කොවිඩ්-19 ආසාදන අතින් ඉන්දියාව දැන් ඇමරිකාවට පමනක් දෙවැනි වුවත්, යලි විවෘත කිරීම දිගටම සිදුවේ

මෙම ලිපිය සැප්තැම්බර් 9 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

සඳුදා නව ආසාදන 90,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමෙන් පසුව ඉන්දියාව, බ්‍රසීලය අභිබවා යමින් ලොව දෙවන වැඩිම COVID-19 රෝගීන් සිටින රට බවට පත්විය.

දෛනික මරන දහසකට ආසන්න සංඛ්‍යාවක් ඇතුලු ව්‍යසනකාරී තත්වය තිබියදීත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආන්ඩුව සහ විවිධ ප්‍රාන්ත ආන්ඩු, ආර්ථිකය යලි විවෘත කිරීම සඳහා පියවර ගනිමින් සිටී. විපක්ෂ කොන්ග්‍රස් පක්ෂය සහ විවිධ ප්‍රාදේශීය හා කුල පක්ෂ විසින් මෙහෙයවනු ලබන හෝ සහාය දක්වන ප්‍රාන්ත ආන්ඩු සහ සීපීඑම් සහ සීපීඅයි හි ඔවුන්ගේ ස්ටැලින්වාදී සහකරුවන් ද මෙයට ඇතුලත් ය.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, සඳුදා 90,802 ක් සමග නව ආසාදන සඳහා නව ලෝක වාර්තාවක් තැබූ අතර, එ් අනුව ඉන්දියාවේ මුලු නිල සංඛ්‍යාව මිලියන 4.2 ඉක්මවා ඇත. මාසයක පමන කාලයක් තිස්සේ ඉන්දියාව ලොව වැඩිම දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කල අතර, මියගිය සංඛ්‍යාව 71,642 දක්වා ඉහල නැඟ තිබේ.

ඉන්දියාවේ මුම්බායි හි හුදකලා මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙක් COVID-19 ධනාත්මක රෝගියෙකු සමඟ කතා කරයි. (ඒපී ඡායාරූපය / රාජනිෂ් කකාඩේ)

වෛරසය පැතිරීමේ වේගය පසුගිය මාසය තුල නාටකාකාර ලෙස වේගවත් වී තිබේ. අගෝස්තු පලමු සතිය තුල නව දෛනික රෝගීන් 55,000 ක පමන සිට දැන් ඉන්දියාව දිනකට නව රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කරයි. ඉන්දියාවේ තහවුරු කරන ලද COVID-19 ආසාදන සංඛ්‍යාව මාසයක් තුල මිලියන 2 සිට මිලියන 4 දක්වා වැඩි වී තිබේ. ආසාදන මිලියනයකින් වැඩිවීමට ගතවී ඇත්තේ දින 13 ක් පමනක් වන අතර එය අගෝස්තු 22 වන දින මිලියන 3 සිට සැප්තැම්බර් 4 වන දින මිලියන 4 දක්වා වැඩි විය.

මෙම සංඛ්‍යාලේඛන කෙතරම් භයානක වුව ද ඒවා අර්බුදයේ සැබෑ පරිමානය සැලකිය යුතු ලෙස අවතක්සේරු කිරීමකි. අවාසනාවන්ත ලෙස අඩු පරීක්ෂන අනුපාතය හේතුවෙන් COVID-19 ආසාදනවලින් ඉතා සුලු ප්‍රමානයක් පමනක් හඳුනාගෙන ඇති බවට සියලු විශේෂඥයෝ එකඟ වෙති.  ඉන්දියාව දැනටමත්, ලෝකයේ වැඩිපුරම බලපෑමට ලක්වූ රට වන එක්සත් ජනපදය  ඉක්මවා ගොස් ඇති බව සමහරු අදහස් කරති.

