ලංකා හාම්පුතුන් ගේ සම්මේලනය කම්කරු අයිතීන් කප්පාදු කිරීමේ අවශ්‍යතාවය යලි අවධාරනය කරයි

කොවිඩ් 19 වසංගතයෙන්  තීව්‍ර කෙරී ඇති ධනපති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා අවශ්‍ය කොන්දේසි සලසා දෙන ලෙසත් අර්බුදයෙන් ගොඩ ඒම  සඳහා තමන්ට  ව්‍යාපාරික හා මුල්‍ය පහසුකම් සම්පාදනය කරන ලෙසත්  ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය (ලහාස) රාජපක්ෂ ආන්ඩුවට යලි අවධාරනය කර ඇත. වසංගතය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් කෙරෙහි බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ලහාස අප්‍රේල් හා මැයි මාසවල කරන ලද අධ්‍යනයක නිගමන ජුලි 30 වෙනිදා එහි සාමාජිකයන් වෙත ඉදිරිපත් කරමින් ලහාස අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ පහත සඳහන් ඉල්ලීම් ආන්ඩුව වෙත යොමු  කලේ ය.   

“නිවසේ සිට වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ එය ප්‍රවර්ධනය කිරීම, නම්‍යශීලී වැඩ පැය ගනන්, වැටුප් සහ සෙසු ගෙවීම් සම්බන්ධව ආන්ඩුවේ අනුග්‍රහය සහිත වැටුප් ව්‍යාපෘතීන් හඳුන්වා දීම විශේෂයෙන්ම, වැවිලි කර්මාන්තය තුල ආන්ඩුවේ මැදිහත්වීම අවම කිරීම, අගුලු දැමීම හේතු කොටගෙන වැඩ නො කරන දින සඳහා කම්කරුවන්ගේ නියමිත නිවාඩු හිලව් කිරීම. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා ප්‍රතිපදාන ප්‍රමාද කිරීමට අවසරදීම සහ පවතින කම්කරු නීති, විශේෂයෙන් ම සේවකයන් දොට්ට දැමීම, වැටුප් ගෙවීම සහ සෙසු ව්‍යවස්ථාපිත අයිතීන් සම්බන්ධ ක්ෂේත්‍රයන්ට අදාල නීති සංශෝධනය කිරීම.”

නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් සැපයීම සහ එය ප්‍රවර්ධනය කිරීමෙන් අපේක්ෂා කරන්නේ ආයතනයට පැමින වැඩ කිරීමේ දී වසංගතයට පෙරාතුව සේවකයන් භුක්ති විඳි ප්‍රවාහන පහසුකම්, දිරිදීමනා ඇතුලු සමාජ සහන කප්පාදුවකි. එමෙන් ම, නම්‍යශීලී වැඩ පැය ගනන් යනු  හාම්පුතුන්ගේ අභිමතය පරිදි වැඩ පැය ගනන අඩු කිරීම හෝ දීර්ඝ කිරීමය. 

අගුලු දමා තිබු කාලය තුල නිශ්පාදන කටයුතු ඇනහිටීම නිසා සිදු වූ පාඩුව පියවා ගැනීම සඳහා ව්‍යාපාරිකයන් සහ කම්හල් හිමියන් විසින්  අතිකාල ගෙවීමකින් තොරව දවසේ පැය 8 ට අමතරව පැය කිහිපයක් හෝ සති අන්ත දිනවල  දැනටමත් බලහත්කාරයෙන් වැඩට යොදවා ඇත. එමෙන් ම, ඉල්ලුම පහත වැටීම සහ වෙලඳපොල හැකිලීමේ කොන්දේසි යටතේ වැඩ පැය ගනන් අඩු කිරීම තුලින්  වැටුප් කප්පාදුවක්  ක්‍රියාවට දමනු ඇත. 2008 මුල්‍ය අර්බුදය තුල ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප තුල සතියේ වැඩ පැය ගනන් අඩු කෙරුනි. 

ඉහත යෝජනාවන් සියල්ලම පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ දීමනාවන් ඇතුලු අයිතීන්ට එල්ල කෙරෙන දුෂ්ට ප්‍රහාරයකි. කම්කරුවන් මත මෙම ප්‍රහාරයන්  කඩාපාත් කෙරෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල පුර්න සහයෝගය ඇතිවය. ආන්ඩුව, හාම්පුතුන්  සහ වෘත්තීය සමිති අතර ඇතිකරගෙන තිබෙන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම තුලින් බාධාවකින් තොරව කම්කරුවන් මත කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට හාම්පුතුන්ට ඉඩ සලසා ඇත.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුම යොදා ගනිමින් ලක්ෂ ගනනක්  කම්කරුවන්ගේ රැකියා අහෝසි කෙරුනු අතර,  වැටුප්  සියයට පනහකින් කප්පාදු කෙරුනි. අතිකාල ඇතුලු අනෙකුත් දීමනාවන් ද  අත් හිටුවා ඇත.  ලහාස සමීක්ෂන වාර්තාවට අනුව විධායක හා විධායක නොවන ශ්‍රේනීන්ගේ රැකියා අහිමිවීමේ සාමාන්‍යය පිලිවෙලින් සියයට 7 ක් සහ 9 කි. විධායක නොවන ශ්‍රේනීන්ගේ ඉහලම රැකියා අහිමිවීම් වාර්තා වී ඇත්තේ මුල්‍ය, රක්ෂන සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ය. ප්‍රතිශතය සියයට 15 කි.  සත්කාරක සහ අහාර සැපයුම් සේවාවන්හි සියයට 11ක් වන අතර  කෘෂිකාර්මික සහ තොග හා  සිල්ලර වෙලඳ ව්‍යාපාරවල පිලිවෙලින් සියයට 6 ක් සහ 5 කි.     

