ආඥාදායක පාලනයක් ඉලක්ක කරගත් රාජපක්ෂගේ නව ආන්ඩුවට ජවිපෙ සුබ පතයි

ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමේ ඉලක්කය සහිතව බලයට පැමින සිටින, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පොදුජන පෙරමුනු නව ආන්ඩුවට, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සුබපැතුම් පල කෙරෙන සම්මුඛ සාකච්ඡාවක්, අගොස්තු 17 දා, ලංකාදීප පුවත්පතෙහි පලවිය. “ලක්ෂ හැට නවයකට ආසන්න ජනතාවගේ බලය ලබාගෙන වැඩ පටන්ගන්න ජනාධිපතිවරයා ඇතුලු මැති ඇමැතිවරුන්ටත් අමාත්‍යාංශ ලේකම්වරුන්ටත් අපි (ජවිපෙ) සුබ පතන” බව සාකච්ඡාවට සම්බන්ධ වූ ජවිපෙ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස පවසා ඇත. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන තම මැතිවරන උද්ඝෝෂනයේදී ලබාදුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි ජවිපෙ බලාපොරොත්තු වන බවත්, ජනාධිපති රාජපක්ෂ කරන "යහපත්" වැඩවලට එහි සහයෝගය ලබා දෙන බවත් ජයතිස්ස එහිදී තවදුරටත් පවසා ඇත. 

මැතිවරනයේදී ඡන්දය ගසා කෑමට ලබාදුන් ජනතාවාදී පොරොන්දු කිසිවක් මෙම ආන්ඩුවට ඉටුකල නොහැක. ගැඹුරුම ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වනුයේ එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සහ එයට එරෙහිව නැගෙන පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමයි.

ජයතිස්ස ඇතුලු ජවිපෙ නඩය මේ ගැන කිසිවක් කතා නොකරන්නේ, ඔවුන් සැබැවින්ම නියෝජනය කරන්නේ එම ධනපති පන්තික අවශ්‍යතා බැවිනි. “ජාතික ආරක්ෂාව” සහ “වසංගත මර්දනය” යන වහන්තරාවන් යටතේ රාජපක්ෂ විසින් වේගවත් කර ඇති මිලිටරීකරන පියවරයන් “යහපත් වැඩ” ලෙස ජවිපෙ දැනටමත් අනුමත කර ඇත. 

පසුගිය ජනාධිපතිවරනයේ දී මෙන්, ජවිපෙ මෙ වර මහමැතිවරනයට තරග කලේ ද, ධනපති ගැති ඊනියා ශාස්ත්‍රාලිකයන් සහ දක්ෂිනාංශික කන්ඩායම් එකතු කර ගනිමින් ගොඩ නගා ගත් ජාතික ජන බලවේගය නම් හවුලෙනි. ඔවුන්ගේ ප්‍රධාන මැතිවරන තේමාවක් වූයේ “දූෂනයෙන් තොර පාර්ලිමේන්තුවක්” යන්නයි. 

මරලතෝනි දෙන ධනවාදී සමාජ ක්‍රමය තුල  මුලුමනින්ම අයථා වන එම තේමාවේ අරමුන වූයේ, පාර්ලිමේන්තුව ඇතුලු ධනපති සංස්ථාපිතය කෙරෙහි වඩවඩාත් විරසක වන කම්කරු-පීඩිත මහජනතාව, ධනපති ක්‍රමයට එරෙහි අරගලයකින් ඉවතට හරවා තබා ගැනීමයි.

මෙම ඊනියා දූෂන විරෝධී උද්ඝෝෂනය හරහා සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගත හැකිවෙතැයි ජවිපෙ අපේක්ෂා කලද, මැතිවරනයේ දී එහි පාර්ලිමේන්තු ආසන ගනන පෙර පැවති හයේ සිට තුන දක්වා පහත වැටුනි. 

