කොවිඩ්-19 පිලිබඳව නේපාල ආන්ඩුව දක්වන ප්‍රතිචාරය, වැඩෙන මහජන කෝපයට තුඩුදී ඇත

මෙම ලිපිය අගෝස්තු  10 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මිලියන 28 ක ජනගහනයක් සහිත නේපාලයේ රෝගීන් 22,972 ක් සිටින අතර, මරන 75 ක් වාර්තා වී තිබේ. මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැතිව, දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වල සිරවී සිටින අතර ඒවා දැන් වෛරසය පතුරවන මධ්‍යස්ථාන බවට පත්ව ඇත.

ජුලි 31 වන දින, “කොවිඩ්-19 නේපාලය: ඇති මේ ඇති” මුහුනු පොත කන්ඩායමට අනුබද්ධ තරුන තරුනියෝ කත්මන්ඩු අගනුවර පිහිටි අගමැති නිවසින් පිටත උද්ඝෝෂනය කලහ.

සමාජ මාධ්‍ය කන්ඩායමේ සාමාජිකයෝ, ජනතාවගේ දුක්ඛිත තත්වය කෙරෙහි ආන්ඩුව දක්වන උදාසීනත්වය හෙලා දුටු අතර රට පුරා සියදිවි නසාගැනීම් වැඩිවීම පිලිබඳව කනස්සල්ල පල කලහ. රැකියා කප්පාදුව සහ එහි ප්‍රතිලයක් වශයෙන් ආදායම අහිමිවීම හේතුවෙන්, ආන්ඩුව දින 74 ක කොරෝනා වෛරස් අගුලු දැමූ කාලය තුල, 1,200 කට වැඩි පිරිසක් සියදිවි නසා ගෙන ඇත.

වේගවත් රෝග විනිශ්චය පරීක්ෂන Rapid Diagnostic Test වෙනුවට වඩාත් ඵලදායී පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරීක්ෂන Polymerase Chain Reaction Test භාවිතය වැඩි කරන ලෙස විරෝධතාකරුවන් රජයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

නේපාලයේ වාර්තා වී ඇති ආසාදන සංඛ්‍යාව සාපේක්ෂව අඩු වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, සිදු කර ඇති පරීක්ෂන වල අඩු මට්ටමයි. නේපාල කොමියුනිස්ට් පක්ෂය (එන්සීපී) ආන්ඩුව, ජූලි මාසයේ සිට දිනකට පරීක්ෂන 10,000 ක් පවත්වන බව මීට පෙර කියා සිටියද, පරීක්ෂන මට්ටම දිනකට 4,000 ක් ලෙස පවතී. එය ලෝකයේ අඩුම අනුපාතයන්ගෙන් එකකි.

ආසාදිත පුද්ගලයින් නිසි ලෙස සොයා ගැනීම සහ හිරිහැරයට හා පහර කෑමට ලක්වූ දලිත් පීඩිතයන්ට සහ කාන්තාවන්ට ආරක්ෂිත නිරෝධායන පහසුකම් ලබා දෙන ලෙස ද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. වසංගත පාලනය සඳහා ආන්ඩුව වෙන් කර ඇති බව පවසන රුපියල් බිලියන 10 මූදල් වැයකරන ආකාරය පිලිබඳ විනිවිදභාවයක් තිබිය යුතු බව ඔවුන් කියා සිටී.

මාධ්‍ය වාර්තාවලට අනුව, උද්ඝෝෂනයට පහර දුන් පොලීසිය, ප්‍රදේශයේ සිටි විරෝධතාවට සම්බන්ධ නොමැති පුද්ගලයින් ඇතුලු තරුනයින් 50 ක් පමන අත්අඩංඟුවට ගෙන ඇත. ආලෝක් සුබෙඩි කත්මන්ඩු පෝස්ට් පුවත්පතට පැවසූවේ, “මම බිග් මාට්හි (ප්‍රාදේශීය සුපිරි වෙලඳසැලක්) සිටිය දී, පොලීසිය මාව ඉවතට ගෙනවිත් ඔවුන්ගේ වෑන් රථයට දැමුවා” කියාය. 

