රිපබ්ලිකන් සම්මේලනය: ෆැසිස්ට්වාදී අශික්ෂිත භාවයේ රාත්‍රීන් හතරක් ආරම්භ වේ

මෙම ලිපිය අගෝස්තු 25 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ඊයේ (අගෝස්තු 24) රාත්‍රී ආරම්භ වූ රිපබ්ලිකන් ජාතික සමුලුව, ගැඹුරු අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු පන්තිය විසින් ගත යුතු ය. මෙම සමුලුව සතුව කුදුමහත් ෆැසිස්ට් ස්වභාවයක් තිබේ. එය ඇමරිකානු ජීවිතයෙහි වඩාත් ම ප්‍රතිගාමී බලවේග ප්‍රදර්ශනය කරයි: එනම්, වර්ගවාදීන්, යුදෙව්-විරෝධීන්, උමතු ප්‍රති-කොමියුනිස්ට්වාදීන් හා මිලිටරිවාදීන් ය.

නිල දේශපාලන පද්ධතියෙහි කුනු වූ ස්වභාවය කෙතෙක් ද යත්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධකරුවන්ට රූපවාහිනියෙහි ප්‍රමුඛ විකාශන කාලයේ පැය ගනනක් වෙන් කරනු ලැබ, මහජන ජීවිතයෙහි සුජාතවත් කොටසක් ලෙස ගැඹුරින් සලකනු ලබයි. ග්‍රහලෝකය මත තිබෙන වඩාත් ම බලගතු අධිරාජ්‍යවාදී රාජ්‍යයෙහි මුදුන මත තමන්ගේ ස්ථානය ශක්තිමත් කරගැනීමේ සැබෑ විභවයක් මෙම බලයන්ට ඇත.

මාධ්‍ය සංස්ථාපිතයෙන් සුලුපහේ විරෝධයක් සහිත ව, නැතහොත් විරෝධයකින් තොර ව ම, ගුවන් තරංග හරහා සමාජවාදයට එරෙහි දෝෂ දර්ශන සහ වර්ගවාදයට හා විදෙස් භීතිකාවට කරන විවෘත ආයාචනා වමාරනු ලැබේ. උදාහරනයක් ලෙස, එක් රූපවාහිනී ජාලයක් වන ෆොක්ස්, එවන් දෘෂ්ටීන් ප්‍රචාරය කිරීමට මුලුමනින් කැපකරනු ලබන අතර, අනෙකුත් නාලිකා උදාසීන නිවැරදි කිරීම්වලට යන්තම් වැඩි දෙයක් ඉදිරිපත් කරන්නේ, හරියට දින හතරක ෆැසිස්ට්වාදී ප්‍රචාරනයට අවශ්‍ය වන්නේ, කරුනු පිරික්සා බැලීමක් පමනක් යන්න මෙනි.

සම්මේලනයෙහි ආරම්භක රාත්‍රීය, ලෝසවෙඅ හා සමාජවාදී සමානතා පක්ෂය යලි යලිත් අනතුරු අඟවා ඇති දෙය තහවුරු කරයි: එනම්, ම්ලේච්ඡ බලය හරහා විරුද්ධවාදීන් තලා දමනු ඇත්තා වූ,  ෆැසිස්ට්වාදයේ ඇමරිකානු ප්‍රතිරූපයක් වන ඒකාධිපති හා පුද්ගලවාදී ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් හා රිපබ්ලිකන් පක්ෂය උත්සාහ දරමින් සිටින බවයි.

ට්‍රම්ප්ට පැහැදිලි මැතිවරන ඉදිරිදර්ශනයක් නැත. පොලීසිය හා මිලිටරිය මෙන් ම අන්ත-දක්ෂිනාංශික පැරාමිලිටරි හමුදාවන් සිදුකරන පූර්වභංග ක්‍රියාවන් සාධාරනීකරනය කිරීම සහ සමාජවාද-විරෝධී උමතුව අවුලුවාලීම, සම්මේලනයේ මූලික ඉලක්කය වන තතු යටතේ, ඔහුගේ සම්මේලනය තුලින්මත් ප්‍රදර්ශනය වන්නේ එයයි.

