විග්නේශ්වරන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට එරෙහිව ආන්ඩුව සහ විපක්ෂ ගෙනයන වර්ගවාදී උද්ඝෝෂනයේ සැබෑ අරමුනු

දෙමල මහජන ජාතික සන්ධානයේ (ටීපීඑන්ඒ) මන්ත්‍රී, සී.වී. විග්නේශ්වරන් පාර්ලිමේන්තුවේ දී සිදු කල ප්‍රකාශයක් මත, රාජපක්ෂ ආන්ඩුව, විපක්ෂ ජාතික සමගි ජන බලවේගය ඇතුලු සමස්ත සිංහල ධනපති පක්ෂ, ඔවුන්ගේ දෙමල-විරෝධී උද්ඝෝෂනය රුදුරුම මට්ටමකට නංවා ඇත.

අගෝස්තු 20 වනදා පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේදී නව කථානායක වරයාට සුභ පැතිමේදී, විග්නේශ්වරන්, "මේ රටේ පලමුවන ස්වදේශිකයන්ගේ භාෂාව වන මාගේ මවු භාෂාවෙන් ඔබට ආචාර කරමි" යැයි පවසමින් දෙමල භාෂාවෙන් සිය කතාව ඉදිරිපත් කලේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ දෙමල ජනතාවට අවශ්‍ය සමාජ හා දේශපාලන අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ ඔවුන්ට “ස්වයං නිර්නය අයිතිය ලබා දීමෙන් හා ඔවුන්ව වෙනම ජාතියක් ලෙස පිලිගැනීමෙන්” බවයි. 

විග්නේශ්‍වරන්ගේ කථාව පාදක වූයේ, දෙමල ජනතාව අත්විඳින වාර්ගික වෙනස්කම් නවතාලිය හැකි වන්නේ උතුරු-නැගෙනහිර වෙනම ධනපති රාජ්‍යයක් ස්ථාපිත කිරීමෙන්ය යන ප්‍රතිගාමී ඉදිරි දර්ශනය මතයි. 

ආන්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකා පසුපස එකා නැගී සිටිමින් වහාම විග්නේශ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධත්වය ප්‍රකාශ කලේ, හයවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම නීති-විරෝධී බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු එම සංශෝධනය ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු වී ඇති බවත් අවධාරනය කරමිනි.   

සමාජවාදී සමානතා පක්ෂය, උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ ප්‍රතිගාමී දෙමල ජාතිකවාදයට කවර ආකාරයක හෝ දේශපාලන සහනයක් නොදෙන අතරම, ප්‍රජාතන්ත්‍ර-විරෝධී හයවන ව්‍යවස්ථා සංශෝධනයට සහ එය දඩමීමා කර ගනිමින් ගෙනයන දෙමල-විරෝධී දක්ෂිනාංශික උද්ඝෝෂනයට ද එකහෙලා විරුද්ධ වෙයි.   

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයට පසු දින, මෙම වර්ගවාදී උද්ඝෝෂනය ඉස්මත්තට ගැනීමට පෙරමුන ගත්තේ විපක්ෂ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරය. ඔහු සඳහන් කලේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනවිට  වෙනම රාජ්‍යක් සඳහා අනුබල නොදෙන බවට ප්‍රකාශ කර තිබියදී මෙවන් ප්‍රකාශ හැන්සාඩ් ගතකල නොහැකි බවයි. එබැවින්, විග්නේශ්වරන්ගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නානායක්කාර කතානායකගෙන් ඉල්ලා සිටියේය.

ආන්ඩුවට අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බන්ඩාර ද නානායක්කාරගේ අදහස අනුමත කල අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බන්ඩාර සඳහන් කලේ “දිවුරුමට පටහැනිව කරපු ප්‍රකාශය අනුව (විග්නේශ්වරන්) පාර්ලිමේන්තුවෙන් එලියට දැමිය යුතු” බවයි.

උග්‍ර සිංහල වර්ගවාදියෙකු වන පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, “ලංකා රජයට, සිංහල භාෂාවට, බුද්ධ ධර්මයට මෙම විග්නේශ්වරන් මන්ත්‍රීවරයා අපහාස කරන බව” පවසමින්, ස්වයංපාලනය ගැන මෙවන් ප්‍රකාශ සිදු නොකරන ලෙස තර්ජනය කලේය. 

