යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ සහ කම්කරුවෝ, ක්‍රියාකාරික දෙමල කතිකාචාර්යවරයා දඩයම් කිරීමට විරෝධය පලකරති

මානව හිමිකම් නීතිඥයෙකු හා මෑතක් වනතුරු යාපනය විශ්ව විද්‍යාලයෙහි නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල කුමාරවඩිවේල් ගුරුපරන් දඩයම් කිරීමට එරෙහි ව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ එම විශ්ව විද්‍යාලය තුල හා අවට උද්ඝෝෂනයක් සංවිධානය කල හ.

ගුරුපරන්

ජූලි 16 දා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ගුරුපරන් ට බලකෙරුනි. රාජ්‍ය මිලිටරියේ නියමය පරිදි, යාපනය විශ්ව විද්‍යාල කවුන්සිලය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෑතක දී ගත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරක් වන, විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටියදී  පුද්ගලික නීති වෘත්තීයේ යෙදීම තහනම් කිරීමට එරෙහි ව, ඔහු නොවැම්බර් 23දා ශ්‍රේෂ්ඨාධිකරනයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේ ය.

අට මසකට වැඩි කාලයක් තිස්සේ පෙත්සම විභාගයට නො ගැනීම හා ඔහු නීති වෘත්තියේ යෙදීමෙහි අයිතිය දිගට ම අහිමි කිරීම තවදුරටත් දරා ගැනීමට නො හැකි  වීම නිසා, තමන් ඉල්ලා අස්වීමට තීරනය කල බව සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සඳහන් කලේ ය. 

මිලිටරියෙහි මෙම මැදිහත් වීමේ අභිප්‍රාය වූයේ, මිලිටරියේ අපරාධ සහ කොලඹ පාලන තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගොනුකරන ලද නඩු කිහිපයක දී, අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් ගුරුපරන් ඉවත් කිරීම යි. මෙම නඩු අතරින් ප්‍රධාන එක වන්නේ, මිලිටරි අත්අඩංගුවේ සිටි දෙමල තරුනයන් 24 දෙනෙකු 1996 දී අතුරුදන් වීම සම්බන්ධයෙන්, යුද හමුදාපතිවරයාට හා විශ්‍රාමික මේජර් ජනරාල් ඩී. සී. කැප්පෙටිවලානට එරෙහි හබයාස් කෝපස් නඩුව යි.

ඊට අමතර ව, දෙමල ජනයා යුද්ධයේ දී මිය ගිය ඔවුන්ගේ ඥාතීන් සිහිපත් කිරීම සීමා කිරීම සහ කොලඹ ආන්ඩුවේ වර්ගවාදී පිලිවෙත් අභියෝගයට ලක්කරන නෛතික ක්‍රියාමාර්ග කිහිපයකට ම, ගුරුපරන් සිය දායකත්වය ලබා දී ඇත.

මෙය ශාස්ත්‍රාලික නිදහසට සහ නීති වෘත්තියෙහි ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරයකි. මිලිටරිය මත පාදක වන ආඥාදායක පාලන තන්ත්‍රයක් ඇටවීම දෙසට වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී වැඩපිලිවෙල මගින්, මිලිටරිය සහ ආන්ඩුව විසින් පත් කල විශ්ව විද්‍යාල බලධාරීන් දිරිමත් කරනු ලැබේ. 

පසුගිය මහ මැතිවරනය සමයේ, සමහර දෙමල දේශපාලන පක්ෂ ගුරුපරන්ට එල්ල වන ප්‍රහාරය හෙලාදුටුව ද දැන් ඔවුන් මුලුමනින් ම නිහඬ ය.

අගෝස්තු 10දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල හා දෙමල අංශයන්හි පලකරන ලද, “කුමාරවඩිවේල් ගුරුපරන් ට එරෙහි දඩයම නතර කරනු” යන හිසින් යුත් ලිපියකින්, සසප හා සසජාතශි මෙම ප්‍රහාරය හෙලා දුටුවෝ ය. මෙම ලිපිය සමාජ මාධ්‍ය තුල පුලුල් ව බෙදාහැරුනි. ගුරුපරන්ගේ දෙමල ජාතිකවාදී දේශපාලනය සමග අපට පවතින වෙනස්කම් නො තකා, සසප මෙම ප්‍රහාරය හෙලාදැක ඇත.

මිලිටරීකරනයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන මෙම උද්ඝෝෂනයෙහි කොටසක් ලෙස, අපේ සහෝදර සහෝදරියන් යාපනය විශ්ව විද්‍යාලයේ සහ රටෙහි අනෙකුත් විශ්ව විද්‍යාල කිහිපයක ශිෂ්‍යයන් හා කම්කරුවන් අතර මෙම ලිපියේ පිටපත් බෙදාහැර, ඔවුන් සමග සාකච්ඡා කොට තිබේ.