මැතිවරන උද්ඝෝෂනය ඉදිරියට යද්දී, තමන්ට සහයෝගය දෙන ලෙස බහුතර ඇමරිකානු ජනතාවක් ඒත්තු ගැන්වීමට ට්‍රම්ප් අපේක්ෂා නො කරයි. 2016 දී ද ඔහු මහජන ඡන්දය ජයග්‍රහනය නො කල අතර, තනි මත විමසුමක දී පවා, ඇමරිකානු ජනයාගෙන් බහුතරයක්ගේ සහයෝගය කිසි දින ලබා නො ගනිමින් සමස්ත ධූර කාලයක් ගත කල, පලමු ඇමරිකානු ජනාධිපතිවරයා ඔහු ය.

යෝධ ප්‍රෝඩාවක් සිදු වී ඇතැයි කියන කියාපෑම් ද තැපැල් ඡන්ද මුලුමනින් කඩාකප්පල් කිරීම ද පොලීසිය, නිලධාරීන් හා සංක්‍රමනික ඒජනත්යන් ඡන්දපොලවලට බලමුලුගැන්වීම හරහා පුද්ගලික ව ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා කිරීම ද මගින් තමන්ට බලයේ යලිත් රැඳී සිටිය හැකි යයි කියාපෑ හැකි වන පරිදි, ඡන්ද ප්‍රතිඵලයෙහි අවිනිශ්චිත භාවයක් පවතින වාතාවරනයක් නිර්මානය කිරීමට ඔහු ඉලක්ක කරයි.

නොවැම්බර් 3දා ඡන්දය හමාර වීමෙන් පසු සති ගනනක් හෝ මාස ගනනක් පවා යන තෙක් එහි ප්‍රතිඵලය දැනගත නො හැකි වනු ඇතැයි ට්‍රම්ප් පසුගිය සතියේ කල ප්‍රකාශයට, කිසිදු ඩිමොක්‍රටිකයෙක් පිලිතුරු දී නැත. මෙමගින් ප්‍රදර්ශනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයෙහි දුර්වලත්වය හා නො ගැඹුරු භාවය පමනි.

මෙහි අර්ථය වන්නේ, ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී දෘෂ්ටීන්ට ඇමරිකානු ජනයා අතර පලල් සහයෝගයක් තිබෙන බව නො වේ. ඊට විපරීත ව, විශේෂයෙන් ම කම්කරුවන් හා තරුනයන් අතර රැල්ල පවතින්නේ වමට ය. එහෙත්, ඩිමොක්‍රටික් පක්ෂය විකල්පයක් නො වේ ය යන්නත්, එය වැඩකරන ජනයාට කිසිවක් ඉදිරිපත් නො කරන බවත් පිලිබඳ ව පලල් ව පැතිරුනු හා මුලුමනින් ම සාධාරන හැඟීමක් පවතී.

එක්සත් ජනපදයේ පුද්ගලයන් මිලියන හයකට ආසාදනය වී 180,000ට අධික පිරිසක් මරා දමා ඇති කොරෝනා වෛරස් වසංගතයට, ට්‍රම්ප් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා ඇතැයි යන රිපබ්ලිකානු සම්මේලනයේ මහා බොරුව, මිලියන ගනන් වැඩකරන ජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. එක්සත් ජනපදය තුල සිටින්නේ ලෝක ජනගහනයෙන් සියයට හතරක් වුව ද කොවිඩ්-19 ආසාදනවලින් සියයට 25කට හා මරනවලින් සියයට 23කට එය වග කියයි. ට්‍රම්ප් පරිපාලනය හා ඇමරිකානු පාලක පන්තිය, වසංගතයට දක්වා ඇති අකාර්යක්ෂම, දූෂිත හා උදාසීන ප්‍රතිචාරය මගින් ප්‍රදර්ශනය කර ඇත්තේ, ඇමරිකානු ධනවාදයෙහි පරිපූර්න අසමර්ථතාව යි.

වැඩකරන ජනයා මුහුන දෙන අන්තරාය පැමිනෙන්නේ, ට්‍රම්ප් කඳවුරෙහි නෛසර්ගික ශක්තියෙන් නො ව, වසංගතය විසින් ප්‍රේරනය කරන ලදුව පහලින් පැමිනෙන ගුරුවරුන්, මෝටර් රථ කම්කරුවන්, ගබඩා හා සැපයුම් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා වැඩ නැවැත්වීම් ද පොලිස් ප්‍රචන්ඩත්වයට හා වර්ගවාදයට එරෙහි යෝධ හා පෙර නුවූ විරූ මහජන විරෝධතා ද යන ධවල මන්දිරයෙහි මුසෝලිනි විය හැකි පුද්ගලයාට මුහන දීමට සිදුවන සැබෑ විරෝධය මර්දනය කිරීමට උත්සාහ දරන ඩිමොක්‍රටික් පක්ෂයෙහි කමකට නැතිකමිනි.

