වොෂින්ටනය හා යුරෝපා සංගමය පීඩනය දැඩිකරද්දී, බෙලාරුස් හි වැඩ වර්ජන පැතිර යයි

මෙම ලිපිය අගෝස්තු 14 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

පසුගිය ඉරිදා පැවති ජනාධිපතිවරනයේ ප්‍රතිපල සම්බන්ධයෙන් පැනනැඟී තිබෙන මහජන කෝපය මැඩපැවැත්වීමට පොලිස් මර්දනය අසමත්ව තිබියදී, බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ආන්ඩුවට එරෙහි  විරෝධතා දිගින් දිගටම වර්ධනය වේ. එරට මධ්‍යම මැතිවරන කොමිසම, ඡන්ද වලින් සියයට 80 ක් ලූකෂෙන්කෝට ලැබී ඇති අතර ඔහුගේ ප්‍රධාන තරඟකරු ස්වෙට්ලානා ටිඛනොව්ස්කයා තීරනාත්මක ලෙස පරාජයට පත්ව ඇති බව සඳුදා  ප්‍රකාශ කලේ ය. වසර 26 ක් තිස්සේ ලූකෂෙන්කෝගේ පාලනය යටතේ පැවති ආන්ඩුව ඡන්ද වංචා කර ඇති බවට පුලුල් විශ්වාසයක් පවතී.

පෙලපාලිකරුවන් දහස් ගනනක් ඊයේ මින්ස්ක් අගනුවරට ඇදී ආහ. රට පුරා කුඩා නගරවල ද විරෝධතාකරුවෝ පාරවලට පැමින සිටිති. බෙලාරුස් හි ප්‍රධාන මෝටර් රථ කම්හල වන බෙලාසා හි කම්කරුවන් වැඩ වර්ජනයක නිරත වී ඇති අතර, මෙටලුගි ඉලෙක්ට්‍රොනික හා තාක්‍ෂනය, ඖෂධ , පොහොර, පිඟන් භාන්ඬ සහ වෙනත් කර්මාන්තශාලාවල කම්කරුවන් හා  සෙසු මෝටර් රථ සේවකයින් ද ඔවුන් සමඟ එක් වී ඇත. සෞඛ්‍ය සේවකයින් සහ මින්ස්ක් ෆිල්හාර්මෝනියාවේ සාමාජිකයින් ද රැකියාවලින් ඉවත් වී ඇත.

බෙලාසා කම්හලේ වැවර්ජිත මෝටර් රථ කම්කරුවෝ

සමූහ අත්අඩංගුවට ගැනීම් නොසලකා හැර සහ සමාජ විරෝධය මැඩපැවැත්වීම සඳහා පොලිස් ප්‍රචන්ඩත්වය යොදා ගැනීමට විරුද්ධව වැඩ වර්ජන හා පෙලපාලි පැවැත්වේ. බෙලාරුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා වන විට පුද්ගලයින් 6,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන පෙලපාලිකරුවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. බෙලරුස්හි මිලිටරීකරනය කල පොලිස් බලකාය වන ඕමන්, ජල කාලතුවක්කු, කඳුලු ගෑස්, රබර් උන්ඬ සහ ස්ටන් අත්බෝම්බ ගසා ජනතාව බියගන්වා ආපසු හරවා යැවීමට උත්සාහ කර ඇත.

බෙලාසාහි එක් මෝටර් රථ සේවකයෙක් මාධ්‍ය වෙත පැවසුවේ, ඕමන් කම්හලෙන් වැඩ ඇරී නිවස බලා යමින් සිටි සේවකයෙකු පාරේදී අත්අඬංඟුවට ගැනීමෙන් පසුව ඔහු ආගිය අතක් නොමැති බවයි.   පොලිසිය, කම්කරුවන් නිෂ්පාදනය කරන වාහනවලම අසල්වැසි ප්‍රදේශවල සැරිසරන බවට බෙලාසා වර්ජකයන් දැඩි විරෝධයක් පල කර තිබේ.

විරෝධතාකරුවන් සහ වැඩ වර්ජකයින් විසින් මෙතෙක් ඉදිරිපත් කර ඇති කේන්ද්‍රීය ඉල්ලීම, ලූකෂෙන්කෝගේ ඉල්ලා අස්වීමයි. “පලයන් එලියට!” යනු විරෝධතා සහ පිකට් වැටවල පොදු සටන් පාඨයකි. රාජ්‍ය ප්‍රචන්ඩත්වය අවසන් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ නව මැතිවරන පැවැත්වීම ද උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් අතර වෙයි. විරෝධතාකරුවන් විසින් “බෙලරුස් දිගු කල් වැජඹේවා” “Long Live Belarus” යනුවෙන් කෑගසද්දී, ජාතිකවාදී  හැඟීම් පිලිබඳ ඇඟවීම් ද තිබේ.