මහජන සෞඛ්‍ය පර්යේෂකයෙකු සහ වොෂිංටනයේ රෝග ගතිකය, ආර්ථික හා ප්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානයේ (සීඩීඩීඊපී) අධ්‍යක්ෂ වෛද්‍ය රාමනන් ලක්ෂිනාරායන් සීබීඑස් ප්‍රවෘත්ති සේවයට පැවසුවේ “ඉන්දියාව එක්සත් ජනපදය අබිබවා යාම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනයි. අප කතා කරන්නේ වාර්තා වී ඇති ආසාදන ගැන පමනක් වන අතර, අඩු පරීක්ෂන මට්ටම සලකා බලන විට,  ඉන්දියාවේ සැබෑ ආසාදන දැනටමත් එක්සත් ජනපදය ඉක්මවා ගොස් ඇති බව නිසැක ය. “රුධිර සාම්පල” සෙරොප්‍රෙවෙල්න්ස් ” seroprevelance පරීක්ෂාව මගින් පෙන්නුම් කරන්නේ “අවම වශයෙන් ඉන්දියාවේ ආසාදන මිලියන 100 ක්වත්  වන බවය ”.

මධ්‍යම මෝදි ආන්ඩුවේ සහ විවිධ ප්‍රාන්ත ආන්ඩුවල කුරිරු හා සාපරාධී ප්‍රතිපත්ති, සෞඛ්‍ය ව්‍යසනයට අමතරව දැවැන්ත සමාජ පීඩාවන් ඇති කර තිබේ.

පැය හතරකට අඩු දැනුම්දීමකින් මාර්තු 25 වන දින ක්‍රියාත්මක කරන ලද මෝඩිගේ වැරදි යොමුවකින් හා වැරදි ලෙස සකස් කරන ලද කොරෝනා වෛරස් ජාතික අගුලු දැමීම සම්පූර්නයෙන්ම අසාර්ථක විය. ඉන්දියානු පාලක ප්‍රභූව විසින් අගුලු දමනු ලැබූ කාලය, මහා පරිමාන පරීක්ෂන සහ සම්බන්ධතා සොයා ගැනීමේ පුලුල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම හෝ රටේ කාලානුරූපීව අඩු සම්පත් සහිත මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට මහා පරිමානයෙන් අරමුදල් යෙදවීම පිනිස උපයෝගී කරගැනීම ප්‍රතික්ෂේප කලේය.

භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, පැය ගනනක් ඇතුලත ක්‍රියාත්මක කල අගුලු දැමීම හේතුවෙන්, එක රැයකින් රැකියා අහිමි වූ මිලියන ගනන් දුගී දුප්පත් කම්කරුවන්ට සාගත ශෛලියේ සහන වැඩසටහන්වලට වැඩි යමක් ලබා නොදීමේ ප්‍රතිපලයක් ලෙස සමාජ පීඩාව, නිවාස නැතිකම සහ සාගින්න පුලුල් ලෙස පැතිර ගියේය. අගුලු දැමීම සහ ආන්ඩුව සමාජ සහන ප්‍රතික්ෂේප කිරීම නිසා පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීමක් ඇති විය. ජුනි මාසයෙන් අවසන් වන කාර්තුවේදී ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතය සියයට 23.9 කින් පහත වැටී ඇති අතර එය ප්‍රධාන ආර්ථිකයන් අතර වාර්තාගත විශාලතම අඩුවීමයි.

පාලක පන්තිය  කම්කරුවන් යලි රැකියාවලට දැක්කීම සඳහා මෙම සමාජ කාලකන්නිකම උපයෝගී කරගෙන ඇති අතර, සූරාකෑමෙන් ලාභය සමුච්ඡය කිරීම නැවත ආරම්භ කලේය. අපනයන කර්මාන්ත සහ අනෙකුත් කාර්මික අවශ්‍යතා සඳහා වන අගුලු දැමීමේ සීමාවන් ඉවත් කිරීම ආන්ඩුව විසින් අප්‍රේල් අග ආරම්භ කලේය.  ආසාදන වැඩිවීමට මෙය ක්ෂනික හේතුවක් විය.

