ශ්‍රී ලංකාවේ සසප සිය ආරක්ෂක උද්ඝෝෂනයට සහායදුන් අයට ස්තුති කරයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප), අගෝස්තු 5 මහ මැතිවරනයේ දී යාපනය දිස්ත්‍රික්කයට ඉදිරිපත්වූ තම පක්ෂයේ අපේක්ෂකයන්ට මිලිටරිය විසින් සිදුකරන හිරිහැර නතර කරන ලෙස පසුගිය දෙමස පුරා ගෙනගිය ආරක්ෂක උද්ඝෝෂනය නිමා කිරීමට තීරනය කර තිබේ. මෙම වැදගත් උද්ඝෝෂනයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සහයෝගය දුන් සැමට සසප දේශපාලන කමිටුව ස්තූතිය පලකරයි.

ජූනි 30 දින සසප, පහත දැක්වෙන ප්‍රකාශය නිකුත් කලේය. “ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන්ට අත නොතබනු:  උතුරේ සිය මැතිවරන අපේක්ෂකයන්ට හමුදාව සිදුකරන හිරිහැර  නවත්වන ලෙස සසප ඉල්ලයි.” එසේම පක්ෂය, මිලිටරියේ කටයුතු හෙලිදරව් කිරීමට හා ව්‍යර්ථ කිරීමට ක්ෂනික ජනතා සහය ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ( ලෝසවෙඅ ) පාඨකයින් සහ ආධාරකරුවන් - කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන්, කලාකරුවන් - විසින්, මිලිටරිය සසප සාමාජිකයින්ට කරන හිරිහැර නතර කරන ලෙස ඉල්ලා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න වෙත ලිපි දුසිම් ගනනක් යවනු ලැබින. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නෝර්වේ සහ කැනඩාව ඇතුලු රටවලින් 250 ක් පමන පිරිසක් සසප අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබූහ. මෙරට වරාය, දුම්රිය හා වාරිමාර්ග කම්කරුවෝ මෙන්ම ධීවරයෝ, ගොවියෝ, ශිෂ්‍යයෝ සහ තරුනයෝ ද පෙත්සම අත්සන් කලහ.

සසප, මිලිටරි හිරිහැරකිරීමට එරෙහිව මාධ්‍ය හමුවක් පවත්වයි

 

උද්ඝෝෂනය දියත් කරනු ලැබුවේ, හමුදා බුද්ධි අංශ නිලධාරීන් කයිට්ස් හි සසප අපේක්ෂක රසෙන්තිරාම් සුදර්සන්, කරෙයිනගර්හි හි පරමු තිරුඥානසම්බන්දර් සහ යාපනයේ රාජරත්නම් රාජවේල් යන අයගේ නිවෙස් වලට පිලිවෙලින් මැයි 16, ජුනි 16 සහ 23 යන දිනවල පැමිනීමෙන් අනතුරුව ය. තමන් පැමිනියේ සිය උසස් නිලධාරීන්ගේ උපදෙස් අනුව යයි පවසමින් මෙම නිලධාරීහු, සසප අපේක්ෂකයින්ගේ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටියහ. ඔවුහු රාජවේල්ගේ ඡායාරූප ගැනීමට පවා උත්සාහ කලහ.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ජුලි 1 වන දින තොරතුරු රැස් කිරීම සඳහා පූනාකරි හි කිරාන්චිවල පිහිටි තවත් සසප අපේක්ෂකයෙකු වූ රාජරත්නම් තිරුඥානවේල්ගේ නිවසට ද පැමිනියේය. දින කිහිපයකට පසු පොලිසිය රාජරත්නම් බාලගව්රිට සිය පොලිස් ස්ථානයට පැමිනෙන ලෙස නියෝග කලේය.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හෙලා දකිමින් පහත සඳහන් ප්‍රශ්නවලට පිලිතුරු ඉල්ලා, සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් ජූනි 20 වන දින ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න වෙත ලිපියක් යැවීය: සසප සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීමට උපදෙස් දුන්නේ සහ බලය පැවරුවේ කවුද? හමුදාව මෙම පුද්ගලික තොරතුරු එකතු කිරීමේ අරමුන කුමක් ද? දේශපාලන විරුද්ධවාදීන් දඩයම සඳහා ආන්ඩුවේ සහයෝගය පෙන්නුම් කරමින් ආරක්ෂක ලේකම් ගුනරත්න දැඩි නිහඬතාවක් පවත්වාගෙන ගියේය.

සසප උද්ඝෝෂනයට ප්‍රතිචාර වශයෙන්, නමුත් පක්ෂය නම් නොකර, හමුදා නායක ශවේන්ද්‍ර සිල්වා, ජූලි මස මුලදී මාධ්‍ය වෙත පැවසුවේ, දෙමල දේශපාලනඥයින් සහ අපේක්ෂකයින් “කිසිදු සාක්ෂියක් නොමැතිව සොල්දාදුවන්ට එරෙහිව බොරු චෝදනා නගමින් සිටින” බවයි.

