ජවිපෙ, 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අන්තරාය යටගසයි

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), රාජපක්ෂ ආන්ඩුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හමුවේ කම්කරු-පීඩිත මහජනතාවට මුහුන දෙන සැබෑ අන්තරාය යටගසා ඔවුන් දේශපාලනික ව අවමංගත කිරීමේ දැනුවත් ව්‍යායාමයක යෙදී සිටි.  

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෝත්‍රික නායකයෙකු අතට සියලු බලය පවරා ගැනීමක්  බව සැප්තැම්බර් 4 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත. “මෙය ගෝත්‍ර යුගයේ ගෝත්‍ර නායකයා අතට සියල්ල පවරා ගැනීමට සමාන තත්වයක්. අපේ රට ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා රැගෙන යාමක්” බව ඔහු එහිදී සඳහන් කර තිබේ. 

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කෙරෙන්නේ “රටේ අවශ්‍යතාවයන්” අනුව නොව,“එක්කොටසක දේශපාලන අවශ්‍යතාවයන් අනුව” බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. දිසානායක ඉන් උත්සාහ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතට විධායක බලය සංකේන්ද්‍රනය කර ගැනීම, හුදෙක් රාජපක්ෂ පවුලේ දේශපාලන  අවශ්‍යතා වෙනුවෙන් කෙරෙන්නක් බව හුවා දක්වීමට ය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුලින්, විධායක ජනාධිපති මත 19 වන සංශෝධනයෙන්  පනවා තිබු සීමාවන් ඉවත් කර, කැබිනෙට්ටුව, පාර්ලිමේන්තුව හා අධිකරනයට ඉහලින් ජනාධිපති අතේ විධායක බලය සංකේන්ද්‍රනය කර ගැනීමක් සිදුවේ. 

ඒ අනුව පාර්ලිමේන්තුව පත් වී වසරක් ඇතුලත විසුරුවා හැරීම, අධිකරන විනිසුරුවරුන් පත්කිරීම, කොමිසන් සභා පත්කිරීම, අමාත්‍යංශ ඔහු යටතේ පවත්වාගෙන යාමේ සහ අවශ‍්‍ය විටෙක ඒවා පවරා ගැනීම ඇතුළු අසීමිත බලයක් ජනාධිපති අත ගොනු කෙරෙයි. ආන්ඩුව “හදිසි පනත්” යනුවෙන් නම් කරන කවර හෝ පනතක් පාර්ලිමේන්තු විවාදයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසා පැය 24 ක් ඇතුලත සම්මත කිරීම ද නව සංශෝධනය යටතේ කල හැකිය.   

එහෙත්, එහි එල්ලය වනුයේ, හුදෙක් රාජපක්ෂ "ගෝත්‍රයේ" වරප්‍රසාද සහ දේශපාලන අවශ්‍යතාවයන් රැකීමක් නොව, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පන්ති පාලනය විසින් එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිතයන්ගේ අරගල රුදුරු ලෙස මර්දනය කරමින් ධනේශ්වර රාජ්‍යය සහ ධනපති පන්තියේ දේශපාලන ආර්ථික උත්සුකතාවයන් ආරක්ෂා කිරීමය. ඒ සඳහා මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කර ගැනීමට අවශ්‍ය විධායක බලය තහවුරු කර ගැනීමකි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජවිපෙ හි විවේචන එල්ල වන්නේ කම්කරු-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීම සම්බන්ධයෙන් නොව, එමගින් ධනේශ්වර රාජ්‍යය සහ එහි සංස්ථාවන්  කෙරෙහි මහජනතාව තුල වර්ධනය වෙමින් පවතින අපුල සහ විරුද්ධත්වය ගැඹුරුවීම සම්බන්ධයෙනි. දිසානායකට අනුව ජනාධිපති කල යුතුව තිබුනේ “තමන්ගේ ක්‍රියාවන්හි විනිවිදභාවය පවත්වා  ගැනීම, අධිකරනයේ හා පාර්ලිමේන්තුවට වගකීමට බැඳීම” හා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ "දුර්වලතා“ මඟ හරවා ගැනීමයි.

ජේ.ආර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය තහවුරු කෙරුනේ බරපතල සමාජ හා පන්ති අරගල වර්ධනයවීමේ කොන්දේසි තුලය. 1970 බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප), ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) හා ස්ටැලින්වාදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (කොප)) සභාග ආන්ඩුව, ලෝක බැංකු නියෝග යටතේ ක්‍රියාවට දැමු ආර්ථික කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන්ගේ, ගම්බද දුගීන් ගේ, රැකියා විරහිත තරුනයන් ගේ හා ශිෂ්‍යයන්ගේ පුළුල් සමාජ අරගලවලට මුහුන දුන් අතර 1976 කම්කරු පන්තියේ මහ වර්ජනය විසින් එය පුපුරවා හරිනු ලැබීය.  

