ඉදිරිදර්ශන

රිපබ්ලිකානු ජාතික සම්මේලනය: බියට පත් පාලක පන්තියක් ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය උසිගන්වයි

මෙම ලිපිය අගෝස්තු 27වනදා ඉංග්රීසි බසින් පලවිය

රිපබ්ලිකානු ජාතික සම්මේලනය ඊයේ රාත්‍රියේ තෙවන දිනය නිමා කලේ එහි කථිකයින්ගේ එකා පසුපස එකෙක් වශයෙන් පොලිසියට සහ හමුදාවට නිමක් නැති උපහාර දක්වමින් සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා කලහකාරීන් සහ අරාජිකවාදීන් ලෙස හෙළා දකිමිනි.

සම්මේලනයේ වාචික ප්‍රචණ්ඩත්වයට විස්කොන්සින් හි සහ කෙනෝෂා හි දිග හැරෙමින් පැවතුනු ශාරීරික හිංසනය අනුපූරක විය. මෙහිදී ෆැසිස්ට් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබූ ජනතාව පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය පල කරමින් සිටියේ 29 හැවිරිදි ජේකොබ් බ්ලේක්ට පොලිස් වෙඩි තැබීමෙන් පසුව යි.

තුවක්කුකරු වූ 17 හැවිරිදි කයිල් හොවාර්ඩ් රිටන්හවුස්, දෙදෙනෙකු ඝාතනය කර, තුන්වැන්නාට බරපතල තුවාල සිදු කල අතර, පසුව ඔහුට සිය ආයුධ රැගෙන පොලිස් බාධක වැට පසුකර ගොස් ඉලිනොයිස් හි පිහිටි සිය නිවසට ආපසු යාමට පොලිසිය අවසර දුන්හ. පසුව එහිදී ඔහුව අත්අඩංගුවට ගැනුනි.

රිටන්හවුස් යනු ජනවාරි 30 වන දින අයෝවා හි ඩෙස් මොයින්ස් හි පැවති මැතිවරන රැලියකට සහභාගී වූ ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකි. ඔහු ජනාධිපතිවරයාට අඩි කිහිපයක් ඈතින් ඉදිරිපස පේලියේ වාඩි වී සිටින අයුරු වීඩියෝවෙන් දැකගත හැකිය. ඔහු උත්සවය පිලිබඳ ටික්ටොක් වීඩියෝවක් පල කලේය. අන්ත දක්ෂිනාංශික පැරාමිලිටරි කන්ඩායමක් වන කෙනෝෂා ගාඩ් විසින් දක්ෂිනාංශික තුවක්කුකරුවන්ට නගරයට පැමින විරෝධතාකරුවන්ට එරෙහිව පොලීසිය ශක්තිමත් කරන ලෙස ඉල්ලිමක් කල විට ප්‍රතිචාර දැක්වූ විශාල පිරිස අතරින් රිටන්හවුස් යනු එක් අයෙකු පමනි.

ධවල මන්දිරයේ සිට රිටන්හවුස් විසින් අහිංසක මිනිසුන්ට වෙඩි තැබුනු කෙනෝෂා හි ඉන්ධන පිරවුම්හල දක්වා සෘජු සම්බන්ධතා දාමයක් ඇත. මැයි 25 වන දින පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් පසු විරෝධතා  ආරම්භයේ පටන්, විරෝධතාකරුවන්ට එරෙහිව සහ පොලීසියට සහාය දැක්වීම සඳහා ට්‍රම්ප් විසින් නිරන්තරයෙන් කරන ලද වාචාල කතාවලට සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය අතරතුරදී දකුනු ප්‍රාන්තවල නායකයින් විසින් ප්‍රථම වරට භාවිතා කෙරුනු කුප්‍රකට ජාතිවාදී සටන් පාඨය ට්වීට් පනිවිඩයක නැවත ඇතුලත් කෙරිනි. මෙම පාඨය නම් “කොල්ලය ආරම්භ වූ විට, වෙඩි තැබීම ආරම්භ වේ” යන්නයි. රිටන්හවුස් මෙම වචන ක්‍රියාත්මක කරයි.

පෝට්ලන්ඩ් සහ සියැටල් ඇතුලු අරාජිකත්වය මුදා හරින් ලැබ ඇතැයි බව කියනු ලබන ඩිමොක්‍රටිකයින් විසින් පාලනය කෙරෙන නගර ලැයිස්තුවකට බදාදා රාත්‍රියේ සිය කතාවේදී උප ජනාධිපති මයික් පෙන්ස් කෙනෝෂාව ඇතුලත් කල අතර ඔහු ට්‍රම්ප් ගැති ෆැසිස්ට්වාදියෙකු විසින් විරෝධතාකරුවන් ඝාතනය කිරීම ගැන කිසිවක් කීවේ නැත.

