කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මෝදි ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට ඉන්දියාවේ කම්කරුවන් මිලියන ගනනක් විරෝධය දක්වති

මෙම ලිපිය අගෝස්තු 21 ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුවෙහි කම්කරු-විරෝධී පිලිවෙත් සහ කොවිඩ්-19 වසංගතය එය විසින් අකාර්යක්ෂම ලෙස හැසිරවීම කෙරෙහි වැඩෙන මහජන කෝපය පිලිබිඹු කරමින්, තම වැටුප් හා සේවා කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව මිලියන ගනන් කම්කරුවන් වැඩ වර්ජනයන්ට හා විරෝධතාවන්ට එක් වී ඇත.

ප්‍රධාන වසයෙන් ප්‍රතීතනික සමාජ සෞඛ්‍ය ක්‍රියාකාරී (ආශා) සහ ඉන්දියාවේ මහජන සෞඛ්‍යාරක්ෂන පද්ධතියෙහි කොටසක් වන ග්‍රාමීය ලමාරක්ෂන මධ්‍යස්ථාන හෙවත් අන්ගන්වාදි ජාලයට සම්බන්ධ මිලියන ගනන් කම්කරුවෝ, අගෝස්තු 7 සිට 9දා දක්වා තුන් දින වැඩ වර්ජනයකට එක් වූ හ. කම්කරු නීති විෂඝෝර ලෙස වෙනස් කිරීමට සහ රාජ්‍ය අංශ ඒකක පුද්ගලීකරනය කිරීමට කම්කරුවෝ විරෝධය පලකල හ. සියලු ආදායම් රහිත බදු ගෙවන පවුල්වල බැංකු ගිනුම්වලට මාස හයක් දක්වා රුපියල් 7,500ක් තැන්පත් කිරීම, ගොවීන්ට මූල්‍යාධාර සැපයීම, පිරිවැය කප්පාදුව හා කම්හල් වැසීම නතර කිරීම, අගුලු දමා තිබූ කාලය තුල රැකියාවලින් නෙරපන ලද කම්කරුවන්ට එම කාලයට වැටුප් ගෙවීම හා ඔවුන් ව යලි සේවයේ පිහිටුවීම, සියලු පවුල්වලට සහන මිලට ධාන්‍ය හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය සැපයීම ආදිය ද ඔවුහු ඉල්ලා සිටිය හ.

මධ්‍යම වෘත්තීය සම්මේලන (සීටීයූ) විසින් කැඳවන ලද මෙම ක්‍රියාව, මාස තුනක් ඇතුලත සිදු වූ තුන්වන ජාතික පරිමාන වර්ජනය හෝ විරෝධතාව විය. විවිධාකාර ප්‍රාන්ත ආන්ඩු විසින් කම්කරු අයිතීන් මත එල්ල කරන ප්‍රධාන ප්‍රහාරයන්ට විරුද්ධ ව මැයි 22දා ජාතික පරිමාන වර්ජනයක් පැවතුනි. නාටකාකාර ලෙස තීව්‍ර කරන බවට අගමැතිවරයා සපථ කර ඇති, මෝදි ආන්ඩුවේ ආයෝජක-ගැති ප්‍රතිසංස්කරනවලට විරෝධය පලකරමින් ජූලි 3දා ජාතික පරිමාන විරෝධතාවක් පවත්වන ලදී.

සීටීයූ නිලධාරීන් සඳහන් කරන පරිදි, විරෝධතා ව්‍යාපාරය කෙරෙහි පාලක ප්‍රභූවට පවතින භීතිය පිලිබිඹු කරමින්, පොලීසිය බොහෝ ප්‍රාන්තවල දී වර්ජනයන්ට හා විරෝධතාවන්ට සහභාගි වූවන් අත්අඩංගුවට ගෙන රඳවා ගත්තේ ය.