සමාජ හා ආර්ථික ඉල්ලීම් වැඩ වර්ජනවල පෙරමුනට පැමින ඇති බවක් තවමත් පෙනෙන්නට නැත. එහෙත් බෙලාරුසියානු කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන පීඩාව මුලුමනින්ම බැඳී ඇත්තේ, දේශීය හා විදේශීය ධනපති පන්තියේ දැඩි සූරාකෑමට ය. දශක ගනනාවක දරිද්‍රතා වැටුප්, සමාජ වියදම් කප්පාදුව සහ ඉතා මෑතකදී, COVID-19 වසංගතය කෙරෙහි ආන්ඩුව දක්වනු ලබන මාරක උදාසීනත්වය යන සියල්ලම සමාජ අතෘප්තියට හේතු වේ.

සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටෙලිග්‍රාම් වෙත පොදු වැඩ වර්ජනයක් සඳහා නෙක්ස්ටා විසින් කරන ලද අයාචනයකට ප්‍රතිචාර ලෙස කර්මාන්තශාලා වලින් ඉවත්වීම සිදුවිය. නෙක්ස්ටා යනු දැනට පෝලන්තයේ පදිංචිව සිටින හිටපු ක්‍රීඩා ලේඛක සහ සංගීත බ්ලොග් කරුවෙකු හා විපක්ෂවාදියෙකු වන ස්ටෙපාන් පුටිලෝ විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවකි. ලුකාෂෙන්කෝ ආන්ඩුව විසින් ඔහුගේ විරුද්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩා කිරීම නිසා ඔහු බෙලාරුස් හැර ගියේය.

පුටිලෝ යනු මෑත වසරවල මතුවී ඇති “දූෂන විරෝධී” සමාජ මාධ්‍ය පුද්ගලයින්ගෙන් කෙනෙකි. එය, “ප්‍රජාතන්ත්‍රවාදය” සඳහා වන ආයාචනාවල ආවරනය යටතේ, නිදහස් වෙලඳපොල ධනවාදයට දක්වන සහයෝගය සඟවයි. නෙක්ස්ටා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන ඉල්ලීමක් වන්නේ, ටිඛනොව්ස්කයාට බෙලාරුසියානු ජනාධිපති ධුරය පිරිනැමීමයි.

තවත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂ බ්ලොග් කරුවෙකු වන සිය ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් පසු තරඟයට අවතීර්න වූ ටිඛනොව්ස්කායා, බොහෝ දුරට හිස් උද්ඝෝෂනයක් දියත් කල අතර එය “නිදහස් හා සාධාරන මැතිවරනයකට” වඩා වැඩි යමක් ඉල්ලා නොසිටියේය. හුදෙක් නිර්භීත මවක් සහ ගෘහනියක් ලෙස නිරූපනයට කර තිබෙන ඇය, බෙලරුස්හි දක්ෂිනාංශයේ විරුද්ධවාදී කොටස්වල පිටුබලය ලබන අතර බටහිර මාධ්‍යවල  ප්‍රශංසාවට ලක්ව සිටියි. බෙලාරුස්හි භූ-මූලෝපායික වශයෙන් වැදගත් භූමිය මත පුලුල් අරගලය සඳහා යොදා ගත හැකි, දේශපාලන ඉත්තන් හා සූරාකත හැකි කොටසක් ලෙස සලකනවා හැරෙන්නට, බෙලාරුසියානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන මේ කිසිම බලවේගයකට සුලු හෝ සැලකිල්ලක් නැත.

තරයේම දූෂිත, ධනවත් ඒකාධිපතියෙකු බවට පරිවර්තනය වූ හිටපු ස්ටැලින්වාදියෙකු වන ලූකෂෙන්කෝට එරෙහි මහජන විරෝධය පුපුරා යාම, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය (යුරෝපා සංගමය) විසින් යොදාගනු ලබන්නේ, රුසියාවට එරෙහි ඔවුන්ගේ අරමුනු ඉටුකර ගත හැකි මෙවලමක් ලෙසය. මින්ස්ක් පාලනය දිගු කලක් තිස්සේ මොස්කව්හි ප්‍රධාන සගයෙකු වන අතර, රුසියාවේ බටහිර මායිමේ නේටෝවට එරෙහිව ඉතිරිව ඇති අවසාන භෞමික බලකොටුව ද වේ.