ජවිපෙ හි මැතිවරන කඩා වැටීම සමස්ත වාමාංශික ව්‍යාපාරයේ ම අසාර්ථකත්නවයක් වශයෙන් පෙන්වා දීමට ජයතිස්ස උත්සාහ කලේය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව වැඩුනු දැවැන්ත මහජන විරෝධය, සිරිසේන-වික්‍රමසිංහ සන්ධානය පිටුපස ගාල් කොට, එම ආන්ඩුවේ ප්‍රහාරයන්ට යටත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ කෙරෙහි කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩුනු කෝපය එහි අන්ත පරාජය පිටුපසින් පැවති සැබෑ හේතුවයි.    

පවතින මහජන අතෘප්තිය ගසා කමින් පාර්ලිමේන්තුව තුල තමන්ගේ නියෝජිතයන් වැඩි කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ තැන ජවිපෙ අර අදින්නේ මහජන විරෝධතාවල ඉස්මත්තට පැන දක්ෂිනාංශික “දේශප්‍රේමී ව්‍යාපාරයක්” යලි ඉස්මත්තට ගෙන කම්කරු පංතියට එරෙහි මුගුරක් ලෙස පෙරට ගැනීමටයි.

අගෝස්තු 17 දා, දිවයින පත්‍රයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මෙසේ ප්‍රකාශ කර තිබුනි. “එම්සීසී ගිවිසුම ඉරා විසිකිරීම, ත‍්‍රිකුනාමලයේ තෙල් ටැංකි නැවත රජයට පවරා ගැනීම, බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම ඇතුලු පොරොන්දු රැසක් ආන්ඩුව ලබාදී තිබෙනවා. මේ පොරොන්දු ඉටු කරන්නේ නැතිනම් වෙනදා වගේම ජනතාවගේ පැත්තේ සිට ඒවා ජනතාවට දිනා දීම සඳහා අප අරගල කරනවා.” 

ජනාධිපති රාජපක්ෂ ජනාධිපති ධුරයට පැන ගැනීමට එම්සීසී ගිවිසුමට ඇති මහජන විරෝධයත්, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව අවුලුවා ලූ මහජන වෛරයත් පිනුම් පිත්තක් බවට පත් කර ගත්තේ ජාතිකවාදී, වර්ගවාදී සහ ආගම්වාදී, ප්‍රතිගාමී උද්ඝෝෂනයන් අවුලුවාලමිනි. 

බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ වගකිව යුතු අයට දඬුවම් දීම සම්බන්ධයෙන් ආන්ඩුවේ කතා පසු ගිය ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව දඩයමක් දියත් කිරීමටත් මුස්ලිම් විරෝධී වර්ගවාදය ඇවිලීමටත් පෙරට දමනු ලබන ඒවා ය. ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනය ජනතාවාදී ව්‍යායාමයක් ලෙස හුවා දැක්වීමට ජවිපෙ කටයුතු කරයි. 

පැවති සිරිසේන -වික්‍රමසිංහ තන්ත්‍රය, මහජන විරෝධය සන්සිඳුවීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමින් ජනාධිපතිගේ බලතල සීමිත ලෙස කප්පාදු කල ද, දැන් ජනාධිපති රාජපක්ෂ යෙදී සිටින්නේ එම සීමිත බාධාවන් ද ඉවත් කර දමා මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ඒකාධිපතිත්වයක් සකසා ගැනීමටයි. 

ඔහු දැනටමත් එම දිසාවට නිශ්චිත පියවර ගනනාවක් තබා ඇත. නමුත්, මෙම අන්තරාය වසන් කරමින් ජවිපෙ කියා සිටින්නේ, ආන්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමට බවයි. 

“කොහොම නමුත් ආන්ඩුව 19 වැනි සංශෝධනය අහෝසි කිරීම හරහා සිදුකරන්නේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්න අවස්ථාව සලසාදීම නම්, තිහට සීමා කර ඇති කැබිනට්ටුව වුවමනා තරම් වැඩිකරගැනීමටත් අවුරුදු හතරහමාරක් වනතුරු විසුරුවන්න බැරි පාර්ලිමේන්තුව ඕනෑම වෙලාවකට විසුරුවන්නටත් ජනාධිපතිට බලය දීම නම් ප්‍රජාතන්ත්‍රවාදයට සාධනීය ලක්ෂනයක් වූ ස්වාධීන කොමිෂන් සභා අහෝසිකිරීම නම් ජනතාව අපේක්ෂා කලේ එය නෙවෙයි.”

