කැලනිය දුම්රිය පාලම අසල නිවාස සිය ගනනක් කඩා දැමීමට ආන්ඩුව සැරසෙයි

කැලනිය බියගම පාරේ දුම්රිය පාලම දෙපස ගෙවල් 130 කට වැඩි ප්‍රමානයක් දුම්රිය රක්ෂිතය තුල පිහිටා ඇති බවට නම් කරමින්, ඒවායෙන් වහාම ඉවත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව නිවැසියන්ට දැනුම් දී තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක් මගින් ඔවුන්ට දින 14 ක් ඇතුලත නිවෙස් භාර දෙන ලෙසට නියෝග කර ඇත. නිවැසියන් 15 දෙනෙකුට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති ඇති අතර පසුගිය සතියේ පැවති නඩු විභාගය, සැප්තැම්බර් 21දා තෙක් කල්දමා තිබේ. 

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තා කරුවන්ට නිවැසියන් පවසා සිටියේ පසුගිය දෙසැම්බරයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමින, දුම්රිය මාර්ගය පලල් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මේ ඉඩම් පවරා ගන්න බව දැනුම්දී ඒ පිලිබඳ දැන්වීමක්ද තම නිවෙස් ඉදිරියේ ඇලවූ බවයි. මෙහිදී සෑම නිවෙසකටම සාධාරන වන්දියක් ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇතත්, එම වන්දි ලබා දෙන ක්‍රමවේදය හෝ නිවාස ඉවත් කෙරෙන කාල රාමුව පිලිබඳ කිසිවක් සඳහන් කර නැත.

නමුත්, මාස ගනනාවක නිශ්ශබ්දතාවකින් පසුව, ජුලි මාසයේ නිවෙස් හිමියන්ට  නිකුත් කර ඇති මේ ලිපි මගින් දුම්රිය  සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ “ඔබ විසින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු, දුම්රිය රක්ෂිතයේ ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගෙන, අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බව මා වෙත වාර්තා වී ඇත” බැවින්, “වහාම එම ඉදිකිරීම සමගින් [ඉඩමෙන්] ඉවත් වන ලෙසයි.” එසේ නොකරන අයට “රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනත (1979)” යටතේ නඩු පවරන බවත් ලිපිය සඳහන් කරන අතර, ප්‍රදේශ වාසින් කියා සිටියේ එකවරකට නිවෙස් හිමියන් පහක් පමන තෝරා ගනිමින් දැන් මෙම නඩු පැවරීමේ කටයුතු සිදුවන බවයි.

කඩා දැමීමට නියමිත නිවසක හා සිල්ලර කඩයක හිමිකරුවෙකු වන විමලසිරි බන්ඩාර ප්‍රකාශ කලේ ප්‍රදේශයේ බොහෝ පවුල්, වසර 60 සිට 80 දක්වා කාලයක් මේ ඉඩම් වලම ජීවත් වී ඇති බවයි. “මේ සමහර දෙනෙකුගේ සීයලා ඉඳලා ජීවත් වෙලා තියෙන්නේ මේ ඉඩම් වල. අපි ජීවිත කාලයක් මහන්සි වෙලා තමයි මේවයේ මේ ගෙවල්, ගොඩනැගිලි හදා ගත්තේ. මෙච්චර කාලයක් අපි මේ ගෙවල් වලට බදු, ලයිට් බිල්, වතුර බිල් ගෙවලා තියනවා. අපිට ආපහු ඒ වියදම හම්බ කරන්නත් බැහැ, දැන් අපි හම්බ කරන මුදලින් මේ පැතිවල ගෙයක් තියා පොඩි ඉඩමක් වත් ගන්න බෑ. ඒ නිසා මේ ගෙවල් වල නියම වටිනා කමටම ගැලපෙන ගෙයක් හරි වන්දියක් හරි අපිට ඕනේ” යැයි ඔහු පැවසීය. 

ස්වයං-රැකියාවක නිරත, මැදිවියේ පුද්ගලයෙකු වන පියරත්න කියා සිටියේ, ප්‍රදේශයේ බොහෝ දෙනා ජීවත් වන්නේ ස්ථිර රැකියා වලින් නොව, කුඩා ව්‍යාපාර හෝ එදිනෙදා වැඩ වලින් බවයි. “අපි හුඟ දෙනෙක් හම්බ කරගන්න ස්වයං රැකියා මේ පලාතට සම්බන්ධ ඒවා, අපි අවුරුදු ගානක් ඉඳලා කරන්නේ මේ වැඩ, ෆැක්ටරි වල හරි කන්තෝරු වල වැඩ කරන අය ඉන්නේ ටික දෙනයි. එකයි අපි කියන්නේ, අපිට මේ පැත්තෙන්ම ගෙයක් ඕනේ කියලා. නැත්තම් අපිට යන එන මං නැති වෙනවා.” ඔහු තව දුරටත් කියා සිටියේ, ඉවත් කිරීමට නියමිත නිවෙස් වල දරුවන් බොහෝ දෙනෙකු ඉගෙනුම ලබන්නේද, ඉතා ආසන්නයේ ඇති කැලනිය ගුරුකුල විද්‍යාලය ඇතුලු පාසල් වල බැවින්, බොහෝ පවුල් වලට මේ පලාතෙන් පිට පදිංචිවීම විකල්පයක් නොවන බවයි. 

