වෘත්තීය සමිති ගුරු වැටුප් අරගලය යලි අවමංගත කිරීමට සැරසේ

වැටුප් කප්පාදුවටත් නිදහස් අධ්‍යාපනයට එල්ල වී ඇති බරපතල ප්‍රහාරවලටත් එරෙහිව පසුගිය වසර කිහිපය පුරා ලක්ෂ දෙකහමාරක් පමන වන ලංකාවේ පාසල් ගුරුවරු ධෛර්ය සම්පන්න අරගල මාලාවක නිරත වී තිබේ. 

ධනපති සංස්ථාපිතය මගින් කම්කරු පන්තිය භේද කිරීම එල්ල කර ගනිමින් දෙමල හා මුස්ලිම් ජන කොටස්වලට එරෙහිව අවුලුවාලන වාර්ගික භේද කිරීම් නොතකා උතුරු නැගෙනහිර ප්‍රදේශත් ඇතුලු රටපුරා ගුරුවරු මේ වසරේත් පසුගිය වසරේත් පැවැති වර්ජනවලට හා විරෝධතාවලට සම්බන්ධ වූහ.  

ඉහිලුම් නොදෙන කොන්දේසිවලට එරෙහිව සටන් වැඳීමට ගුරුවරු අතර ඇත්තේ බරපතල අවශ්‍යතාවයකි. ඊට ප්‍රතිකූලව ලංකා ගුරු සංගමය (ලගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මෙහෙය වන  ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ප්‍රමුඛ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ගුරුවරුන්ගේ අරගලය දේශපාලන ක්‍රියාමාර්ගයකින් පෙරට ගැනීම වැලැක්වීමට හැකි සියලු දේ සිදු කරමින් සිටී.  

පසුගිය දෙවසර තුල ඉහල ගුරු සහභාගීත්වයක් පැවැති වර්ජන ආන්ඩුවේ බොරු පොරොන්දු මත පාවා දුන් මෙම සමිති, තවත් වර්ජන කිහිපයක්ම ගුරුවරුන්ගේ කිසිදු අදහස් විමසීමකින් තොරව නවතා දැමී ය. කොරෝනා වසංගත තත්වය හමුවේ ගුරුවරු මුහුන දෙන රැකියා හා ජීවන කොන්දේසි තවත් දරුනු වී ඇත. සෞඛ්‍යාරක්ෂාව සඳහා වන වියදම් දෙමාපියන් මත පටවා අනාරක්ෂිත කොන්දේසි යටතේ ආන්ඩුව පාසල් පවත්වාගෙන යෑම ඒ අතර ප්‍රධාන වේ. මෙම කොන්දේසිවලට එරෙහිව ගුරුවරු අතර වෛරය වැඩෙන තත්වයක දී සමිති කිහිපයක් “ගුරු-විදුහල්පති ගැටලු” පිලිබඳව රාජපක්ෂ ආන්ඩුව ඉදිරියේ හීන් කෙඳිරිල්ලක් නගා තිබේ. 

ඒගුසේස කැඳවුම්කරු සංජීව බන්ඩාර, අධ්‍යාපනය ගැටලු විසඳන්නැයි ද ඒ පිලිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන්නැයි ද ඉල්ලා මේ මස 02 දා අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් වෙත ලිපියක් යොමු කර තිබේ. 

ගුරු වැටුප් වැඩි කිරීම, 2016 පත්වීම් ලැබූ රාජ්‍ය සේවකයන්ගේ අහිමිකල විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, ගුරුවරු මත අනවශ්‍ය බර පැටවීම් නතර කිරීම, අධ්‍යාපනයට ඉහල ප්‍රතිපාදන වෙන් කිරීම වැනි ඉල්ලීම් සම්බන්ධව ගුරුවරු “වෘත්තීය ක්‍රියාමාර්ගවල” නියැලුනත් “පසුගිය යහපාලන ආන්ඩුවත්, ඔබ තුමාද ඇතුලත් වත්මන් ආන්ඩුවත් මේ ගැටලු විසඳීම සඳහා යහපත් ප්‍රවේශයක් නොගැනීම කනගාටුවට කරුනක්” යයි එම ලිපිය ආරම්භයේ දී සඳහන් කර තිබේ. 