ට්‍රම්ප් පියවර තබමින් සිටින්නේ ඒකාධිපති පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට බව ප්‍රකාශ කරමින්, ඊට එරෙහි ව ඇමරිකානු මහජනයාට ආමන්ත්‍රනය කරනු වෙනුවට, ඩිමොක්‍රටිකයන් උත්සාහ දරන්නේ, රිපබ්ලිකන් පක්ෂයේ ම කොටස්, එනම්, ජෝ බයිඩන් හා කමලා හැරිස් ව යෝජනා කරන ලද සම්මේලනය ඉදිරියෙහි පෙනී සිටි හිටපු ආන්ඩුකාරවරුන්, සෙනෙට් සභිකයන් හා මිලිටරි-ඔත්තු සේවා මෙහෙයුම්කරුවන් සන්තර්පනය කිරීමට ය.

ඒ අතර ම, නිරන්තරයෙන් පන්තියට එරෙහි ව වර්ගය පිහිටුවමින් සහ ධනවාදයේ හා ධනපති රාජ්‍යයේ නිෂ්පාදිතයක් වන වාර්ගික වෙනස්කම් කිරීම්වලට හා ප්‍රචන්ඩත්වයට සුදු ජාතිකයන්ට වරද පටවමින්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට ඩිමොක්‍රටිකයෝ උත්සාහ දරති. කොරෝනා වෛරස් වසංගතයෙහි බලපෑමේ හා එය විසින් ප්‍රේරිත ආර්ථික බිඳවැටීමේ කොන්දේසි යටතේ, තම රැකියා හා ජීවන තත්ත්වයන් විනාශ වීමට මුහුන දෙන සුදු කම්කරුවන්ට ආයාචනා කිරීමට, වාර්ගික හා ලිංගිකත්ව අනන්‍යතාව මත කරන මෙම අවධාරනය, යථාර්ථයේ දී ට්‍රම්ප්ට හා අන්ත-දක්ෂිනාංශයට මාවතක් විවෘත කරයි.

2016 දී ට්‍රම්ප් ජනාධිපතිවරනය ජයග්‍රහනය කලේ, ඔබාමා-බයිඩන් පරිපාලනයෙහි වසර අට තුල, විශේෂයෙන් ම රැකියා හා වැටුප් විනාශ කිරීමෙහි නාභීය ලක්ෂ්‍යය වූ කාර්මික මැද බටහිර ප්‍රදේශයේ කම්කරු පන්තියට, ඩිමොක්‍රටික් පක්ෂය විසින් එහි හතුරුකම ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි.

හුදෙක් ග්‍රාමීය හා සුලු නාගරික කම්කරු-පන්තික ප්‍රදේශවල පමනක් නො ව, මිලවුකී, ඩිට්‍රොයිට් හා ෆිලඩෙල්ෆියා යන අභ්‍යන්තර-නාගරික නිවහන් ප්‍රදේශවල ද ඩිමොක්‍රටික් ඡන්ද ඇදවැටුනේ, ට්‍රම්ප්ට විස්කොන්සින්, මිචිගන් හා පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත සමගින් ධවල මන්දිරය ද හිමිකර දෙමිනි.

දක්ෂිනාංශික බයිඩන්-හැරිස් අපේක්ෂකයන් යෝජනා කරමින්, ඩිමොක්‍රටික් පක්ෂය 2020 මැතිවරනයට 2016 මූලෝපාය මත ම තරඟ වදින්නේ, කම්කරු පන්තියට ආයාචනා නො කරමින් සහ වෝල් වීදියේ හා මිලිටරි-ඔත්තු සේවා යාන්ත්‍රනයේ මනාප ලත් පක්ෂය ලෙස එහි තත්ත්වය වැඩිදුර ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමිනි.

සම්මේලනයෙන් පසුව පලමු ඒකාබද්ධ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්, ජෝ බයිඩන් හා කමලා හැරිස් සිකුරාදා රාත්‍රීයේ ඒබීසී නිවුස්හි පෙනී සිටිය හ. පැයකට ආසන්න කාලයක් ගතවුනු සාකච්ඡාවේ දී ඔවුහු, දුගී භාවය, බඩගින්න, නිවාස නැති කම හෝ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් දොට්ට දමන ලද මිලියන 28ක් වන කම්කරුවන්ට මධ්‍යම ආන්ඩුවෙන් ලබාදුන් සතියකට ඩොලර් 600ක් වන විරැකියා ප්‍රතිලාභය කප්පාදු කිරීම ගැන සඳහන් කලේ නැත. 

