ඉදිරිදර්ශන

අගෝස්තු මාසයේ ලාභය

මෙම ලිපිය සැප්තැම්බර් 2වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

පසුගිය මාසයේ එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතයෙන් 30,000 කට අධික පිරිසක් මිය ගිය අතර, ඉහල යන විරැකියාව, සාගින්න හා දරිද්‍රතාව මධ්‍යයේ සමාගම් විශාල වශයෙන් කම්කරුවන් රැකියා වලින් දොට්ට දැමූහ.

ඒ අතරම, එක්සත් ජනපද කොටස් වෙලඳපොල 1986 සිට මේ දක්වා මාසයක් තුල එහි විශාලතම වැඩිවීම වාර්තා කර ඇත. ප්‍රධාන ඇමරිකානු කොටස් දර්ශක තුන ම මාර්තු මැද භාගයේ පහත වැටීමෙන් පසු අඛන්ඩව මාස පහක් තිස්සේ ඉහල ගොස් තිබේ. එස් ඇන්ඩ් පී 500 දර්ශකය සියයට 65 කින් ඉහල ගොස් ඇති අතර එය 1938 න් පසු මාස පහක විශාලතම වැඩිවීම යි.

පසුගිය මාසයේ ඇමසොන් ප්‍රධානී ජෙෆ් බෙසොස්ගේ ධනය ඩොලර් බිලියන 200 දක්වා ඉහල ගියේ ය. කොටස් වටිනාකමින් ටෙස්ලා ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගම බවට පත්විය. සමාගමේ වෙලඳපල ප්‍රාග්ධනය ඩොලර් බිලියන 465 ක් දක්වා ඉහල ගිය අතර, එහි ප්‍රධාන විධායක එලොන් මස්ක් සිය පෞද්ගලික ධනය ඩොලර් බිලියන 100 කට වඩා වැඩි කර ගත්තේ ය. ඩොලර් ට්‍රිලියන 2 කට වඩා වෙලඳපල ප්‍රාග්ධනය සහිත ලොව පලමු සමාගම බවට ඇපල් සමාගම පත්විය.

ෆෙඩරල් මහබැංකුව විසින් මාර්තු මාසයේ දී ප්‍රධාන සමාගම්වලට ඇප ලබා දීමෙන් පසුව, ඇපල් සමාගමේ කොටස් දෙගුනයකට වඩා වැඩි වී ඇති අතර ටෙස්ලාහි කොටස් හය ගුනයකින් වැඩි වී තිබේ.

මෙම සංඛ්‍යා අවධාරනය කරන්නේ වෝල් වීදිය වාසි ලැබූ ස්වභාවයයි. එය “K හැඩැති ප්‍රකෘතියක්” ලෙස හඳුන්වන  රූපාකාරය ගනිමින් තිබෙන අතර, කොටස් මිල ඉහල යාමෙන් ධාවනය කෙරෙන යෝධ සංගත දැවැන්ත ලාභයක් රොක්කරගෙන ඇති අතර,  ආර්ථිකයේ බොහෝමයක් අංශ එකතැන පල්වෙයි.

1914 අගෝස්තු මාසයේ දී ආරම්භවූ පලමුවන ලෝක සංග්‍රාමය තුල පුපුරා ගිය වෙඩි ප්‍රහාර වලින්, පෙර නොවූ විරූ මරන හා විනාශයක් ඇති කරද්දී, ආයුධ නිෂ්පාදකයින් මිලියන ගනනක ලාභයක් උපයා ගත් ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කලේ ය.

එලෙසම, එක්සත් ජනපදයේ හා ලොව පුරා වැඩකරන ජනතාවට විනාශයක් ගෙන දුන් කොවිඩ්-19 වසංගතය, සමාජයේ ඉහල තැන්වලට විශාලතම ධනස්කන්ධයක් යලි බෙදා හැරීම සංවිධානය කිරීම සඳහා ධනපති රාජ්‍යයේ සියලු අවි බලමුලු ගැන්වීමේ අවස්ථාව සලසා ඇත. 