පැය දෙකහමාරක කාලය තුල එකුදු සම්මේලන කථිකයෙකුවත් කෙනෝෂා හි සිදුවීම් පිලිබඳව මතු කලේවත් හෝ රිටන්හවුස් විසින් සිදු කරන ලද ක්‍රියාව පිලිබඳව සුලු කනගාටුවක්වත් හෝ කනස්සල්ලක්වත් හෝ ප්‍රකාශ කලේ නැත. බදාදා උදෑසන වනවිට ඔහුගේ නම සොයාගෙන තිබූ අතර, සම්මේලනය සැසිවාරය රාත්‍රී 8.30 ට ආරම්භ වීමට පෙර, ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු ලෙස ඔහුගේ අනන්‍යතාවය නිසැකවම දැනගනු ලැබ තිබින.

මෙම සාමූහික නිශ්ශබ්දතාව ඔවුන්ගේ එකඟතාවය සංඥා කරයි: රිපබ්ලිකානු පක්ෂය පොලිස් කෲරත්වයට සහ වෙනත් ආකාරයේ පීඩාවන්ට එරෙහිව විරෝධය දක්වන අයට එරෙහිව නීතිය අතටගත් මැරයින්ගේ ප්‍රචන්ඩත්වයේ පක්ෂයක් බවට පත්ව ඇත. මෙය දැනටමත් පෙන්නුම් කෙරිනු අවස්ථාවක් වූයේ ශාන්ත ලුවිස් හි බ්ලැක් ලයිව්ස් මැටර්  විරෝධතාකරුවන්ට ආයුධ අමෝරාගත් ධනවත් මැර යුවලක් වන මාක් සහ පැට්‍රීෂියා මැක්ලොස්කි සඳුදා සම්මේලනය ඇමතීමයි. [කලු ජාතික] ආක්‍රමනිකයන්ට එරෙහිව තදාසන්න ප්‍රදේශවල ආරක්ෂකයා ලෙස ඔවූහු ට්‍රම්ප්ට ප්‍රශංසා කලහ.

ෆැසිස්ට් ව්‍යාපාරයක් සඳහා පදනම නිර්මානය කිරීමට ධනේශ්වරයේ වඩාත් ප්‍රතිගාමී කොටස් වෙත නැඹුරු වීම සඳහා වන තල්ලුව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශ වෙයි. එවැනි ව්‍යාපාරයක් සඳහා දැන් විශාල සමාජ පදනමක් නොමැති නමුත් ට්‍රම්ප් සිය ආයාචනය කරන්නේ පොලීසියට සහ දේශසීමා මුර සංචාරය සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ බලකාය වැනි මර්දනකාරී අනෙකුත් පෙරටුගාමී නියෝජිතයින්ට ද, හමුදාවේ කොටස්වලට ද සහ වර්ගවාදය, සංක්‍රමන-විරෝධී ආධානග්‍රාහීත්වය සහ කොමියුනිස්ට් විරෝධී පදනම මත බලමුලු ගැන්වූ අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් කන්ඩායම්වලටයි.

පලමු කථිකයා විසින්, “අපගේ ජීවන රටාව, අපේ අසල්වැසි ප්‍රදේශ, පාසල්, පල්ලි සහ සාරධර්ම විනාශ කිරීමට උත්සාහ කරන පලිගැනීමේ කලහකාරී පිරිසට” එරෙහිව නැගී සිටිමින් “බටහිර ශිෂ්ඨාචාරයේ මුරදේවතාව” ලෙස ට්‍රම්ප්ව නම් කල ආරම්භක මොහොතේ පටන් සම්මේලනය ෆැසිස්ට් ස්වරය අත් කර ගති. හිට්ලර්ගේ නිවාඩු නිකේතනයක් වන ඊගල්ස් නෙස්ට් වෙත ගොස් ඇති බවත්, “එම නායකයා (the Führer හෙවත් හිට්ලර්ගේ අන්වර්ථ නාමය) භාවිතා කල ස්ථානය දැකබලා ගැනීම “සිය අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ ලැයිස්තුවේ”  තිබී ඇති බව සමාජ මාධ්‍යවල පල කර ඇති බවත් වාර්තා වී තිබියදීත්, කොන්ග්‍රස් අපේක්ෂක මැඩිසන් කැවෝර්න් බදාදා සම්මේලනය ඇමතීය.

