ඉදිරිදර්ශන

එක්සත් ජනපදය: සිවිල් යුද්ධ මැතිවරනය

මෙම ලිපිය සැප්තැම්බර් 9 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද ජනාධිපතිවරනයට තව ඇත්තේ සති අටක කාලයකි . ට්‍රම්ප් හා  බිඩෙන් අතර උද්ඝෝෂනය, හැම විට ම ඒ්කාධිපතිවාදය හා යුද්ධය කරා වන ගමනට අවංක විකල්පයක් ඉදිරිපත් නො කරන, ඩිමොක්‍රටික් පක්ෂයේ උද්ඝෝෂනයට එරෙහි ව ප්‍රචන්ඩත්වය හා පොලිස් රාජ්‍ය මර්දනයට වඩ වඩාත් විවෘත ආයාචනයක් කරමින් සිටින පරිපාලනයක් හා ගැටෙමින් තිබේ.

ට්‍රම්ප් පරිපාලනය මැතිවරන ව්‍යාපාරය උපයෝගී කරගනිමින් සිටින්නේ රුදුරු සමාජ විරෝධී පදනමක් මත දක්ෂිනාංශික, ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමේ ව්‍යායාමයක් ලෙසය. පසුගිය මාසයේ විස්කොන්සින් ප්‍රාන්තයේ කෙනෝෂා හි දී විරෝධතාකරුවන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කල කයිල් රිටන්හවුස්ට  තමා කල ප‍්‍රශංසාව ට‍්‍රම්ප් ඉදිරියට ගෙන ගොස් ඇත්තේ, පොලිස් ප්‍රචන්ඩත්වයේ විරුද්ධවාදීන්ට එරෙහි ව එල්ල කෙරුනු පලිගැනීමේ ඉල්ලීම් සමගිනි.

පසුගිය සතියේ එක්සත් ජනපද ඉහල මිලිටරි නිලධාරීන් විසින් විරෝධතාකරුවෙකු වූ මයිකල් රෙනොහෙල් ඝාතනය කිරීම පිලිබඳ ව ජනාධිපතිවරයා සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශංසා කලේ ය. “කවුරුහරි නීතිය කඩ කරනවා නම්, යම් ආකාරයක  දඬුුවමක් ලැබිය යුතුයි” ට්‍රම්ප් ප්‍රකාශ කලේ තම ආධාරකරුවන්ගේ නීති විරෝධී පලිගැනීම් අනුමත කරමිනි. එදින ම ඔහු දක්ෂිනාංශික විචාරක දිනේෂ් ඩිසූසාගේ ප්‍රකාශයක් යලි ටිවීට් කරමින් කියා සිටියේ, දේශපාලන නොසන්සුන්තාව “රට පුරා පුරවැසි මිලීෂියාවන්ගේ නැගීමට,” එනම්, ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් හි විරෝධතාකරුවන් බිය ගැන්වීමට වග කිව යුතු, දේශප්‍රේමී යාච්ඥාව (Patriot Prayer) වැනි ෆැසිස්ට් සුපරීක්ෂාකාරී සංවිධානවල නැගීමට හේතු වනු ඇති බව යි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි ට්‍රම්ප් ජනාධිපති ධුරය සඳහා තරඟ වදිමින් සිටිනවා නො වේ. ඔහු තරඟ වදින්නේ (හිට්ලර් මෙන්) ආඥාදායකයෙක් Führer වීමට යි. ඔහුගේ උද්ඝෝෂනය 1932 දී ජර්මානු චාන්සලර් තනතුර සඳහා හිට්ලර් ගෙනගිය ව්‍යාපාරයේ ආදර්ශයක් වන බව පෙනේ. ඇමරිකානු ඉතිහාසයේ පෙර නො වූ විරූ භාෂාවක් භාවිතා කරමින් ද නොවැම්බර් 3 වන දින ප්‍රතිඵලය නො සලකා හරිමින් ද ට්‍රම්ප් ‌උත්සාහ කරමින් සිටින්නේ, ඒ තුල තමා ව්‍යවස්ථා විරෝධී නායකයා ලෙස මතු වනු ඇති, දක්ෂානාංශික ව්‍යාපාරයක් සඳහා කොන්දේසි නිර්මානය කිරීමට යි.  