ජයවර්ධන ආන්ඩුව 1977 බලයට පත් වූයේ  සභාග ආන්ඩුව කෙරෙහි වර්ධනය වී පැවති මහජන වෛරය සහ ලසසප, කොප හා වෘත්තීය සමිති විසින් කම්කරු පන්තිය දේශපාලනිකව අවමන්ගත කිරීමේ වාසිය ද ගසා කෑමෙනි.  ධනපති පන්ති පාලනය බරපතල අර්බුදයකට ඇද  දැමු පන්ති අරගල තලා දැමීමේ මර්දනකාරී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම 1978  ප්‍රතිගාමී ව්‍යවස්ථාවේ  මුලික එල්ලය වුයේ ය.

ඒ හරහා සිදු කෙරුන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමීමට එරෙහිව කම්කරු-පීඩිත ජනයා අතර පුළුල් විරෝධයක් මතු වූ තතු තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ධනපති දේශපාලන පක්ෂ විසින් මැතිවරන වල දී යලි යලිත් පොරොන්දු දුන්හ. එහෙත් එය අහෝසි කිරීමක් සිදු නොවුනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නියෝග යටතේ ක්‍රියාවට දැමුන විවෘත ආර්ථික පිලිවෙත් වලට එරෙහිව පැන නැගුන අරගල මැඩීමට සහ දෙමල ජනයාට එරෙහි වාර්ගික යුද්ධය සඳහා විධායක ජනාධිපති ක්‍රමය සහිත මර්දනකාරී පාලනයක අවශ්‍යතාවය ධනපති පාලක පන්තිය හොදින් ම වටහාගෙන තිබුනි. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ධනපති පක්ෂ වල ව්‍යාජ මැතිවරන පොරොන්දු වලටවිවෘතව සහයෝගය දුන් ජවිපෙ දෙමල විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ දී "බෙදුම්වාදී ත්‍රස්තවාදය" පරාජය කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බව පවසමින් එය ආරක්ෂා කලේ ය. 

ජවිපෙ කවර දිනකවත් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටි අතර හැම විට ම එහි මුලික උත්සුකය වුයේ ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීමය. 1970 සමගි පෙරමුනු ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන් එය, 1977 මැතිවරනයේ දී එජාපයට  සහයදීම සඳහා ජයවර්ධන සමග රහස්  ගිවිසුමකට එලඹුනි. ජවිපෙ, 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ජනාධිපති ආර්.ප්‍රේමදාස සමග ඊනියා දේශප්‍රේමී පෙරමුනක් පවත්වාගෙන ගියේය. 

බෙදුම්වාදී එල්ටිටිඊ ට එරෙහි යුද්ධය සහ පන්ති අරගලයන්ගේ වර්ධනය මැද රට තුල දේශපාලන ආතතිය ගැඹුරු වෙද්දී  ජවිපෙ 2004 දී ජනාධිපති  චන්ද්‍රිකා කුමාරතුංග සමග සන්ධාන ගත විය. හිලව්වට ලැබුන ඇමති පට්ටම් තුනක් සහිතව ඇයගේ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමුනු ආර්ථික කප්පාදු පිලිවෙත් වලට මුලුමනින් සහයෝගය දුන්නේ ය. 

දෙමල ජනයාට කිසිදු සහනයක් දීමට විරුද්ධව කුමාරතුංග ආන්ඩුවෙන් ඉවත් වූ ජවිපෙ අනතුරුව 2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇද්දේය.  එල්ටීටීඊ ය සමග සාම සම්මුතිය බිඳ දමා ඔහු විසින් යලි ආරම්භ කල වර්ගවාදී යුද්ධය, එල්ටීටීඊය මිලිටරි වසයෙන් පරාජය කොට, 2009 දී අවසන් කෙරෙන තුරුම ජවිපෙ, රාජපක්ෂ ආන්ඩුව ට සහයෝගය දුන්නේය. 

