ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ පාසල් නැවත විවෘත කිරීමේ පාලක පන්ති කුමන්ත්‍රනය: විද්‍යාවට එරෙහිව ලාභය

මෙම ලිපිය අගෝස්තු 12 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මාරාන්තික ව්‍යසනයක් එක්සත් ජනපදය පුරා පාසල්වල පැසවමින් තිබේ. ලමුන් වෛරසය පතුරුවන අතර තමන් විසින් ම රෝගයට ගොදුරු වන බවට වර්ධනය වන්නා වූ විද්‍යාත්මක සාක්ෂි සමූහය නො තකා, සෑම සතියක ම ලක්ෂ සංඛ්‍යාත ලමුන් සහ ගුරුවරුන් පුද්ගලිකව ඉගෙනීම සඳහා නැවත පාසල් වෙත යවනු ලැබේ.

එක්සත් ජනපදයේ සියලුම දිස්ත්‍රික්කවලින් සියයට 3ක් පමන නියෝජනය කරන පාසල් දිස්ත්‍රික්ක 382ක් නැවත විවෘත කිරීමේ සැලසුම් පිලිබඳ දත්ත ලේඛනගත කරන ඒඩ්යුකේෂන් වීක්ලි (Education Weekly) නම් ප්‍රවෘත්ති සඟරාවේ පල කෙරුනු ලේඛනයක් මඟින් පෙන්නුම් කෙරෙන්නේ, සිසුන් 200,000ක් දැනටමත් පන්ති වලට පැමින ඇති බව හා අගෝස්තු අවසානයේ මිලියන 2.7කට වැඩි ප්‍රමානයක් පූර්න කාලීන ව පාසල් වලට පැමිනෙනු ඇති බව යි. එක්සත් ජනපදයේ දිස්ත්‍රික්ක 14,000කට ආසන්න සංඛ්‍යාවේ තතු නිශ්චය කිරීමට මෙම දත්ත යොදා ගනු  ලබන්නේ නම්, ඉදිරි සති කිහිපය තුල මිලියන ගනනක් සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මන්ඩල නැවත පාසල් වලට පැමිනෙනු ඇත.

මිලියනයකට අධික සිසුන්, ගුරුවරුන් 135,000ක් හා සහායක කාර්ය මන්ඩලයක් සිටින රටේ විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන නිව් යෝක් නගරය ද ඇතුලු රජයේ පාසල් විවෘත කිරීමට නිව් යෝක් ආන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ දැනටමත් කොල එලිය දල්වා ඇත.

අධ්‍යයන වාරය ආරම්භ වීමට පෙර ගුරුවරුන් තම අන්තිම කැමති පත්‍ර හා මරන  දැන්වීම් ලියමින් සිටින බවට දිනපතා වාර්තා පලවෙමින් තිබේ. පාසැල් හා විශ්ව විද්‍යාලවලට නැවත පැමිනෙන විට සිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන අවස්ථාවක, පාසල් වගකීමෙන් මුදා හැරීමේ ලියවිලිවලට අත්සන් කිරීමට සිසුන්ට හා දෙමව්පියන්ට බල කෙරෙමින් තිබේ. 

පාසල් නැවත විවෘත කිරීමේ ප්‍රයත්නය ට්‍රම්ප් හා විවිධ දක්ෂිනාංශික ආන්ඩුකාරවරුන්  යුක්ති සහගත කර ඇත්තේ, ලමයින් බොහෝ දුරට වෛරසයට ගොදුරු නො වන බව පවසමිනි. ධවල මන්දිරයේ දේශපාලන පීඩනය යටතේ සකස් කරන ලද,  රෝග පාලන මධ්‍යස්ථානයේ සංශෝධිත මාර්ගෝපදේශවල හඳුන්වාදීමේ ඡේදයේ ව්‍යාජ ලෙස සඳහන් වන්නේ, “දරුවන් වෛරසය පැතිරීමේ ප්‍රධාන ධාවකයන් වීමට ඉඩක් නැති” බව යි.

සඳුදා ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජනාධිපති ට්‍රම්ප් ලමුන් අතර ආසාදන පැතිරීම පිලිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරමින් මෙසේ ප්‍රකාශ කලේය. “මම හිතන්නේ බොහෝ දුරට ඔවුන් අසනීප වන්නේ නෑ… ඒ්කත් ඉතා සුලු මරන පිලිබඳ සිද්ධියක්, සොච්චමක්, ඒ් වගේ ම ඔවුන් ඉතා ඉක්මනින් සුවය ලබනවා”

ඔවුන්ගේ පැත්තෙන්, ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ ගුරු සංගම් වන ඇමරිකානු ගුරු සම්මේලනය (ඒඑෆ්ටී) හා ජාතික අධ්‍යාපන සංගමය (එන්ඊඒ) නො සැලකිලිමත් ලෙස පාසැල් නැවත විවෘත කිරීමට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා තමන්ට හැකි සෑම දෙයක් ම කරමින්, පාසල් ආරක්ෂිතව නැවත විවෘත කල හැකි බවට ව්‍යාජ ලෙස පවසන සංගත හා දේශපාලන හඬවල   අත්වැල් ගායනයට එක් වී ඇත. 

