ඇපල්: මූල්‍ය පරපෝෂිතභාවය පිලිබඳ විෂය අධ්‍යයනය

මෙම ලිපිය අගෝස්තු 18 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

මූල්‍ය වෙලඳපොලවල් අවශ්‍යයෙන්ම කැටි ගස්සවමින් මාර්තු මැද භාගයේ ඇති වූ අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස, පලමු වරට එක්සත් ජනපද මහ බැංකුව  බැඳුම්කර මිලදී ගැනීම ඇතුලුව ඩොලර් ට්‍රිලියන 3 ක පමන දැවැන්ත වත්කම් මිලදී ගැනීමේ වැඩසටහනක් දියත් කලේය.

වසරේ මේ දක්වා දැනටමත් 2019 ඉක්මවා ඇති ව්‍යාපාරික බැඳුම්කර නිකුත් කිරීමත් සමඟ නය ගැනීමේ උමතුවක් ඇති ව තිබේ.

පෙනෙන පරිදි වෝල් වීදියේ දර්ශක පෙබරවාරි මාසයේදී වාර්තාගත ඉහලම මට්ටමට නැඟීමට ප්‍රධාන සාධකය වූ , ෆෙඩරල් මහ බැංකුව පෙර නොවූ විරූ පරිදි මැදිහත්වීමේ හේතුව, COVID-19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ තර්ජනයට ලක්ව තිබුනු, මුදල් හිඟයෙන් පෙලුනු සමාගම් නඟාසිටුවීමයි. 

එහෙත්, මහ බැංකුව විසින් ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ගවල ප්‍රතිපලය වුනේ, මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සේප්පු වලට මුදල් ගලා යද්දී, එක්සත් ජනපද ආර්ථිකයේ හා මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිලිබඳ ආකෘතිය බවට පත්ව තිබුනු පරපුටුභාවය, වෙන කවරදාකටත් වඩා ඉහල මට්ටමකට නැංවීමයි. 

ඇපල් සංගතය කිසිදු මුදල් ප්‍රවාහ ගැටලුවකට මුහුන නොපායි. ඩොලර් බිලියන සිය ගනනක මුදල් සමාගම අතේ තිබුනි. ජුනි කාර්තුව සඳහා ඩොලර් බිලියන 59.7 ක ආදායමක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි ලාභය ඩොලර් බිලියන 11.25 කි. එහෙත් මහ බැංකුව විසින් නිර්මානය කරන ලද නව කොන්දේසි වලින් ප්‍රයෝජන ගත් පලමු පෙලේ සංගතයකි ඒ. 

මැයි මාසයේදී එය නව බැඳුම්කර නිකුතුවක් හරහා ඩොලර් බිලියන 8 ක් රැස් කල අතර පසුගිය සතියේ මූල්‍ය වෙලඳපොල වෙත නැවත පැමිනෙමින්  තවත් ඩොලර් බිලියන 5.5 ක් රැස් කලේය.

මූලික පොලී අනුපාතය ශුන්‍යයට කපා හරිමින් ද භාන්ඩාගාර සහ ව්‍යාපාරික බැඳුම්කර යන දෙකම මිලදී ගනිමින් ද මහ බැංකුව කල මැදිහත්වීමේ බලපෑම යටතේ සංගතවලට, ඉතිහාසයේ ලාභම මිලට  මූල්‍ය වෙලඳපොලවලින් මුදල් ලබා ගැනීමට හැකි වී තිබේ.

බ්ලූම්බර්ග් වාර්තාවකට අනුව,  ඇපල් සමාගමේ නවතම බැඳුම්කර නිකුතුව, කොටස් හතරකින් යුක්ත වන අතර, වසර 40 ක දීර්ඝ කල්පිරීමක් සහිත බැඳුම්කර එක්සත් ජනපද භාන්ඩාගාරයේ අනුපාතයට වඩා සියයට 1.18 ක් (පදනම් ඒකක 118) පමනක් වැඩි විය. මෙයින් අදහස් කරන්නේ, සිය දිගුකාලීන නය සඳහා ඇපල් සමාගම ගෙවන්නේ සියයට 2.5 ට යන්තම් වැඩි පොලියක් බවය. කෙටි කාලීන නය සඳහා ගෙවීම් ඊටත් වඩා අඩුය. නව නයක් අයැදුම් කිරීමේදී ඇමසොන් සමාගමට, භාන්ඩාගාර පොලී අනුපාතිකයට වඩා පදනම් ඒකක 130 ක් ගෙවීමට සිදුවිය. ඇපල් සමාගම ගෙව්වේ ඊට වඩා අඩුවෙනි.

