලියක් අතර, අධිරාජ්‍යවාදීන් අතර, ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුන, මහලු, තොටිල්ලේ සිටින දරුවා සහ වයස්ගත හා දුර්වල අය, අලුත විවාහ වූ අය, රෝගීන්, පිරිමින්, කාන්තාවන් සහ ලමයින් -  සියල්ලන්ටම මේ ප්‍රහාර දෙකින් මිය යාමට සිදුවිය. 

නාගසාකි ගැන ටෝකියෝ ගුවන්විදුලියේ පලවු අදහස් අද ටයිම්ස් පුවත්පතේ වාර්තාවක පලව තිබේ. එහි සඳහන් වන්නේ, “කලක් සශ්‍රීකව පැවති නගරයේ කේන්ද්‍රය විශාල වශයෙන් විනාශවි ඇති බවත් ඇසට පේනතෙක් මානයේ සුන්බුන් හැර වෙන කිසිවක් ඉතිරි වී නැති” බවත්ය. බෝම්බ හානිය දැක්වෙන ඡායාරූප ජපන් පුවත්පතක් වන මයිනිචි හි මුල් පිටුවේ පල විය. ඒ සමඟ වූ වාර්තාවේ මෙසේ සඳහන් වේ: “මෙම පින්තූරවලින් එකක් පරමානු ගුවන් ප්‍රහාර එල්ලවූ තැන සිට සැතපුම් 10 ක් ඈතින් වන ඛේදජනක දර්ශනයක් පෙන්වයි.” එහිදී වහලවල් ගැලවී ගොස් ගොවිපලවල් සුන්බුන්වී  ඇත. බෝම්බ ප්‍රහාරයෙන් පසු වහාම නගරයට ගිය යමහා ඡායාරූප ආයතනයේ ඡායාරූප ශිල්පියෙකු උපුටා දක්වමින් විකාශනය මෙසේ පැවසීය: “නාගසාකි දැන් මියගිය නගරයකි. සියලු ප්‍රදේශ වචනාර්ථයෙන්ම බිමට සමතලාවී තිබේ. අලු අතරින් කැපී පෙනෙන ලෙස නැගී සිටින්නේ ගොඩනැගිලි කිහිපයක් පමනි. ” ඡායාරූප ශිල්පියා පැවසුවේ “ජනතාවගෙන් අති බහුතරයක් මියගිය අතර දිවි ගලවා ගත් කිහිප දෙනා පවා කිසියම් ආකාරයක තුවාලයකින් බේරී නැත.” මේ දක්වා ජපන් පුවත්පත් උපුටා දක්වා ඇත්තේ හිරෝෂිමාවෙන් දිවි ගලවා ගත් එක් අයෙකු පමනි.

ලාභය සඳහා යුද්ධයක්

ඇමරිකානු අධිරාජ්‍යවාදය පෙරදිගට ශිෂ්ටාචාරය ගෙන එන්නේ එලෙසිනි. මොනතරම් කිව නොහැකි කුරිරුකමක්ද! ඇමරිකාවට මොනතරම් ලැජ්ජාවක් වී ඇත්ද? කලක් ඇමරිකාව ලෝකයට බුද්ධි ප්‍රබෝධය හිමිකර දුන් විමුක්තියේ ප්‍රතිමාව නිව්යෝර්ක් වරායෙහි තැන්පත් කර තැබුවේය. දැන් ලෝකය ඇගේ නම ඇසීමෙන් පවා භීතියට පත්වේ. යුද්ධයට ආශීර්වාද කල සමහර දේශකයින් පවා විරෝධතා දැක්වීමට පෙලඹී ඇත. එක් අයෙක් පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ “ඇමරිකාවට ඇගේ සදාචාරාත්මක තත්ත්වය අහිමි වී ඇති” බවයි. ඇගේ සදාචාරාත්මක ස්ථාවරය? ඔව්, ඇයට ඒ සියල්ල අහිමි වී ඇත. ඒක ඇත්ත. බෝම්බ හෙලූ අධිරාජ්‍යවාදී රාක්ෂයන් එය දනී. නමුත් ඔවුන් ලබාගත් දේ බලන්න. පෙරදිග අසීමිත ධනය පාලනය කිරීමට ඔවුහු සමත් වූහ. ඈත පෙරදිග මිලියන සිය ගනනක් ජනයා සූරාකෑමේ හා වහල්භාවයට පත් කිරීමේ බලය ඔවුහු ලබා ගත්හ. ඔවුන් යුද්ධයට ගියේ ඒ සඳහාය, සදාචාරාත්මක ස්ථාවරයක් සඳහා නොව ලාභය සඳහා ය.