බන්ඩාර පවසන අයුරු ගුරුවරුන්ගේ ගැටලු නොවිසඳී ඇත්තේ, "යහපත් ප්‍රවේශයක්” ගැනීමට හැකියාව තිබියදී අනුප්‍රාප්තික ආන්ඩු විසින් එවන් ප්‍රවේශයක් නොගැනීම නිසා නොවේ.

ලංකාවේ ධනපති පාලක පන්තිය මුහුන දි සිටින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයකට ය. ඉදිරි වසර හතරක් සඳහා වසරකට ඩොලර් බිලියන 4 ක් බැගින්වූ දැවැන්ත නය වාරික ගෙවීමට ආන්ඩුවට බලකෙරී ඇත. එම තතු තුල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග  මත, රැකියා, වැටුප් සහ දීමනා කප්පාදු කිරීම සහ වැඩ වේගවත් කිරීම මගින්, එම අර්බුදයේ බර ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය මත පැටවීම හැර ඔවුනට වෙනත් විකල්ප ප්‍රවේශයක් කරා යොමුවීමේ වෛෂයික අවකාශයක් නොමැත. 

දහස් ගනනක් ගුරුවරු හා මිලියන ගනනක් දරුවන්ගේ ජීවිත මතින් ගමන් කරන මෙම රුදුරු ප්‍රහාරයේ මූලය ධනේශ්වර ක්‍රමයේ අර්බූදය බව බන්ඩාර මුලුමනින්ම යටගසයි. එමගින් ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකින් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය වලකා, රාජපක්ෂ ආන්ඩුව යටතේ ක්‍රියාවට දැමීමට සැරසෙන නව වටයක ප්‍රහාර වලට ඔවුන් යටත් කිරීම එහි අරමුනයි. 

ධනපති ප්‍රහාරය දියත් කරන රාජපක්ෂ ආන්ඩුවේ ම අධ්‍යාපන ඇමතියාට, අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දීමට යත්න දරන මෙම ව්‍යාජ-වාම වෘත්තීය සමිති නායකයා, “ගුරු-විදුහල්පති සේවා තෘප්තිමත් සේවාවන් බවට පත්කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව ඔබ තුමා තේරුම්ගනු ඇතැයි“ කියා සිටී. 

ආන්ඩුවට විවෘතව සහාය දෙන ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය (ශ්‍රීලරගුස) නම් තවත් වෘත්තීය සමිතියක්, ගුරුවරුන් අතර වැඩෙන කැරලිකාරිත්වය අපසරනය කරනු වස් තවත් උගුලක් යෝජනා කර ඇත. ඔක්තෝබර් 20ට පෙර වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ජනාධිපති වෙත අන්තර්ජාල ලිපි යොමු කරන්නැයි එම සංගමය ගුරුවරුන්ගෙන් ඉල්ලා ඇත. එය ගුරුවරුන් අතර බෙදා ඇති පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ “ප්‍රශ්න ගැන අවබෝධයක් ඇත්තේ ජනාධිපතිතුමාට පමනක්“ බවයි. 

ජෝසප් ස්ටාලින් නායකත්වය දෙන ලංගුස හා ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංගුසේස එවැනි කෙදිරිල්ලක් හෝ තවම නගා නැත. විවිධ නාම යටතේ වෘත්තීය සමිති පැවතියත් ඒ සියල්ලම කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් යටතේ එනම් ධනවාදයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල මත ගුරුවරු බලමුලු ගැන්වීමට මුලුමනින්ම හතුරු ය. ධනපති ආන්ඩුවලට බලපෑම් දමා වැටුප් ඇතුලු අධ්‍යාපන අයිතීන් දිනාගත හැකි ය බංකොලොත් වැඩපිලිවෙලක් මත ඔවුහු පාදකව සිටිති. 

ලංකාවේදීත් ජාත්‍යන්තර පරිමානවත් ධනවාදය යටතේ ගුනාත්මක අධ්‍යාපනයක් මෙන්ම, සුරක්ෂිත රැකියාවන් සම්පාදනය කරගත නොහැකි ය. ඒ තත්වයේ දී “වෘත්තීය අධ්‍යාපනය“ ඉගෙන ගන්නැයි ජනාධිපති රාජපක්ෂ හා පීරිස් යන දෙදෙනාම පුන පුනා ප්‍රකාශ කරන්නේ ඉතුරු වී ඇති ශාස්ත්‍රීය අධ්‍යාපන අවස්ථාවන් තවදුරටත් කප්පාදු කිරීමේ එල්ලයෙනි. 