මෙම වෛරසය දැන් රට පුරා ව්‍යාප්ත වී ඇති අතර, බොහෝ ප්‍රධාන නගරවල සහ ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවා පහසුකම් කිසිසේත්ම ප්‍රමානවත් නොවන දුප්පත් නිවාස ප්‍රදේශවල එය මුල්බැස ඇත. ඉන්දියාවේ සිට කිලෝමීටර් 1,000 කට වඩා දුරින් පිහිටි අන්දමන් සහ නිකොබාර් දූපත් වෙත පවා එය ලඟාවී වී ඇත.

ආර්ථිකය නැවත විවෘත කිරීම සඳහා මෝඩි ආන්ඩුව සහ එහි ප්‍රාන්ත සගයන්ගේ තල්ලුවට, COVID-19 ආසාදන හා මරන වැඩිවීම මඟින් විරාමයක් ලබා දී නැත. මිනිස් ජීවිතවලට පෙර ලාභය තබමින් ඔවුහු, “රංචු ප්‍රතිශක්තිය” අනුගමනය කරති. ජනගහනයෙන් අති බහුතරයකට ආසාදනය වෙමින් වෛරසය ව්‍යාප්ත වන තෙක් එය පැතිරීමට බලධාරීන් ඉඩ දෙන මෙය මිනීමරු ප්‍රතිපත්තියකි.

බොහෝ ව්‍යාපාරවලට දැන් නැවත විවෘත කිරීමට අවසර දී ඇත. කාමරයකට පහක් හෝ ඊට වැඩි ගනනක් ගොනුවී සිටින සහ නිසි සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශයක් නොමැතිව ජීවත් වන මිලියන සංඛ්‍යාත නාගරික දුප්පතුන්ට සැමවිටම කල නොහැකි වන සමාජ දුරස්ථභාවය සහ අනෙකුත් මූලික වැලැක්වීමේ පියවර ගැනීම්, බොහෝ දුරට අතහැර දමා ඇත. රට පුරා නගරවල සහ  වෙලඳපලවල් යලිත් වතාවක් මිනිසුන්ගෙන් පිරී යාමත් සමඟ  තවදුරටත් ආසාදන පැතිරීම වේගවත් වීමේ අවදානම වැඩි කරයි.

මෝදි ආන්ඩුවේ “අගුලු හැරීමේ” සිව්වන අදියරට අනුව, ඉන්දියාව දිනපතා ආසාදන සඳහා නව ලෝක වාර්තාවක් තැබූ දිනයේම, මාස පහක කාලයක් පවත්වාගෙන ගිය වසා දැමීමේ ක්‍රියාමාර්ග අවසන් කරමින්, ජාතික අගනුවර වන දිල්ලියේ සහ තවත් නගර දහයකට වැඩි ගනනක දුම්රිය ජාලයන් නැවත ආරම්භ විය. විශාල පිරිසක් දුර්වල වාතාශ්‍රයක් සහිත අතුරු මාර්ග වල ගැවසෙන්නට පටන් ගැනීමත් සමඟ, ආසාදන හා මරන තියුනු ලෙස ඉහල යනු ඇත.

රටේ විශාලතම වේගවත් ප්‍රවාහන පද්ධතිය වන දිල්ලි මෙට්‍රෝව නැවත විවෘත කිරීම, මගීන්ගේ පරිමාව සහ  මෑතක සිට අගනුවර කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීම සලකන කල, විශේෂයෙන් නොසැලකිලිමත් පියවරකි. මාර්තු මාසයේදී එය වසා දැමීමට බලකෙරුනාට පෙර,  සාමාන්‍යයෙන් එහි දිනකට මගීන් මිලියන 2.7 ක් තදබදවී ගමන් කලේය. ප්‍රථමයෙන් නැවත විවෘත කරන ලද යෙලෝ ලයින්, උතුරු දිල්ලියේ සිට උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කාර්මික හා තොරතුරු තාක්ෂන කේන්ද්‍රස්ථානයක් වන ගුර්ගෝන් නම් අතුරු නගරය අතර දිව යයි. දුම්රිය ස්ථාන 37 ක් සම්බන්ධ කරමින් දිනකට මගීන් මිලියන 1.45 ක් පමන ගමන් කරන කාර්යබහුලම මාර්ගය මෙයයි.

