දරුවන් සහ වැඩිහිටියන් වසංගත අන්තරායට ගොදුරු කරමින් ආන්ඩුව යලි පාසල් විවෘත කරයි

සඳුදා සිට පාසල් යලි විවෘත කිරීමත් සමග කොරෝනා වසංගතය පැතිරයාමේ ක්ෂනික වර්ධනයක අනතුර ලංකාව තුල මතුවී ඇත. ආන්ඩුව පාසැල් විවෘත කලේ, කන්දකාඩු පොකුර ආශ්‍රිතව තවමත් රෝගීන් වාර්තාවද්දී සහ වසංගතය පැතිරීම වැලැක්වීමට ගත් සීමිත පියවරයන් පවා අත් හරිමින් සිටින තතු තුලය. අන්තරායෙන් ගැලවීමේ වගකීම මහජනතාව වෙත පටවමින්, ආන්ඩුව සෞඛ්‍ය බලධාරීන් හරහා කියා සිටින්නේ “සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් අනුගමනය කලහොත්” ඉන් වැලකිය හැකි බවයි. 

අගෝස්තු 08 වන දා පැවති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර සඳහන් කලේ අගෝස්තු 10 වනදා පටන් පාසල් විවෘත කිරීම ඇතුලු “සමාජ ක්‍රියාකාරීත්වය” වැඩි වන නිසා “රෝගීන් සමාජයේ ඉන්නවා නම් ඒකෙ පැතිරීමත් වැඩි වන” බවයි. “අමතක නොකල යුතු” කාරනාවක් වනුයේ රට තුල “මගහැරුනු හෝ හඳුනානොගත් කොවිඩ් 19 රෝගියෙක් හෝ රෝගී පොකුරක්” සිටීමේ අවදානම තවමත් පවතින බව පවසමින් ඔහු එහිදී අනතුරු ඇඟවීය.

කෙසේ නමුත්, ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී ම සඳහන් කලේ, “ජනතාව දිගින් දිගටම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත්” බවයි. වගකීම මහජනතාව වෙත පැටවීමේ මෙම ව්‍යායාමය නරුම ආකාරයෙන් ප්‍රකාශයට පත් කරමින්, ජූලි 14 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තර්ජනාත්මකව කියා සිටියේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම “ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්” බවයි.

වාතය හරහා වේගයෙන් ව්‍යාප්ත වන වෛරසයේ ස්වභාවයම පෙන්නුම් කරන්නේ අත්‍යාවශ්‍ය නොවන වැඩපලවල්, අධ්‍යාපන ආයතන ආදිය වසා දැමීමකින් තොරව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පමනක් වසංගතයට මුහුන දිය නොහැකි බවයි. අනෙක් අතට පාසල්, වැඩපලවලවල් තුල හා ප්‍රවාහනයේ ඇති දුබල යටිතල පහසුකම් හමුවේ ආන්ඩුව පවසන ආකාරයට මීටරයේ පරතරය පවත්වාගෙන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කල නොහැක්කකි.

කොවිඩ් 19 වසංගතය තවදුරටත් සීඝ්‍රයෙන් පැතිරෙන බව සනාථ කරමින් ගතවූ ජූලි මාසය එහි වඩා විනාශකාරීම ප්‍රතිවිපාක සහිත මාසය බවට පත් විය. ජූලි මාසය තුල ගෝලීයව වාර්තා වූ ආසාදිතයින් ගනන මිලියන හත ඉක්මවා ගිය අතර 165000 ක් මියගොස් ඇත. මෙම තතු පෙන්නුම් කරන්නේ ගෝලීය ආර්ථිකයට ඒකාග්‍ර වී ඇති ලංකාව තුල වසංගතය වැඩි වර්ධනය වීමේ අවදානමයි.