අගෝස්තු 7-9 විරෝධතාවන්ට පෙරාතුව, සීටීයූ විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක්, බොහෝ දෙනා කොවිඩ්-19ට එරෙහි ව පෙරමුනේ සටන් කරන කම්කරුවන් වන වැඩසටහන් කම්කරුවන් මුහුන දෙන කොන්දේසි අවධානයට ලක්කලේ ය. පුද්ගල ආරක්ෂක උපකරන (පීපීඊ), රක්ෂන හා අවදානම් දීමනා ඇතුලු එම කම්කරුවන්ගේ සුරක්ෂිතතාවට හා ආරක්ෂාවට අවශ්‍ය “අවම දේවල්” වත්, ආන්ඩුව විසින් සපයන්නේ නැති බවට එය පැමිනිලි කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, කොවිඩ්-19 වැලඳී “බොහෝ කම්කරුවන් මියගොස් ඇත.”

පීපීඊ හා ප්‍රමාද වූ වැටුප් ගෙවන ලෙස ඉල්ලමින් අගෝස්තු 6දා සිට වර්ජනයේ යෙදී සිටි බිහාරයේ ඒඑස්එච්ඒ කම්කරුවන් 90,000ක් පමන වර්ජනයට එක් වූ හ. “අපි සියලු ප්‍රතිශක්තිකරන වැඩකටයුතු හා මරන අනුපාතයන් ලේඛනගත කිරීම පවා කෙරුවත්, අපට (ආරක්ෂක) උපකරන සපයන්නේ නැතැ” යි එක් ඒඑස්එච්ඒ කම්කරුවෙක් වන සරීතා රෝයි හින්දුස්තාන් ටයිම්ස් පත්‍රයට අගෝස්තු 8දා ප්‍රකාශ කලා ය. ඔවුන්ට මසකට ගෙවන්නේ රුපියල් 5,000ක් (එක්සත් ජනපද ඩොලර් 67ක්) පමනි. එහෙත්, මෙම සොච්චම් මුදල පවා පසුගිය මාස හතරට ගෙවා නැත. 

සීටීයූහි සංඛ්‍යා ලේඛනවලට අනුව, මෑත ම ජාතික පරිමාන තුන් දින ක්‍රියාවට කම්කරුවන් මිලියන 10ක් පමන සහභාගි වූ අතර, එමගින් අවධාරනය කරන්නේ මෝදි හා ඔහුගේ දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (බීජේපී) කෙරෙහි වැඩෙන මහජන කෝපය යි. කම්කරු-පන්තික අරගල වර්ධනය වීම හුදෙක් ඉන්දියානු ප්‍රපංචයක් නො වන අතර, එය, වසංගතය දිගට ම පැතිර යද්දී ආර්ථිකය මිනීමරු ආකාරයට පාලක ප්‍රභූන් විසින් යලි විවෘත කිරීමටත්, සමාජ අසමානතාවටත් කම්කරුවන් තම විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී පුනර්ජීවනය වන ලෝක පරිමාන පන්ති අරගලයේ කොටසකි.

වර්ජනය හටගත්තේ, වෛරසය ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යද්දී ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පසුගිය සති දෙක පුරා, එක්සත් ජනපදය හා බ්‍රසීලය පරයා යමින් ලෝකයේ ඉහල ම දෛනික ආසාදන සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ ඉන්දියාව යි.

ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2.7 ඉක්මවා ගොස් තිබේ. අගෝස්තු 17දා, ඉන්දියාවේ මරන සංඛ්‍යාව බියකරු 50,000 සැතපුම් කනුව ඉක්මවා ගියේ ය. දල වශයෙන්, දෛනික මරන 900ක් වාර්තා වේ.

අගෝස්තු 10-16 සතිය මේ දක්වා ඉන්දියාව තුල වසංගතයේ මාරාන්තික ම සතිය වූයේ, පෙර සතියට සාපේක්ෂ ව සියයට 5.9ක නැග්මක් සහිත ව නව ආසාදන 434,003ක් ද පෙර සතියට වඩා සියයට 4.4ක නැග්මක් පෙන්නුම් කරමින් මරන 6,555ක් ද වාර්තා කරමිනි. අගෝස්තු 1 සිට 17 දක්වා, නව කොවිඩ්-19 ආසාදන මිලියනයක් වාර්තා විය.