මේ ආකාරයෙන් උපයන මුදල් කිසිවක් ඇපල් සමාගම විසින්, නව රැකියා නිර්මානය කිරීම කෙසේ වෙතත්,  නිෂ්පාදන හා ආයෝජන පුලුල් කිරීමට හෝ නව පර්යේෂන සඳහාවත් යොදනු ලැබුවේ නැත. මුදල් යොදවනු ලැබුවේ, කොටස් යලි මිලට ගැනීමටත්, ප්‍රතිලාභ හා  වෙනත් “සාමාන්‍ය ව්‍යාපාරික අරමුනු” සඳහා ය. 

එම “ව්‍යාපාරික අරමුනු” වල කොටසක් වනුයේ, මූල්‍ය ඉංජිනේරු ක්‍රියාමාර්ග වැඩිදියුනු කිරීමට අදාල, බදු මග හැරීමේ නව ක්‍රමවේදයන් සැකසීම සඳහා ගනකාධිකාරීන්ට සහ නීතිඥයින්ට ගෙවීම ය.

මෙම ක්‍රියාමාර්ගවල පරමාර්ථය වන්නේ,  කොටස් හිමියන්ගේ සහ සමාගම් විධායකයින්ගේ අතට ධනය පැවරීමයි. එනම්, ප්‍රකෝටිපතියන් වන වොරන් බුෆේ වැනි ප්‍රධාන ආයෝජකයින්ට සහ සමාගමේ විධායකයින්ට වාසි සැලසීමයි.

ඉතා අඩු මිලට ලබාගන්නා නය මගින් කොටස් යලි මිලට ගැනීම් සහ ලාභාංශ වැඩි කිරීම,  වෙලඳපොලෙන් කොටස් ඉවත්ව යන ආකාරයෙන් වටිනාකම් ඉහල නංවා ඇත. රැඳී සිටින කොටස් හිමියන් ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්නා අතර කොටස් වෙලඳපොල තුල සමාගමේ ක්‍රියාකාරිත්වය මත පදනම්ව ඔවුන්ගේ වේතන ගනන් බලන ක්‍රමයක් හරහා සමාගමේ විධායකයින්ට ප්‍රතිලාභ ලැබේ. මේ වන විටත් ප්‍රකෝටිපතියෙකු බවට පත්ව ඇති ඇපල් ප්‍රධාන විධායක ටිම් තව දුරටත් ප්‍රතිලාභ ලබා ගනු ඇත.

2008 අර්බුදයෙන් පසු මහ බැංකුවේ මැදිහත්වීමෙන් මෙම ක්‍රියාවලියට විශාල ශක්තියක් ලැබුනු අතර, පොලී අනුපාත ඉතා පහත් මට්ටමක පවත්වාගෙන ගිය ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන තුලින් ඇපල් සමාගම පූර්න වාසි ලැබීය. කොටස් මිල දී ගැනීමේ සිය වැඩසටහන හරහා, 2018 අගෝස්තු මාසයේදී ඩොලර් ට්‍රිලියන 1 ක තක්සේරු වටිනාකමක් කරා ලඟා වූ ලොව පලමු සමාගම බවට එය පත්විය. එය පෙර වසර තුනට වඩා ඩොලර් බිලියන 300 ක වැඩිවීමකි.

COVID-19 වසංගතයට ෆෙඩරල් මහ බැංකුව දැක්වූ ප්‍රතිචාරයත් සමඟ පසුගිය මාස පහ තුල සමාගම ලබාගත් වර්ධනය එය පරයා යයි. ඇපල් සමාගමේ වර්තමාන වෙලඳපල ප්‍රාග්ධනය දැන් ඩොලර් ට්‍රිලියන 1.9 ක් පමන වන අතර එය ඉතා ඉක්මනින් ඩොලර් ට්‍රිලියන 2 ක් කරා ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසර දෙකක් තුල එහි වටිනාකම දේගුනයකින් වැඩිවීමකි.

එහි වෙලඳපල තක්සේරුව, ලෝකයේ දසවන විශාලතම ආර්ථිකය වන කැනඩාවේ දල දේශීය නිෂ්පාදිතයට මෙන්ම රුසියාවේ සහ ස්පාඤ්ඤ ආර්ථිකයන්ට වඩා විශාල ය.

එහි වෙලඳපල තක්සේරුවේ ඉහල යාම, ඇපල් සමාගමේ ලාභ සමුච්චය කිරීමේ ලක්ෂනයක් වන පරපෝෂිතකමේ එක් අංගයක් පමනි. අතීතයේ පැවති යෝධ සංගත මෙන් එය විශාල කාර්මික ශ්‍රම බලකායක් යොදවන්නේ නැත. තීරනාත්මක සංරචක සහ එකලස් කිරීමේ මෙහෙයුම් චීනයේ ෆොක්ස්කොන් සහ ලොව පුරා වෙනත් සමාගම් විසින් සිදු කරනු ලැබේ.