යෞවනයන් වෛරසයේ “බලපෑමට ලක් නො වන” බවට කරන ප්‍රකාශය අමූලික බොරුවකි. කුඩා දරුවන් හා නව යොවුන් දරුවන් අතර ආසාදන විශාල ලෙස ඉහල යන බව මෑත දත්ත පෙන්වයි:

* ඇමරිකානු ලමා රෝග පිලිබඳ ඇකඩමිය ඉරිදා නිකුත් කල නව වාර්තාවකින් හෙලි වූයේ, ජූලි මස අවසාන සති දෙක තුල ලමුන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ධනාත්මක බව තහවරු කෙරුනු බව යි. එක්සත් ජනපදයේ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් මිලියන පහකට ආසන්න සංඛ්‍යාවෙන් 338,000කට වැඩි ප්‍රමානයක් ලමුන් ය.

* සිකුරාදා නිකුත් කෙරුනු රෝග පාලනය හා වැලක්වීමේ මධ්‍යස්ථානයේ (සීඩීසී) නව වාර්තාවකට අනුව, මාර්තු සිට ජූලි අග දක්වා ලමුන් රෝහල්ගත වීමේ අනුපාතය ක්‍රමයෙන් ඉහල ගොස් තිබේ. රෝහල්ගත කල ලමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයකට ඇතුලත් කිරීම අවශ්‍ය විය. මෙය කොරෝනා වෛරස් සහිත ව රෝහල්ගත ව සිටින වැඩිහිටියන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වීමේ අනුපාතයට සමාන වේ.

* මෑතක දී නිකුත් කරන ලද ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ සඟරාවෙහි පලවූ වෙනත් අධ්‍යයනයකින් හෙලි වූයේ, කොවිඩ්-19 ආසාදිත ලදරුවන්ට හා කුඩා දරුවන්ට උගුර  හා වාතය මගින් අධික වෛරස් තොගයක් රැගෙන යා හැකි බව යි. එය වැඩිහිටියන්ට වඩා 100 ගුනයක් පමන වේ.

විද්‍යාව පැහැදිලි ය: වසංගතය දිගින් දිගටම උග්‍ර වන අතර පාසල් නැවත විවෘත කිරීම සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් සහ අනෙකුත් පාසල් කම්කරුවන්න්ගේ ගිනිය නො හැකි මරනවලට තුඩු දෙනු ඇත. පාසල් විවෘත කර ඇති රටවල ප්‍රතිවිපාක දරුනු ය. ඊස්රායලය දැන් ලෝකයේ නව ආසාදනයන්ගේ ඉහල ම පුද්ගල අනුපාතයන්ගෙන් එකක් ලෙස පීඩා විඳිමින් සිටින අතර, නො සැලකිලිමත් ලෙස පාසැල්  නැවත විවෘත කිරීම, ඊට බලපා ඇති ප්‍රධාන සාධකයක් යැයි බොහෝ විශේෂඥයෝ චෝදනා කරති.

මෙම සතිය මුල දී ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසැල්වල අත්දැකීම් පෙන්නුම් කරන්නේ, නැවත විවෘත කිරීම සාධාරනීරනය කිරීම සඳහා දිස්ත්‍රික්ක විසින් හුවා දක්වන, සීමිත සමාජ දුරස්ථ පියවරයන්ගේ නිෂ්ඵල භාවය යි. නෝර්ත් පෝල්ඩිං උසස් පාසලේ සිසුහු, පාසැල් පරිපාලනය විසින් ඡායාරූප හා සමාජ මාධ්‍ය පල කිරීම තහනම් කිරීම ප්‍රතික්ෂේප කරමින්, පන්තිවල මුල් දින කිහිපය තුල දී තම පාසලේ මුඛ ආවරන නො පැලඳූ ලමයින්ගෙන් තදබද වී ඇති ශාලාවල ඡායාරූප කාන්දු කලහ.

