වසංගතය මැද විශ්ව විද්‍යාල යලි විවෘත කෙරෙයි

අගෝස්තු 14 වැනි දා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් අමතමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, “දැන් සමාජයෙන් කොවිඩ් තත්වය තුරන් වෙලා ගොස් ඇති බව සලකන නිසා ... දරුවන්ව විශ්ව විද්‍යාලයට කැඳවාගෙන සුපුරුදු අධ්‍යාපන පිලිවෙතට යොමු වෙන්න” හැකි යැයි ප්‍රකාශ කලේ ය. මේ අනුව ඊයේ සිට විශ්ව විද්‍යාල පෙර පරිදි ම වැඩකටයුතු පටන් ගැනීමට නියමිත විය. 

මීට පෙර කීප වතාවක දී මත් විශ්ව විද්‍යාලවල වැඩ කටයුතු ආරම්භ කිරීම තීරනය කෙරී තිබුනත්, ඒ සෑම අවස්ථාවකම ඇතිවූ මහජන විරෝධය මත එම තීරන පසු පසට දැමීමට සිදු විය. ආන්ඩුව ගෝලීය වසංගතය පවතිද්දී ම, මහජන ජීවිත නොතකා, ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය පන ගැන්වූ අතර ඒ සඳහා ව්‍යාජ ආරක්ෂිත පරිසරයක් මවාපාමින් සමස්ත ජන ජීවිතය ම පෙර පරිදි ම පවත්වා ගෙන යාමට මහජනතාව පොලඹවමින් සිටී. පාසල්, පෞද්ගලික උපකාරක පන්ති, විශ්ව විද්‍යාල යලි ඇරඹෙන්නේ එම උත්සාහයේ ම කොටසක් වශයෙනි.

නමුත් මෙහි ඇති සෞඛ්‍ය අවදානම මෙවර ද ඉස්මතු විය. විශ්ව විද්‍යාල යලි විවෘත කිරීමේ තීරනය ප්‍රකාශයට පත් කෙරුනු දිනට පෙර දින, අගෝස්තු 13 වැනි දා රාජාංගනයේ පාසලක සිසුවෙකු කොවිඩ්-19 ආසාදිත යැයි හඳුනා ගනු ලැබුනි. සිසුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු සහ තවත් ප්‍රදේශවාසීන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙම ආසාදිත සිසුවා සොයා ගෙන ඇත්තේ අහඹු ලෙස රාජාංගනය ප්‍රදේශයෙන් 102 දෙනෙකු පරීක්ෂනයට ලක් කිරීමේ දී ය. මෙය වෛරසයේ සමාජ සම්ප්‍රේෂනයක් ඇති බවට සැක මතු කරන සාධකයකි. වෛරස් ව්‍යාප්තිය හඳුනා ගැනීමට නම් මුලින් ම කල යුතු ව ඇත්තේ පුලුල් පරිමාන පරීක්ෂා කිරීම් ය.

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කල නිවේදනයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත. ඇත්තෙන් ම සිදු වන්නේ රෝගයේ මොන යම් ම හෝ සමනය වීමකට විපරීත ව, අනාරක්ෂිත කොන්දේසි මැද ලොව පුරා කම්කරුවන් වැඩට කැඳවීම තුල වෛරසයේ පැතිරීම සීග්‍ර වෙමින් පැවතීමක් පමනි. 

තමන් කියන්නේ බොරුවක් බව විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති ද හොඳාකාර ව ම දනී. එනිසා, සමාජයෙන් වෛරසය තුරන් වී ඇතැයි කියන ගමන් ම “සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල් තැන දෙමින් කටයුතු කල” යුතු බවට ඔහු අනතුරු ඇඟවීමක් එකතු කරන්නේ යම් හෙයකින් වසංගත ව්‍යාප්තියක් පැන නැංවුනොත් එහි වරද ශිෂ්‍යයන්ගේ කර මත පැටවීම ය. 

පසුගිය ජූනි 15 වැනි දා, වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන්ට විභාග කටයුතු ආරම්භ කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුකූල ව කටයුතු සිදු කල යුතු යැයි නිර්දේශ කෙරී තිබුනි. එම නිර්දේශයන්ට අනුව, “නේවාසිකාගාරවල සිටින ලමුන්ට එක් සිසුවෙක්ට එක් කාමරය බැගින් ලබා දීම අනිවාර්ය වේ. නේවාසිකාගාරයේදී,දේශන ශාලා තුල , ප්‍රායෝගික පන්ති, පුස්තකාල,දේශනාගාර තුල මීටරයක පරතරය පවත්වා ගැනීම අනිවාර්ය වේ.” සති දෙකක කාලයක් ඔවුන් නිරෝධායනයට යටත් කර විභාග කටයුතු ඇරඹීමට ද තීන්දු වී තිබිනි.

