වසංගතයෙන් තීව්‍ර‍කෙරුනු තම අධ්‍යාපනික දුෂ්කරතා ගැන පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ලෝසවෙඅ ට අදහස් දක්වති

මාර්තු 20 වනදා ලංකාවේ ආන්ඩුව විසින්, කොරෝනා වසංගත මර්දනය යටතේ සංචරනය සීමා කරමින් රට අගුලු දැමීමත් සමග දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමුනි. අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා විශ්ව විද්‍යාල පරිපාලනයන් ක්‍රියාත්මක කල අන්තර්ජාල දුරස්ථ ඉගෙනුම් ක්‍රම සිසුන්ට ඉමහත් පීඩනයක් බවට පත්ව ඇත.

අන්තර්ජාල සේවාවන්හි අධික මිල, ඒවායේ පවත්නා ඌන ගුනාත්මකභාවය සහ නිරන්තර විදුලි බිඳ වැටීම් මෙන්ම පරිගනක යන්ත්‍රවල ඉහල මිල ආදී කරුනු වලට අමතරව, නව ඉගැන්වීම් මාධ්‍යයට ගුරුවරුන් හුරු නොවීම සිසුන් මුහුන දී ඇති දුෂ්කරතා අතරින් ප්‍රම්‍රඛ වෙයි.

රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි පරිපාලනයන් සහ ආන්ඩුව මෙම අපහසුතා වලට විසඳුම් ලබාදීම සඳහා කිසිදු පියවරක් නොගත් අතර ඔවුන්ගේ උත්සුකය වූයේ කෙසේ හෝ නියමිත කාලය තුල උපාධි පාඨමාලාවන් අවසන් කිරීමයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයෝ ඉහත දුෂ්කරතා සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් පල කලහ.

සිනෙක් පුද්ගලික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය  ලබන සිසුවෙකු සඳහන් කලේ  වසංගතය හේතුවෙන් තම දෙමාපියන්ට ආදායම් ඇන හිට තිබුනු කාලය තුලද විශ්ව විද්‍යාල ගාස්තු  ගෙවීමට පාලනාධිකාරියෙන් බල කල බවයි. එම මුදල් නොගෙවන සිසුන්ට විශ්ව විද්‍යාල වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව අවහිර කරන බවට ද තර්ජනය කර ඇත.

ඔහු තවදුරටත් සඳහන් කලේ ඔන්ලයින් දේශන සඳහා ද පැමිනීමේ ප්‍රතිශතය සලකා බලන බවයි. විභාගයට පෙනී සිටීමට නම් දේශන සඳහා සියයට අසූවක පැමිනීමේ ප්‍රතිශතයක් තිබිය යුතුය. මෙම ඔන්ලයින් දේශන සඳහා සහභාගී වීමේදී නොමිලේ අන්තර්ජජාල පහසුකම් ලබා නොදුන් බැවින්, සිසුන්ට තම පෞද්ගලික අන්තර්ජාල පැකේජය කැප කරමින් මෙම දේශන වලට සහභාගී වීමට සිදුව ඇත.

ස්ලිට් ආයතනයේ දෙවන වසර ඉගෙනුම ලබන සිසුවෙකු සඳහන් කලේ දේශන සඳහා ඩේටා පැකේජ් නොමිලේ ලබා දුන්නද අනෙකුත් අධ්‍යාපනික වෙබ් අඩවි සඳහා එය වලංගු නොවූ බවයි. එමෙන්ම ඇතැම් අන්තර්ජාල සබඳතා යටතේ ලබාදුන් එම නොමිලේ ඩේටා වලංගු වූයේ අගුලු දැමීම අවසන් වනතෙක් පමනක් බවත් ඉන් පසුව පැවති දේශන සඳහා එය වලංගු නොවූ බවත් ඔහු පැවසුවේය.

කිසිදු කල්දැමීමකින් තොරව, අන්තර්ජාල මාධ්‍යය හරහා අවසාන විභාග, පැවැත්වීමට තීන්දු කර තිබුනු අතර පරිපාලනය විසින් සිසුන්ට පවසා ඇත්තේ එසේ පවත්වන විභාග වලට ලබාදෙන උපරිම සාමාර්ථය සී(සාමාන්‍ය) සාමාර්ථයක් බවයි. ඔවුන්ට ඊට වඩා ඉහල මට්ටමක් අවශ්‍ය නම් ආයතනය තුල පැවැත්වෙන ලිඛිත විභාගයකට ලියාපදිංචි විය යුතු බව පවසා ඇත. අවසාන විභාගය සිසුන්ගේ ප්‍රතිඵල වලට විශාල බලපෑමක් සිදු කරන නිසා සිසුන් මේ සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත්වුනු බව ඔහු සඳහන් කලේය.

මේ වන විට ප්‍රායෝගික පරීක්ෂන ආදියට විශ්ව විද්‍යාලයට භෞතිකවම පැමිනීමට සිදුව ඇති අතර, “සැමන් ටින් එකක් වගේ පැක් වී” අන්තරාදායක අයුරින් ගමන් කිරීමට සිදුව ඇති බව ඔහු සඳහන් කලේය. එම අවස්ථාවලදී  වසංගතයක් නොමැති ආකාරයෙන් කටයුතු සිදුවන බව ද ඔහු කනස්සල්ලෙන් පැවසීය.

