වසංගතය මධ්‍යයේ පාසැල් විවෘත කිරීමේ ව්‍යසනකාරිත්වය තහවුරු කරමින් රාජාංගනයෙන් කොරෝනා ආසාදිත ශිෂ්‍යයෙක් සොයා ගැනේ

මේ මස 13 දා රාජාංගනය යාය 05 ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍යය අංශ තහවුරු කර තිබේ. පාසල් ශිෂ්‍යයෙකුට රෝගය බෝවීමත් සමග තියුනු ලෙස මතු කර ඇත්තේ ආනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් විවෘත කිරීම, රෝගය පුලුල් ලෙස සමාජ ගතවීමේ අවදානමයි. 

සිසුවා ආසාදිතයෙකු යැයි තහවුරු වූයේ පසුගිය සතියේ යාය 05 ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් 102කින් යුත් පිරිසකගේ සිදු කල පීසීආර් පරීක්ෂනවලදී ය. විශේෂත්වය වන්නේ එම සිසුවා පසුගිය මාසයේ ඔහුගේ නිවස තුල නිරෝදායනයට ලක් වූ අයෙකු වීමයි. පැහැදිලිව පෙන්නුම් කරන්නේ එම කාලය තුල ඔහු පීසීආර් පරීක්ෂනවලට භාජනය කර නොමැති බවයි. මේ වන විට ඔහු යලි නිරෝධායනයට ලක් කර තිබේ. 

කෙසේ නමුත්, එම සිසුවා පසුගිය සතියේ දින තුනක් පාසලට ගොස් තිබේ. ඔහු අධ්‍යාපනය ලබන උසස් පෙල දක්වා පන්ති පැවැත්වෙන රාජාංගනය යාය 05 නවෝද්‍යා පාසලේ සිසුන් 50 ක්, ගුරුවරුන් 06ක් හා ප්‍රදේශවාසීන් 40 ක් ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. 

රාජංගනය ප්‍රදේශයේ පදිංචි පාසල් ගුරුවරියක් ලෝසවෙඅ මෙසේ අදහස් දැක්වුවා ය: “අදාල නවෝද්‍යා පාසලත් මේ සතියේ යලි විවෘත කරලා. ජූලි මාසයේ නිරෝධායනයට විශාල පිරිසක් යොමු කලාට පීසීආර් පරීක්ෂනයට ලක් කලේ 8,00 ක් වගේ පිරිසක්. මේ ශිෂ්‍යයාත් නිරෝධායනයට ලක් වුනාට අහඹු ලෙස පරීක්ෂා කරද්දි තමයි ආසාදිත බව තහවුරු වුනේ”. 

සිදු කරන පරීක්ෂන ප්‍රමානය ප්‍රමානවත් නැති බවත් පාසල්වල තිබෙන තත්වය අතිශය අනතුරුදායක බවත් පැවසූ  ඇය වැඩිදුරටත් මෙසේ පැහැදිලි කලා ය. “ආන්ඩුව මැතිවරනයට කලින් පෙන්නපු බොරු උනන්දුව දැන් වසංගතයට දක්වන්නේ නෑ. මැතිවරනය දිනා ගත්තා. දැන් එයාලට ඕන දේවල් කරනවා. ලමයින්ට එක දිගට මුඛආවරන දමා ගෙන ඉන්නත් බෑ. සමාජ දුරස්ථකරනය පවත්වා ගන්නත් බෑ. පාසල් වසා දැමීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් බලධාරීන්ට ඒවා සොයා බලන්න අවශ්‍යතාවයක් නෑ”. 

රාජාංගනයට ආසන්නයේ පිහිටි පුත්තලමේ ප්‍රධාන පාසලක තවත් ගුරුවරියක් කියා සිටියේ ඇගේ පාසලේ ද හුස්ම ගැනීමේ අපහසුතා ඇති සිසුවෙක් පසුගිය සතියේම රෝහල් ගත කල නමුත් එවන් සැක සහිත සිද්ධීන් සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂන සිදු නොවන බවයි.   

