ඉදිරිදර්ශන

“දුප්පතාගේ වෛරසය:” කොවිඩ්-19 වසංගතය ඇමරිකාවේ පන්ති අගාධය හෙලිදරවු කරයි

මෙම ලිපිය අගෝස්තු 18 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපදය තුල යෝධ සමාජ හා ආර්ථික ව්‍යසනයක් දිගහැරෙමින් තිබේ. කොවිඩ්-19 වසංගතයෙන් පුද්ගලයන් 170,000ට වැඩි දෙනෙක් -මින් බහුතරය කම්කරුවන් හා වැඩිහිටියන් ය- මිය ගොස් ඇත. මිලියන තිහකට ඔවුන්ගේ රැකියා අහිමි වී තිබේ. කුඩා ලමුන් සිටින මව්වරුන්ගෙන් පහෙන් පංගුවක් කියා සිටින්නේ තමන්ගේ පවුල්වලට කෑමට ප්‍රමානවත් යමක් නැති බව යි. ජූලි මාසයේ දී, ඇමරිකානුවන්ගෙන් අඩක් කීවේ, ඔවුන්ට විශාදය හෝ අපේක්ෂා භංගත්වය දැනුනු බව යි.

ශාන්ත ලුවී නගරාසන්නයේ පිහිටි නිවාස නැත්තන්ගේ විශාල කඳවුරක් (ඒපී ඡායාරූප/ජෙෆ් රොබර්සන්)

මේ සියල්ල සිදු වූයේ, එක් රැයකින් කෝටි ගනනක් වන රැකියා විරහිතයන්ගෙන් තුනෙන් පංගු දෙකක ආදායම් කපා හරිමින් ද ඔවුන්, ඔවුන්ගේ දරුවන් හා යැපෙන්නන් දරිද්‍රතාවට ඇද දමමින් ද කොංග්‍රසය විසින් මධ්‍යම රැකියා විරහිත ප්‍රතිලාභ සම්පාදනය නතර කිරීමට පෙරාතුව ය.

පාලක පන්තියේ දෘෂ්ටි ආස්ථානයෙන් බලන විට ලෝකය පෙනෙන්නේ අතිශයින් වෙනස් ආකාරයකිනි. වැනිටි ෆෙයාහි රහස් දන්නා එක් පුද්ගලයෙකුගේ වාර්තාවකට අනුව, සුපිරි ධනවතුන් සඳහා “දේවල් සාමාන්‍ය තරමට වඩා හොඳ ය.” එක් ව්‍යතිරේකයක් සමගින්, ඔවුහු “කොරෝනා වෛරසයට පෙර ජීවත් වූ අයුරින් ම ජීවිතය ගෙවමින් සිටිති.” ව්‍යතිරේකය වන්නේ, ඔවුන් දැන් වඩාත් ධනවත් බව යි.

පසුගිය වසර පුරා නැස්ඩැක් දර්ශකය සියයට 20කින් ඉහල ගොස් ඇත්තේ, ඇමරිකාවෙහි ඉහල ම ධනවතුන් දහදෙනාගේ ඒකාබද්ධ ධනය සියයට 22කින් ඉහල යද්දී ය.

අතිශය මූලික පුද්ගල ආරක්ෂක උපකරන (පීපීඊ) රහිත ව, කොවිඩ්-19 රෝගීන් ට ප්‍රතිකාර කිරීමට ඇමරිකාවේ සෞඛ්‍යාරක්ෂන කම්කරුවන්ට බලකෙරී තිබේ. ජනගහනය අධික පාසල් වෙත පෙරලා යාමට බලකෙරී ඇති ගුරුවරුන්ට හා ශිෂ්‍යයන්ට ද පීපීඊ ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. “පීපීඊ ලෙස පාසල මට මුලු අවුරුද්දට ම ලබා දුන්නේ මෙය” යි කියමින්, එක් ගුරුවරයෙක් මුහුනු ආවරනයක්, මද්‍යසාරීය අත්පිසින දියර ඇසුරුමක් හා විෂබීජ නාශක බෝතලයක් පෝස්ටුවක පෙන්වී ය. “ඔවුන්ට මගේ භෂ්මාවශේෂ බඳුන අමතක වී තිබෙන බව පෙනේ” යි තවත් අයෙක් සඳහන් කලේ ය.

පරීක්ෂනවල ප්‍රතිඵල ලැබීමට සතියකට වැඩි කාලයක් ගතවන තතු තුල ඒවා වැඩකට නැති වීම හේතුවෙන්, ඇමරිකාවේ ප්‍රමුඛ කම්කරුවන් මිලියන ගනනකට නිවාරක පරීක්ෂන ප්‍රායෝගික නො වේ. යථාර්ථයේ දී, වසංගතය හැල්මේ පැතිර යාම නො තකා එක්සත් ජනපදයේ දෛනික පරීක්ෂන සියයට 20ට වැඩි ප්‍රමානයකින් අඩු වී ඇත්තේ, පරීක්ෂනවල ප්‍රතිඵල ආපසු ලැබීමට දින 10ට වැඩි කාලයක් ගන්නා බව, ප්‍රමුඛ පෙලේ රෝග විනිශ්චය සමාගමක් එහි අභ්‍යන්තර ලේඛන තුල පිලිගනිද්දී ය.