අගෝස්තු මාසයේ දී දැවැන්ත ලෙස කොටස් වටිනාකම් ඉහල යාමට ක්ෂනික හේතු දෙකක් බලපෑවේය. පලමුවැනිව, සදහට ම පවතින සේ ආන්තික පහල පොලී රේට්ටු සහතික කිරීමේ අරමුන ඇතිව ෆෙඩරල් මහබැංකුව,  උද්ධමනයේ අවදානම තක්සේරු කරන ආකාරයෙහි දුරදිග යන වෙනසක් සිදු කලේ ය. 

සියයට දෙකක “සාමාන්‍ය” උද්ධමන අනුපාතයක් අරමුනු කරගෙන සිය මූලික මූල්‍ය ප්‍රතිපත්ති රාමුව වෙනස් කරන බවට මහ බැංකුව පසුගිය සතියේ කල නිවේදනයෙන් අදහස් කෙරුනේ, උද්ධමනය සියයට දෙක ඉක්මවා ගියත්, වත්කම් මිල දී ගැනීම මගින් මූල්‍ය වෙලඳපොලට මුදල් කා වැද්දීමට ඉඩ දෙමින්, අනුපාත ඉහල නැංවීමෙන් වැලකී සිටිය හැකි බව යි. වෙනත් වචන වලින් කිවහොත්, වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසන පරිදි, “සදහට ම පහල අනුපාත.”

එහෙත් ඊටත් වඩා වැදගත් වූයේ මාර්තු මාසයේ සම්මත කරන ලද කෙයාස්  පනත යටතේ රැකියා විරහිත එක්සත් ජනපද කම්කරුවන්ට ලබා දෙන ලද සතිපතා ඩොලර් 600 ක විරැකියා සහන කපා හැරීම යි. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු යන පක්ෂ දෙක ම නිකම්ම එය කල් ඉකුත් වීමට ඉඩ දුන්හ. බදු හා වියදම් සඳහා කොන්ග්‍රසයේ සුවිශේෂී ව්‍යවස්ථාමය බලය මග හරිමින් ට්‍රම්ප්, සීමිත කාල සීමාවක් සඳහා සතිපතා ප්‍රතිලාභයේ කොටසක් ආපසු දෙමින්, පසුගිය මාසයේ විධායක නියෝගයකට අත්සන් තැබුවේ ය. නමුත් මෙම පියවර බොහෝ දුරට සංකේතාත්මක විය. බොහෝ කම්කරුවන්ට අමතර සහනයක් නො ලැබුනි.

ඩිමොක්‍රටිකයන්ගේ සහාය ඇතිව ට්‍රම්ප් පරිපාලනය විසින් සමාගම්වලට ඇප ලබා දීම සඳහා ඩොලර් ට්‍රිලියන 2ක මුදලක් ලබා දී ඇත්තේ, කම්කරුවන්ට ලබා දී ඇති සීමිත ආධාර කපා හරිමිනි. ඒ අතරම, සෑම මූල්‍ය වෙලඳපොලක් සඳහා ම ආරක්ෂාව සපයන්නා  ලෙස ක්‍රියා කරමින් ෆෙඩරල් මහ බැංකුව, ඩොලර් ට්‍රිලියන 4ක් මූල්‍ය පද්ධතියට පොම්ප කර ඇත. 

මෙම පියවර කම්කරු පන්තිය මත මාරාන්තික ප්‍රහාරයක් සමග අනුබද්ධ ය. ට්‍රම්ප් පරිපාලනය විසින් නායතකත්වය දෙනු ලබන ලොව පුරා ආන්ඩුවල ප්‍රතිපත්තිය වන්නේ, ලාභ සමුච්චයනය අඛන්ඩව පවත්වා ගත හැකි වනු පිනිස, තම සෞඛ්‍යයට හා ජීවිතයට ඇති අන්තරායන් කුමක් වුවත් කම්කරුවන් නැවත වැඩට දැක්කීම යි.

ඉදිරි සතිවල දී නෙරපා හැරීමේ අපේක්ෂාව ද ඇතුලුව අසරනකමට මුහුන දෙන මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ඉරනම නො සලකා හරිනු ලැබේ. ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන්, මේ සතිය තුල ඔහු පැවැත්වූ ප්‍රධාන කථාවකදී, හදිසි විරැකියා ප්‍රතිලාභ කප්පාදු කිරීම ගැන සඳහන් කිරීමට පවා තැකීමක් කලේ නැත.