රෝගය වේගයෙන් පැතිර යාම, ඉන්දීය පාලක ප්‍රභූව විසින් මාරාන්තික “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත අනුයාමේ ඍජු ප්‍රතිඵලය යි. මාස දෙකක් ඇදුනු මෝදිගේ සූදානම් රහිත අගුලු දැමීමේ කාලය තුල, රටෙහි නිදන්ගත ලෙස අව-සම්පත් සම්පාදිත මහජන සෞඛ්‍යාරක්ෂන පද්ධතිය ශක්තිමත් කිරීම පිනිස කිසිවක් කිරීම සදහා කාලය යොදාගැනීමට පාලක ප්‍රභූව අසමත් විය. කෝටි සංඛ්‍යාත දුගී කම්කරුවන් දරිද්‍රතාවට ඇද දමමින්, අවිධිමත් අංශයෙහි රැකියා අහිමි වුනු කම්කරුවන්ට මූල්‍ය ආධාර සම්පාදනය කිරීම ද ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කලේ ය. කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට දැරිය නො හැකි සමාජ කාලකන්නි භාවයක කොන්දේසි නිර්මානය කල ආන්ඩුව, සුපිරි ලෙස සූරාකනු ලබන කම්කරු පන්තියෙන් ලාබ උකහා ගැනීම ඇරඹීම සඳහා මහ ව්‍යාපාරිකයට ඉඩ ලබා දෙනු පිනිස, නියමිත කලට පෙර හා ඉව බව නැති ලෙස ආර්ථිකය යලි විවෘත කිරීම ආරම්භ කලේ ය.

ව පුරා ධනපති ආන්ඩුවල අඩිපාරේ යන මෝදි ආන්ඩුව, කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීම, ජාත්‍යන්තර ආයෝජන ආකර්ශනය කරගැනීම සහ ඉන්දියාවේ සුපිරි ධනවතුන්ගේ ධනය ඉහල දැමීම ඉලක්ක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරන ලද “ආර්ථික ප්‍රතිසංස්කරන” ක්‍රියාවට දැමීමට කොවිඩ්-19 වසංගතය ඩැහැගෙන ඇත. මෙලෙස ක්‍රියාවට දමන පියවරයන්ට, මහජන සේවා පුද්ගලීකරනය කිරීම, සමාජ වියදම් වැඩිදුර කප්පාදුව, සහ වැඩ දිනය පැය 8 සිට 12 තෙක් දීර්ඝ කිරීම ඇතුලු කම්කරු නීති වෙනස් කිරීම ඇතුලත් ය.

තථ්‍ය ලෙස ආරක්ෂාවක් රහිත ව කම්හල්වලට හා ජනාකීර්න වැඩපොලවල් වෙත ආපසු යාමට කම්කරුවන්ට බලකිරීම මගින්, මෝදි සහ ප්‍රාන්ත ආන්ඩු -මේවායින් බොහොමයක ආන්ඩු බලය දරන්නේ විපක්ෂය යි- මහා පරිමාන වැඩපොල ආසාදන හා මරන පිලිබඳ වගකීම දරති. ඉන්දියාවේ විශාලතම මෝටර් සයිකල් අපනයනකරුවා වන බජාජ් ඔටෝ ආයතනය, එහි එක් කම්හලක සේවකයින් 250 දෙනෙකුට කොරෝනා වෛරසය වැලඳීමෙන් පසු, එය තාවකාලික ව වසා දමන ලෙස ඉල්ලා සිටි බව රොයිටර් පුවත් සේවය ජූලි මාසයේ වාර්තා කලේ ය.

