වසර 25 කට පෙර: එක්සත් ජනපදය සහ නේටෝව බොස්නියාවේ සර්බියානුන්ට බෝම්බ හෙලයි

මෙම ලිපිය අගෝස්තු 24 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

බොස්නියානු ඉලක්කයකට පහර දීමෙන් පසු එක්සත් ජනපද ප්‍රහාරයක යානයක සිට ගත් ඡායාරූපයක්

බොස්නියාවේ සර්බියානු ජනාවාස ප්‍රදේශවලට එරෙහිව 1995 අගෝස්තු 30 වැනිදා, එක්සත් ජනපදය සහ නේටෝව හිතාමතාම බලය පෙන්වීමේ මෙහෙයුම Operation Deliberate Force  දියත් කලහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදු වූ විශාලතම බෝම්බ හෙලීම එම ආක්‍රමනය තුල සිදු විය.

එක්සත් ජනපද නාවික හා ගුවන් හමුදා යානා සති තුනක් පුරා බොස්නියාවට ඉහලින් වාර  2,000 කට වඩා පියාසර කරමින් ප්‍රහාර එල්ල කලේය. දින හතරක සන්සුන් කාලයකින් පසුව සැප්තැම්බර් 5 වැනිදා, පෙරටත් වඩා වැඩි තීව්‍රතාවයකින් ගුවන් ප්‍රහාර නැවත ආරම්භ විය. ආහාර හා වෛද්‍ය සැපයුම් මාර්ග වල ඇති පාලම් ද ඉලක්ක කර ගනිමින් සරයේවෝ (Sarajevo) සිට බොස්නියාව පුරා කලාප 70 ක් පුරා ආක්‍රමනය පැතිර ගියේය. ප්‍රහාර වලින් ආරක්ෂා වීමට කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට සර්බියානු මිලීෂියාව පත්  වූ අතර සොල්දාදුවන් සහ සිවිල් වැසියන් දුසිම් ගනන් ඝාතනය විය.

දැවැන්ත බෝම්බ හෙලීම සාධාරනීකරනය  සඳහා නේටෝව සහ එක්සත් ජනපදය, අගෝස්තු 28 වැනිදා සරයේවෝ නගරයේ වෙලඳපොලකට එල්ල වූ මෝටාර් ෂෙල් වෙඩි ප්‍රහාරය, නරුම ලෙස පාවිච්චි කලහ. 43 දෙනෙක් මිය ගිය එම ප්‍රහාරය සංවිධානය කලේ මුස්ලිම් නායකත්වයෙන් යුත් ආන්ඩුව විසින් ම බවද එම ප්‍රහාරයේ අරමුන, එක්සත් ජනපද මැදිහත්වීමක් අවුලුවාලීම යැයි ද බොස්නියානු සර්බියානු නායකයින් චෝදනා නැඟීය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නිගමනය කලේ, 1994 පෙබරවාරියේ සරයේවෝ හි දී සිදුවූ මෙවැනිම ෂෙල් වෙඩි ප්‍රහාරය ද මුස්ලිම් හමුදාවන්ගේ ක්‍රියාවක් බවයි.

බොස්නියානු සර්බියානුවන්ට එරෙහිව පුලුල් පරිමානයේ බෝම්බ ප්‍රහාර සඳහා උපක්‍රමික වෙනසකට, 1995 ජූලි 21 වැනිදා ලන්ඩනයේ පැවති සම්මන්ත්‍රනයකදී නේටෝ බලවතුන් එකඟ වී ඇත. රැස්වීමෙන් පසුව, සර්බියානු පාලනය යටතේ පැවති ප්‍රදේශ වල සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භට පිරිස් ඉන් ඉවත් කොට ආරක්ෂිත භූමියකට ගෙන යන ලද අතර සරයේවෝ ප්‍රදේශය වටා සිටි ප්‍රන්ස සාම සාධක භට පිරිස් බර අවි වලින් සන්නද්ධ කරන ලදී.

වැටලීම්වල නිශ්චිත වේලාව තීරනය කලේ සරයේවෝ හි තත්වය මත නොවේ. එය තීරනය වූයේ,  ඊට පෙර මාසයේදී ක්‍රොඒෂියානු හමුදාව ක්‍රජිනා කලාපය ආක්‍රමනය කොට එහි විසූ සර්බියානුවන් දෙලක්ෂ පනස් දාහක් පලවා හැරීම මගිනි. එය වනාහී 1991 දී වාර්ගික යුද්ධ පුපුරා යාමෙන් පසුව සිදු වූ විශාලතම ජනවාර්ගික පවිත්‍රකරනය (ethnic cleansing) යි. එක්සත් ජනපද ආන්ඩුවේ පූර්න සහාය ඇතිව සිදු කරන ලද එම ක්‍රියාවට නිල මාධ්‍යවලින් ද කිසිදු විවේචනයක් එල්ල නොවීය.

ක්‍රොඒෂියානු ප්‍රහාරයෙන් දින කිහිපයක් තුල බොස්නියාව බෙදීමේ නව සැලැස්මක් වොෂින්ටනය විසින්  ප්‍රකාශයට පත් කලේය. එක්සත් ජනපද තානාපතිවරු එම යෝජනාව ප්‍රධාන යුරෝපීය අගනගර වෙත රැගෙන ගියහ. බෝම්බ හෙලීමේ අරමුන, ජනවාර්ගික රේඛා ඔස්සේ යුගෝස්ලාවියාව බෙදා වෙන් කිරීම සඳහා වූ එක්සත් ජනපද සැලසුම්  බොස්නියානු සර්බියානු තන්ත්‍රයට බලහත්කාරයෙන් පිලිගැන්වීම බව, ක්ලින්ටන් පරිපාලනයේ සමහර නිලධාරීහු විවෘතව ම ප්‍රකාශ කලහ.