වොෂින්ටනය බෙලාරුස් සිය කක්ෂයට ඇද ගැනීමට කටයුතු කරමින් සිටින අතර, දශක දෙකහමාරක විරාමයකින් පසු 2019 සිට එරට සමඟ පූර්න රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. ලුකාෂෙන්කෝ සමඟ මෙය සාක්ෂාත් කර ගැනීමට නොහැකි නම්, ඔහු නොමැතිව එය ඉටුකර ගැනීමට එය ක්‍රියා කරනු ඇත. මෙම සතිය මුල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, බෙලාරුස් හි “විරෝධතාකරුවන්ට එරෙහිව දිගින් දිගටම සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා සහ විපක්ෂ ආධාරකරුවන් රඳවා තබා ගැනීම” හෙලා දකිමින් තරයේම කුහක ප්‍රකාශයක් නිකුත් කලේය. ඒවා වනාහි ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල දැනට සිදු කරනු ලබන ක්‍රියාමාර්ගමය.

වොෂිංටනයේ දක්ෂිනාංශික, රුසියානු විරෝධී සහචරයින් වන , ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව යන බෝල්ටික් රටවල්, ලුකාෂෙන්කෝට බලපෑම් කිරීම සඳහා ඉදිරියට තල්ලු කරනු ලැබේ. ලිතුවේනියාව ටිකානොව්ස්කයාට දේශපාලන රැකවරනය ලබා දී ඇති අතර, දඬුවම් පැමිනවීමෙන් වැලකීමට නම් බෙලාරුස් විසින් අනුගමනය කල යුතු කරුනු තුනක සැලැස්මක් එම රටවල් තුන විසින් ඉදිරිපත් කර ඇත. ප්‍රචන්ඬත්වය අවසන් කිරීම සහ සිරකරුවන් නිදහස් කිරීමට අමතරව බෝල්ටික් රාජ්‍යයන් ඉල්ලා සිටින්නේ, බෙලාරුස් විසින් “රාජ්‍යයේ සහ සිවිල් සමාජයේ නියෝජිතයින්ගේ ජාතික කවුන්සිලයක් නිර්මානය” කරන ලෙසයි. ඒවායේ ඉලක්කය, “අර්බුදයෙන් මිදීමට මාර්ග සොයා ගැනීමයි.” සෑම කෙනෙකුම දන්නා පරිදි මෙය, දේශපාලන බලය අහිමි කර නොගෙන ලූකෂෙන්කෝට එකඟ විය නොහැකි සැකසුමකි.

යුරෝපා සංගමය අඟහරුවාදා නිවේදනය කලේ, බෙලරුසයට එරෙහි සම්බාධක පැනවීම පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා අද රැස්වන බවයි. යුරෝපා සංගම් තානාපතිවරු බ්‍රහස්පතින්දා ආන්ඩු විරෝධී උද්ඝෝෂකයෙකු ඝාතනය කල ස්ථානයේ මල් වඩම් තැබීමේ සංදර්ශනයක් පැවැත්වීය. බ්‍රසල්ස් ප්‍රකාශයක් මගින් යුරෝපා සංගමය, “නිරීක්ෂනය කරන ලද ප්‍රචන්ඩත්වය, අසාධාරන ලෙස අත්අඩංගුවට ගැනීම් සහ මැතිවරන ප්‍රතිපල ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව පියවර ගැනීමට සූදානම් වන” බව ප්‍රකාශ කලේය.

තමන් සහ එහි සාමාජික රටවල් බෙලාරුසියානු ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තන් ලෙසත්, බෙලාරුස්හි සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂකයින් ලෙසත් නිරූපනය කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය විකාරයකි. ආන්ඩුව “කහ බැනියම්” විරෝධතාකරුවන්ට තිරිසන් ලෙස පහර දී අත්අඩංගුවට ගෙන විසුරුවා හරිනු ලැබේ. බෙලරුසියාවේදී  පෙලපාලිකරුවන් අත්අඩංගුවට ගත් දිනවලම පෝලන්ත පොලීසිය, බෙල්ල පයින් පාගා හුස්ම හිරකිරීම සහ LGBTQ  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි විරෝධතාකරුවන් අත්අඬංඟුවට ගත්තේය. ජර්මනියේ අන්ත දක්ෂිනාංශික ඒඇෆ්ඩී AfD සමස්ත දේශපාලන ක්‍රමය කෙරෙහි පුලුල් බලපෑමක් කරයි.