ලංකාව තුල මේ වන විට ආසාදිතයින් 2881 ක් ද සක්‍රීය රෝගීන් 232 ක් ද නිල වශයෙන් වාර්තා වී ඇත. අවසානයට මතුවූ කන්දකාඩු පොකුරේ තත්වය “පාලනය” කර ඇති බව ආන්ඩුව පැවසුවද සියලු තොරතුරු පෙන්නුම් කරන්නේ රට විවෘත කිරීම හේතුවෙන් කන්දකාඩු පොකුරේ තත්වය සංකීර්න වී ඇති බවයි. 

කන්දකාඩු කඳවුරේ ආසාදිතයින්, ඔවුන් හා ගනුදෙනු කල දෙවන පාර්ශවයේ ආසාදිතයින් සහ ඔවුන්ගෙන් ආසාදනය වූ තෙවන පාර්ශවයේ ආසාදිතයින් ලෙස රෝගය පැතිරී තිබේ. මෙම ආසාදිතයින් සංචරන සීමා ඉවත් කර තිබීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචරනය කර තිබිනි. විශේෂඥයන්ගේ මතය මෙය සමාජ සම්ප්‍රේශනයක ලකුනු පෙන්වන බවයි.

මෙම පොකුරෙන් පැතිරුනු ආසාදිතයින් ලංකාපුර ප්‍රදේශයෙන් මේ වන විට හමුවෙමින් පවතී. සඳුදා දිනයේදී එම ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින 22 ක් ආසාදිත බව හඳුනා ගැනිනි. මෙම තතු තුල පාසල් විවෘත කිරීම වඩා අවදානම් සහගතබව ඉතා පැහැදිලිය.

ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන් මගින් පෙන්නුම් කරන්නේ, පාසල් විවෘත කිරීමෙන්, වසංගතය වේගයෙන් පැතිරීමට තුඩු දෙන ඉහල අවදානමක් නිර්මානය කරන බවයි. මේ වන විට ලෝකයේ ජනගහනයට අනුපාතිකව ඉහලම කොවිඩ් 19 ආසාදනය වීමේ සීඝ්‍රතාවයක් සහිත රටක් වන ඊස්රායලය තුල විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ තත්වයට පාසල් විවෘත කිරීම ප්‍රධාන සාධකයක් වී ඇති බවයි.

පාසල් යලි විවෘත කිරීමේ අනතුරුදායක ස්වභාවය පිලිබඳ අවධානයට ලක් කරමින් ද අයිලන්ඩ් පුවත්පත බදාදා දිනයේදී  “විභවාත්මක පෙට්‍රි දීසි” නමින් කතු වැකියක් පල කලේය. යලි විවෘත කරන පාසැල්, වෛරසය විශාල වශයෙන් පැතිරවීමේ විභවය සහිත “පෙට්‍රි දීසි” (විද්‍යාගාරයන්හි සෛල වගාව සඳහා භාවිතා කරන දීසි විශේෂයකි) බවට පත් වීමේ අවදානමක් පවතින බව කතුවැකිය පෙන්වා දෙයි.

නිව් යෝර්ක් ටයිම්ස් හි වාර්තාවක් මත පදනම් වෙමින්, ඊස්රායලයේ වසංගත රෝග පිලිබඳ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සභාපති කල ප්‍රකාශයක්  දි අයිලන්ඩ් කතුවැකිය උපුටා දක්වයි. “අනෙක් රටවල් වල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඊස්රායලයට දිය හැකි උපදේශය කුමක්ද” යනුවෙන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් සභාපතිවරයා පවසා ඇත්තේ “අනෙකුත් රටවල් අනිවාර්යෙන්ම අප කල දේ නොකල යුතු බවත්....එය අපගේ ප්‍රධාන අසමත්වීමක්” බවයි. 

පාසල් වල “අත් සේදීමේ සහ උන බැලීමේ පහසුකම්” සම්පාදනය කර ඇති බව පැවසුවද බොහෝ පාසල් වල “සනීපාරක්ෂක පහසුකම් නොමැති බව” කතුවැකිය පවසයි. ලමුන්ගෙන් පිරීගිය පන්ති කාමර සහ ප්‍රවාහන මාධ්‍ය මෙන්ම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වඩා අවදානම් සහගත සාධක ලෙස පවතින බව කතුවැකිය තවදුරටත් සඳහන් කරයි. 

