වසංගතයෙන් අනාථව සිටින විදෙස්ගත කම්කරුවන් නොතකා හැරීමේ පිලිවෙත රාජපක්ෂ ආන්ඩුව ඉදිරියටම ගෙනයයි

අගෝස්තු 17 දා, කම්කරු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ, විදෙස්ගත කම්කරුවන්ගෙන් බහුතරය “ලංකාවට පැමිනීමට කැමැත්තක් නොදක්වන” බවයි. කම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමේදී “නීත්‍යානුකූලව” විදෙස්ගතවූවන්ට ප්‍රමුඛතාවය දෙන බව ඔහු තවදුරටත් සඳහන් කලේය.  

සිල්වාගේ ඉහත සැඳහුම් වලින් ප්‍රකාශයට පත්වන්නේ, කොරෝනා වසංගතය හේතුවෙන් අනාථව සිටින විදෙස්ගත කම්කරුවන් කෙරෙහි වන සාපරාධී නොතැකීම ඉදිරියටම ගෙනයමින්, එම කම්කරුවන් ලංකාවට ගෙන්වා ගැනීමේ වගකීමෙන් මුලුමනින්ම නිදහස් වීමේ ප්‍රයත්නයක ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යෙදී සිටින බවයි. 

තමා මුහුන දී සිටින ඉමහත් ආර්ථික දුෂ්කරතාවයන් නිසාම, දැඩි දඬුවම් විඳීමේ අන්තරාය නොතකා, “නීත්‍යානුකූල නොවන” ආකාරයෙන් විදෙස්ගත වූ  කම්කරුවන්ගේ ජීවිත දෙවන ගනයට ඇද දැමීම මගින්මත්, ධනපති පාලකයන් කම්කරුවන් කෙරෙහි දක්වන නරුම ආකල්පය ප්‍රකාශයට පත්වෙයි. 

පෘථිවි ගෝලයේ තමා කැමති ස්ථානයක ජීවත්වීම සහ රැකියාවක නිරතවීම සෑම මනුෂ්‍යයෙකු සතුව පවත්නා මූලික අයිතියකි. විවිධ නීති මගින් එම අයිතිය වලකා ඇත්තේ, ධනපති ක්‍රමය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය සහ එහි දේශ සීමාවන් විසිනි. ඇමති සිල්වා, කම්කරුවන්ට එරෙහිව පිහිටුවන්නේ, මෙම මානව-චිරෝධී සහ ඉතිහාස-විරෝධී ධනපති නීතිය යි. 

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරන ලද්දේ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින් මිලියන 1.5 ක්, මුහුන දී සිටින රුදුරු කොන්දේසි මුලුමනින්ම නොතකමිනි. ඔවුන් මුහුන දී සිටින්නේ ‍රැකියා අහිමි වීම්, අගුලු දැමීමේ කාලය තුල මුහුන දීමට සිදුවූ වැටුප් අහිමි වීම්, නවාතැන් අහිමිවීම්, අවම සෞඛ්‍ය ආරක්ෂන පහසුකම් පවා නොමැතිවීම, වීසා කල් ඉකුත් වීම, රට විවෘත කිරීමත් සමග ඇති වෛරසය වැලඳීමේ අන්තරාය ආදී ඉහිලිය නොහැකි කටුක තත්වයන්ටය.

කම්කරුවන්ගෙන් බහුතරය “ලංකාවට පැමිනීමට කැමැත්තක් නොදක්වන” බවට අමාත්‍යවරයා කරන ප්‍රකාශයේ ප්‍රෝඩාකාරීභාවය මැද පෙරදිග සිට ලංකාවට පැමිනීමට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාවෙන්ම පැහැදිලි වේ. එක්සත් අරාබියෙහි 20,000 කට ආසන්න පිරිසක් ද කුවේට් හි 19,000 ක් ද එලෙස ලියා පදිංචිවී ඇත.

ආන්ඩුව විටින් විට විවිධ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් විදෙස්ගත කම්කරුවන් ලංකාවට ගෙන ඒමේ කටයුතු කල් දමමින් සිටී. ලංකාවට පැමිනෙන්නේ ඉතා සීමිත ගුවන් යානා සංඛ්‍යාවක් වන අතර, දැරිය නොහැකි අධික වියදම් නිසා සාමාන්‍ය කම්කරුවන්ට ඒවාට ලඟා විය නොහැක. 

සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කලේ, ඉහල ගාස්තු ගෙවා ලංකාවට පැමිනෙන සීමිත ප්‍රමානය සහ එසේ පැමිනීමට සිටින පිරිස, “අසරන වී සිටින නිල් කරපටි (කය වෙහෙසා වැඩ කරන) කම්කරුවන් හෝ ගෘහ සේවිකාවන් නොවන” බවයි. 

