කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල තව දුරටත් වැටුප් කපා, වැඩ වේගවත් කිරීමට සැරසෙයි

කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කලමනාකරු, එහි කම්කරුවන් අමතා, අගෝස්තු 18 දා ප්‍රකාශ කර ඇත්තේ ඇනවුම් අවලංගු වූ බැවින්, කර්මාන්තය පවත්වා ගැනීම සඳහා, තව දුරටත් වැටුප් කප්පාදු කිරීමට සිදුවන බවයි. උදෑසන වැඩ ආරම්භ කිරීමට පෙර මිනිත්තු 15 ක කාලයක් ඔහු සිය දේශනය සඳහා වෙන් කරගෙන තිබේ. අතිශය දුෂ්කර කොන්දේසි කම්කරුවන් මත පැටවීම ඉල්ලා සිටි එම දේශනය කම්කරුවන් අතර බරපතල නොන්සුන්තාවකට තුඩු දී ඇත.

බ්‍රැන්ඩික්ස් යනු දකුනු ආසියාවේ ප්‍රධාන පෙලේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් අතරින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයනකරුවාය. 1969 ආරම්භ කල මෙම සමාගම ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල ශාඛා පිහිටුවා ගත් ජාත්‍යන්තර ජාලයකින් සමන්විත වන අතර කම්කරුවන් 41,847ක් සේවයේ යොදවා ඇති බව 2017 දී සමාගම වාර්තා කර ඇත. ඒ වන විටත් ලංකාව තුල පමනක් කර්මාන්තශාලා 29ක් විය. 

කොරෝනා වසංගතය නිසා මාර්තු 21 දා කම්හල් ජාලය වසා දැමීමෙන් පසු අප්‍රේල් අවසානයේ යලි විවෘත කිරීම සිදු වූයේ හාම්පුතුන්, ආන්ඩුව සහ නොව වෘත්තීය සමිති ඒකාබද්ධව යෝජනා කර ගත් නව කොන්දේසිවලට කම්කරුවන් යටත් කරමිනි (කියවන්න: "රත්මලාන බ්‍රැන්ඩික්ස් කම්කරුවන් 60ක් දොට්ට දමයි"). කොග්ගල කම්කරුවන්ට ද මෙම කොන්දේසි වලට මුහුන දීමට සිදුවන බව කලමනාකරු තම දේශනයේදී අනතුරු ඇඟවී ය. 

"කොරෝනා රෝගය අපි ඇති කල දෙයක් නො වෙයි. ෆැක්ටරිය දියුනු වෙනවා, අපි අමාරුවෙ වැටෙනවා. අපි හම්බ කරන දෙයින් අපේ පඩි ගෙවන්න බැහැ කියන්නේ කොහොමද?" අදාල දේශනය ගැන දැනුම් දීමට ලෝක සමාජවාදි වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් ඇමතූ කම්කරු කාන්තාවක් ප්‍රශ්න කලා ය. බොහෝ කම්කරුවන් රැකියාව හැර යාමට තීරනය කර ඇති බව ද ඇය කීවාය. 

වෙනදා තිබූ සෙනසුරාදා නිවාඩුව දැනටමත් අහෝසි කොට ඇති අතර, වැටුපකින් තොරව එදින සවස 1.30 වන තෙක් වැඩ කල යුතු අතර අනතුරුව අතිකාල වැඩ කල යුතුය.

කම්කරුවන් ආගම ඇදහීමට යොමු කිරීම සඳහා වෙන් කර තිබූ කාලය අහෝසි කර එම විනාඩි කීපය ද වැඩ කිරීම සඳහා යොදාගෙන ඇත.         

අර්බුදයට පෙර පැයකට කෑලි 60ක් ව පැවති ඉලක්කය දැන්  80 හා 90 දක්වා ඉහල දමා තිබේ. මේ අතර වැඩ පේලි වෙනස් කිරීම නිසා  අලුතෙන් සමහර වැඩ වලට හුරු වන ගමන් ම මෙම ඉලක්ක ලබා දීමට බල කිරීම දැරිය නො හැකි තත්වයකි. ඔරොත්තු නො දෙන වේගයෙන් වැඩ කිරීමට උත්සාහ කිරීමේ දී අත් වැරදීම් බහුලව සිදු වෙයි. ඇතැම් සුපවයිසර්වරු එවන් වැරදීම්වලට ප්‍රතික්‍රියා වසයෙන් හා ඉලක්ක ලබා ගැනීම සඳහා කෙතරම් නින්දනීය ආකාරයෙන් ක්‍රියා කරන්නේද යත්, බස් නැවතුමක් වැනි ස්ථානයක දී පවා හමු වුවහොත් බැන වැදීම්, රැවුම් ගෙරවුම්වලට මුහුන දීමට සිදු වන බව කම්කරුවෝ කියති.