ලුකාෂෙන්කෝ හෙලා දකින අයගේ කන්ඬායමට,  ඉහල හමුදා පත්වීම් ලබා ඇති නව නාසිවාදීන්ගෙන් යුත් හා රට පුරා පැරාමිලිටරි කල්ලි කන්ඬායම් විසින් විරුද්ධවාදීන් ඝාතනය කරනු ලබන යුක්‍රේන් ආන්ඩුව ද වේ.

ඉදිරි දින හා සතිවලදී විරෝධතා සහ වැඩ වර්ජන වර්ධනය වන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. පෙලපාලි පිටුපස සිටින බවට ආන්ඩුව අවධාරනය කරන “ප්‍රකෝපකාරීන්ගේ” වීඩියෝ පටිගත කරන ලෙස, කොටුවී සිටින  ලුකාෂෙන්කෝ තන්ත්‍රය බ්‍රහස්පතින්දා පුරවැසියන්ට ආයාචනය කලේය. ලුකාෂෙන්කෝට රාජ්‍ය යාන්ත්‍රනය තුලම සහයෝගය සිඳී යාමට පටන් ගෙන ඇති බවට ලකුනු කිහිපයක් තිබේ. වීටෙබ්ස්ක්හි මධ්‍යම මැතිවරන කොමිෂන් සභාවේ ප්‍රධානී සර්ජි පිටලෙන්කෝගේ ශ්‍රව්‍ය පටිගත කිරීමක් නිකුත් කරන ලද අතර, එහි දී නිලධරයා ප්‍රකාශ කලේ, මැතිවරන ප්‍රතිපල ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත්, ඡන්ද ප්‍රතිශතය වෙනස් කරන ලෙස නිලධාරීන්ට ඉහල බලධාරීන් විසින් උපදෙස් දී ඇති බවත් ය.

බෙලාරුසියානු කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය ප්‍රශ්නය, ලුකාෂෙන්කෝට පමනක් නොව බෙලාරුස් හි “ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙන් පෙනී සිටින සියලු ඊනියා උපදේශකයින්ගෙන් ස්වාධීනව හා ඔවුන්ට විරුද්ධව බලමුලු ගැන්වීමයි. මින්ස්ක්හි තන්ත්‍රය සහ එහි දේශීය හා විදේශීය විරුද්ධවාදීන් අතර සිදුවන සටන, ඒකාධිපතියන් සහ “මානව හිමිකම්” සහ “නිදහස” පිලිබඳ කියනු ලබන ආධාරකරුවන් අතර එකක් නොවේ.

එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන අධිරාජ්‍යවාදී බලවත්තු, යුරේසියානු භූමි භාගය මත පාලනය තහවුරු කර ගැනීම සඳහා වන සිය කටුක අරගලයේදී බෙලාරුස් ඉත්තෙකු ලෙස දකිති. රුසියාව සහ චීනය සමඟ මිලිටරි ගැටුම වඩාත් කේන්ද්‍රීයව මෙයට සම්බන්ධ වේ. කලාපය තුල භීෂනය මුදා හැරීමට ඔවුන් සූදානම් වන අතර, ස්වදේශිකයින් සියයට 70 කගේ ම  පලමු භාෂාව ලෙස රුසියානු බස කථා කරන බෙලාරුසියානු ජනතාව, එහි ප්‍රතිවිපාකවලට මුහුන දෙනු ඇත. ලූකෂෙන්කෝ මෙන්ම රුසියාවේ ව්ලැඩිමීර් පුටින් ද ඔවුන්ගේ පාලනය යටතේ පවතින විශාල කලාපයේ කම්කරු පන්තිය අඛන්ඬව සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදය සමඟ ගිවිසුමකට එලඹීමට අපොහොසත් වූ අතර, බලයේ රැඳී සිටීම සඳහා ප්‍රච්න්ඬත්වය හා මර්දනය යොදාගැනීමට ඔවුහු උත්සාහ කරති.

යුරෝපයේ, ආසියාවේ සහ ඇමරිකාවේ සෙසු කම්කරුවන් සමඟ සම්බන්ධ වී ඇති බෙලාරුස් සහ රුසියාවේ කම්කරු පන්තියේ එක්සත් අරගලයක්, අධිරාජ්‍යවාදය සහ පශ්චාත් සෝවියට් පාලක පන්තිය පරාජය කල හැකි එකම පදනමයි. අවශ්‍ය වන්නේ, “නිදහස් හා සාධාරන මැතිවරනයක්” නොව සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිවෙලකි.

Loading