කොවිඩ්-19 රෝගියෙකු සමග අඩි හයක් ඇතුලත විනාඩි 15ක් හෝ ඊට වැඩි කාලයක් සිටින ඕනෑ ම අයෙකු සමීප සම්බන්ධතාවයක් ලෙස පාසල් විසින් වර්ගීකරනය කල යුතු ය යන සෞඛ්‍ය දෙපාර්තමේන්තු නියමය දිස්ත්‍රික් අධ්‍යාපන මන්ඩලය විසින් මග හැරීමේ කුමන්ත්‍රනයක් කාන්දු වූ වීඩියෝ පටවලින් හෙලි වේ. කාන්දු වූ වීඩියෝ පටයේ, එකී මන්ඩලයේ සාමාජිකයෙකු යෝජනා කරන්නේ, මෙම නියමය මග හැරීමට  සෑම මිනිත්තු 14 කට වරක් සිසුන් ආසන වෙනස් කල යුතු බව යි.

කාන්දු වූ ඡායාරූප පැතිරීමෙන් පසු, පෝල්ඩින් උසස් පාසල හා අවට පාසල්වල රෝගීන් දුසිම් ගනනක් හමුවී ඇත. ජෝර්ජියාවේ තත්වය ව්‍යතිරේකයක් නොව රීතිය බව ඔප්පු කරමිනි. 

තමන් තනිකර ම පොලඹවා ඇත්තේ, දරුවන්ගේ අධ්‍යාපනික හා චිත්තවේගීය අවශ්‍යතා පිලිබඳ උත්සුකයන් විසින් බව ඩිමොක්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ එක හා සමානව කියා සිටිති. සඳුදා, ෆ්ලොරිඩාවේ රිපබ්ලිකන් ආන්ඩුකාර රොන් ඩෙසැන්ටිස් මෙම ව්‍යාජ ප්‍රකාශය භාවිතා කලේ, ප්‍රාන්තයේ තුන්වන විශාලතම පාසල් දිස්ත්‍රික්කයේ අධ්‍යයන වාරයේ පලමු මාසය සඳහා මාර්ගගතව පමනක් පන්ති පැවැත්වීමේ සැලැස්ම ප්‍රතික්ෂේප කර, ඒ වෙනුවට ටම්පා ප්‍රදේශයේ සිසුන් 223,000 ක් අගෝස්තු 24දා පුද්ගලික ව පාඩම්වලට සහභාගී විය යුතු යැයි  ඉල්ලමිනි.

දරුවන්ගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් යැයි කියනු ලබන කිසිවෙකුත් රාජ්‍ය අධ්‍යාපනයේ අරමුදල් කප්පාදු කිරීම, පාසල් වැසීම හා අත්‍යවශ්‍ය සේවා සෝදාපාලුවීමෙන් කම්පා නොවීය. සංගත දේශපාලන පක්ෂ දෙකෙහි කිසිදු දේශපාලනඥයෙකුට ඒවා ප්‍රශ්න නොවීය. තවද, ගුරුවරයෙකු, මවුපියන් හෝ ආච්චිලා සීයලා වෛරසයට ගොදුරු වූ විටෙක දරුවන්ට සිදුවන සදාකාලික මානසික හානිය ගැන හෝ  සමාජිකරනය, වැලඳ ගැනීම හා ක්‍රීඩා පිටිවල සෙල්ලම් කිරීම  (එනම් දරුවෙකු වීම) නීතිරීතිවලට පටහැනි බව දිනෙන් දින ඔවුන්ට පවසන විට, එය ඔවුන්ට සමාජීය හා චිත්තවේගීය වශයෙන් බලපාන්නේ කෙසේ ද යන්න ගැන කතා කිරීමට ඔවුන්ගෙන් කිසිවෙකුත් එඩිතර නැත.

ඩිමොක්‍රටිකයින්ට හා රිපබ්ලිකානුවන්ට ලමයින් නැවත පාසැල්වලට ගාල් කිරීමට  අවශ්‍ය එක ම හේතුව වන්නේ, ඔවුන්ගේ දෙමව්පියන්ට නැවත රැකියාවට ගොස් වෝල් වීදියේ සහ ප්‍රධාන සමාගම්වල දැවැන්ත ඇපදීම්වලට මුදල් යෙදවීම සඳහා අවශ්‍ය සංගත ලාභ ප්‍රවාහය නැවත ආරම්භ කිරීම යි. මෙම මාරාන්තික නැවත වැඩට යාමේ උද්ඝෝෂනය සාක්ෂාත් කර ගැනීම සඳහා, වෛරසය සාමාන්‍ය තත්වයට පත් කල යුතු ය. නැතහොත් ජනාධිපති ට්‍රම්ප් වැඩිවන මරන සංඛ්‍යාව ගැන කුරිරු ලෙස පැවසූ පරිදි, “ඒ්ක එහෙම යි.”