ශිෂ්‍යයෝ, කතිකාචාර්යවරු හා අනධ්‍යන සේවකයෝ, ගුරුපරන්ට එල්ල කර ඇති ප්‍රහාරයෙහි දේශපාලන අර්ථය පිලිබඳ ව උද්ඝෝෂකයන්ගේ පැහැදිලි කිරීම්වලට ඇහුම්කන් දුන් අතර, උද්‍යෝගයෙන් යුතු ව පත්‍රිකා ලබා ගත්හ. ධනේශ්වර මාධ්‍ය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු අනාවරනයක් සම්පාදනය නො කරන තතු තුල, බොහෝ ශිෂ්‍යයන් මෙම ප්‍රහාරය පිලිබඳ ව නො දැනුවත් බව පෙනෙන්නට තිබුනි.

අපේ උද්ඝෝෂකයන්ට කතා කල කතිකාචාර්යවරයෙකු වන එන්. සිවහරන්, ලෝසවෙඅ ට මෙසේ පැවසී ය: “මම ඔබලාගේ වැඩකටයුතු අගය කරනවා. මේ මර්දනය ගැන ඔබ මහජනයාට කතාකල යුතු යි. ගුරුපරන් ඔහුගේ ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නෙක්.”

විශ්ව විද්‍යාල කම්කරුවෙකු වන එස්. තංගරාජා ලෝසවෙඅ වෙත මෙසේ අදහස් දැක්වී ය: “ඔබලා කරන්නේ ශ්‍රේෂ්ඨ වැඩක්. විශ්ව විද්‍යාලයේ බොහෝ බුද්ධිමතුන් වැඩකලත්, මේ ප්‍රහාරයට විරුද්ධ ව එතරම් විරෝධයක් නැහැ. විශ්ව විද්‍යාලයේ සංවිධාන කිහිපයක් ම තිබුනත්, ඒවා ඔහුගේ ආරක්ෂාවට කිසිවක් කරලා නැහැ. ආන්ඩුවේ හා සරසවි පරිපාලනයේ ප්‍රතික්‍රියාවන් වලට හා බියවැද්දීම්වලට බිය වී බොහෝ දෙනා නිශ්ශබ්ද ව සිටිනවා. ඔබලාගේ ක්‍රියාකාරකම් ඔවුන්ට නැගී සිටීමට උද්‍යෝගයක් වේ යයි මා විශ්වාස කරනවා. උතුර හා නැගෙනහිර ඇතුලු ව රටේ බොහෝ අය මිලිටරි පාලනයකට විරුද්ධ යි.”

නම හෙලිකිරීමට අකමැති වූ විද්‍යා පීඨ ශිෂ්‍යයෙකු කීවේ: “මා දේශක ගුරුපරන්ට එරෙහි ප්‍රහාර දැඩි ලෙස හෙලාදකිනවා. මෙය නීතිඥයන්ට කතිකාචාර්යවරුන් ලෙසත්, අනෙක් අතට, කතිකාචාර්යවරුන්ට නීතිඥයන් ලෙසත් සේවය කිරීමට ඇති මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්. මගේ දැනුමට අනුව, ශ්‍රී ලංකාවේ හමුදාව විසින් මරා දමන ලද දෙමල ජනයා වෙනුවෙන් ඔහු උසාවියේ පෙනී සිටියා.

ඔහු මෙසේ ද කීවේ ය: “මිලිටරිය, ගුරුපරන්ගේ ක්‍රියාකාරකම් ගැන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පීඩනය යොදා තිබෙන නිසා තමයි යාපනය විශ්ව විද්‍යාලය ඔහුගේ නීතිඥ වෘත්තීය නවතා තිබෙන්නේ. මෙය මහජනයාට ඔවුන් තෝරා ගන්නා නීතිඥයෙකුගේ සේවාවන් ලබාගැනීමට තිබෙන ප්‍රජාතන්ත්‍ර අයිතීන් නිහීන ලෙස උල්ලංඝනය කිරීමක්.”

නම හෙලිකිරීමට අකමැති වූ කලා පීඨයේ ශිෂ්‍යාවක් මෙසේ කීවා ය: “මේ පිලිබඳ ව මට පැහැදිලි දැනුමක් තිබුනේ නැහැ. ඒත් ඔබලා සමග සාකච්ඡා කිරීමෙන් පසු මා නීති දේශකයා මුහුන දී ඇති ප්‍රශ්නය තේරුම් ගත්තා. මා මේ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයත් මේ ගැන නිශ්ශබ්ද යි. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිලිබඳ ශිෂ්‍ය සංගමය නිශ්ශබ්ද මන්දැයි මට අවබෝධ කරගන්න බැහැ.” 

Loading