බොහෝ පාසල් වල පන්ති කාමරයන්හි සිසුන් පනහකට වඩා සිටින බැවින් ඒවායේ “සමාජ දුරස්ථභාවය රැකීම අපහසු” බවත් ප්‍රවාහන මාධ්‍යයන්හි පවත්නා අධික තදබදය හේතුවෙන් වෛරසය පැතිරුනහොත් “සම්බන්ධතා සොයා ගැනීම අපහසු වනු ඇති” බවත් කතුවැකිය පවසයි.

කෙසේ නමුත් කතුවැකිය අවසන් කරන්නේ, “අධ්‍යාපන අමාත්‍යංශයට පාසල් විවෘත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති” බැවින්, වැඩි අවදානමක් සහිත කාන්ඩයක් වන ලමුන්ද ඇතුලත්ව “පීසීආර් පරීක්ෂන නිතිපතා පාසල් තුල කල යුතු බව” යෝජනා කරමිනි. 

කලයුතුව පවතින්නේ, පාසැල් මෙන්ම, අත්‍යවශ්‍ය නිශ්පාදන සහ සේවා නොසපයන ආයතන තවදුරටත් වසා තබා, සමාජයීය වශයෙන් කෙරෙන පිසීආර් පරීක්ෂන දැවැන්ත පරිමානව වැඩිකරමින්, වසංගත ව්‍යාප්තිය පිලිබඳව ඇතිකර ගන්නා සංයුක්ත විශ්ලේෂනයක් මත පාදකවූ විධිමත් වසංගත මර්දන ව්‍යාපෘතියකි. පාසැල් විවෘත කල යුත්තේ එවන් ව්‍යාපෘතියක් මගින් වසංගතය පාලනයකොට ඇති බව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමෙන් සහ අවශ්‍ය සියලු සෞඛ්‍යාරක්ෂන පහසුකම් සම්පාදනය කිරීමෙන් පසුවයි. මෙය මුලුමනින්ම ආන්ඩුව සතු වගකීමකි.

ධනපතියන්ගේ ලාභ අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීමට කැපවී සිටින ලංකාවේ ආන්ඩුව ඇතුලු ලොවපුරා ආන්ඩු, විද්‍යාඥයන් විසින් යලියලිත් පෙන්වාදුන් ඉහත ක්‍රමවේදය මුලුමනින්ම නොතකා හරිමින් කම්කරුවන් සහ දරුවන් යලි වැඩපොලට සහ පාසැලට දැක්කුවේ ඔවුනගේ ජීවිත දැනුවත්ව අනතුරේ හෙලමිනි. 

මෙම සමාජ අපරාධය කෙරෙහි ලොවපුරා වැඩෙමින් පවතින්නේ බලගතු මහජන විරෝධයකි. ඇමරිකාව ප්‍රමුඛව ලෝකයේ විවිධ රටවල ගුරුවරුන්, වසංගත ව්‍යාප්තිය වේගවත් වෙමින් පැවතියදී යලි පාසැල් විවෘත කිරීමට එරෙහිව අරගලයට අවතීර්නව සිටින අතර එයට දෙමාපියන්ගේ ද සහයෝගය සහ සහභාගිත්වය වැඩෙමින් පවතී. එම අරගල යොමුව පවතින්නේ, හුදෙක් ට්‍රම්ප් පරිපාලනය ඇතුලු ධනපති ආන්ඩු වලට එරෙහිව පමනක් නොව සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දිශාවකට බව ධනපති මාධ්‍ය ඉතා දැනුවත්ය. 