ලොව පුරා පාලක පන්තිවල ප්‍රතිපත්තිය මෙය යි. ජර්මනියේ දැනට දිනකට නව කොරෝනා වෛරස් ආසාදන 1,000 කට වඩා ඇති නමුත්, රටේ සියලු ම ප්‍රාන්ත ආන්ඩු, ගිම්හාන විවේකයෙන් පසු නිර්දය ලෙස පාසල් විවෘත කිරීම් බලාත්මක කරමින් සිටී. රෝගීන් හා මරනයට පත්වූවන් වාර්තාගත ප්‍රමානයකින් දිනපතා ම පාහේ හමුවෙමින් ඇති බ්‍රසීලය ද ඇතුලුව අවම වශයෙන් රටවල් 20 ක පාසල් ඉදිරි මාසයේ දී පුද්ගලිකව ම ඉගෙනීම් සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇත.

සෑම තැනක ම සිටින ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් සහ කම්කරුවන් මෙම මරන දඬුුවම  නො පිලිගනු ඇත, එමෙන් ම නො පිලිගත යුතු ය. මෙම සංගත හා දේශපාලන කුමන්ත්‍රනය හමුවේ, ජීවිත ආරක්ෂා කර ගත හැක්කේ ද කරනු ඇත්තේ ද කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත් වීම මගින් පමනි. සිසුන්, දෙමාපියන්, ගුරුවරුන් සහ කම්කරු පන්තියේ පුලුල් කොටස් අතර විරෝධය වැඩිවෙමින් පවතී. පසුගිය මාසය තුල, එක්සත් ජනපදය පුරා සහ ලොව පුරා පාසල් අනාරක්ෂිත ලෙස විවෘත කිරීමට එරෙහි විරෝධතා, එක්සත් ජනපදය පුරා විරෝධතා සහ කොලොම්බියාව, ආර්ජන්ටිනාව, හයිටි හා වෙනත් රටවල ගුරුවරුන්ගේ වැඩ වර්ජන සමඟ සම්පාත වුනි. රෝඩ් අයිලන්ඩ්  ප්‍රාන්තයේ සිට ටෙක්සාස් ප්‍රාන්තය, දකුනු අප්‍රිකාව, මහා බ්‍රිතාන්‍යය සහ තවත් බොහෝ රටවල් දක්වා ෆේස්බුක් කන්ඩායම් දුසිම් ගනනක් බිහි වී ඇති අතර ඒකාබද්ධ සාමාජිකත්වය 300,000 ඉක්මවයි.

මෙම ප්‍රතිරෝධය සංවිධානය කර මෙහෙයවිය යුතු ය. පාසල් නැවත විවෘත කිරීම නැවැත්වීම සඳහා මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම, වසංගතයේ පැතිරීම නවත් වා තවත් මිලියන ගනනක් ආසාදන හා මරනවලට ගොදුරු වීම වැලක්වීම සඳහා  වෘත්තීය සමිති හා මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙන්ම ස්වාධීන වූ සාමාජික  ආරක්ෂක කමිටු ගොඩනගන  ලෙස සමාජවාදී සමානතා පක්ෂය ගුරුවරුන් හා කම්කරුවන්ගේ සෑම කන්ඩායමකින්ම ඉල්ලා සිටී.

වෛරසය තුරන් කරන තුරු සියලු ම පාසල් වසා තබන ලෙස අපි ඉල්ලා සිටිමු. මහජන අධ්‍යාපනය හා මාර්ගගත උපදෙස් සඳහා අරමුදල් සැපයිය යුතු ය.අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය, ආහාර බෙදා හැරීම, මානසික සෞඛ්‍ය සේවා, විශේෂ අධ්‍යාපන සහාය සහ හොඳම තත්ත්වයේ දුරස්ථ ඉගෙනුම් ලබා දීමට අවශ්‍ය අනෙකුත් සම්පත් සෑම සිසුවෙකුට ම මෙන් ම ගුරුවරයෙකුට ම සහතික කල යුතු ය. ඒ අතරම, තම දරුවන් සමඟ නිවසේ රැඳී සිටිය යුතු දෙමාපියන්ට පූර්න ආදායමම ලබා දිය යුතු ය.

සමාජවාදී සමානාතා පක්ෂය හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ  හා ශිෂ්‍යයෝ මෙම සටනේ පෙරමුන ගෙන සිටිති. ඔබගේ අරගලය සංවිධානය කිරීම සඳහා සහාය ලබා ගැනීමට අප හා සම්බන්ධ වන ලෙස අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙම අරගලයට සහයෝගය දක්වන ලෙසත්, සසජාතශී සංවිධානය හා සම්බන්ධ වන ලෙසත් අපි ශිෂ්‍යයන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. මෙම සටන පිලිබඳ යාවත්කාලීන කිරීම් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවි ගුරුවරුන්ගේ පුවත් පත්‍රිකාව සඳහා ලියාපදිංචි වන්න.

Loading