මෙය, තම ජීවිත කෙරෙහි සමස්ත පාලක ප්‍රභූව දක්වන සාපරාධී නො තැකීම අරබයා, කම්කරු පන්තියේ විවිධ කොටස් අතර වර්ධනය වන විරෝධය පිලිබඳ එක් නිදසුනක් පමනි. ගෙවී ගිය මාස හතර තුල සිදු වූ අවම ප්‍රධාන කම්කරු විරෝධතා 17ක් පමන, අගෝස්තු 6දා නිව්ස්ක්ලික් වෙබ් අඩවිය විසින් ලැයිස්තුගත කලේ ය. ඒවා අතරට අයත් වන්නේ:

•දුගී පවුල් වෙත ආදායම් ආධාර හා ධාන්‍ය ඉල්ලමින්, ජුනි 1දා රට පුරා කාන්තාවන් 50,000ට අධික පිරිසක් විරෝධතාවේ යෙදුනි.

•හොඳ ආරක්ෂක උපකරන, යහපත් වැටුප් හා සේවා කොන්දේසි ඉල්ලමින්, ජුනි 25දා ඒඑස්එච්ඒ කම්කරුවන් 100,000ක් පමන විවිධ ප්‍රාන්තවල දී විරෝධතා පෙලපාලි පැවැත්වූ හ.

•ආන්ඩුව ගල් අඟුරු කැනීම පුද්ගලික ආයෝජකයන්ට විවෘත කිරීමට එරෙහි ව, ජූලි 2 සිට 4 දක්වා මිලියන බාගයකට අධික ගල් අඟුරු කම්කරුවෝ තුන් දින වර්ජනයට සහභාගි වූ හ.

•විශේෂයෙන් රැකියාවේ යෙදී සිටිය දී තම ආරක්ෂාවට වෙන් කර ඇති අරමුදලක් හා නීතියක් පොදු කම්කරු නීති සංග්‍රහයට ඒකාබද්ධ කිරීමට හා අරමුදල අනෙකුත් දේවල්වලට වෙන්කිරීමට විරෝධය පලකරමින්, ජූලි 13දා ගොඩනැගිලි කර්මාන්ත කම්කරුවන් 200,000ට අධික පිරිසක් විරෝධතාව පලකල හ.

•ජූලි 23දා, පුද්ගලයන් 200,000ට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කම්කරු-ගොවි ඒකාබද්ධ ඉල්ලීම් දිනයක් පැවැත්වුනි. කෘෂිකාර්මික වෙලඳාම පුද්ගලීකරනය හා කම්කරු නීති අහෝසි කිරීම සඳහා වන යෝජනාවලට විරෝධය දක්වමින් සහ මූලික අයිතීන් ඉල්ලමින් ඔවුහු විරෝධතාවේ යෙදුනි.

•අගෝස්තු 4දා 80,000ට වැඩි ආරක්ෂක නිෂ්පාදන සේවකයින් ඔවුන්ගේ නිෂ්පාදන කම්හල්වල ගේට්ටු අසල විරෝධතා පැවැත්වූයේ, මෝදි ආන්ඩුව නියෝග කර ඇති පුද්ගලීකරනයට විරෝධය පලකරමිනි.

•කුඩා ප්‍රවාහන සම්පාදකයන්ට එරෙහි ව මහා ප්‍රවාහන සමාගම්වලට හිතවාදී වන පරිදි පැනවූ නව නීතියක් අවලංගු කරන ලෙස ඉල්ලමින්, මාර්ග ප්‍රවාහන කම්කරුවන් දහස් ගනනක් අගෝස්තු 5දා විරෝධතා පැවැත්වූ හ.

සෑම සතියක් ම නව විරෝධතා රැගෙන එයි. අගෝස්තු 10දා මධ්‍ය ප්‍රදේශ්හි ට්‍රක් රියදුරන් හා කුඩා වානිජ වාහන මෙහෙයවන්නන් 700,000ක් පමන තුන් දින වර්ජනයක නිරත වූයේ, ඩීසල් මත බදු ඉහල දැමීමකට විරුද්ධ ව ය. වසංගත සමය තුල රැකියාවේ නිරත වීමේ දී සෞඛ්‍ය අවදානම්වලට නිරාවරනය වීම නිසා, ට්‍රක් රථ රියදුරන්ට රක්ෂනාවරනයක් ද ඔවුහු ඉල්ලා සිටිය හ.