ෆෙඩරල් ආධාර කපා හැරීම ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් සේවය කරන සංගත හා මූල්‍ය ප්‍රභූවේ උත්සුකයන්ට සෘජුව ම සේවය කිරීම මෙයට හේතුව යි.

වසංගතයට තුඩු දුන් කාල පරිච්ඡේදය තුල ශ්‍රම වෙලඳපොල, “දැඩි” බවට පත්වෙමින් තිබේ යන කනස්සල්ල වර්ධනය විය. කොවිඩ්-19 පුපුරා යාම එම ගැටලුව විසඳීම සඳහා ඩැහැගෙන ඇත. තාවකාලික දොට්ට දැමීම් ලෙස මුලින් ප්‍රකාශයට පත් කල දේ ස්ථාවරව පවත්වාගෙන යාම මෙන්ම වැඩ කරමින් සිටින අයගේ වැටුප් අඩු කිරීම හා ඔවුන් සූරාකෑම තීව්‍ර කිරීම මත පදනම් ව ප්‍රතිව්‍යූහගත කිරීමේ මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට සංගතවලට එය මග විවර කර දී තිබේ.

වෝල් වීදියේ සමපේක්ෂන මධුපානෝත්සවය එක්සත් ජනපද ධනවාදයේ බලය හා ශක්තිය පෙන්නුම් කරන බවට ට්‍රම්ප් විසින් පැසසුමට ලක් කෙරුන  ද, වෙලඳපොල සිඳී යාම ශක්තියේ නො ව දුර්වලත්වයේ ඇඟවුමකි. 

පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ දී ඇමරිකානු හා ලෝක ධනවාදය රැඳී සිටියේ එක්සත් ජනපද ඩොලරයේ ශක්තිය මත ය. එහෙත් ෆෙඩරල් මහ බැංකුව විසින් නිමක් නැති ලාභ මුදල් සැපයීම නිසා ඇමරිකානු ඩොලරයට වල කපා තිබේ. ජුලි මස අවසානයේ දී ගෝල්ඩ්මන් සැක්ස් අනතුරු ඇඟවූයේ, ලෝක සංචිත මුදල ලෙස එක්සත් ජනපද ඩොලරයේ දීර්ඝායුෂය මෙන්ම සමස්ත ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පිලිබඳව “සැබෑ උත්සුකයන්” පවතින බව යි. එතැන් සිට මෙම අනතුරු ඇඟවීම් වැඩි වී තිබේ.

එක්සත් ජනපද ධනවාදය නැගී එන සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයන්ගේ හා  කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගත් සමාජ විරුද්ධත්වයේ වර්ධනයේ සංධස්ථානයකට පැමින ඇත. පරපෝෂිත කතිපයාධිකාරයක පන්ති අවශ්‍යතා මත පදනම් වූ අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා පාලක පන්තිය විසින් ගනු ලබන සෑම පියවරකට ම ඇත්තේ අර්බුදය උග්‍ර කිරීමේ හැකියාව පමනි.

මේ දක්වා වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ අධිකාරය ගෙන ඇත්තේ පාලක පන්තියේ සමාජ පරපෝෂිතයින් විසිනි. එහෙත් තවත් සමාජ බලවේගයක් එම ස්ථානයට පිවිසෙමින් තිබේ: ඒ පාලක ප්‍රභූවේ ආපසු වැඩට දැක්කීමේ උද්ඝෝෂනයට එරෙහි ව වඩ වඩාත් අරගලයට එලඹෙමින් සිටින කම්කරු පන්තිය යි.

කොවිඩ්-19 වසංගතයට ධනවාදයේ ජනඝාතක ප්‍රතිචාරය මුලු ලෝකයේ ම ඇස් ඉදිරිපිට මෙම බංකොලොත් සමාජ පද්ධතිය හෙලිදරව් කර තිබේ. කම්කරුවන් අරගලයට අවතීර්න වන විට, ඔවුන් ධනේශ්වර පන්තිය අහෝසි කර දැමීම හා සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන අවශ්‍යතාව ඉටු කරනු ඇත.

Loading