නවතම ගනනය කිරීම්වලින් පෙනී යන්නේ, ඩොලර් 1100 ත් 1450 ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන වඩාත්ම මිල අධික අයිෆෝන්වල උපාංඟ පිරිවැය, ඩොලර් 500 ටත් වඩා අඩු බවයි. චීනයේ ෆොක්ස්කොන් හි සේවකයෙකු මසකට ලබන්නේ ඩොලර් 300 ක වැටුපකි. ඒ අනුව එකලස් කිරීමේ ශ්‍රම පිරිවැය නොසැලකිය හැකි තරම්ය.

සංරචක නිෂ්පාදනය කිරීමේදී සහ ඒවා එකලස් කිරීමේදී කම්කරු ශ්‍රමය විසින් නිර්මානය කරනු ලබන අතිරික්ත වටිනාකමේ ස්කන්ධය, ඇපල් සමාගම විසින් මූලික වශයෙන් ඒකාධිකාරී ක්‍රමයකට හිමිකරගනු ලැබේ. එය බුද්ධිමය දේපල නීති ඇතුලු නීති මාලාවකින් ආරක්ෂා වේ.

ඇපල් සහ අනෙකුත් අධි තාක්‍ෂන සමාගම් පවසන්නේ, ඉහල මිල ගනන්, පර්යේෂන හා නවීකරන කටයුතු හා සම්බන්ධ පිරිවැයේ ප්‍රතිපලයක් බවයි. ඇත්ත වශයෙන්ම, ඒවා බොහෝ විට පොදු ආර්ථිකය තුල වර්ධනය වූ දැනුම පිලිබඳ ඒකාධිකාරයේ ප්‍රතිපලයකි. බැටරි, ස්පර්ශ තිරය, කටහඬ හඳුනාගැනීම, අන්තර්ජාලය වැනි අයිෆෝනයක මූලික තාක්‍ෂනය, පොදුවේ අරමුදල් සපයන පර්යේෂනයන්හි ප්‍රතිපලයකි.

නව ඇල්ගොරිතම ආදිය සංවර්ධනය කිරීම හා සම්බන්ධ පිරිවැයක් ඇත. නමුත් මූලික විද්‍යාත්මක පර්යේෂනවල ප්‍රතිපල වශයෙන් අධි තාක්ෂනික සමාගම් නොමිලේ ලබා ගන්නා දෙය හමුවේ මෙය අඟුටුමිටි පිරිවැයකි. 

වර්ධනය කරනු ලබන නවෝත්පාදන සහ නව ඖෂධ, පසුව ඖෂධ සමාගම් විසින් අධික මිල ගනන් වලට අලෙවි කරනු ලබන  අතර ඒවාට ද මෙය අදාල වේ. 

ධනය සමුච්චය කිරීමේ “ඇපල් ආකෘතිය” යනු සාමාන්‍ය ක්‍රියාවලියක ස්වභාවය පිලිබඳ වඩාත් ප්‍රබල ප්‍රකාශන වලින් එකක් පමනි.

ආර්ථික විද්‍යාඥ විලියම් ලාසොනික්ගේ ගනන් බැලීම් වලට අනුව 2010-2019 දශකය තුල, එක්සත් ජනපද කොටස් වෙලඳපොලවල වෙලඳපල ප්‍රාග්ධනයෙන් සියයට 80 ක් පමන වන එස් ඇන්ඩ් පී 500 දර්ශකයේ සමාගම්, ඩොලර් ට්‍රිලියන 5.3 ක්, එනම් ඔවුන්ගේ ලාභයෙන් සියයට 54 ක්, කොටස් යලි මිල දී ගැනීම සඳහා වියදම් කර ඇත. තවත් ඩොලර් ට්‍රිලියන 3.8 ක් හෙවත් ලාභයෙන් සියයට 39 ක්, ලාභාංශ ලෙස ගෙවා ඇත. මෙයින් අදහස් කරන්නේ එම කාලය තුල, සැබෑ ආර්ථිකයේ ආයෝජනය කර ඇත්තේ ලාභයෙන් සියයට 7 ක් පමනක් බවයි.

ඇපල් සහ අනෙකුත් ව්‍යාපාරික දැවැන්තයින් බැඳුම්කර වෙලඳපොලවල නිර්මානය කර තිබෙන නවතම අංශ පෙන්නුම් කරන පරිදි, වසංගතය නිසා ඇතිව තිබෙන මරන හා ආර්ථික විනාශය මධ්‍යයේ, මහ බැංකුව විසින් ලබා දී ඇති අතිශය ලාභ මුදල් ප්‍රයෝජනයට ගෙන සම්පත් ක්‍රමානුකූලව කොල්ලකෑම වැඩි වෙමින් ඇත.

Loading