අද පුවත්පත් වාර්තා වලට අනුව, ට්‍රම්ප් සිය පිලිගැනීමේ කතාව පවත්වන දිනයේදී ෆැසිස්ට්ගැති ක්‍යුඒනන් (QAnon) ඔන්ලයින් කුමන්ත්‍රන න්‍යායේ විවෘත ආධාරකරුවෙකු වන රිපබ්ලිකානු කොන්ග්‍රස් අපේක්ෂක මාර්ජෝරි ටේලර් ග්‍රීන් අමුත්තෙකු ලෙස ධවල මන්දිරයට ආරාධනා ලැබීමට නියමිතය. ජෝර්ජියාවේ 14 වන කොන්ග්‍රස් මාන්ඩලික දිස්ත්‍රික්කය සඳහා රිපබ්ලිකානු ප්‍රාන්ත ප්‍රාථමික ඡන්දය ජයග්‍රහනය කල ග්‍රීන්, ප්‍රභල රිපබ්ලිකානු දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මහ මැතිවරනයෙන් ජයග්‍රහනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රිපබ්ලිකානු සම්මේලනය යනු උන්මත්තකයින්, පන්දම්කාරයින්, මුදල් රැස්කරන්නන් සහ පරිපූර්න ෆැසිස්ට්වාදීන්ගෙන් සැදුම්ලත් පිලිකුල්සහගත සමූහයක් වන නමුත් එම කරුන එය නියෝජනය කරන අන්තරාය අඩු නොකරයි. ඇමරිකානු ධනවාදයේ නිල දේශපාලන ක්‍රමයෙන් අඩක් වන ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකක්, ඇමරිකාවේ ආඥාදායක පාලන ක්‍රම ස්ථාපිත කිරීම සඳහා ෆැසිස්ට් ව්‍යාපාරයක් උසිගැන්වීමට උත්සාහ කරන ජනාධිපතිවරයෙකුගේ අභිමතයට ඉඩ හැර තැබීම කැපී පෙනෙන හා අනතුරු හඟවන වර්ධනයකි.

අන්තරාය පැන නගින්නේ ට්‍රම්ප් නියෝජනය කරන හා ආයාචනා කරන සමාජ බලවේගයන්ගේ සහජ ශක්තියෙන් නොව, කම්කරු පන්තියේ අරගල අවහිර කරමින් ඒවා මර්දනය කරන ඩිමොක්‍රටික් පක්ෂයේ සහ මධ්‍යම පන්තියේ “වමේ” මෙන්ම සංගත පාලිත වෘත්තීය සමිතිවල භූමිකාවෙනි.

සිය සියලු දේශපාලන මෙහෙයුම් වලදී ට්‍රම්ප් උත්සාහ කරන්නේ ප්‍රතිවිරුද්ධ ධනේශ්වර සමාජ උත්සුකයන් තුල මුල් බැස ඇති පක්ෂයේ බංකොලොත්භාවයෙන් ප්‍රයෝජන ගැනීමට ය. ඩිමොක්‍රටික් පක්ෂය යනු ධනවාදී පක්ෂයක් වන අතර එය මූල්‍ය වංශාධිපතියන් පොහොසත් කිරීම සඳහා කැපවී ඇති අතර සමහර විට වාර්ගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ භේදය නොතකා සමාන ලෙස සමාජයේ ඉහලම සියයට එක තුල ධනය බෙදා හැරීමේ සාධාරනත්වය ගැන පැමිනිලි කලද ඔවුහු ලාභ ක්‍රමයේ මූලික ව්‍යුහයට අභියෝග නොකරති.

2016 දී ට්‍රම්ප් විසින් පරාජය කරන ලද ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විසින් කරන ලද අසාමාන්‍ය අදහස් දැක්වීම්වලින් ට්‍රම්ප්ට එරෙහි “විරුද්ධත්වයේ” සැබෑ ස්වභාවය ප්‍රකාශ විය. පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවකදී ඇය 2020 ඩිමොක්‍රටික් අපේක්ෂකයාට උපදෙස් දුන්නේ නොවැම්බර් 3 දා ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ආසන්න වන්නේ නම් [සටන] නිසි කලට පෙර අත් නොහරින ලෙසයි. "ජෝ බිඩෙන් කිසිදු තත්වයක් යටතේ අත් නොහල යුතුය, මන්ද මෙය දිග්ගැසෙනු ඇතැයි මම සිතමි. අවසානයේදී මම විශ්වාස කරන්නේ අපි අඟලක් ලබා නොදුනහොත් සහ අනෙක් පැත්ත මෙන් අප අවධානයෙන් හා නිර්දය ලෙස කටයුතු කලහොත් ඔහු ජයග්‍රහනය කරනු ඇති බවයි." ඇය ‍පැවසුවාය.