රාජපක්ෂ ආන්ඩුවේ “අභිලාෂයන්“ අතර ප්‍රධාන වන්නේ දෙස් විදෙස් මහ ආයෝජකයන් ට අවශ්‍ය පරිදි කම්කරු පන්තියේ සූරාකෑම වේගවත් කර දීමයි. කොවිඩ් 19 වසංගතය විසින් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා ධනපති හාම්පුතුන් ඉල්ලා සිටින පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට පියවර ගනිමින් තිබේ. ( කියවන්න: ආන්ඩුව හාම්පුතුන්ගේ ලාබ අවශ්‍යතාවයන් සපිරෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට සැරසෙයි) 

එවන් ආන්ඩුවක් සමග බන්ඩාර කරන සාකච්ඡාවන්වල සහ ශ්‍රීලරගුස ගෙනයන ජනාධිපතිට ලිපි යොමු කිරීමේ උද්ඝෝෂනයේ එල්ලය වන්නේ යලි පුපුරා යාමට නියමිත ගුරු අරගලයක් පෙර ලොප් කර දැමීමයි.    

ගෝලීය වසංගතය මැද පාසල් යලි විවෘත කිරීමට එරෙහිව ඇමරිකාවේ, ජර්මනිය, ප්‍රන්සය, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොවපුරා රටවල ගුරුවරුන්ගේ, ශිෂ්‍යන්ගේ හා දෙමාපියන්ගේ අරගල, ලෝක පන්තියේ අරගලයේ මධ්‍යය ලක්ෂය වී ඇති අතර එම අරගල දැන් වර්ධනය වන්නේ මෙවන් ද්‍රෝහී වෘත්තීවල ග්‍රහනය බිඳදමා ගෙනයි. 

අනෙකුත් අංශවලදී මෙන්ම ආන්ඩුවල ව්‍යාජ පොරොන්දු හමුවේ ගුරු අරගල පාවාදුන් මෙම සමිති නිදහස් අධ්‍යාපනයට එරෙහි පලල් පරිමාන ප්‍රහාරයන් සඳහා ඉඩකඩ සලසා දුනි. පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ඩැහැ ගනිමින්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දියත් කල මිලිටරීකරන වැඩපිලිවෙලට අනුබලය දෙමින්, පාසල්වල හා විශ්වවිද්‍යාලවල “ආරක්ෂාවට” හමුදාව කැඳවන්නැයි ගුරු සංගම් නායකයෝ කෑමොර දුන්හ. 

කොරෝනා වසංගතයට මුවා වෙමින් රාජපක්ෂ ආන්ඩුව එම මිලිටරීකරන වැඩපිලිවෙල නව ඉහල තලයකට ගෙන ඒමට කල වැඩකටයුතු වලටත්, ආර්ථිකය යලි විවෘත කිරීමටත් මෙම සමිති ඍජුව හා වක්‍රව සහයෝගය දී තිබේ.  

ධනේශ්වර පාර්ලිමේන්තු පද්ධතියම මහජනයා ඉදිරියේ පිලිකුලට ලක්වී තිබියදී මෙම සංවිධාන ඉටු කල ධනපති ගැති පිලිවෙත් මගින් වාසි ඩැහැගත්, හිටපු මිලිටරි නායකයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ,“ජාතික ආරක්ෂාව” තහවුරු කරන “ශක්තිමත් ආන්ඩුවක්” ගොඩනගන බවට ශපථ වෙමින් බලයට පැමිනියේ ය. ඔහු දැන් ගමන් කරන්නේ, කම්කරු පන්තියේ හා පීඩිත ජන කොටස්වල විරුද්ධත්වය තලා දැමීම අරමුනුකොටගත් ජනාධිපති ආඥාදායකත්වයක් දෙසටයි.  

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපය සම්බන්ධවත්, සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තියේ කාර්මික දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමේ තීරනාත්මක භාවය පිලිබඳවත් රටේ විවිධ ප්‍රදේශවල පාසල් ගුරුවරු සමග සාකච්ඡාවක නිරත වූහ. 