2015 රාජපක්ෂ තන්ත්‍රය බලයෙන් පහකර මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කෙරුනේ, රාජපක්ෂ චීනය වෙත වැඩියෙන් නැඹුරුවීම කලාපය තුල තම මලෝපායාත්මක  අවශ්‍යතාවයන්ට හතුරුව යාමක් ලෙස සැලකු, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිටුබලය ලත් දේශපාලන කුමන්ත්‍රනයක කොටසක් ලෙසය. එමෙන් ම එය රාජපක්ෂ පාලනයට එරෙහිව වර්ධනය වී තිබුන පුලුල් මහජන වෛරය ව්‍යාජ වම්මුන්, මධ්‍යම පන්තික කලාකරුවන් සහ ධනේශ්වර බුද්ධිමතුන් රොත්තකගේ සහාය ඇතිව අපගමනය කිරීම සඳහා වූ එජාපය ඇතුලු ධනපති පන්තියේ කොටසක දැනුවත් දේශපාලන ව්‍යායාමයක් ද වුයේ ය. 

රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ කඩතුරාව යටතේ 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේනට සහය දුන් ජවිපෙ, ආන්ඩුවේ ආර්ථික-දේශපාලන පිලිවෙත් ක්‍රියාවට  දැමීම පිනිස ඔහු විසින් පත්කල විධායක සභාවට ජවිපෙ නියෝජිතයා ලෙස දිසානායක සම්බන්ධ විය.

සිරිසේන-වික්‍රමසිංහ  ආන්ඩුව විසින් ගෙනෙන ලද  19 වන ව්‍යවස්ථා සංශෝධනය “දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනයක්” ලෙස ජවිපෙ විසින් හුවා දැක්වී ය. 19 වන සංශෝධනය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය  ආරක්ෂා කිරීම සඳහා නොව, විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි මහජනතාව තුල වේගයෙන් වැඩෙමින් පැවති විරෝධය සමහන් කිරීමේ කූට ප්‍රයත්නයක කොටසක් ලෙසය. 

එමගින් පාර්ලිමේන්තුව පත් වී වසරකින් විසුරුවා හැරීම ට, ජනාධිපති අත පැවති බලය අහෝසි කොට වසර හතර හමාරක් දක්වා එය දීර්ඝ කිරීම, ජනාධිපතිවරයෙකුගේ  දුර කාලය දෙවතාවකට සීමා කිරීම, ඊනියා ස්වාධීන කොමිසන් සභා පත්කිරීම ඇතුලු සීමිත වෙනස්කම් කිහිපයක් කෙරුනි.

එහෙත් සමාජ පිපිරීම් වල වර්ධනය හා ධනපති පාලක පන්තියේ ආර්ථික-දේශපාලන අර්බුදය ගැඹුරුවීම තුල එම සීමාවන් වුව ද ධනේශ්වර රාජ්‍යයේ ස්ථාවරත්වයට බාධාවක් හා එම සංශෝධනය ආපසු හැරවිය යුතු බව ධනපති පන්තිය විසින් වටහා ගැනුනි. 

ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසින් ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරන වල දී “ස්ථාවර ආන්ඩුවක්” ගොඩනැගීම සඳහා 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ උද්ඝෝෂනය පෙරට ගැනුනේ එම තතු තුලය.

ලෝක ධනවාදය මුහුන දී සිටින්නේ පද්ධතිගත අර්බුදයකට ය. කොරෝනා වසංගතය විසින් එය වේගවත් කර ඇත.  ධනවාදයේ ගැඹුරුවන  අර්බුදය තුල සෑම රටක ම, ධනපති පාලක පන්තීන් විසින් කම්කරු පන්තියේ ජීවනතත්වයන් ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරය තීව්‍ර කර ඇත. 

මෙම ප්‍රහාරයන් ට එරෙහිව වැඩුනු ජාත්‍යන්තර පන්තිය අරගල රැල්ල කොරෝනා වසංගතය විසින් තාවකාලිකව පසුපසට තල්ලු කෙරුන ද එය නව වටයකින් ඉස්මතුවෙමින් ඇත. අධිරාජ්‍යවාදීන් සහ ධනපති පාලක පන්තීන් පන්ති අරගලයේ මෙම නැගීමට ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇත්තේ  දක්ෂිනාංශික හා ෆැසිස්ට් පාලන තන්ත්‍රයන් කරා මාරුවීම තුලිනි.  මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා රාජපක්ෂ ආන්ඩුවේ නැඹුරුව එහි කොටසකි. විසි වන ව්‍යවස්ථා සංශෝධනය විසින් වැඩකරන ජනතාව ඉදිරියේ තීරනාත්මකව මතු කර ඇති අන්තරාය එයයි. 

එම අන්තරාය පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගන්වා ගනු ලබන ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් මගින්, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ  ධනපති පන්ති  පාලනය අහෝසි කර, ප්‍රතිගාමී  ධනේශ්වර ව්‍යවස්ථාව කටු ගා දමා කම්කරු-පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම තුලින් පමනි.

Loading