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට, “අනවසර පදිංචි කරුවන්” බව හදිසියේ දැන ගැනීමට ලැබී ඇත්තේ, එම පවුල් වසර 50 කටත් වඩා එම ස්ථානයන්හි ජීවත් වී ඇති තතු තුලය. ඔවුන් එම ලිපිනයන් වලට දශක ගනනාවක් වරිපනම් ඇතුලු බිල්පත් ගෙවා ඇති අතර, මැතිවරන නාමාවලි හා දරුවන් ගේ පාසල් ආදි සියලු දේ සඳහාත්  ලියා පදිංචි වී ඇත්තේද එම ලිපිනයන්ගෙනි.

තරුන වාහන කාර්මිකයෙකු වන ආර්.චමින්ද කියා සිටියේ, කොතරම් අඩුපාඩු කම් සහිතව වුවත්, වසර ගනනාවක් පුරා හරිහම්බ කරගත් දෙයින් තම අවශ්‍යතාවන්ට සරිලන ආකාරයෙන් තනාගෙන ඇති මේ නිවාස අතහැර රජයෙන් සාදා ඇති අඩු ආදායම් තට්ටු නිවාස වලට යාමට තමන්ගේ කිසිඳු කැමැත්තක් නොමැති බවයි. “අපි මේ ගෙවල් වල ගහක් කොලක් පැලයක් හදාගෙන ජීවත් වෙනවා. ෆ්ලැට් (තට්ටු නිවාස) ගැන නම් අපේ කිසිම විශ්වාසයක් නැහැ. ඒවායේ තත්වය ගැන අපි දන්නවා. ගෙවල් කුඩයි, ලිෆ්ට් කැඩිලා තට්ටු ගනන් පයින් නගින්න වෙනවා, ලමයින්ගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න තියනවා. නමුත් ආන්ඩුවෙන් දෙන වෙන විකල්පයක් නැතිනම් ඒකට හරි කැමති වෙන්න අපිට සිද්ධ වෙනවා.”

මේ කරුන සම්බන්ධයෙන් තමන් මේ වන විට දුම්රිය සාමන්‍යාධිකාරි වරයා, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර ජයකොඩි, ප්‍රවාහන හා දුම්රිය රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම හා ප්‍රවාහන අමාත්‍ය ගාමිනී ලොකුගේ ආදී නිලධාරින් හා දේශපාලනඥයින් ගනනාවක් හමුවී සාකච්ඡා කර ඇති බව ප්‍රදේශවාසීහු ලෝසවෙඅ වෙත කියා සිටියහ. ඔවුන් පැවසුවේ, මේ සියලු සාකච්ඡා වලදී තමන්ට “සාධාරනයක් ඉෂ්ට කරන” බවට පොරොන්දු ලැබුනත්, මෙතෙක් ඔවුන්ට වන්දි හෝ නිවාස ලබාදෙන ක්‍රමවේදය කුමක්දැයි දැනුම් දී නැති බවයි.

මෙහිදී, ප්‍රදේශවාසින් හා සාකච්ඡා කල ලෝසවෙඅ වාර්තා කරුවන් පැහැදිලි කලේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය දශකයක පමන කාලය තුල කොලඹ දුගී නිවාස ඉවත් කිරීමේදී ක්‍රියාත්මක කර අත්තේ, ධනපති නීති රීති හා සම්මතයන් ද නොසලකා හල සාපරාධී ක්‍රමවේදයක් බවයි. කෙටි දැනුම් දීම වලින් පසුව බලහත්කාරය යොදවා නිවාස කඩා දැමීම,  ඒ වෙනුවට සොච්චම් වන්දියක් හෝ ජීවත් වීමට කිසිසේත්ම නුසුදුසු තට්ටු නිවාසයක් ලබාදීම, හෝ එසේත් නැත්නම් කිසිඳු වන්දියක් ලබා නොදී තාවකාලික පැල්පත් වලට ගාල් කිරීම ආදිය මේ ප්‍රතිපත්තියේ මුලිකාංග බවට පත්වී ඇත.

කොලඹ දුගී ප්‍රදේශ වලින් නිවාස ඉවත් කර එම ඉඩම් පුද්ගලික ආයෝජකයන්ට පවරා දීමේ ප්‍රතිපත්තිය ආරම්භ වූයේ, ජේ.ආර්. ජයවර්ධන පාලනය යටතේ 1978දී සකස් කල “කොලඹ සංවර්ධන සැලැස්ම” තුලිනි. චන්ද්‍රිකා කුමාරතුංග පාලනය තුල, දැවැන්ත මහජන විරෝධය නොතකා, වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස සිය ගනනක් එකවර ඉවත් කරමින් “සහශ්‍රපුර” නිවාස සංකීර්නය ඇතිකිරීමෙන් මේ පිලිවෙත නව ඉහලකට ගෙනයන ලදී. 