කුප්‍රකට වර්ගවාදීන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සීතා අරඹෙපොල සහ සරත් ෆොන්සේකා ආදී ආන්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල කල විෂඝෝර කතා මගින් මෙම වර්ගවාදී උද්ඝෝෂනය වඩාත් ඉස්මත්තට ගැනුනු අතර, ෆොන්සේකා ගේ කතාව ඒ අතරින් වඩාත් කැපී පෙනුනි. "මෙම මහලු වයසේ", ප්‍රභාකරන්ට අත්වූ ඉරනම අත්කර නොගන්නා ලෙස ඔහු විග්නේශ්වරන්ට කියා සිටියේ කායික තර්ජනයක ස්වරූපයෙනි.

මෙම දක්ෂිනාංශික උද්ඝෝෂනය වටා විවිධ සිංහල වර්ගවාදී සංවිධාන මෙන්ම ධනපති මාධ්‍ය ද පෙල ගැසුනි. බුද්ධ ශාසන කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විග්නේශ්වරන් කල “ජාතිවාදී ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ, නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ ඒකීය පැවැත්මට බලවත් තර්ජනයක් අත්‍යාසන්න” බවයි. වඩා දුර දිග යමින් එම ප්‍රකාශය 13 වන සහ 16 වන ව්‍යවස්ථා සංශෝධනවල භයානක ප්‍රතිපාදන වහා අවලංගු කල යුතු බවත් පවසා සිටියේය.

මෙම දෙමල-විරෝධී උද්ඝෝෂනය ඉස්මත්තට ගැනීම පිටුපසින් යතා පන්ති අරමුනු පවතී. 

කොවිඩ්-19 වසංගතය මගින් ගැඹුරු කෙරී ඇති ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ, රටක් රටක් පාසා ධනපති පාලකයන් විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර පරිමානව වැඩෙන පන්ති අරගල රැල්ලේ කොටසක් ලෙස ලංකාව තුල ද, කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ අරගල මාලාවක් වැඩෙමින් ඇත. වාර්ගික රේඛා නොතකා වැඩෙන පන්ති එකමුතුව මේ අරගලයන්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයකි. 

මෙම වර්ධනයන් සම්බන්ධයෙන් ඉමහත් භීතියකට පත්ව සිටින ධනපති පාලක පන්තිය, එක් අතකින්, වැඩෙන පන්ති අරගල තලා දැමීම සඳහා, මිලිටරිය මත පාදක වූ ආඥාදායක පාලන රූපයකට වේගයෙන් මාරු වෙමින් සිටී. 

අනෙක් අතට, ධනපති පාලක පන්තිය, ඔවුනගේ දිගු කාලීන පන්ති පාලන අවිය වන වර්ගභේදවාදය පෙරනොවූවිරූ අයුරින් ඉස්මත්තට ගෙන, කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදා ඔවුනගේ පන්ති ශක්තිය දුබල කිරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරයි. ආන්ඩුව සහ විපක්ෂය විග්නේශ්වරන්ගේ ප්‍රකාශය ඩැහැ ගනිමින් උත්සන්නියට නංවා ඇති දෙමල-විරෝධී උද්ඝෝෂනයේ සැබෑ අරමුන එයයි. දෙමල ධනපති පන්තියේ නියෝජිතයෙකු වන විග්නේශ්වරන්ගේ දෙමල ජාතිකවාදී ප්‍රකාශය තුල ද කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමේ මෙම ප්‍ර‍තිගාමී පන්ති උවමනාව ගැබ්ව පවතී.      

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පින්තාරු කර ඇති ව්‍යාජය මහජනතාව තුල වඩවඩාත් හෙලිදරව් වන තතු තුල, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කලේ “ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අයිතිය ඇති” බවයි. 

මේවා අමු ප්‍රලාපයන් ය. මෙම පාර්ලිමේන්තුවට එහි ආරම්භයේ පටන්ම ඇත්තේ   ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමීමේ කුප්‍රකට ඉතිහාසයකි. 1948 හි “නිදහසට” ආසන්න ඉක්බිත්තෙහි ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවන් ලක්ෂ ගනනකගේ පුරවැසි අයිතිය එවකට පැවති එජාප ආන්ඩුව යටතේ අහෝසිකර දැමුනේ පාර්ලිමේන්තුව තුල සම්මත කරගත් ප්‍රතිගාමී යෝජනාවකිනි. එය ලංකාවේ ධනපති පාලකයන්, කම්කරු පන්තිය  වාර්ගික  රේඛා ඔස්සේ  බෙදා එමගින් තම පාලනයට මුක්කු ගසා ගැනීමට  ගත් ආරම්භක පියවරක් විය.