අයිඅයිටී පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුවෙක් කියා සිටියේ අගුලු දැමීමේ කාල සීමාව තුල අවසන් වසර ව්‍යාපෘතිය සම්පූර්න කිරීමේදී එයට අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුන දීමට සිදුවූ බවයි. ව්‍යාපෘති භාර දෙන දිනය පවා වෙනස් කර නොමැති අතර එය සිසුන්ට විශාල පීඩනයක් වී ඇත.

“හුඟක් අයට ඒගොල්ලො ඉවර කරන්න හිතන් ඉඳපු කාලෙදි ව්‍යාපෘති ඉවර කරගන්න බැරි උනා. ඒවා මානසිකව විශාල බරක් වුනා. නමුත් විශ්ව විද්‍යාලයෙන් ඒවා නැති කරන්න කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ” ඔහු සඳහන් කලේය.

ඔහු ඉන් පසුව ඔන්ලයින් ඉගැන්වීම් වලදී මුහුන දීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දැක්වූයේය. 

“මට දැනගන්න ලැබුනා සමහර අයට විදුලි බිඳ වැටීම් වගේ දේවල් හින්දා අසයින්මන්ට් වෙලාවට සබ්මිට් කරන්න බැරිවුනු බව. තවත් අයට දේශන වලට සහභාගී වෙන්න බැරි වුනා”.

“මගේ යාලුවො දෙන්නෙක්ට ඒගොල්ලොන්ගේ අන්තර්ජාල සම්බන්ධතා වල වේගය අඩුවීම නිසා නියමිත වෙලාවෙදි ප්‍රශ්න පත්‍රය අප්ලෝඩ් කරන්න නොහැකි වෙලා තිබ්බා. විශ්ව විද්‍යාලය ඔවුන්ගේ පිලිතුරු පත්‍රය නොපිලිගත් අතර මාස කිහිපයකින් ඔවුන්ට යලි වතාවක් රිපීට් විභාගය ලිවීමට බල කරා” යනුවෙන් ශිෂ්‍යයා සිය අත්දැකීම් විස්‍තර කලේය. 

සිසුන් මෙම දුෂ්කරතා පිලිබඳ සඳහන් කරමින් කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා පාලනාධිකාරයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එයට සියලුම සිසුන් පාහේ අත්සන් කර ඇති නමුත් පරිපාලනය ඒවා විසඳීමට කිසිදු පියවරක් ගෙන නොමැත. පරිපාලනය සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලය අනුබද්ධිත එංගලන්තයේ මව් සරසවිය එරට සිසුන්ට කාලය දීර්ඝ කර නොමැති නිසා ඉල්ලීම ඉටුකල නොහැකි බවයි.

ඔහු අවසානයේ සඳහන් කලේ විශ්ව විද්‍යාල අධිකාරිය “උත්සුක වුනේ නියමිත කාලයට අනුව උපාධිය අවසන් කරන්න මිසක් අධ්‍යාපනයේ ගුනාත්මක භාවය සහ ශිෂ්‍යයින්ගේ සෞඛ්‍ය ගැන නොවන” බවයි.

මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට මුහුන දීමට සිදුවන අත්දැකීම් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන්ටද පොදු විය. සිසුන් අත්දකිමින් සිටින්නේ ධනපති ක්‍රමයේ සැබෑ ස්වභාවයයි.

ධනපති පාලකයින් විශ්ව විද්‍යාල දැක ගනිමින් සිටින්නේ ලාභ ගරා ගැනීමේ මාධ්‍යයක් ලෙසය. දුරස්ථ අධ්‍යාපන ක්‍රම නිසි පරිදි ක්‍රියාවට දැමීමට විශාල වශයෙන් මුදල් ආයෝජනය කල යුතු නමුත්, පාලකයන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඉන් තම ලාභයට සිදුවන හානිය සැලකිල්ලට ගනිමිනි.

මෙම සිසුන් මුහුන දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් වත්මන් ආන්ඩුව ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු මුලුමනින්ම වගකිව යුතුය. සිසුන් ඉතා අධික ගාස්තු යටතේ පුද්ගලික අධ්‍යාපනය සඳහා යොමු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල පවතින සීමිත ඉඩ පහසුකම් නිසාය. රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නේ උසස් පෙල සමත් සංඛ්‍යාවෙන් සියයට විස්සකට ආසන්න සංඛ්‍යාවක් වන අතර එම නිසා බහුතරයකට එම අවස්ථා අහිමි වේ.‍

මෙම සියලු කොන්දේසි මගින් පෙන්නුම් කරන්නේ, විධිමත් යටිතල පහසුකම් යටතේ ගුනාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබා ගැනීමට සිසුන්ට ඇති අයිතිය තහවුරු කිරීමට ධනපති ක්‍රමය මුලුමනින්ම අසමත් වී ඇති බවයි.

Loading