එහෙත් සුපිරි ධනවතුන්ට මෙම ගැටලුව නො පවතී. “ලොස් ඇන්ජලීස්හි එක් බිලියනපතියෙක්, සමාජ මාධ්‍ය ආවරනයට ඉඩ නොලැබුනු, සුඛෝපභෝගී රාත්‍රී සාදයක් පවත්වා ඇති අතර, එහි ආරාධිතයන් මත්පැන් පානය කරන අතරතුර, එහි සිටින හෙදියක් මිනිත්තු 15ක කාලයක් කොරෝනා වෛරස් පරීක්ෂන සිදුකරමින් ඔවුන් රෝගීන් නොවන බවට තහවුරු කිරීමෙන් පසුව පමනක්, ඔවුන්ට ආහාර ගැනීමට අවසර දුන්නේ” යැයි වැනිටි ෆෙයා විස්තර කරයි.

නිව් යෝක් ටයිම්ස් පත්‍රය, ද හැම්ප්ටන්හි රැකවරන වෛද්‍ය සේවයක දී, ඉල්ලුම අනුව ක්ෂනික පරීක්ෂන සිදුකරන වෛද්‍යවරයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකල අතර ඔහු මෙසේ කීවේ ය: “ඔබ මෙම නිවස තුල දකින කිසිවක් පිටතට නිරාවරනය නො කල නොහැකි” බවට අත්සන ලබාදී “අතිශයින් පුද්ගලික සිද්ධීන් වෙත අපි ගොස් තිබෙනවා.”

කතිපාධිකාරයන් ඔවුන්ගේ බහුවිධ නිවාස අතර -සාමාන්‍ය අතිශය ධනවත් පුද්ගලයෙකුට පිට රටවල නිවාස නවයක් තිබේ- තනියෙන්, වරලත් ජෙට් යානාවලින් පියාසර කරන නිසා, ජනයා ඉතිරී ගිය ගුවන් යානා ඔවුන්ට ගැටලුවක් නො වේ. පුද්ගලික ජෙට් යානා ලියාපදිංචි කරන නෙට්ජෙට්ස් සේවය වාර්තා කරන්නේ, පසුගිය වසර පුරා ඉල්ලීම් සියයට 195කින් ඉහල ගිය බව යි.

ඒ අතර, අප්‍රේල් මාසය සමග සසඳන විට මැයි මාසයේ බෝට්ටු සඳහා ඉල්ලුම සියයට 51කින් වැඩි විය.

“බෙවර්ලි හිල්ස් හා පාලෝ ඇල්ටෝ වැනි වඩා ධනවත් ප්‍රදේශවල තනි දරුවෙකුට ඉගැන්වීම සඳහා රජයේ පාසල්වල සමහර ගුරුවරුන් ව පොලඹවා ගනු ලබන බව - මෙම පුද්ගලයා මේ සිදුවීම ‘වැඩ වරද්දා ගැනීමක්’ හා පාසල් පද්ධති මුහුන දෙන සැබෑ ප්‍රශ්නයක් බවත් සඳහන් කලේ ය- කැලිෆෝනියාවේ එක් ආන්ඩුවේ නිලධාරියෙක්” වැනිටි ෆෙයා වෙත කීවේ ය.

එක් වෛද්‍යවරයෙක් මෙසේ සඳහන් කලේ ය: “කොරෝනා වෛරසය දුගී පුද්ගලයන්ගේ වෛරසයකි. දුගී නිවහන් ප්‍රදේශවල, එකිනෙකා සමග සමීප ව ජීවත් වන හා වැඩට යාමට සිදුවන දුගී පවුල්වල එය පැතිර යාම අපි දැක ගන්නා අතර, නිසි අධ්‍යාපනයක් නො ලබන්නේ දුගී ලමුන් ය.”

අතිමහත් බහුතර ජනගහනයෙහි සෞඛ්‍යය, ආරක්ෂාව හා යහපත මුලුමනින් නො තකා හැරීමක් මගින් විලක්ෂනය කරනු ලැබ ඇති එක්සත් ජනපද ආන්ඩුව වසංගතයට දක්වා ඇති ප්‍රතිචාරයෙහි සියලු අංශවලට යටින් දිවෙන්නේ, මෙම පන්ති යථාර්ථය යි.

ට්‍රම්ප් පරිපාලනය මාස ගනනක් තිස්සේ, පරීක්ෂන හරහා වසංගතය සීමා කිරීමට කිසිදු උත්සාහයක් දැරීම හිතා මතා ම කඩාකප්පල් කලේ, එය කොටස් වෙලඳපොල මත සන්ත්‍රාසයක් ප්‍රේරනය කරතැයි බියෙනි. වසංගතය රට පුරා පැතිරෙමින් පවතී යයි පැහැදිලි වූ විට, එක්සත් ජනපද පාලක පන්තියෙහි ප්‍රතිචාරය වූයේ ප්‍රධාන සංගතවලට හා බැංකුවලට යෝධ ඇප තැබීමක් වූ අතර, එය ඩොලර් ට්‍රිලියන 6ක පමන ප්‍රමානයක් විය.