සෑම වර්ගයක ම හා ලිංගිකත්වයක ම වැඩකරන ජනයා මිලියන ගනනක් එකමුතු කරනු ලබන ආර්ථික ව්‍යසනය නො තකා හරිමින්, ඩිමොක්‍රටිකයන් කටයුතු කරන්නේ, වසංගතයෙන් 200,000ට ආසන්න මියගොස් ඇති හා මිලියන 28ක් දෙනා රැකියා විරහිත වන රටක් තුල, ගැඹුරු අර්බුදයක් නැතිවාක් මෙනි. ට්‍රම්ප්ට වැඩපිලිවෙලක් තිබේ- එනම්, ෆැසිස්ට් විධික්‍රම යොදාගනිමින් සමාජ ප්‍රතිඝතිකතා බලහත්කාරයෙන් මර්දනය කිරීම යි. වඩා “විවිධත්වයෙන් යුත්” පාලකයන් තෝරා පත්කරගෙන පහර දුනහොත්, ධනවාදයෙහි සන්ත්‍රාසයන් වඩා දරාගත හැකි බවට පත් කල හැකි බව ප්‍රකාශ කිරීම හැරුනු කොට, ඩිමොක්‍රටිකයන්ට වැඩපිලිවෙලක් නැත.

ට්‍රම්ප්ට හා ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය පිලිබඳ ව සමාජවාදී සමානතා පක්ෂය බැරෑරුම් ආකල්පයක් ගනියි. එම කාරනය නිසා ම, ඩිමොක්‍රටික් පක්ෂයේ පිලිවෙතත්, අනන්‍යතා දේශපාලනයේ ලිබරල් අද්වකාත්වරුන්ගේ සිට දූෂිත වෘත්තීය සමිති හා ව්‍යාජ-වමේ හිටපු රැඩිකලුන් දක්වා වන එහි සියලු දේශපාලන ක්ෂමාලාපකයන්ට අපි එකහෙලා විරුද්ධ වන අතර ඔවුන් ව ප්‍රතික්ෂේප කරන්නෙමු. සමාජයෙහි වඩාත් ම බලගතු බලවේගය වන කම්කරු පන්තිය, පන්ති පදනමකින් බලමුලුගන්වන සමාජවාදී ක්‍රියාමාර්ගයකින් තොර ව, ට්‍රම්ප්ට එරෙහි ව සටන් වැදිය නො හැක.

ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍ය දර්ශකය, එස්ඇන්ඩ්පී 500 හා නැස්ඩැක් දර්ශකවල නැගීමට ට්‍රම්ප් නිරන්තරයෙන් අවධානය යොමු කරයි. මේ අර්ථයෙන් ගත් කල, ඔහු අවංකය. වෝල් වීදියේ අවශ්‍යතාවන්ට අනුව ඔහු රට මෙහෙයවා ඇත. ඩිමොක්‍රටිකයන් ද එම පදනම ම නියෝජනය කරතත්, මෙම සත්‍යය කම්කරු පන්තියෙන් වසං කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ, බයිඩන්ගේ උද්ඝෝෂන පෙට්ටගම්වලට මහා බැංකු හා ව්‍යාපාර වස්තුවල මුදල් ගලා එද්දී ය.

ඩිමොක්‍රටික් පක්ෂයෙහි සාරභූත භූමිකාව වන්නේ ධනවාදයට එරෙහි සමාජ විරෝධයේ හුස්ම හිරකිරීම යි. ට්‍රම්ප් කෙරෙහි ඔවුන්ට පවතින සමස්ත විරුද්ධත්වය තිබෙන්නේ, එය වෝල් වීදියේ සමාජ අවශ්‍යතා සමග නො ගැටෙන තාක් දුරට ය. එහෙත්, ට්‍රම්ප් වඩාත් ම දූෂිත හා ප්‍රතිගාමී නියෝජිතයා වන මූල්‍ය කතිපයාධිකාරයට හා ට්‍රම්ප් ට ම එරෙහි සැබෑ අරගලයකට පදනම සම්පාදනය කල හැක්කේ, ධනවාදයට එරෙහි ව කම්කරු පන්තිය විසින් මතු කරන ව්‍යාපාරයට පමනි.