මෙම ඉහල මිල පැකේජයට පීසීආර් පරීක්ෂන, ප්‍රවාහන වියදම් සහ රෝහල් නිරෝධායන ගාස්තු ඇතුලත් ය. සෞදි අරාබියේ පීසීආර් පරීක්ෂනයක මිල රියාල් 1350කි (ලංකාවේ මුදලින් රු. 66150). වසංගතයට පෙර සෞදියේ සිට ලංකාවට යාමට සහ ඒමට ප්‍රවේශ පත්‍රයට රියාල් 1750 වැය වී ඇති අතර දැන් එය රියාල් 2300 (රු 1,12,700) ක් දක්වා ඉහල නැග ඇත. කම්කරුවන් පවසන්නේ තමන් අපහසුවෙන් උපයාගත් සියල්ල මෙම පැකේජයට වියදම් කරගෙන ලංකාවට පැමිනීමට සිදුව ඇති බවයි.

කෙසේ හෝ මුදල් ගෙවුවද කම්කරුවන්ට හදිසියේ තමන්ට අවශ්‍ය වේලාවක ලංකාවට පැමිනීමට නොහැකි අතර ගුවන් ගමනක් සිදුවන්නේ මගීන් 300 පමන එකතු වීමෙන් පසුවය. රාජපක්ෂ ආන්ඩුව විසින් සාපරාධී ලෙස උල්ලංඝනය කොට ඇත්තේ, වසංගතය ඇතුලු ඉහත දුෂ්කරතාවයන්ගෙන් මිදී, හැකි ඉක්මනින් තම දරු පවුල් වෙතට පැමීනීම සඳහා මෙම කම්කරුවන් සතු අයිතියයි.  

සාමාන්‍ය කම්කරුවන්ට ලංකාවට පැමිනීමට ඇති මූලික අයිතිය මෙසේ උල්ලංඝනය වද්දී ධනවත් පිරිස් ආන්ඩුවේ අවසරය සහිතව මිල අධික “විශේෂ වරලත්”(Charter) ගුවන් යාත්‍රා යොදාගනිමින් පහසුවෙන් පැමිනෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේය. විදේශ නියුක්ති කාර්යාංශයට අනුව කුවේට් සිට පැමිනීමට මෙම පැකේජයට දෙලක්ෂ පනස්දහසක පමන මුදලක් වැයවේ. 

මෙම මුදල කිසිසේත්ම සාමාන්‍ය කම්කරුවෙක්ට දැරිය හැකි වියදමක් නොවේ. එකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සඳහන් කලේ මෙම ටිකට්පත මිල අධික වීම නිසා කම්කරුවන් විශාල ප්‍රමානයක් එම රටවල සිරව සිටින බවයි. 

මෙම කාරනාව පෙන්නුම් කරන්නේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ධනපති පන්තියේ සෑම ප්‍රතිචාරයක්ම පන්ති පදනමක් මත ක්‍රියාත්මක වන බවයි. එනම් ආන්ඩු ධනවතුන්ට එක් ආකාරයකිනුත් දුප්පත් කම්කරුවන්ට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වේ. එනම් මෙය දුප්පත් මිනිසාගේ වෛරසයක් බවට පත්වී ඇත. 

මැදපෙරදිග කලාපයේ රටවල් වසංගතය පැතිරීම මධ්‍යයේ විවෘත කර ඇති තතු තුල කම්කරුවන්ට මුහුන දීමට සිදුව ඇත්තේ පෙරටත් වඩා දුෂ්කර කොන්දේසි වලටය. මෙම තතු තුල තමන්ට මුහුන දීමට ඇති තත්වය සම්බන්ධයෙන් වසර 12 ක් සෞදි අරාබියෙහි සේවය කරන යාන්ත්‍රික ශිල්පියෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූයේය.

ඔහු සඳහන් කරන්නේ මූලික වැටුප අඩු නොකලද අමතර ආදායමක් සොයා ගැනීමට තිබුනු “එකම අවස්ථාව” වන  අතිකාල සම්පූර්නයෙන්ම කපා දමා ඇති බවයි. අතිකාල හිමිවන්නේ අත්‍යවශ්‍ය වැඩකට පමනකි. ඔහු වැඩි දුරටත් පැවසූවේ “මෙය සෑම කම්කරුවෙකුටම විශාල පාඩුවක්” බවයි.