අත්අඩංගුවට ගත් අය එදින සවස නිදහස් කරනු ලැබුවද, මෙම තරුන උද්ඝෝෂන ආන්ඩුවට එරෙහි  විරෝධතාවල අක්ෂය බවට  පත්වේ යයි ස්ටැලින්වාදී එන්සිපී පාලනයට පවතින බිය මෙම පොලිස් ප්‍රහාරයෙන් පෙන්නුම් කරයි. 

“කොවිඩ් -19 නේපාලය: ඇති මේ ඇති!” මුහුනුපොත් පිටුවට සාමාජිකයින් 209,000 කට වඩා සිටී. ප්‍රධාන වශයෙන් මධ්‍යම පාන්තික තරුන තරුනියන් මෙම කන්ඩායමට අයත්වන අතර ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ වී නොමැත. සංස්ථාපිත පක්ෂ කෙරෙහි නේපාල තරුන පරම්පරාව අතර පැතිර පවතින අතෘප්තියේ තවත් ඇඟවීමකි මෙය. 

කෙසේවෙතත්, මෙම තරුන තරුනියන්, රජයට බලපෑම් කිරීමේ නිරර්ථක උත්සාහයන් වෙත හරවා යැවීමට එම සංවිධානය උත්සාහ කරයි. 29 හැවිරිදි ධිරේන්ද්‍ර ශ්‍රෙෂ්තා මාධ්‍යයට පැවසුවේ “ආන්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි අපි කියා නොසිටින” නමුත් “ඔවුන් කරන දෙය ප්‍රමානවත් නොවන” බවයි. 

මෙම ව්‍යාපාරය දේශපාලනිකව පැහැර ගැනීමේ උත්සාහයක් ලෙස නේපාල කොන්ග්‍රස් පක්ෂය, එම සංවිධානයට “සහයෝගය” දෙන බව ප්‍රකාශ කර තිබේ. ස්ටැලින්වාදී එන්සීපී ආන්ඩුව මෙන්ම කොන්ග්‍රස් ආන්ඩු ද නේපාල සෞඛ්‍ය පද්ධතියේ පවත්නා භයානක, පහත් තත්වයට වගකිව යුතුය.

ජූලි 31 උද්ඝෝෂනය, මෑත මාසවල පැවති විරෝධතා කිහිපයකින් එකකි. ජුනි 9 වන දින 150 පමන දෙනා ඔලීගේ නිවසින් පිටත වාඩි වී විරෝධතාවය දැක්වූහ. පොලිසිය විසින් ජල කාලතුවක්කු සහ බැටන් පොලු භාවිතා කරමින් එයට පහර දුනි. පසුව රට පුරා ප්‍රධාන නගරවල තරුනයින් සිය ගනනක් ජුනි මාසයේදී පාරවල්වල උද්ඝොෂනය කලහ.

ජුලි 31 අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැතිර ගිය කෝපයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස් අධිකාරී රොෂාන් කඩ්කා මාධ්‍යයට පැවසුවේ, විරෝධතාකරුවන් අහඹු ලෙස රඳවා තබා ගැනීම තම නිලධාරීන් විසින් මීට පසුව නොකරනු ඇති බවයි. 

මෙම සහතික කිරීම් නිෂ්ඵලය.

ජුනි මාසයේදී පතාන් ඩර්බාර් චතුරශ්‍රයේ උපවාසයක් පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ජූලි 30 වන දින “තොරතුරු දැන ගැනීමේ අයිතිය” පෙත්සමක් අධිකරනයට ඉදිරිපත් කිරීමට යමින් සිටියදී තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබින. අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට වරෙන්තු නොතිබූ අතර අත්අඩංගුවේ සිටියදී තරුනයින්ට දරුනු ලෙස සලකා ඇත.