පාසැල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන්, නිව්යෝර්ක් ටයිම්ස් සහ දි අයිලන්ඩ් මාධ්‍යකරුවන්ගේ ප්‍රතිචාරයන් පිටුපස පවතින්නේ මෙම උත්සුකය යි. “පාසැල් විවෘත කිරීම හැර වෙනත් විකල්පයක්” නැති බවටත්, කල යුත්තේ “පීසීආර් පරීක්ෂන නිතිපතා පාසල් තුල” ක්‍රියාත්මක කිරීම බවටත්,  දි අයිලන්ඩ් කරන ප්‍රකාශය  පිටුපස අරමුනු දෙකක් පවතී. ඉන් එකක් වනුයේ වැඩෙන මහජන විරෝධය අපසරනය කිරීමයි. 

නිතිපතා පාසල් තුල පීසීආර් පරීක්ෂන ක්‍රියාත්මක කිරීමට දි අයිලන්ඩ් යෝජනා කරන්නේ, මුල සිටම පීසීආර් පරීක්ෂන අවම මට්ටමක පවත්වාගෙන ගිය ආන්ඩුවකටයි. වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවකට ඇති ඉඩ වලක්වා, රෝග ව්‍යාප්තිය ඉතා අවම බව පෙන්වමින්, වසංගතය සාර්ථකව පාලනය කල බව ව්‍යාජ ලෙස කියා පෑම ආන්ඩුවේ අරමුන විය.

ලෝකය පුරා පාලක පන්තියේ පිලිවෙත් මේ හා සමානය. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පනිවිඩයක සඳහන් කලේ, රෝගීන් සංඛ්‍යාව වැඩියෙන් වාර්තා වන්නේ පරීක්ෂන  වැඩියෙන් කරන නිසා බවයි. “අඩු පරීක්ෂන ප්‍රමානයක් කිරීමෙන් රෝගීන් වාර්තා වීම අඩු” වන බව ද ඔහු එහි සඳහන් කර ඇත. ලංකාවේ පාලක පන්තිය එලිපිට ප්‍රකාශ නොකලද ක්‍රියාවට දමමින් සිටින්නේ මෙම පිලිවෙතයි.

වෛද්‍ය සමරවීර කඩිනමින් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට මසකට පීසීආර් පරීක්ෂන 37,000 ක් කිරීමට සැලසුම් කර ඇති බව බදාදා දිනයේදී මාධ්‍යයට පවසා ඇත. වෛද්‍ය විශේෂඥයන්ගේ මතය ලංකාව තුල වසංගතය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට නම් දිනකට පරීක්ෂන 5000 ක් වත් සිදු කල යුතු බවයි. නව සැලසුම් වලට අනුව ද දිනක පීසීආර් සාමාන්‍ය සටහන් වන්නේ 1300 කට ආසන්න සීමිත අගයකි.

මෙම පීසීආර් පරීක්ෂන ප්‍රමානාත්මකව වැඩි නොකිරීම සහ අහඹු ලෙස නොකිරීමේ ප්‍රතිවිපාක කන්දකාඩු පොකුර හරහා ප්‍රකාශයට පත් විය. රෝගය ව්‍යාප්ත වීමට මුල සිටම ඉඩකඩ පැවතුනු මෙවන් මධ්‍යස්ථාන වල අහඹු ලෙස පීසීආර් පරීක්ෂන සිදු කෙරුනා නම් අසාදිතයින් සමාජයට නිරාවරනය වීම වලක්වා ලීමේ හැකියාව පැවතුනි. කන්දකාඩු පොකුරේ ස්වභාවයම පෙන්නුම් කරන්නේ වෛරසය පුනරුත්ථාපන මධ්‍යස්‍ථානය තුල දිගු කාලයක් තිස්සේ හඳුනා නොගෙන පැවතී ඇති බවයි

පරීක්ෂන අවම මට්ටමක පවත්වාගෙන යාම, ධනපති සමාගම් වල ලාභෝත්පාදන ක්‍රියාවලිය හැකි ඉක්මනින් පනගන්වාදීම සඳහා කම්කරුවන් වසංගතය මධ්‍යයේ වැඩට දැක්කීමේ නරුම පිලිවෙත සමග බැඳී පවතී. රාජපක්ෂ ආන්ඩුවේ මෙම පිලිවෙත ක්‍රියාවට නැංවීමේදී, වසංගතය පාලනය කර ඇතැයි යන ව්‍යාජය තොරොම්බල් කිරීම අත්‍යවශ්‍ය වෙයි.    

සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ජීවිත අනතුරේ හෙලමින් පාසල් විවෘත කලේද මෙම පිලිවෙතට තල්ලුවක් ලබා ගැනීමටය. නිවෙස් වල සිටි ලමුන් පාසල් වලට ගාල් කර, කම්කරුවන් කෙසේ හෝ වැඩට ගෙන්නා ගැනීම එහි අරමුනයි.

මාසයකට වැඩි කාලයක් තුල කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වූ තාක්නිෂක කමිටුවද කොරෝනා මර්දක ජනාධිපති කාර්ය සාධක බලකාය ද නොකැඳවීම ලෙසින්,  සෞඛ්‍යාරක්ෂන ක්‍රියාමාර්ග වලින් ආන්ඩුවේ ඉවත්වීම ප්‍රකාශයට පත්විය. ජූලි 9 වනදා පටන් කන්දකාඩු පොකුර හරහා වසංගතයේ ඉහල නැගීමත් සමග කඩිමුඩියේම මෙම කමිටු දෙකම කැඳවූවද එහිදී ද සිදු කෙරුනේ සෞඛ්‍ය ආරක්ශන ක්‍රියාමාර්ග වැඩි දියුනු කිරීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව මත වගකීම පැටවීමයි. කම්කරුවන්ට අවශ්‍යකරන මුහුනු ආවරන ආදිය බෙදා දීම අත් හැර දමා ඇත. සෞඛ්‍ය ආරක්ශන නීති අනුගමනය කිරීම හුදෙක් නාමික කරුනක් පමනක් බවට පත්ව ඇත.

කම්කරුවන් යලි වැඩට දැක්කීමේ පියවරයන්ගේ ප්‍රතිවිපාක ජාත්‍යන්තර පරිමානවම ප්‍රකාශයට පත්වෙමින් පවතී. වසංගතය පාලනය කර ඇති බව ප්‍රකාශ කරමින් සිටි ස්පාඤ්ඤය, ප්‍රන්සය සහ ජර්මනිය තුල ආසාදිතයින්ගේ නව නැග ඒමක් සනිටුහන් වී ඇත. ජර්මනියේ දිනක සාමාන්‍ය 600 ක් බවටද ප්‍ර‍‍න්සයේ එය 1000 ක් බවටද ස්පාඤ්ඤයේ 2000 ක් බවටද වර්ධනය වී ඇත. නවසීලන්තය තුල පවා යලිත් ආසාදිතයින් වාර්තා වෙමින් පවතී.

ලොවපුරා ආන්ඩු සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියාමාර්ග අත් හැර දැමීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කලේ, සෞඛ්‍ය ආරක්ෂන “ක්‍රියාමාර්ග අනුගමනය කලහොත් ආසාදිතයින් අඩු වන බවත්, එසේ නොකලහොත් ආසාදිතයින් ඉහල යනු ඇති බවත්” ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පවා නොතකා හරිමින් ආන්ඩුව ගෙනයන මෙම පිලිවෙතට එරෙහිව එල්ල වන ඕනෑම විරෝධයක් මැඩීමට, ජනාධිපති රාජපක්ෂ ආඥාදායක පාලනයක් දිශාවට වේගයෙන් මාරුවෙමින් සිටී. 

කම්කරුවන් ආන්ඩුවේ මෙම ව්‍යාජ කියාපෑම් ප්‍රතික්ෂේප කරමින්, වසංගතයට එරෙහි සටන තම අතට ගත යුතුය. පාසල් විවෘත කිරීම හා පාලක පන්තියේ සමස්ත ප්‍රතිපත්තියට එරෙහි දේශපාලනිත අරගලයක් සඳහා අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී  කමිටු ජාලයක්  වර්ධනය කිරීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතුය. 

Loading