නිහතමානී හා මෘදු යේසුස් ගැන තමා වරක් බයිබලයේ කියවා ඇති දෙයක් ගැන මතක් කරමින් පුවත්පත්වල උපුටා දැක්වූ තවත් දේශකයෙක් කියා සිටියේ, මිෂනාරිවරුන් තවදුරටත් ඈත පෙරදිගට යැවීම නිෂ්පල බවයි. එය අප අතර සාකච්ඡා කල යුතු යයි මා විශ්වාස කරන ඉතා සිත්ගන්නාසුලු ප්‍රශ්නයක් මතු කරයි. විවිධ වර්ගයේ මිෂනාරි ව්‍යාපාරවල ආධාරකරුවන් හා පල්ලියේ ද ව්‍යාපාරයන්හි ද කුලුනු ලෙස වැජඹෙන, රොක්ෆෙලර්ගේ  සහ මෝගන්ගේ මන්දිරවල අභ්‍යන්තර කවයන් තුල, එක වටම හා එක්ව, සැබවින්ම අහම්බෙන් මෙන්, සිත්ගන්නාසුලු සාකච්ඡාවක් සිදුවන බව කෙනෙකුට සිතාගත හැකිය. “පෙරදිග සිටින විජාතීන් සමඟ අප කුමක් කල යුතුද? ක්‍රිස්තියානි ස්වර්ගයට ඔවුන් ගෙන යාම සඳහා අපි මිෂනාරිවරුන් යවනවාද, නැත්නම් ඔවුන් අපායට යැවීම සඳහා පරමානු බෝම්බ පුපුරවනවා ද? ” විවාදයට විෂයයක් ඇත, බිහිසුනු තේමාවක් පිලිබඳ විවාදයක් ඇත. කෙසේ වෙතත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සම්බන්ධ වන්නේ කොතැනකටදැයි ඔබට නිශ්චය විය හැකිය, නිරය වඩා විශාල ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් ආකර්ශනය කරගනු ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මුලු ලෝකයටම තමන් කෙරෙහි බිය හා වෛරය ගෙන ආවේය. ඇමරිකානු අධිරාජ්‍යවාදය අද ලොව පුරා මානව වර්ගයාගේ සතුරා ලෙස සැලකේ. පලමු ලෝක යුද්ධයෙන් මිලියන 12 ක් මිය ගියේය. මිලියන දොලහක්. ශතවර්ෂ හතරෙන් එකක් තුල පුපුරා ගිය දෙවන ලෝක සංග්‍රාමයෙන් දැනටමත් මිය ගොස් ඇති සංඛ්‍යාව මිලියන 30 කට නොඅඩු ය; යුද්ධයේ ප්‍රතිපල සම්පුර්න වීමට පෙර තවත් මිලියන 30 කට නොඅඩු පිරිසක් කුසගින්නෙන් මිය යනු ඇත.

මරනීය ධනවාදයේ ප්‍රතිලාභ ලොවට ගෙනාවේ මොන තරම් දෙයක්ද! ගොදුරුවූ සියල්ලන්ගේ හිස් කබල් එක් පිරමීඩයකට ගොඩ කල හැකි නම්, එය කෙතරම් උස් කන්දක් වනු ඇත්ද? ධනවාදයේ ජයග්‍රහන සඳහා එය මොනතරම් විශිෂ්ඨ ස්මාරකයක් වනු ඇත් ද? ධනවාදී අධිරාජ්‍යවාදය සැබවින්ම සංකේතවත් කරන්නේ කුමක් ද? එය සම්පූර්න කිරීමට එක දෙයක් පමනක් අඩු බව මම විශ්වාස කරමි. එය සතර නිදහසේ  උත්ප්‍රාසාත්මක පොරොන්දුව ප්‍රකාශ කරන හිස් කබල් පිරමීඩය මුදුනේ සවිකල විශාල විදුලි සලකුනක් වනු ඇත. මියගිය අය අවම වශයෙන් අවශ්‍යතාවලින් නිදහස් වන අතර බියෙන් තොරය. නමුත් දිවි ගලවා ගත් අය ජීවත් වන්නේ කුසගින්නෙන් හා අනාගතය පිලිබඳ භීතියෙනි.

මිලියන 30 කට අධික ජීවිත අහිමි වූ යුද්ධය ජය ගත්තේ කවුද? කලාත්මක කුසලතාවයකින් හා තීක්ෂන දැක්මකින් යුක්තව, මිලිටන්ට්හි පුවත්පතට අඳින අපගේ කාටූන් ශිල්පිනිය, පෑන් පහරවල් කිහිපයකින් එය පැහැදිලි කලාය. ඇය  “එකම ජයග්‍රාහකයා” යන ශීර්ෂ පාඨය සහිතව, සොහොන් පිටියේ එක් පාදයක් ද අනෙක විනාශ වූ නගරවල ද තබාගෙන, මුදල් බෑග් අතේ ඇතිව ලොව මුදුනේ සිට ගෙන සිටින ධනපතියාගේ එම පින්තූරය ඇන්ඳාය. එකම ජයග්‍රාහකයා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ අනෙකුත් රටවල සිටින එහි හෙංචයියන්ය‍.