ආන්ඩුවට එරෙහිව පවතින විරුද්ධත්වය හුදෙක් කොවිඩ්-19 සඳහා දක්වන අප‍්‍රමානවත් ප‍්‍රතිචාරයට එරෙහිව පමනක් නොව, රටේ දරිද්‍රතාවයෙන් පෙලෙන මිලියන සංඛ්‍යාත පුරවැසියන් මත වසංගතයේ විනාශකාරී ආර්ථික බලපෑම කෙරෙහි ආන්ඩුව දක්වන උදාසීනත්වය මුල්කරගෙන ද පැනනැඟී තිබෙන දෙයකි. නේපාල ආර්ථිකය මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සංචාරක ව්‍යාපාරය සහ විදේශීය සංක්‍රමනික කම්කරුවන්ගෙන් ලැබෙන මුදල් මත ය. මෙම මූලාශ්‍රයන්ගෙන් ලැබෙන ආදායම මුලුමනින්ම බිඳ වැටී ඇත.

ඉන්දියාවෙන් සහ ගල්ෆ් ප්‍රාන්ත රටවලින් ආපසු පැමිනීමට නොහැකිව සිටින අය ඇතුළු නේපාලයේ සංක්‍රමනික කම්කරුවන් දරුනු තත්වයකට මුහුන දී සිටිති. නේපාල ශ්‍රේෂ්ඨාධිකරනයේ අනවරත ඉල්ලා සිටීම් මධ්‍යයේ ද, සිරවී සිටින මෙම කම්කරුවන්ට සැලකිය යුතු ආධාරයක් ලබා දීම එන්සීපී රජය ප්‍රතික්ෂේප කර තිබේ.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ අයට ද, රජය සැලකිය යුතු මූල්‍ය සහනයක් ලබා දී නැත. නාගරික කම්කරුවන්, දෛනික වැටුප් ලබන්නන් සහ ග්‍රාමීය දුප්පතුන් මෙන්ම කුඩා සාප්පු හිමියන් සහ ගොවීන් ඇතුලු කුඩා ව්‍යවසායකයින් මුහුන දෙන මංමුලා සහගත තත්වය බියකරු ය.

වැඩෙන මහජන අතෘප්තියට මුහුන දී සිටින එන්සීපී ආන්ඩුව, උත්සන්න වන සමාජ අර්බුදයෙන් අවධානය වෙනතකට හැරවීම සඳහා ස්වෝත්තමවාදය සහ ආගමික නිකායවාදය අවුස්සමින් සිටී. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ අනෙකුත් හින්දු අන්තවාදීන් කියා සිටින පරිදි මිථ්‍යා හින්දු දෙවි රාම් අයෝධ්‍යාවේ උපත නොලැබූ බව ජුලි 13 වන දින ඔලි කියා සිටියේය. මෙය ඉන්දියානු “සංස්කෘතික ආක්‍රමනයක්” බව ඔහු ප්‍රකාශ කලේය.

කොරොනා වෛරස් වසංගතයට ස්ටැලින්වාදී එන්සීපී ආන්ඩුවේ ප්‍රමානවත් නොවන හා උදාසීන ප්‍රතිචාරය අහම්බයක් නොවේ. එහි, දකුනු ආසියා සහ ජාත්‍යන්තර සගයන් මෙන් නේපාල පාලක ප්‍රභූව, කොරෝනා ව්‍යසනයට මුහුන දෙන වැඩකරන ජනතාවගේ සහ ග්‍රාමීය සූරාකැවෙන්නන්ගේ ඉරනම ගැන උනන්දුවක් නොදක්වන නමුත් ලාභ ක්‍රමය ආරක්ෂා කිරීමට සහ ධනවාදී පන්තිය තවදුරටත් පොහොසත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

Loading