ආන්ඩුව පාසල් ආරම්භ කලේ කන්දකාඩු පොකුර ආශ්‍රිතව රෝගීන් වාර්තා වෙමින් තිබිය දී ය. රාජාංගනය පාසල් සිසුවා ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැකියා කොට රෝගී වූ පුද්ගලයෙකුගේ පවුලකට ආසන්නයේ වාසය කරයි.  

සිසුවා ආසාදනය වීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කලේ තෝරා ගත් ප්‍රදේශවල “පුලුල්” පිසීආර් පරීක්ෂන සිදු කලත් “ආසාදිත වූ සමහරෙක්” මගහැරිය හැකි බවයි. 

සීමිත පරීක්ෂන ප්‍රමානයක් සිදු කොට වසංගතයේ අවදානමක් නොමැතිබව මවාපාමින්, මහ ධනපති ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීමට ආර්ථිකය යලි විවෘත කල රාජපක්ෂ ආන්ඩුව වගකීමෙන් ගලවා දැමූ සමරවීර, “මහජනයා සමාජ දුරස්ථකරනය හා මුඛ ආවරන පැලඳීම ඇතුලු නිරෝධායන පිලිවෙත් තදින් පිලිපැදිය යුතු”යයි පැවසුවේ ය.  

වගකීම මහජනතාව වෙත පැටවීමේ මෙම ව්‍යායාමය නරුම ආකාරයෙන් ප්‍රකාශයට පත් කරමින්, ජූලි 14 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තර්ජනාත්මකව කියා සිටියේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම “ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්” බවයි. 

වාතය හරහා වේගයෙන් ව්‍යාප්ත වන වෛරසයේ ස්වභාවයම පෙන්නුම් කරන්නේ අත්‍යාවශ්‍ය නොවන වැඩපලවල්, අධ්‍යාපන ආයතන ආදිය වසා දැමීමකින් තොරව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පමනක් වසංගතයට මුහුන දිය නොහැකි බවයි.    

පසුගිය සතියේ මුලු දිවයිනේ මිලියන හතර හමාරක් පමනවන පාසල් ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් හා දෙලක්ෂ පනස්දාහක් පමන වන සමස්ත ගුරු කාර්ය මන්ඩලය ද පාසල්වලට වාර්තාකොට තිබේ. මේ සතියේ රටපුරා විශ්වවිද්‍යාල ද ආරම්භ කෙරුනි. 

ගුරුවරු හා සිසුන්ගෙන් බහුතරය ගමන් කරන්නේ මගීන් උතුරා යන බස්රථවලිනි. එසේම උදෑසන සිට සවස 3.30 දක්වා සිසුන් 45 ක් ඉක්මවූ පන්ති කාමරවල ඔවුන් ගත කරන්නේ ඊටත් වඩා අනාරක්ෂිතවයි. ආන්ඩුව පාසල්වල සෞඛ්‍යාරක්ෂාව සඳහා වෙන් කල සොච්චම් මුදල සෑහුනේ පාසල් තුල අත්සේදීමේ ජල කරාම කිහිපයක් සවි කිරීමට පමනි. අත්සේදීමේ සුදුසු සනීපාරක්ෂක දියර හෝ සබන් මේවන විට සමහර පාසල් තුල දක්නට ඇත්තේ නැත. එම වියදම් ආන්ඩුව පාසල් සංවර්ධන සමිති හරහා දෙමාව්පියන් වෙතට පටවා තිබේ. 