සාමාන්‍යයෙන් "සුපර් ග්‍රේඩ්" කම්කරුවකු ගේ වැටුප රුපියල් 22,000 ක් වන අතර අමතර දීමනා සහ අතිකාල සමග ඔවුහු රුපියල් 30,000කට වැඩි වැටුපක් වසංගතයට පෙර ලබා ගත්හ. කිසිම නිවාඩුවක් නොගෙන මාසය පුරා වැඩට පැමිනියහොත් ලබා දෙන රුපියල් 4,000 ක "පැමිනීමේ දීමනාව" කපා දමා ඇත.

දැනටමත් ඇතැම් කම්කරුවන් සේවය අත් හැර ගොස් ඇත.  ලෝසවෙඅ ට කතා කල එක් කාන්තාවක්, ගෙවී ගිය වසර 10 ඇතුලත කලාපය තුල කම්හල් පහක සේවය කර ඇති අතර බ්‍රැන්ඩික්ස් සමාගම තුල පීඩනයෙන් ගැලවීම සඳහා හයවන රැකියා ස්ථානය සොයමින් සිටී.

කොග්ගල එයිට්‍රන් ඇපරල් සමාගමේ කම්කරු කාන්තාවක් කියා සිටියේ තමන් අතිශය අනතුරුදායක කොන්දේසි යටතේ සේවය කරන බවය. එම කම්හල් පරිපාලනය සෞඛ්‍ය උපදෙස් මුලුමනින්ම නො තකා හැර තිබේ. 1500ක් පමන වූ එහි සේවය කරන පිරිසට පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට තරම් ඉඩ කඩ නො මැත. මුලු දවසම පාවිච්චි කිරීම සඳහා සමාගම ලබා දී ඇත්තේ එක මුහුනු ආවරනයකි. කලාපය තුල ඇතැම් කම්හල් තවමත් විවෘත කර නැත. විවෘත කර ඇති සෑම ආයතනයකම කම්කරුවන් මුහුන දෙන්නේ සමාන කොන්දේසිවලටය. 

රුහුනු විශ්ව විද්‍යාලයේ සහභාගිත්වයෙන් 2018 දී ප්‍රකාශයට පත් කල සමීක්ෂනයකට අනුව කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ සේවය කරන වයස අවුරුදු 35 ඉක්මවූ කම්කරු ප්‍රමානය මුලු සංඛ්‍යාවෙන් සියයට 12.9 ක් පමනි. ඒ වන විට සේවයේ නිරතව සිටි සෑම කාන්තාවක්ම රැකියාව නිසා මාංශ පේශිවල වේදනාව, සමේ රෝග, හිසේ රුදාව, මානසික සෞඛ්‍ය ගැටලු හා හදිසි අනතුරුවලින් පීඩා විඳින බව එම වාර්තාව පෙන්වා දෙයි. නිවාඩු ලබා ගැනීමේ දුෂ්කරතාව නිසා අවශ්‍ය ප්‍රතිකාර නො ගැනීම මෙම රෝගී තත්වයන් සුව නොවී පැවතීමට හේතුවකි. 

වාර්තාව සඳහන් කරන්නේ, අසනීප නිසා වැඩට නොපැමිනීම හා ඉල්ලා සිටින ඉලක්කයන් සපුරා නොදීම යන කරුනු, රැකියාව අහිමි වීමට හෝ මූල්‍යමය දඬුවම් විඳීමට හේතු වන බවය. කොරෝනා වසංගතයට කම්කරුවන් වග කිව යුතු නොවන්නාසේම ධනපති ලාභ පද්ධතියේ අර්බුදයට ද කම්කරුවන් කර ගැසිය යුතු නොවේ.

කම්කරු පන්තියට එල්ල කෙරෙන මෙම රුදුරු ප්‍රහාරයන්ගේ මූලය වන ධනවාදයට සහ ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත එම ප්‍රහාර ක්‍රියාවේ යොදවන ධනපති ආන්ඩු වලට එරෙහිව ක්ෂමා විරහිතව සටන් වැදීමෙන් තොරව, යහපත් සේවා කොන්දේසි, රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් සුරක්ෂිත කරගත නොහැක. ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කරන වෘත්තීය සමිති වලින් බිඳී, සෙසු පීඩිතයන්ගේ සහාය ලබන හා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගන්නා, කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා එම සටන පෙරට ගත යුතුය.

ඇඟලුම් කම්කරුවන්ට සසප පනිවුඩ-- shorturl.at/vLZ26

Loading