“පසුගිය කොරෝනා වසංගත සමයේ නේවාසිකාගාරවල එක් කාමරයක එක් සිසුවකු පමනක් රැඳවුවද කොරෝනා වසංගතය සමාජයෙන් තුරන් වීමත් සමග සාමාන්‍ය පරිදි සිසුන් නේවාසිකාගාරවල රැඳවීමට කටයුතු කරන බව” සභාපති දැන් පවසයි. සීඝ්‍රයෙන් බෝවන රෝගයක් වලක්වා ගැනීමට උපකාරී වන දුරස්ථකරනයන් උල්ලංඝනය කරන බව කෙලින් ම කියමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ දිගට ම පිලිපැදිය යුතු බවට අනික් අතට පැවසීම මුලුමනින්ම පරස්පර විරෝධී ය. 

මෙම  'සෞඛ්‍ය මාර්ගෝපදේශයන්' කඩතුරාව ලෙස යොදා ගනිමින්, විශ්ව විද්‍යාල තුල ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් මර්දනය කිරීමේ සැලසුම් පෙරට දැමීමට පාලකයන්  සූදානම් වන බව පහත විධානයන්ගෙන් එලිමහනට පැමිනෙයි:

●අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවාස වෙත පිටවිය යුතුයි.

●විශ්වවිද්‍යාල භූමිය තුල රාත්‍රී 7න් පසුව කුමන හේතුවක් මත සිසුන්ට රැඳී සිටිය නොහැක.

●ක්‍රීඩා , සමාජ වැඩ හෝ කුමන හෝ ඒකරාශී වීමක් සඳහා විශ්වවිද්‍යාල සිසුන්ට අවසර නොලැබේ.

තවද මෙයට අනුපූරක ව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අගෝස්තු 10 වැනි දා සියලු ම විශ්ව විද්‍යාල ප්‍රධානීන්ට නිකුත් කල චක්‍රලේඛයකින් සිසුන් සහ කාර්ය මන්ඩලය මුහුන දෙන නවක වදය, ලිංගික හිරිහැර සහ ස්ත්‍රී පුරුෂ බව මත පදනම් ව කෙරෙන හිරිහැර කිරීම් ආදිය සම්බන්ධ සියලු පැමිනිලි කොමිසමේ සභාපති වෙත යොමු කල යුතු බවත් පැමිනිලි යොමු කෙරී සතියක් වැනි කාලයක් තුල දී ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් සඳහන් කරයි. 

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සදහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ  නවක වදයට කිසිදු සහනයක් නොදෙන අතරේ ම, නවක වද ක්‍රියා මැඬීමට යයි කියමින් පරිපාලනයන්, ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාර දිගේලි කිරීමට එකහෙලා විරුද්ධ වෙයි.

කෙසේ නමුත්, සභාපතිගේ “සුපුරුදු අධ්‍යාපන පිලිවෙල” යටතේ සිසුන්ට පරිහරනය කිරීමට සිදුවනුයේ,  තදබදයෙන් යුත් සනීපාරක්ෂාවෙන් තොර, පිරිසිදු වාතාශ්‍රය නොමැති, දූවිල්ලෙන් පිරුනු අධ්‍යයන කාමර, සිය ගනනකට ආහාර ලබා ගත යුතු මඩු වැනි කුඩා ආපනශාලාවන් සහ අපිරිසිදු වැසිකිලි ය. 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැනි ආයතනයකින් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා ශක්‍ය වැඩපිලිවෙලක් බලාපොරොත්තු වීම මිථ්‍යාවක් පමනි. නමුත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය දිගින් දිගට ම යෙදී සිටින්නේ ශිෂ්‍යයන් ඉදිරිපිට මේ මිථ්‍යාව හුවා දැක්වීමට ය. 

ඕනෑම ශිෂ්‍යයෙකුට පීසීආර් පරීක්ෂන වලට පෙනී සිටීමේ අවස්ථාව ඇතුලු, මනා සෞඛ්‍යාරක්ෂනය සහිත නවීන නේවාසිකාගාර, දේශනාගාර සහ ආපනශාලා පහසුකම් වහා සම්පාදනය කල යුතු වන අතර, ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව එම අවශ්‍යතාවන්ට සපුරා ප්‍රතිවිරුද්ධ ව සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන්ට අනුව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන්හි දැවැන්ත කප්පාදුවකට සූදානම් වන ආන්ඩුව එයට එරෙහිව නැගී සිටින කම්කරුවන්, ශිෂ්‍යයන් සහ අනෙකුත් පීඩිතයන් රුදුරු ලෙස තලා දැමීම සඳහා ආඥාදායකත්වයක් දෙසට ගමන් කරමින් පවතී. 

එබැවින්, සිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන කම්කරුවන්, තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් සඳහා, ධනපති ප්‍රහාරයන්ගෙන් බැටකන අවශේෂ කම්කරුවන් සමග ඒකාබද්ධ විය යුතුය. කම්කරු පන්තික නායකත්වය යටතේ ගොඩනගා ගන්නා, ස්වාධීන ක්‍රියාකාරී කමිටු හරහා දියත් කෙරෙන එවන් අරගලයක් තුලින් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන්, ඉහත අයිතීන් තහවුරු කෙරෙන  ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිය හැකිවෙයි.

Loading