ජාත්‍යන්තරව සැලකුවහොත් ගත වූ ජූලි මාසය වසංගතයේ විනාශකාරීම ප්‍රතිවිපාක සහිත මාසය බවට පත් වූ අතර ඒ සඳහා බොහොමයක් රවටල පාසල් විවෘත කිරීම ප්‍රධානතම හේතු කාරකය වී තිබේ. ජූලි මාසය තුල ගෝලීයව වාර්තා වූ ආසාදිතයින් ගනන මිලියන හත ඉක්මවා ගිය අතර 165,000 ක් මියගොස් ඇත. මෙම තතු පෙන්නුම් කරන්නේ ගෝලීය ආර්ථිකයට ඒකාග්‍ර වී ඇති ලංකාව තුල වසංගතය වැඩි වර්ධනය වීමේ අවදානමයි. ඉහත මාධ්‍ය සාකච්ඡාවේ දී වෛද්‍ය සමරවීර සැප්තැම්බර් මාසයේ දී ගුවන් තොටුපල විවෘත කිරීම පිලිබඳවත් අවධානය යොමු කලේ ය. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) අගෝස්තු 12 දා පල වූ ඉදිරිදර්ශන ලිපියේ සඳහන්වන පරිදි, ඇමරිකානු ලමා රෝග පිලිබඳ ඇකඩමිය නිකුත් කල නව වාර්තාවකින් හෙලි වූයේ, ඇමරිකාවේ ජූලි මස අවසාන සති දෙක තුල ලමුන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරු කෙරී ඇති බවයි. වැඩිහිටියන්ට සමාන ලෙසම, රෝහල්ගත කරන ලමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයකට ඇතුලත් කිරීමට අවශ්‍ය වී තිබේ. කියවන්න: එක්සත් ජනපදයේ පාසල් නැවත විවෘත කිරීමේ පාලක පන්ති කුමන්ත්‍රනය: විද්‍යාවට එරෙහිව ලාභය 

මෑතක දී නිකුත් කරන ලද ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ සඟරාවෙහි පලවූ තවත් අධ්‍යයනයකින් හෙලි වූයේ, කොවිඩ්-19 ආසාදිත ලදරුවන්ට හා කුඩා දරුවන්ට උගුර හා වාතය මගින් අධික වෛරස් තොගයක් රැගෙන යා හැකි බව යි. එය වැඩිහිටියන්ට වඩා 100 ගුනයක් පමන වේ. 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කර පරදි රාජාංගනය සිසුවා පසුගිය සති කිහිපයේ උගුරේ ආසාද්මිකතා පෙන්නුම් කර තිබේ. නමුත් එම දරුවා පලමු නිරෝධායනය අතර තුර නැවත නැවත පරීක්ෂනවලට භාජනය කර නැත.  

ඇමරිකාවේ ට්‍රම්ප් පාලනාධිකාරියේ සිට ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව දක්වා ලොව පුරා ධනපති පාලක පන්තීන්ගේ උත්සුකය වී ඇත්තේ මානුෂ ජීවිත බේරා ගැනීම පිලිබඳව නොව, වසංගතය හමුවේ කඩා වැටෙන ආර්ථිකයෙන් මහ ව්‍යාපාරිකයන් ගලවා ගැනීම පිලිබඳවයි. රාජපක්ෂ ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයන් විසින් දැනටමත් වසංගත තත්වය ගසාකා ඇත්තේ කම්කරු පන්තියේ රැකියා, සේවා කොන්දේසි හා වැටුප් බරපතල ලෙස කප්පාදු කිරීමටයි. ලොව ධනපති පාලක පන්තීන් අනුගමනය කරන්නේ කම්කරුවන් වැඩට දැක්කීමට නම් ඔවුන්ගේ දරුවන් පාසලට දැක්කීමේ පිලිවෙතයි. 

විපක්ෂයේ ධනපති පක්ෂ, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ ඇතුලු මාධ්‍ය සංස්ථාපිතය පාසල් තුල තිබෙන අනාරක්ෂිත කොන්දේසි පිලිබඳව නිහඬව සිටිමින් ආන්ඩුවේ පිලිවෙතට සහයෝගය දී තිබේ. 