වැඩකරන ජනතාවට මාරාන්තික වෛරසයෙන් එල්ල වන තර්ජනය ගැන පාලක ප්‍රභූවේ උදාසීනත්වයට තවත් උදාහරනයක් වන්නේ, මධ්‍යම ආන්ඩුවේ ආයතනයක් වන ජාතික පරීක්ෂන ඒජන්සිය (එන්ටීඒ) රට පුරා ප්‍රධාන නගරවල විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය පැවැත්වීමට යාමයි. බොහෝ දෙනෙකුට විභාගයට සහභාගී වීම සඳහා සැලකිය යුතු දුරක් ගමන් කල යුතුව ඇති අතර, කෝපයට පත් සිසුන්ගේ විරෝධතා නොසලකා හැර තිබේ. මෝදි ආන්ඩුවේ තීන්දුවට පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරනය, අගෝස්තු 17 වන දින සිසුන් වෙනුවෙන් ගොනු කල අභියාචනයක් නිෂ්ප්‍රභ කලේය. විභාග පැවැත්වීමට අපොහොසත් වීමෙන් සිසුන්ගේ අධ්‍යාපනය “අනතුරකට” ලක්වනු ඇතැයි අධිකරනය කියා සිටියේය. “COVID-19 පවතිද්දී වුනත් ජීවිතය ඉදිරියට යා යුතුයි.” මෙය  මෝදි ආන්ඩුව සහ එහි ප්‍රාන්ත සගයන් මතුරන මන්ත්‍රයට මුලුමනින්ම අනුකූල වේ. ඔවුන් සියල්ලන්ම අවධාරනය කරන්නේ, අනාරක්ෂිත තත්වයන් යටතේ වුවත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කම්කරුවන්ට බල කල කරමින් ව්‍යාපාර නැවත විවෘත කල යුතු බවය. එමඟින් ජීවිතය “සාමාන්‍ය” තත්වයට පත්වනු ඇත, එනම් පාලක පන්තියට තවදුරටත් ධනවත් විය හැකිය.

ලොව පුරා සිටින ඔවුන්ගේ සගයන් මෙන්ම මෝදි ආන්ඩුව සහ සමස්තයක් වශයෙන් ඉන්දියානු ධනේශ්වර ප්‍රභූව, ධනේශ්වර දේශපාලනය තව දුරටත් දකුනට මාරු කිරීම සඳහා  වසංගතය අල්ලාගෙන තිබේ. මෝදිගේම වචනවලින් කියතොත් ඔහුගේ ආන්ඩුව, ආර්ථික ප්‍රතිසංස්කරනයේ, එනම් ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂනය කර ගන්නා ආයෝජක ගැති ප්‍රතිපත්තිවල “ක්වොන්ටම් පැනීමක්”quantum jump සමඟ ඉදිරියට යමින් සිටී. “ප්‍රතිසංස්කරන” අතරට, පුද්ගලීකරනය වේගවත් කිරීම, කම්කරු නීතිවල විශාල වෙනස්කම් කිරීම, සේවා යෝජකයන්ට කැමති පරිදි කම්කරුවන් බඳවා ගැනීම සහ සේවයෙන් පහ කිරීම ”, ව්‍යාපාර සංවර්ධනය සඳහා ඉඩම් පරිහරනය පිලිබඳ රෙගුලාසි ලිහිල් කිරීම සහ දැඩි කප්පාදු පියවරයන් ඇතුලත් වේ.

සිය ප්‍රතිපත්ති කෙරෙහි නැගී එන සමාජ කෝපය ප්‍රතිගාමී දිශාවකට හරවා යැවීම සඳහා මෝඩි, චීනය සමඟ ඉන්දියාවේ දේශසීමා ගැටුම උත්සන්න කිරීම මගින් යුදවාදී ඉන්දියානු ජාතිකවාදය අවුස්සමින් සිටී. මෙලෙස ඔහු ධෛර්යමත් කර ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි. එය බීජිනයට එරෙහි ආර්ථික හා මිලිටරි මූලෝපායික ප්‍රහාරයේ තීරනත්මක හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව ප්‍රවර්ධනය කරයි.