මෙම සංඛ්‍යා ලේඛන හුදෙක් ම, විධිමත් පුද්ගලික අංශයේ රැකියා අහිමිවීම ගැන පමනකි. ගොඩනැගිලි කර්මාන්තය, හෝටල් හා කඩ සාප්පු ඇතුලු අවිධිමත් අංශයේ රැකියා අහිමිවීම ඊට ඇතුලත් නොවේ. වෙනත් වාර්තාවලට අනුව කොවිඩ් 19 වසංගතය නිසාවෙන් ශ්‍රී ලංකාව තුල සමස්තයක් ලෙස මිලියනයකට වඩා කම්කරුවන්ට රැකියා අහිමි වී ඇත.

වසංගතය හේතු කොට ගෙන ඉල්ලුම පහත වැටීම සහ ඇනවුම් නොලැබීම නිසා නුදුරු දිනවල අපනයන සඳහා පමනක් නිෂ්පාදනය කරන කර්මාන්තවල විධායක සහ විධායක නොවන ශ්‍රේනිවල සියයට 21 ක් සහ අපනයන සහ දේශීය වෙඳලපොල සඳහා නිෂ්පාදනය කරන කර්මාන්තවල සියයට 19 කින් රැකියා අහිමි වනු ඇති බවට ලහාස සමීක්ෂන වාර්තාවෙන් අනතුරු අඟවා තිබේ. 

මෙම වසරේ ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් 1.5-2 අතර ප්‍රමානයකින් පහත වැටීමට ඉඩ ඇති බවත් 100,000 පමන කම්කරුවන්ගේ රැකියා අහිමිවන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදයේ (ඒඇසස ) සභාපති ඒ. සුකුමාරන් අගෝස්තු 10 වෙනිදා ඩේලි එෆ්ටී ඔන්ලයින් පත්‍රයට ප්‍රකාශ කර තිබුනි. මහා පරිමාන ඇඟලුම් කම්හල් 300 ක කම්කරුවන් 990,000 ක් සේවයේ නියුක්ත බවත් තවත් මිලියනයකට වැඩි පිරිසක් ඒ මත යැපෙන හෝ ඒ ආශ්‍රිත රැකියාවල යෙදී සිටින බවත් ඔහු සඳහන් කර ඇත. අමුද්‍රව්‍ය සැපයුම සහ වෙලඳපොල යතා තත්වයට පත් නොවන්නේ නම් මෙම වසර අග වන විට ඇඟලුම් කම්හල් වලින් සියයට 50 ක් වැසී යනු ඇතයි ඒඇසස ඊට ඉහත දී අනතුරු අඟවා තිබුනි.  ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සියයට 100 ක්  ම  එක්සත් ජනපදය සහ යුරෝපය මත රඳා පවතින බවත් එම රටවල වසංගතයේ දෙවන රැල්ලක් මතුවීම  හෝ නැවත  අගුලු දැමීමක් සිදුවුවහොත්  ඇඟලුම්  කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුන දෙන බව සුකුමාරන් වැඩි දුරටත් සඳහන් කර ඇත.

කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කිරීමට අවසර ඉල්ලන අතර තුර පොලී අනුපාත අඩු කිරීම, නය අයකර ගැනීම අත්හිටුවීමේ කාලය දීර්ඝ කිරීම, මෙහෙයුම් කටයුතු යලි ආරම්භ  කිරීම සඳහා අවශ්‍ය නය සැපයීම සහ සෙසු මුල්‍ය පහසුකම් සම්පාදනය කිරීම ඇතුලු සහනයන් තමන්ට ලබාදෙන ලෙස ලහාස ඉල්ලයි. ආන්ඩුව දැනටමත් හාම්පුතුන්ට රුපියල් බිලියන ගනනින් මුල්‍ය සහන සලසා ඇති අතර "ආර්ථිකය යලි ගොඩ නැගීම" යටතේ හාම්පුතුන්ගේ ලාබ අවශ්‍යතාවයන්ට හා ඔවුන්ගේ ඉල්ලීම් වලට අනුව කම්කරුවන්ගේ අයිතීන් තවදුරටත් කප්පාදු කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සහ වෘත්තීය සමිති සහයෝගයෙන් කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාර කොවිඩ් 19 වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදය තුල ලෝක පරිමානව ධනපති ආන්ඩු විසින් ක්‍රියාවට දමනු ලබන ප්‍රහාරයක කොටසකි.

පිවිසෙන්න: ඇඟලුම් කම්කරුවන් සඳහා සසප පනිවුඩ මුහුනු පොත

Loading