ලංකාව තුල මේ වන විට ආසාදිතයින් 2890 ක් ද සක්‍රීය රෝගීන් 209 ක්, පරීක්ෂන මට්මමින් තවත් 55 දෙනෙකු හා මරන 11 ක් වාර්තා වේ. අවසානයට මතුවූ කන්දකාඩු පොකුරේ තත්වය “පාලනය” කර ඇති බව ආන්ඩුව පැවසුවද සියලු තොරතුරු පෙන්නුම් කරන්නේ මහා පරිමාන කම්හල් හා පාසල් විවෘත කිරීම තුල කොයියම්ම හෝ මොහොතක වෛරසය රටතුල වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු කාරක වනු ඇත යන්නයි.  

ආන්ඩුවේ නොතැකීමට පූර්න පිටුබලය දෙන ධනපති මාධ්‍ය හා සෞඛ්‍යය බලධරයන් සැමවිටම යත්න දරන්නේ, වෛරසය පැතිරීමේ අවදානම පිලිබඳව මහජන අවධානය යොමු කිරීමට නොව, ඊට විපරීතව, එම සිසුවා රෝගී තත්වයෙන් මිදී ඇති බව පරීක්ෂන මගින් තහවුරු වී ඇතිබව කියාපාමින්, එවන් අවදානමක් නොමැතිබව  පෙන්වීමට යි.   

“පුලුල්” පීසීආර් පරීක්ෂන පිලිබඳව සමරවීර සඳහන් කල ද ලංකාවේ පෙරවාරී 18 සිට මේ දක්වා සිදු කර ඇති මුලු පරීක්ෂන සංඛ්‍යාව 191,507 ක් පමනි. දිනක සාමාන්‍ය අගය සැලකුවහොත් 1058 ක් වැනි ඉතා අල්ප අගයකි.  දෙකෝටි විසිහත් ලක්ෂයකට අධික ලංකාවේ ජනගහනය හා සැසඳූවිට අවම වශයෙන් දිනකට පරීක්ෂන 5000 ක් සිදුකල යුතුයැයි වෛද්‍ය විශේඥයෝ නිරතුරුව කියා සිටිති. 

ලොවපුරා ආන්ඩු සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියාමාර්ග අත් හැර දැමීම සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කලේ, සෞඛ්‍ය ආරක්ෂන “ක්‍රියාමාර්ග අනුගමනය කලහොත් ආසාදිතයින් අඩු වන බවත්, එසේ නොකලහොත් ආසාදිතයින් ඉහල යනු ඇති බවත්” ය.  

පාලක පන්තියේ මෙම නොතැකීම නිශ්චිත පන්ති ප්‍රතිචාරයකි. ගෝලීය වසංගතයෙන් මහජනයාගේ ජීවත බේරා ගැනීම හා අවශේෂ ජීවන හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමත් සිදු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයකින් පමනි. 

වෛරසය මුලුමනින්ම පාලනයකොට ඇතැයි යන්න තහවුරු කල වෛද්‍ය විද්‍යාත්මක තක්සේරුවක් මත පාසල් ආරම්භ කිරීම, දරුවන් පාසල්වලට ප්‍රවාහන කිරීමට වෙන් වූ ආරක්ෂිත ප්‍රවාහන සේවාවන් රටපුරා දියත් කිරීම, පන්ති කාමරවල සමාජ දුරස්ථකරනය තහවුරුවන පරිදි ගුරු-සිසු අනුපාතය 1:20 දක්වා ගුනාත්මකව පහල දැමීම. ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධීකෘතව ඉදිරියට ගෙනයෑමට ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට නොමිලේ පරිගනක හා අන්තර්ජාල පහසුකම් සැපයීම වැනි ඉල්ලීම් ඉදිරියට ගැනීම සඳහා අවශේෂ කම්කරු පන්තිය හා ඒකාබද්ධ වූ ගුරු-සිසු- දෙමාපිය ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම සඳහා එම අරගලය පෙරට ගත යුතු ය. 

Loading