දෙරට අතර පවතින දේශ සීමාව වැටී තිබෙන තථ්‍ය පාලන රේඛාව (එල්ඒසී) Line of Actual Control  සම්බන්ධයෙන් ඉන්දියානු හා චීන හමුදා අතර ඇති වූ ආරවුලක් අතරතුර වෙඩි තැබීමත් සමඟ සඳුදා ඉන්දියාව සහ චීනය අතර ආතතීන් යලි උත්සන්න විය. පලමු වෙඩි මුරය තැබීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගත්හ. ජුනි මාසයේ හිමාලයානු කඳු වැටියේදී ඇති වූ ගැටුමකින් ඉන්දියානු හා චීන සොල්දාදුවන් දුසිම් ගනනක් මිය ගිය ද වසර 45 ක් තුල දෙපාර්ශ්වය අතර සජීවී වෙඩි හුවමාරුවක් ඇති වූ පලමු අවස්ථාව මෙයයි.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර මිලිටරි ගැටුමක අන්තරාය කෙතරම් උග්‍ර වී ඇත්ද යත්, චීන “ආක්‍රමනයට” එරෙහි වන ලෙස නවදිල්ලියෙන් ඉල්ලා සිටින ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කොටස් පවා දැන් තත්වය ගැන අනතුරු අඟවති. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ කතුවැකියක් මෙසේ ලිවීය. “අපි පූර්න පරිමානයේ යුද්ධයකට තුඩු දිය හැකි භයානක අනුකෘතියකට පිවිසෙමින් සිටිමු. එවැන්නක් සිදු වුවහොත් එය මහා විනාශයක් වනු ඇත. ”

මෝදි ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට විරුද්ධව, මෑත සතිවල වැඩ වර්ජන හා වෙනත් විරෝධතාවලට වැඩි වැඩියෙන් කම්කරුවන් සහභාගී වී තිබේ. වසංගතය මධ්‍යයේ සෞඛ්‍ය ආරක්ෂනය සහ කෙලින්ම ඒ්වාට සම්බන්ධ අනෙකුත්  සේවකයින් සඳහා ප්‍රමානවත් පුද්ගලික ආරක්ෂක උපකරන සැපයීමට බලධාරීන් අපොහොසත් වීම පිලිබඳව මෙන්ම සැලසුම් කර තිබෙන පෞද්ගලීකකරනය කෙරෙහි ද විශේෂයෙන්ම කෝපය දැල් වී තිබේ.

කොරෝනා වෛරසය ප්‍රචන්ඬ ආකාරයෙන් පැතිරීම නැවැත්විය හැක්කේ ද, වසංගතයේ විනාශකාරී ආර්ථික බිඳවැටීමෙන් වැඩ කරන ජනතාව ආරක්ෂා කල හැක්කේ ද  ඉන්දීය පාලක ප්‍රභූව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ ඇති කර ගත් මිත්‍ර සන්ධානය සහ මිලිටරි ගැටුම් අවුලුවාලීමට සාර්ථකව විරුද්ධ විය හැක්කේ ද කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස නැඟී සිටීමෙන් පමනි. කම්කරු ආන්ඩුවක් සහ සමාජවාදය සඳහා වන අරගලයේදී  එය ග්‍රාමීය දුප්පතුන් සහ අනෙකුත් පීඩිතයින් තමන් පිටුපස පෙලගස්වා ගත  යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, “COVID-19 වසංගතයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය සඳහා!” යන සිය ප්‍රකාශය තුල පැහැදිලි කල පරිදි:

“වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ පාලනය,  ධනපති පන්තිය අතින් ඉවත් කල යුතුය. වසංගතය පාලනය කර ගැනීමටත්, දැන් අවදානමට ලක්ව ඇති මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමටත්, ජාත්‍යන්තර පරිමානයෙන් සම්බන්ධීකරනය කරන කම්කරු පන්තියේ මහජන ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. වසංගතයට එරෙහි සටන මූලික වශයෙන් පවා වෛද්‍ය ගැටලුවක් පමනක් නොවේ. සියල්ලටත් වඩා එය සමාජ හා දේශපාලන අරගලය පිලිබඳ කාරනයකි. ”

Loading