එවන් පුපුරනසුලු කොන්දේසි යටතේ, වැඩසටහන් කම්කරුවන්ගේ තුන් දින වැඩ වර්ජනය කැඳවූ සීටීයූ 10, වැඩෙන සමාජ විරෝධය මත පාලනය නඩත්තු කරගැනීමේ සහ ඔවුන්ගේ ම ප්‍රතිගාමී දේශපාලන න්‍යාය පත්‍රය පිටුපසට එය ගාල් කිරීමේ අටියෙන්, මේ මස මුල දී ද එවැන්නක් කැඳවුම් කලේ ය. වර්ජනය කැඳවූ සීටීයූවන් අතරට කොංග්‍රස් පක්ෂයට අනුබද්ධ ඉන්දීය ජාතික වෘත්තීය සමිති සම්මේලනය (අයිඑන්ටීයූසී), ස්ටැලින්වාදී මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම්හි ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ), ස්ටැලින්වාදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඅයි නායකත්වය දෙන සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) සහ දක්ෂිනාංශික ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඩීඑම්කේ පක්ෂය නායකත්වය දෙන කම්කරු ප්‍රගතිශීලී සම්මේලනය (එල්පීඑෆ්) ඇතුලුත් විය.

බීජේපී ආන්ඩුව සමග සාකච්ඡාවක් ඉල්ලීම ද ඇතුලත් ඔවුන්ගේ දක්ෂිනාංශික දිශානතිය ප්‍රදර්ශනය කරමින්, මෝදිගේ පාලක බීජේපීයේ දෘෂ්ටිවාදාත්මක උපදේශකයා වන හින්දු අධිපතිවාදී රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග් (ආර්එස්එස්) වෙත අනුබද්ධ භාරතීය මස්දූර් සංග් (බීඑම්එස්) ට ද ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාවට සහභාගි වන ලෙස ඔවුන් ආරාධනා කල ද, බීඑම්එස් එය ප්‍රතික්ෂේප කලේ ය.

ජූලි 18දා සීටීයූවන් විසින් නිකුත් කල ඒකාබද්ධ ප්‍රකාශය, කොවිඩ්-19 හේතුවෙන් තුන් මසක් ඇතුලත කම්කරුවන් මිලියන 140කට රැකියා අහිමි වී ඇතැයි සඳහන් කලේ ය. අනියම් සේවකයන් හා කොන්ත්‍රාත් කම්කරුවන් ඇතුලත් කරන ලද හොත් මෙම සංඛ්‍යාව මිලියන 240 දක්වා නගී. ප්‍රතිශක්ති ඌනතාව හා කුසගින්නට සම්බන්ධ මරන ඉහල යාමක් ඇතුලු මෙම රැකියා අහිමි වීම් හේතුවෙන් සිදුවන ව්‍යසනකාරී ප්‍රතිඵලවලට ප්‍රකාශය අවධානය යොමු කලේ ය. මංමුලා සහගත වන රැකියා නැති කම්කරුවන් අතර විශාදිය හා දිවි නසාගැනීම් ඇති වීම ගැන ද එය අනතුරු ඇඟවී ය.

මෙම ගොරතර කොන්දේසි කෙසේ වුව ද, සීටීයූවන් ලබාදීමට සමත් වූ සකල ප්‍රතිඵලය වූයේ, වැඩි දියුනු කිරීම් ඉල්ලා මෝදි ආන්ඩුවට පෙත්සමක් ඉදිරිපත් කිරීම පමනි. එවන් ආයාචනාවන් කනකට ගන්නා කෙනෙක් නැති බව කීම පවා අනවශ්‍ය ය.

Loading