ඉදිරිදර්ශන මොනවාද? වසර හයක යුද්ධයේ මෙම විශිෂ්ට ජයග්‍රහනයෙන් පසු අපේ ස්වාමිවරුන් අනාගතය ගැන සිතන්නේ කෙසේද?

තුන්වන ලෝක යුද්ධයක් සඳහා සැලසුම් කිරීම

දෙවන ලෝක සංග්‍රාමයට පෙර, මිනිස් ජීවිත හා මානව සංස්කෘතියේ සියලු භීෂන හා විනාශය විධිමත් ලෙස අවසන් වීමට පෙර සිටම ඔවුන් තෙවැන්න ගැන සිතමින් හා සැලසුම් කරමින් සිටී.

අපගේ අදහස් වල ශ්‍රේෂ්ඨතම මිනිසා වන ට්‍රොට්ස්කි සහෝදරයා ගේ වියෝව ගැන මීට වසර පහකට පෙර අද වැනි දිනක අපි පලමුවෙන්ම ශෝකය පලකරමින් අනුස්මරනය කලෙමු. අද, විප්ලවීය ක්‍රියාව මිලියන සිය ගනනකගේ ජීවිතයත් මරනයත් පිලිබඳ ප්‍රශ්නයක් බවට පත්වෙමින් ඇති අතර, අදහස් වලින් ක්‍රියාවට, අදහස් මගින් මෙහෙයවනු ලබන ක්‍රියාවකට යාමට සූදානම් වන විට අපි ට්‍රොට්ස්කි සමරන්නේ, ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරී මිනිසා, කම්කරුවන්ගේ සංවිධායක , විප්ලවයන්ගේ නායකයා ලෙසය. අද රාත්‍රියේ ට්‍රොට්ස්කි සහෝදරයා සමරන විට අපගේ ආත්මය වන්නේ එයයි.

ට්‍රොට්ස්කි මිය ගියේ, හතරවන ජාත්‍යන්තරයේ ජයග්‍රහය ගැන විශ්වාසයෙන් යුතුවය. අද රාත්‍රියේ අපගේ වේදිකාවට ඉහලින් ලඹ දෙන ඔහුගේ අවසාන පනිවිඩයේ සඳහන් පරිදිය. ඔහු ඒතාක් කල් ජීවත් වීමට හා ඒවාට සහභාගී වීමට අවස්ථාවක් නොමැතිව, ජයග්‍රහය ගැන විශ්වාසයෙන් යුතුව මිය ගියේය.

ඔහු අන් සියල්ලටම වඩා පක්ෂයක් ගොඩනඟා ගැනීමට අපට අන කලේය. “වෙනත් පක්ෂ මෙන් පක්ෂයක් නොවේ” යනුවෙන් ඔහු පැවසූ දේ නැවත නැවතත් මම පුනරුච්චාරනය කරමි. එහෙත් විප්ලවයක් මෙහෙයවීමට සුදුසු පක්ෂයක්, නොවැනෙන පක්ෂයක්, අඩක් දුර ගොස් ආපසු නොහැරෙන පක්ෂයක් නොව, මුලු දුරම අරගලය ඉදිරියට ගෙන යන පක්ෂයකි. 

ඔබ බැරෑරුම් නම්, ඔබ සටනක් අපේක්ෂා කරන්නේ නම්, ඔබ වෙනුවෙන් සහ මානව වර්ගයාගේ ගැලවීම සඳහා වඩා හොඳ ජීවිතයක් සඳහා වන සටනට සහභාගී වීමට ඔබට අවශ්‍ය නම්, අප හා මෙම පක්ෂයට එක් වී මෙම මහා අරගලයට සහභාගී වන ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු.

අප, මෙම පිස්සු මිනිසුන් නතර කර ඔවුන්ගේ අතින් බලය පැහැරගත නොගතයුතු ද? තත්වය වෙනස්කල හැකි ක්‍රමයක් නැතැයි ද තවත් නම් ඉස්සරහට යා නොහැකි යයි ද ලෝකයේ සියලු මිනිසුන් සිතන්නේය යන්න ගැන අපට සැක පහල කල නොහැකි ද? බොහෝ කලකට පෙරම විප්ලවීය මාක්ස්වාදීන් පැවසුවේ මානව වර්ගයා එක්කෝ සමාජවාදයට නැතිනම් නව ම්ලේච්ඡත්වයකට මුහුනදී සිටින බවයි. එනම්, ධනවාදය නෂ්ඨාවශේෂ වන බවත් ඔවුන් ශිෂ්ඨාචරය ඒ සමඟ පහතට ඇද දමන්නේය යන්නයි. එහෙත්මේ යුද්ධය නිර්මානය කර ඇති හා අනාගතය සඳහා නිර්මානය කරනු ලබන තත්වය අනුව මම හිතන්නේ, විකල්පය වඩාත් සංයුක්ත කර තිබෙන බවයි. මානව සංහතිය මුහුනදී ඇති විකල්පය සමාජවාදය හෝ සමූලෝත්පාඨනය බවයි! එය වනාහි මානව වර්ගයාට මේ මිහිතලය මත බේරී සිටීමට ධනවාදය ඉඩ තියයි ද හෝ මේ මිහිතලය මත තවකල් ජීවත් වීමට මානවයාට හැකිවේ ද යන්නයි. 