ජවිපෙ කනස්සලු වන්නේ ජනාධිපති රාජපක්ෂ කම්කරු පන්තියට එරෙහි ව ආඥාදායක පාලනයක් සූදානම් කිරීම සම්බන්ධයෙන් නොව, ගජමිතුරු කල්ලියක් වටා බලය සංකේන්ද්‍රනය කර ගැනීමට යාම සම්බන්ධයෙනි.

ජූලි 5 වැනි දා ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වූ ජවිපෙ නායක අනුර දිසානායක, තමන් ධනපති ආන්ඩු සමග පැවැත් වූ අඟෑලුම්කම්වලින් මහජනතාවට සෙතක් වී ඇති බව පැවසීය. එම්සීසී ගිවිසුම අහෝසි කරන බවට සහතිකයක් දෙමින් ජනාධිපති රාජපක්ෂ සාකච්ඡාවලට ආරාධනා කලොත් තමන් ඒ සඳහා යාමට සූදානම් බවද දිසානායක ප්‍රකාශ කලේ ය.

කොවිඩ්-19 වසංගතය ඉස්මත්තට ඒමත් සමඟ රාජපක්ෂ ආන්ඩුව එයට දැක්වූ සාපරාධී නොතැකීම හමුවේ, වැඩුනු මහජන විරෝධය පුපුරා ගොස් ධනපති පංති පාලනය අස්ථාවර වෙතැයි භීතියට පත් ජවිපෙ, ධනපති පන්තියේ ඒකාබද්ධ වැඩපිලිවෙලක් සඳහා සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන්නැයි, ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ ය. 

ජවිපෙ නායකයා සිරස රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් කියා සිටියේ, “අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කොන්දේසි විරහිතව සහයෝගය” දෙන බවයි. ආන්ඩුවට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව තුල නොලැබෙන්නේ නම් “ඊට පසු දින ම පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට කමක් නැතැ”යි ඔහු තවදුරටත් පැවසීය.

“දුර්වල සෞඛ්‍ය ප්‍රතිචාරයක්” ලෙස වෛද්‍ය විශේෂඥයන්ගේ විවේචනයට පාත්‍ර වූ කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අනුමත කලේ “පොඩි ආර්ථිකයක්” ඇති රටකට මහ පරිමාන පීසීආර් පරීක්ෂන කල නොහැකි නිසා සමාජ දුරස්ථකරනය පවත්වා ගත යුතු බවට උපදෙස් දෙමිනි. එමගින් ඔහු, වසංගතයෙන් මහජනතාව මුදා ගැනීමේ වගකීමෙන් රාජපක්ෂ ආන්ඩුව මුදාහැර එහි වගකීම මහජනතාව මත පැටවීය. 

එපමනක් නොව, රාජපක්ෂ ආන්ඩුව වසංගතයට මුවාවී මිලිටරීකරනය තීව්‍ර කරද්දී, වසංගත මර්දනය ඉතා හොඳින් කරගෙන යන බවට සහතිකයක් ද ජවිපෙන් ආන්ඩුවට ප්‍රදානය කෙරුනි. 

කම්කරු පන්තිය මර්දනය කිරීමට රාජ්‍ය යන්ත්‍රය සවිමත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙට පාලක පක්ෂය සමග විරුද්ධත්වයක් නැත. එමෙන් ම ධනපති ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල සමග ජවිපෙ මුලුමනින්ම එකඟ ය. ජවිපෙ, රාජපක්ෂ ආන්ඩුවට සුබ පතන්නේ එබැවිනි.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි

ශ්‍රී ලංකාවේ මැතිවරනය ධනපති පාලනයේ ඓතිහාසික අර්බුදය හෙලිදරවු කරයි

[14 අගෝස්තු 2020]

ජවිපෙ නායකයා රාජපක්ෂ ආන්ඩුව සමග ඒකාබද්ධතාවයකට කැසකවයි

 16 ජූලි 2020

සුලු ධනේශ්වර රැඩිකල්වාදයට එරෙහි විකොස / සසප දේශපාලන අරගලය

[2018 ඔක්තෝබර් 12]