මැතිවරනයේදී බිඩෙන් වඩාත් වාසිදායක තැනැත්තා වන අතර, ජාතික පරිමානවත් හා මැතිවරන මන්ඩලයේ තරඟ ප්‍රතිඵල තීරනය කරන “තරගකාරී” ප්‍රාන්තවලත් යන දෙපලෙහිම ඉදිරියෙන් සිටී. නමුත් ක්ලින්ටන්ගේ අවවාදය නම් ඉක්මනින් යටත් නොවන්න! 2000 දී අල් ගෝර්ගේ නිසිකලට කලින් යටත් වීම ක්ලින්ටන්ට පැහැදිලිවම සිහිපත් විය. ඔහු බුෂ්ට සහනයක් පුද කරමින් කැඳවීමක් කල අතර පසුව ඔහුට එය ඉල්ලා අස්කර ගැනීමට සිදුවිය. කෙසේ වෙතත්, ඇයගේ අපේක්ෂාවන්හි මාත්‍රයක් සහ බිඩෙන් කඳවුරේ සටන් පන්නරය ගැන ඇය සිතන දේ යන දෙඅංශයෙහිම ඇගේ උපදෙස් කැපී පෙනෙන සුලුයි.

මේ ගිම්හානයේ මුලදී බිඩෙන් කලාක් මෙන් ධවල මන්දිරයෙන් ට්‍රම්ප් ඉවත් කර ගැනීම සඳහා හමුදාව කෙරෙහි විශ්වාසය තබන බවට යෝජනා කිරීම හැරෙන්නට ට්‍රම්ප් හුදෙක් අහිතකර මැතිවරනයක ප්‍රතිඵල පිලිගැනීම සහ ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කලහොත් ඔවුන් කුමක් කරනු ඇත්දැයි කිසිදු ඩිමොක්‍රටිකයකු පවසා නැත.

ට්‍රම්ප්ගේ සහ රිපබ්ලිකානුවන්ගේ සැබෑ සමාජ ස්ථාවරය රිපබ්ලිකානු සම්මේලනයේදී කරන ලද විවිධ ප්‍රතිගාමී හා ෆැසිස්ට්ගැති ආයාචනා වල පොදු ලක්ෂනයෙන් පෙන්නුම් කෙරේ: එනම් භීතියයි.

ට්‍රම්ප් සහ ඔහුගේ අනුගාමිකයින් ක්‍රියාත්මක වන්නේ වැඩෙන සමාජ විරෝධතා රැල්ලක් විසින් පාලනය කරනු ලබන පරිසරයක ය: මිලියන ගනනක් වීදිවලට ගෙන ආ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන උද්ඝෝෂන; මාරාන්තික වසංගත තත්ත්වයක් යටතේ ගුරුවරුන්, මෝටර් රථ කම්කරුවන් සහ කම්කරු පන්තියේ සියලුම කොටස් අනාරක්ෂිත සේවා ස්ථාන වෙත ආපසු යැවීමට එරෙහි ප්‍රතිරෝධය; සහ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 200,000 ක් දක්වා ඉහල යන විටදී සමස්තයක් ලෙස ජනගහනයේ කෝපය වැඩිවීම, මෙම විරෝධතා රැල්ලට ඇතුලත් වන අතර සහ ට්‍රම්ප් පරිපාලනය සහ ප්‍රාන්ත ආන්ඩු ද, ඩිමොක්‍රටිකයින් මෙන්ම රිපබ්ලිකානුවන් ද ව්‍යසනයට එරෙහි කුමන හෝ සාමූහික සමාජ ප්‍රතිචාරයක් කඩාකප්පල් කරමින් සිටිති.

රිපබ්ලිකානු සම්මේලනයේ මතුවූ අසීමිත උමතුව මැතිවරන අරමුනු සඳහා වන ප්‍රදර්ශනයක් පමනක් නොවේ. එය හුදකලාව හා දුබලකම පිලිබඳ ගැඹුරු හැඟීමක් පෙන්නුම් කරන්නේ, හුදෙක් සම්මේලනයට සහභාගිවූ අන්ත දක්ෂිනාංශිකයින්ගේ පැත්තෙන් පමනක් නොව, වඩ වඩාත් වටලනු ලැබ ඇති මූල්‍ය වංශාධිපතියන්ගේ ද පැත්තෙන් ය.

කථිකයා පසු කථිකයා සමාජවාදය හෙලා දකිමින්, ට්‍රම්ප් පරාජයට පත් වුවහොත් සමාජවාදය අනිවාර්යයෙන්ම ඉස්මතුවනු ඇතැයි ප්‍රකාශ කරන විට, ඔවූහු මෙම අනතුර බිඩෙන් සහ ලොඹු ප්‍රජාතන්ත්‍රවාදීන්ට ව්‍යාජ ලෙස ආරෝපනය කරති. එහෙත් ඔවුන්ගේ සැබෑ උත්සුකය වන්නේ ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව වැඩකරන ජනතාව අතර මහජන ව්‍යාපාරයක් වර්ධනය වීම ගැනයි.

Loading