අපේ පක්ෂය තුල, අශුභවාදීන්ට හෝ ක්ලාන්ත සිත් ඇති අයට තැනක් නැත, සිය බඩගෝස්තරය සොයන්නන්, වෘත්තීයවේදීන් සහ නිලධරයන් සඳහා තැනක් නොමැත. එහෙත් ලෝකය වෙනස් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින, මෙම ගැටලුව සම්බන්ධයෙන් හිස දැමීමට සූදානම් කම්කරුවන්ට දොර මුලුමනින්ම විවර වී තිබේ.

ට්‍රොට්ස්කි අපට විශාල උරුමයක් හිමිකර දී ඇත. අපගේ වැඩපිලිවෙලට ඇතුලත් මාහැඟි අදහස් විශාල ගොන්නක් ඔහු අපට ලබා දුන්නේය. ආදර්ශශමත් විප්ලවවාදියෙකු වූ, මනුෂ්‍යත්වය වෙනුවෙන් ජීවත් වූ සහ මියගිය, සියල්ලටත් වඩා, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම විප්ලවය තුල න්‍යාය ක්‍රියාවට නැංවිය යුතු ආකාරය පෙන්වා දුන් මිනිසෙකුගේ ආදර්ශය ඔහු අප ඉදිරියේ තැබීය.

ලෝක ජනතාව මෙම භයානක විකල්පය ගැන අවධානය යොමුකර, කාලයාගේ ඇවෑමෙන් තමන්ගේ ගැලවීම සඳහා ක්‍රියා කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ලෝකයේ නව ස්වාමියා වන ඇමරිකානු අධිරාජ්‍යවාදයට සිය ජයග්‍රහන තහවුරු කර ගැනීමට කාලය ලැබීමට පෙර එය දෙපැත්තකින් පහර දී පරාජය කරනු ඇතැයි අපි විශ්වාස කරමු. එක් පැත්තකින්, වෝල් වීදියේ යටත් විජිත වහලුන් බවට පරිවර්තනය වූ ලෝක ජනතාව, ජයගත් ප්‍රදේශ රෝම අධිරාජ්‍යයට එරෙහිව නැඟී සිටියාක් මෙන්,  අධිරාජ්‍යවාදී ස්වාමියාට එරෙහිව කැරලි ගසනු ඇත. එම නැගිටීමට සමගාමීව, අපගේ අරගලය සම්බන්ධීකරනය කරමින්, අපි, ට්‍රොට්ස්කිවාදී පක්ෂය, ඇමරිකාවේ කම්කරුවන් සහ ප්ලෙබියානුවන් අපගේ ප්‍රධාන සතුරාට සහ මානව වර්ගයාගේ ප්‍රධාන සතුරා වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ට එරෙහි විප්ලවීය ප්‍රහාරයකට නායකත්වය දෙන්නෙමු.

මෙම උරුමයෙන් අපි සන්නද්ධව සිටින අතර අරගලය සහ ජයග්‍රහනය සඳහා සන්නද්ධව සිටිමු. ට්‍රොට්ස්කිගේ ගෝලයන් වන අපට එම ජයග්‍රහනය සඳහා අවශ්‍ය වන්නේ එම අදහස් පැහැදිලිව වටහා ගැනීම, ඒවා අපගේ මාංශයට හා රුධිරයට එකතු කර ගැනීම, ඒවාට සත්‍යවාදී වීම සහ සියල්ලටම වඩා ඒවා ක්‍රියාවට නැංවීමයි.

අප එය කරන්නේ නම්, අපට පෘථිවියේ කිසිදු බලයකට බිඳ දැමිය නොහැකි පක්ෂයක් ගොඩනගා ගත හැකිය. ඇමරිකාවේ මහජනතාවට නායකත්වය දීමට සුදුසු පක්ෂයක් ගොඩනගා ගත හැකිය. එනම්, ලෝකයේ ජනතාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද වැඩපිලිවෙලට පිලිතුරු දීමට, ඇමරිකානු විප්ලවය හා ලෝක ජනතාව සමඟ සාමය ඇති කිරීම ය.

Loading