සිල්වා මෙම සනාථ නොකල ප්‍රකාශය කලේ, සසප ප්‍රධාන ලේකම් ඩයස් හා පක්ෂ ප්‍රකාශයෙන් ලබා දී තිබුන සවිස්තර තොරතුරු නොසලකා හරිමින් ය. ඒ අතරම සිල්වා, උතුරේ සියලුම මැතිවරන අපේක්ෂකයින්ට එරෙහිව සියුම් තර්ජනයක් කරමින් කියා සිටියේ, “දෙමල දේශපාලනඥයින් වගකීමෙන් කටයුතු කල යුතු” බවයි.

මැතිවරන කොමිෂන් සභාවේ සභාපතිවරයාට ද පිටපත් කරන ලද ඩයස්ගේ ලිපියට ප්‍රතිචාර වශයෙන් එහි යාපනය කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙක්, සසප අපේක්ෂකයින් වන තිරුඥානසම්බන්දර්, රාජවේල් සහ සුදර්සන් හමුවී  ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්හ. කෙසේ වෙතත්, මැතිවරන කාර්යාලය මේ සම්බන්ධයෙන් හමුදාව සමඟ සාකච්ඡා කල බවට කිසිදු සාක්ෂියක් නොමැත.

මතුපිටින් පෙනී යන්නේ මිලිටරි බුද්ධි අංශ සසපට එරෙහි ක්‍රියාවන් නොකඩවා කරගෙන ගොස් නොමැති බවයි. එහෙත් ජනතාවගේ සහ ඔවුන්ගේ සංවිධානවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඬීමට මිලිටරිය කටයුතු කරන ආකාරය සසප හොඳින් දනී. කම්කරු පන්තිය ප්‍රවේසම් විය යුතුය.

උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම සඳහා ගෙනයන අඛන්ඩ උද්ඝෝෂනය සහ දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා වූ පුළුල් අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා වන අරගලය තුල, සිංහල-දෙමල-මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමේ පක්ෂයේ අධිෂ්ඨානශීලී උද්ඝෝෂනය හේතුවෙන්, සසප පමනක් විශේෂ කරගෙන මෙම රාජ්‍ය හිරිහැර සිදුකෙරී ඇත. 

කොලඹ කුරිරු වර්ගවාදී යුද්ධයට දැඩි ලෙස විරුද්ධ වන අතරම, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට නිරන්තරයෙන් විරුද්ධ වූ එකම සංවිධානය සසප සහ එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනි. එල්ටීටීඊයට එරෙහි යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් වූයේ, දසදහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කරමින් හා වෙනත් යුද අපරාධ සමගිනි.

අපගේ අපේක්ෂකයින්ට එල්ලවූ මිලිටරි හිංසනයට එරෙහි සසප ආරක්ෂක උද්ඝෝෂනය, සියලු වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පක්ෂය ගෙන යන පුළුල් අරගලයේ කොටසකි. ලෝසවෙඅ හරහා අප කල මැදිහත්වීම, මෙරට සහ ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවතින අන්තරායකාරී දේශපාලන තත්වය පිලිබඳව කම්කරුවන්, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අගය කරන සියලු දෙනා දැනුවත් කිරීමේ ව්‍යායාමයකි.

COVID-19 වසංගතය මධ්‍යයේ වේගවත් කෙරී ඇති සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහි ඉහල නඟින ප්‍රහාර කෙරෙහි  කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිරෝධය ගැන බියෙන් සෑම තැනකම පාලක පන්ති, ඒකාධිපති හා ෆැසිස්ට් පාලන ක්‍රම දෙසට හැරෙමින් සිටිති.

අගෝස්තු 5 මහ මැතිවරනයෙන් විශාල පාර්ලිමේන්තු බහුතරයක් ඇතිව සිය පාලනය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, සිය විධායක බලතල වැඩි කර ගැනීම පිනිස ව්‍යවස්ථා සංශෝධන ඇති කරමින්, තම පරිපාලනය මිලිටරීකරනය සදහා තල්ලු වෙමින් සිටියි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන, සමගි ජන බලවේගය හා දෙමල ජාතික සන්ධානය යන විරුද්ධ පක්ෂ මෙම පියවරයන්ට විරුද්ධ වී නැත.

මෙම වාතාවරනය හමුවේ කම්කරුවන් සහ තරුනයින්, අගෝස්තු 25 සසප ප්‍රකාශය බැරෑරුම් ලෙස අධ්‍යයනය කල යුතුය. එය තුල අප පැවසුවේ:

“වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව පූර්න පරිමානයේ ප්‍රහාරයක් දියත් කරන තතු හමුවේ, කම්කරුවන් හා තරුනයින් සැබෑ අන්තරායන්ට මුහුන දී සිටින බවට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. ඕනෑම විරෝධයක් මර්දනය කිරීම සඳහා තිරිසන් බලය යෙදවීමට හා පොලිස් රාජ්‍ය පියවර ගැනීමට එය පසුබට නොවනු ඇත. කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන පන්ති මූලෝපාය මත පිහිටා මෙම අනතුරට එරෙහිව සටන් කිරීමට සූදානම් විය යුතුය. ”