බහුතරයක් ගුරුවරුන්ගේ පොදු අදහස වූයේ ඉක්මනින්ම, වර්ජන ආදී කාර්මික ක්‍රියාවන්ට ගමන් කල යුතු බවයි. එහිදි ගුරුවරු වෘත්තීය සමිති හෙලා දැක්කේ ය. 

කොලඹ දිස්ත්‍රික්කයේ විද්‍යා ගුරුවරයෙක් මෙසේ පැවසීය: “වෘත්තීය සමිති වැටුප් ගැටලුව වෙනුවෙන් අරගලයක් කලේම නැහැ. හැම වතාවෙම කලේ ගුරුවරුන්ව එක තැන පල්කර කර තියාගත්ත එකයි. අනිත් හැම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති කරලා තියෙන්නේ ඒකමයි.” 

කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරන සංවිධානයක් සමස්ත දේශපාලන සංස්ථාපිතයෙන් හෝ ඔවුන් වටා ගැලතෙන වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ තුලින් තමන්ට සොයා ගත නොහැකි යයි පැවසූ එම ගුරුවරයා මෙසේ කීවේය: “මම අධ්‍යාපන සේවකයන් සඳහා වන සසප පනිවිඩ කියවන්න පටන් ගත්තා. අපි මුහුන දෙන ගැටලු වලට ඇත්ත හේතු මොනවද කියල දැනගන්න එකයි මුලින්ම කල යුතු දේ. සසප පනිවුඩ සහ සසප සමඟ කරන සාකච්ඡා ඒ සඳහා ලොකු රුකුලක්.”

ධනපති ආන්ඩුවල කොටස්කරුවන් වී සිටින වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් බිඳී, ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන ඉහල වැටුපක්, සුරක්ෂිත රැකියා කොන්දේසි සහ නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා වන අරගලය ගුරුවරුන් තම අතට ගත යුතු ය. නිදහස් අධ්‍යාපන කප්පාදුවේ ප්‍රහාරයට මුහුන දී සිටින සිසුන් හා දරුවන්ගේ දෙමව්පියන්ගේ සහයෝගය ලබාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගන්නා හා තීන්දු ගන්නා ක්‍රියාකාරී කමිටු පාසල් ආශ්‍රිතව ගොඩනැගීමට ගුරුවරු පෙරට ආ යුතු ය.

ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් වදින එම ක්‍රියාකාරී කමිටු--

■ගුරුවරුන්ට ඉහල යන ජීවන වියදමට සරිලන ලෙස ඉහල යන වැටුපක් ලබාදීම

■වසංගතය පිලිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කිරීමට පීසීආර් පරීක්ෂන දහස් ගනනින් ඉහල දැමීම. ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පරිගනක යන්ත්‍ර හා අන්තර්ජාල පහසුකම් සිසුන්ට හා ගුරුවරුන්ට නොමිලේ සැපයීම.  

■දෙමාපියන් මත අධ්‍යාපනයේ බර පැටවීම නතර කරමින් රටපුරා සියලු‍ පාසල්වලට හා විශ්වවිද්‍යාලවලට ගුරුවරු, ගොඩනැගිලි ඇතුලු‍ පහසුකම් ලබාදීමට අවශ්‍ය මුදල්, දැවැන්ත පරිමානයෙන් වෙන් කිරීම. 

■ගුරු-සිසු අනුපාතය 1:20 ක් දක්වා අඩු කිරීම සහ නවීන තාක්ෂනික මෙවලම් සම්පාදනය කරමින් ඉගෙනුම්-උගැන්වීම් ක්‍රියාවලිය වැඩි දියුනු කොට ගුරුවරුන් මත අනවශ්‍ය බර පැටවීම් නතර කිරීම.

■ජාත්‍යන්තර ගුරුවරුන්ගේ හා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය අරගලය සඳහා දිනා ගැනීම. 

ඇතුලු‍ ඉල්ලීම් මත සටන් වැදිය යුතු ය. සසප ගුරු කන්ඩායම් හා එක්වන්න. අධ්‍යාපන සේවකයන් සඳහා වන සසප පනිවිඩ කියවන්න. 

Loading