2009 වර්ගවාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු, පෙරටත් වඩා සාහසිකත්වයකින් හමුදාව හා පොලිසිය යොදා නිවාස ඉවත් කිරීම ආරම්භ කල මහින්ද රාජපක්ෂ පාලනය, කාසල් වීදිය, වනාතමුල්ල, වැල්ලවත්ත ආදී ප්‍රදේශ වලින් පවුල් දහස් ගනනක් ඉවත් කලේ, ඔවුන්ගෙන් බොහොමයක් සේදවත්තේ කජිමා වත්ත ආදී ප්‍රදේශ වල තාවකාලික පැල්පත් වලට ගාල් කරමිනි. ඉන් සමහර පවුල් මෙතෙකුදු එම පැල්පත්වල දිවි ගෙවති.  

මෙලෙස ඉවත් කල සමහර පවුල් වලට ලබා දුන් වනාතමුල්ල “මෙත්සර පුර”, සේදවත්ත “මුවදොර උයන”, කොලොන්නාවේ “සිරිසඳ සෙවන” ආදී මහල් නිවාස සංකීර්නවල නිවාස, වර්ග-අඩි 300-400 පමන වන ඉතා කුඩා ඒවා වන අතර, වසර කීපයක් ගත වීමටත් පෙර එම ගොඩනැගිලි වල ඉරිතැලීම්, විදුලි සෝපාන බිඳ වැටීම, අපජල පද්ධති අවහිර වීම් ආදී අනේකවිධ ගැටලු මතුවී ඇත. 

2015දී පත්වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවද මේ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කරමින්, 2016දී කජීමාවත්තේ හා ඇපල් වත්තේ නිවාස සියයකට අධික ප්‍රමානයක් කඩා දැමීම, 2017 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම දඩමීමා කරගනිමින් ප්‍රදේශයේ නිවාස සිය ගනනකින් පවුල් ඉවත් කිරීම ආදී පියවර ගනනාවක් ගනු ලැබීය. 

එම ආන්ඩුවේ “මෙගාපොලිස් ව්‍යාපෘතිය” යටතේ සැලසුම් කර තිබුනේ, කොලඹ නගරයෙන් පමනක් නොව, බස්නාහිර පලාතෙන්ම දුගී නිවාස ලක්ෂයකට අධික ප්‍රමානයක් ඉවත් කිරීමටයි.

වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව එම වැඩපිලිවෙල ඉහල තීව්‍රතාවකින් ඉදිරියට ගැනීමට මාන බලයි. අගෝස්තු 5 මැතිවරන ව්‍යාපාරය තුල, අගමැති රාජපක්ෂ පුන පුනා කියා සිටියේ “කොලඹ, පැල්පත් වලින් තොර නගරයක් බවට පත් කිරීමට” තමන් කැප වන බවයි. කැලනියේ නිවාස ඉවත් කිරීමට ගෙනයන පියවර මගින් මෙය ආරම්භ කර ඇති බව පැහැදිලිය. 

ශීලාචාර ජීවිතයකට අවශ්‍ය පහසුකම් සහිත නිවාසයක් යනු මූලික සමාජ අයිතියකි. ඊනියා ධනපති නීතියට අනුව “අනවසර” ඉදිකිරීමක් හෝ කර නිවසක් තනා ගැනීමට දුගීන් තල්ලු කෙරී ඇත්තේ ධනපති ආන්ඩු එම මූලික අයිතිය සහමුලින්ම නොතකා ඇති හෙයිනි. කෙසේනමුත්, පවුලක් වසර ගනනාවක් ජීවත් වූ නිවසකින් ඔවුන් ඉවත් කරන්නේනම්, ඒ වෙනුවට ජීවත් වීමට සුදුසු, සියලු පහසුකම් සහිත නිවසක් ලැබීමට අයිතියක් මේ සෑම පවුලකටම ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය (සසප), නිවැසියන්ට අවධාරනයෙන් කියා සිටින්නේ, රාජපක්ෂ ආන්ඩුවට කන්නලවු කිරීමෙන් හෝ විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ, සමගි ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුනේ පිහිට පැතීමෙන් හෝ තම නිවාස අයිතිය ආරක්ෂා කර ගත නොහැකි බවයි. 

ඇමරිකානු ඩොලර් බිලියන් 14 කට අධික විදේශ නය ප්‍රමානයක් ඉදිරි වසර දෙක ඇතුලත ගෙවීමට, ආර්ථික අර්බුදයේ පතුලටම කිදී ඇති රාජපක්ෂ ආන්ඩුවට බලකෙරී ඇති අතර, මහජන දේපල, දේශීය හා විදේශීය ආයෝජකයින්ට විකුනා දැමීම එම නය ගෙවීම සඳහා මුදල් සොයාගැනීමේ එක් මගක් ලෙස සලකයි. 

මෙම තතු තුල, නිවාස අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් තහවුරු කල හැක්කේ, ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීම එල්ලකර ගත්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් තුලින් පමනි.  

Loading