වසංගතය සීමාකිරීම සඳහා අතිශය අවම පරීක්ෂන පද්ධතියක් නිර්මානය කිරීම සඳහා ඩොලර් බිලියන 75ක් පමනක් වෙන් කරන්නැයි එක්සත් ජනපදයෙහි ප්‍රධාන ආයතනයක් මෑතක දී කැඳවුම් කලේ ය. එක් වසරක් තුල ජෙෆ් බෙසෝස් හම්බ කල මුදලටත් වඩා අඩු මෙම මුදල පවා, සෑම අවුරුද්දක ම මිලිටරිය මත ඩොලර් ට්‍රිලියනයක් වියදම් කරන රට තුලින් රැස් කරගැනීම කල නො හැක්කක් ලෙස පවතී.

පාලක පන්තියේ ධනය හා ලාභ සුරක්ෂිත වන තාක් කල්, දසදහස් ගනන් මහජනයාගේ මරන එයට ප්‍රශ්නයක් නො වේ. කතිපයාධිකාරයට එයට අවශ්‍ය සියලු පරීක්ෂන තිබෙන අතර, එය දැන් අන් කවරදාටත් වඩා ධනවත් ය. කම්කරුවන්ගේ මහා පරිමාන විරැකියාවෙහි අර්ථය වන්නේ, පහල වැටුප්, පහල ශ්‍රම පිරිවැය හා ඉහල ලාභයන් ය.

ඇප තැබීම තහවුරු කරගෙන කොටස් වෙලඳපොලවල් නගිද්දී, ඇමරිකානු කතිපයාධිකාරයේ එකම උත්සුකය වන්නේ, කම්කරුවන් පෙරලා කම්හල් වෙත කැඳවා ගැනීමත්, කම්කරු දරුවන්ගේ දෙමව්පියන්ට වැඩ මුර වෙත වාර්තා කල හැකි වන පරිදි දරුවන් පාසල්වලට ආපසු ගාල් කිරීමත් ය.

කොවිඩ්-19 ව්‍යසනය, සරල ව ට්‍රම්ප්ගේ දුර්-කලමනාකරනයෙහි ප්‍රතිඵලයක් වී ය යන ඩිමොක්‍රටිකයන්ගේ කියාපෑම ප්‍රෝඩාවකි. ඩිමොක්‍රටිකයන් නායකත්වය දෙනවා වේවා රිපබ්ලිකානුවන් නායකත්වය දෙනවා වේවා, සෑම ප්‍රාන්තයක් ම ව්‍යාපාර නියමිත කලට පෙර විවෘත කලේ, බොහෝ ප්‍රාන්ත එසේ විවෘත කිරීමට පෙර රෝග පාලන මධ්‍යස්ථානයේ උපදෙස් පවා නො තකා හරිද්දී ය. පාසල් යලි විවෘත කිරීමේ උද්ඝෝෂනයෙහි ප්‍රධාන ප්‍රකාශකයා වන්නේ, නිව් යෝක් ප්‍රාන්තයේ සියලු පාසල් යලි විවෘත කල යුතු යයි ප්‍රකාශ කොට ඇති ඇන්ඩෘ කුවෝමෝ ය.

බයිඩන් ජයග්‍රහනය කරන්නේ වේවා, ට්‍රම්ප් යලි තේරී පත්වන්නේ වේවා, මැතිවරනයෙහි ප්‍රතිඵලය කවරක් වුවත්, කම්කරු පන්තිය මුහුන දෙන ගැඹුරු ප්‍රශ්නවලට එමගින් ආමන්ත්‍රනය නො කරනු ඇත. එයට හේතුව වන්නේ, එක්සත් ජනපදයේ පාලක පන්තිය වසංගතයට දක්වන මිනීමරු ප්‍රතිචාරය, අතිමූලික ලෙස ධනවාදය තුල හා ආන්ඩුවේ පිලිවෙත අනවන පන්ති අවශ්‍යතා තුල මුල් බැස තිබීම යි.

ධනේශ්වර සමාජ පර්යායෙහි රාමුව ඇතුලත, කම්කරු පන්තියේ කිසිදු මූලික සමාජ අයිතියක් -ජීවත් වීමේ අයිතිය ද ඇතුලු ව- ආරක්ෂා කරගත නො හැක. එම සමාජ පර්යාය මුලුමනින් උගුල්ලා දමා, සමාජ අවශ්‍යතා ඉටුකරන පරිදි සමාජය තාර්කික ව සංවිධානය කිරීම හා සමාජවාදය මගින් විස්ථාපනය කල යුතු ය.

Loading