කෙසේ වෙතත් එම රටෙහි වෙනත් ආයතන වල සාමාන්‍ය වැඩ දිනය පැය අටක් වුවද ඔහු සේවය කරන ආයතනයෙහි එය පෙර සිටම පැය නමයක් බවත් “වැඩිපුර වැඩගන්නා පැයට අතිකාල නැති” බවත් පැවසුවේය. අති කාල ද කපා ඇති තත්වයක අරාබියේ වැට් බදු වැඩි කිරීමෙන් දැරිය නොහැකි ලෙසට වියදම් වැඩිවී ඇත. මේ හේතුවෙන් සිය පවුලට යන්තම් පිරිමසා ගන්නවා හැරෙන්නට කිරීමට දෙයක් නොමැති බවත් ඔහු පැවසුවේය. 

ජූලි මාසයේ ඇඳිරී නීතිය ඉවත් කිරීමෙන් පසු සෑම කම්හලකම වැඩ ආරම්භ කලද විශාල වැටුප් කප්පාදුවක් ක්‍රියාවට නගා ඇති බව ඔහු කීවේය. “සමහර ආයතන වල සේවක සංඛ්‍යාව කොටස් දෙකකට බෙදලා දින 15 බැගින් වැඩෙහි යොදවනවා. ඒ හේතුවෙන් එම ආයතන වල කම්කරුවන්ට ලැබෙන්නේ මාසික වැටුපෙන් අඩක් පමනයි.”

කම්කරුවා සඳහන් කලේ මේ වන විට උන පරීක්ෂාව සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ බැංකු සහ රෝහල් වල පමනක් බවයි. සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව තමන්ම බලාගත යුතුය. එමෙන්ම මුල් කාලවලදී වැඩපලෙන් දුන් මුඛ ආවරනයේ ප්‍රමිතිය බාල වර්ගයක නිසා එය පොදු මාර්ගයේ දී පැලඳීමට තහනම් වෙයි. එයද සෝදමින් නැවත පාවිච්චි කල යුතුය. එමෙන්ම කොරෝනා රෝගය ආසාදනය වූ කම්කරුවන්ට නිරෝධායනය වීමේදී බෙහෙත්, ආහාර ආයතනයෙන් සැපයුවද, සාත්තුව තමා විසින්ම කරගත යුතුය.

“මා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක්.  ඒ නිසා මම දන්නවා ලෝකය පුරා ආසාදිතයින්ගේ හා කොරෝනා මරන සංඛ්‍යාවේ විශාල ඉහල යෑමක් තියෙන බව. මේ තත්වය ඇති වී තිබෙන්නේ වසංගතය පාලනය කිරීමකින් තොරව නිසි ආරක්ෂන පියවර නොගෙන ආර්ථිකය යලි විවෘත කිරීම තුලයි. හිතාමතාම මිනිසුන් මරනයට ගොදුරු වීමට ඉඩහැර ඇති ආකාරය මින් පැහැදිලියි.” යැයි පැවසුවේය

රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීම මධ්‍යයේ, කම්කරුවන්ට සිදුවී ඇත්තේ මරනය දෝතින් දරාගෙන කප්පාදු සහ වැඩ වේගවත් කිරීම් ඉවසා වැඩට යාමටය. මේ වන විට නිල වාර්තා අනුව කොරෝනා වෛරසය නිසා විදෙස්ගත ශ්‍රී ලාංකික කම්කරුවන් 47 දෙනෙකු මරනයට පත්ව තිබේ. වෙනත් රෝග නිසා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් රහිතව තවත් සිය ගනනක් මියගොස් ඇත.

සංක්‍රමනික කම්කරුවන් මුහුන දී සිටින්නේ ලොවපුරා ආන්ඩු සහ ධනපති සමාගම් ඒකාබද්ධව කම්කරුවන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කර ඇති ගෝලීය ප්‍රහාරයකටය. 

ලංකාවෙහි ආන්ඩුව තම රටෙහි ජීවත් වන කම්කරුවන්ට සලකන ආකාරය,  විදෙස්ගත කම්කරුවන් කෙරෙහි දක්වන සැලකීමට වෙනස් නොවේ. වැටුප් සහ දීමනා කපමින්, දසදහස් ගනනින් රැකියා වලින් දොට්ට දමමින්, වසංගතය මධ්‍යයේම, ලංකාවේ කම්කරුවන් ද වැඩට දැක්කු ආන්ඩුව, වසංගතයට දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් ගොදුරු කරමින් පාසල් සහ සරසවි විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ගෝලීය ප්‍රහාරයෙන් මිදීමට නම් විදෙස්ගත කම්කරුවන්, සිය ජාත්‍යන්තර කම්කරු සගයන් සමග එක්ව, ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමය මිහිමතින් අතුගා දමා  ජාත්‍යන්තර සමාජවාදී නිශ්පාදන ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා සටන් කල යුතුය. 

Loading