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයට එරෙහි උද්ඝෝෂනය මූලික වසයෙන් පාදක කරගෙන ඇති   හයවන ව්‍යවස්ථා සංශෝධනය ද එවැනිම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරකි. දෙමල ජනයාගේ රුධිරයෙන් නැහැවුනු 1983 කලු ජූලිය මධ්‍යයේ එජාප ආන්ඩුව යෝජනා කොට සම්මත කරගත් මෙම සංශෝධනයට අනුව, වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම සහ උද්ඝෝෂනය කිරීම තහනම් වන අතර, මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමට දිවුරුම් දිය යුතු වෙයි. 

මෙම රුදුරු ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පල කරමින්, ඒ පිලිබඳව පැවති පාර්ලිමේන්තු විවාදය වර්ජනය කල දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු එතැන් පටන් හයවසරක් යනතුරු පාර්ලිමේන්තුවට නොපැමිනියහ. 

හයවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ආස්ථානයක් ගෙන සටන් කලේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්ව සංවිධානය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පමනි. 1983 සැප්තැම්බර් 20 වන දා, “හයවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට උද්ඝෝෂනය කරනු!” යන උද්ධෘතය යටතේ කම්කරු-පීඩිත ජනතාවට ප්‍රකාශයක් නිකුත් කරමින් විකොස මෙසේ පැවසීය:

“මෙම (හයවැනි) ව්‍යවස්ථා සංශෝධනය ද්‍රවිඩ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කම්කරු පන්තිය ගතයුතු ස්ථාවරය වලක්වාඇතිවා පමනක් නොව, ඒ පිලිබඳව කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට විවෘත ලෙස සහ ප්‍රජාතන්ත්‍රීය ලෙස සාකච්ඡාකර නිගමන වලට එලැඹීමට ඇති අයිතිය ද අහෝසි කර දමා ඇත.”

මෙම සංශෝධනයේදී සමසමාජ, කොමියුනිස්ට් සහ මාධ්‍යමික පක්ෂ ගත් ද්‍රෝහී ආස්ථානයන් පැහැදිලි කිරීමෙන් පසු, ප්‍රකාශය මෙසේ සඳහන් කරයි: “කම්කරු පන්තිය මේ ද්‍රෝහීත්වයට එරෙහිව පදනම් විය යුත්තේ මාක්ස්වාදී ස්ථාවරය මතය. කම්කරු පන්තියට තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීම සඳහා අරගලයට නායකත්වය දිය හැක්කේ, ධනපති රාජ්‍යයේ විලංගු බිඳිමින් පීඩිත ජාතීන්ගේ අයිතීන් අංශුවක් හෝ නොඅඩුව රැක දීමට ඉදිරිපත් වීමෙන් පමනි.”

සසප අද දිනද මෙම ආස්ථානය මත ‌ස්ථිරසාරව සටන් වදී.

කෙසේ නමුත්, විග්නේශ්වරන්ගේ ප්‍රකාශයට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනය, දෙමල ජාතිකවාදී දේශපාලන පක්ෂ විසින් තමන්ගේ ප්‍රතිගාමී දේශපාලනය ඔජ වැඩවීමට යොදා ගනිමින් සිටී.

දෙමල ධනපති නායකයන් ඔජ වඩන “බලය බෙදීම”, “වෙනම රාජ්‍යයක්” සඳහා ඉල්ලීම් කිසි සේත්ම දෙමල කතා කරන කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම නියෝජනය නොකරයි. ඒවායේ අරමුන වනුයේ, දකුනේ සිංහල ධනපති පන්තිය සමග සබඳතා වර්ධනය කරගනිමින් දෙමල ධනපති පන්තියේ වරප්‍රසාද තහවුරු කර ගැනීමයි.

පීඩිත ජාතීන්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රීය අයිතිය ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් ආරක්ෂා කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සිංහල සහ දෙමල කතා කරන කම්කරු පන්තිය ඒකාබද්ධව, ගොවීන් ඇතුලු අනෙකුත් පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින්, ඉන්දියානු උප-මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදීමෙන් පමනි. 

Loading