ට්‍රම්ප් ජයග්‍රහනය කලොත්, ඔහු වහා ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය හා පොලිස් රාජ්‍ය පාලන ක්‍රම වඩ වඩාත් යොදාගනු ඇති බවට සැකයක් නැත.

මෙම තතු යටතේ ඩිමොක්‍රටික් පක්ෂයේ තර්කය, ට්‍රම්ප්ට එරෙහි සියලු විරුද්ධත්වය බිඩෙන් තෝරා ගැනීම පසුපස පෙලගැවිය යුතුය යන්නයි. කෙසේ වෙතත්, කම්කරුවන් සම්බන්ධයෙන් ගත් විට ඔවුන්ගේ අරගල, ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරන ගනන් බැලීම්වලට යටත් කිරීමට ඉඩ දීම මාරක දේශපාලන වැරද්දක් වනු ඇත.

ට්‍රම්ප් කොහෙන් වත් පාත්වුනා නො වේ. ඔහු වඩාත් රලු ආකාරයකින් ප්‍රකාශ කරන්නේ, සමස්තයක් ලෙස ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යයෙන්ම ෆැසිස්ට්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආවේගය යි. ට්‍රම්ප් නිරයෙන් මුදා හරින ලද යක්ෂයෙකු නො වන බව හෙලි කරන්නේ, බ්‍රසීලය හා ඉන්දියාවේ සිට ප්‍රන්සය හා ජර්මනිය දක්වා වර්ධනය වන ඒකාධිපතිවාදය හා ෆැසිස්ට්වාදය  විශ්වීය සංසිද්ධියක් ය යන කාරනයයි.

කම්කරු පන්තිය සිය විරුද්ධත්වය යොමු කල යුත්තේ, ට්‍රම්ප් එහි ප්‍රකාශනයක් වන යටින් පවතින රෝගයට යි. මෙම අර්බුදය අවුලුවමින් තිබෙන කොන්දේසි මොනවා ද?

පලමුවෙන් කොරෝනා වෛරස් වසංගතය,  ධනවාදය විසින් සමාජය මෙහෙයවා ඇති විනාශකාරී තත්වය හෙලිදරව් කර තිබේ. එය සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ ලාභ අවශ්‍යතා සඳහා සියල්ල යටත් කිරීමේ ආන්තික ප්‍රකාශනයක් මෙන් ම ඵලයකි.

පාලක පන්තිය ඵලදායී ලෙස බාධාවකින් තොර ව වෛරසයට පැතිරීමට ඉඩ දිය යුතුය යන “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද නමුත් ඩිමොක්‍රටික්- රිපබ්ලිකානු යන දෙගොල්ලම විසින් ක්‍රියාත්මක කරනු ලබන, යලි වැඩට දැක්කීමේ උද්ඝෝෂනය මරන සංඛ්‍යාව විශාල ලෙස ඉහල යාමට මග පාදා ඇති අතර, එය දැනට මත් මරන 200,000 කරා ලඟා වෙමින් තිබේ. වොෂිංටන් විශ්ව විද්‍යාලය දැන් ගනන් බලා ඇති පරිදි වසර අවසාන වන විට මරන සංඛ්‍යාව 400,000 ඉක්මවා යනු ඇත.

දෙවනුව, වසංගතයේ සෞඛ්‍ය බලපෑම පසෙකින් මිලියන සංඛ්‍යාත පුද්ගලයන්ට   බලපාන ගැඹුරු වන්නා වූ සමාජ හා ආර්ථික අර්බුදයක් පවතී. යලි වැඩට දැක්කීමේ උද්ඝෝෂනය  නො තකා, වසංගතය කඩාවැදීමට පෙර තිබූ රැකියා සංඛ්‍යාව, මිලියන 11න් අඩු වී ඇත. මිලියන ගනනක් දරිද්‍රතාවයට ඇද දමමින් කොන්ග්‍රසය ෆෙඩරල් විරැකියා සහන කල් ඉකුත්වීමට ඉඩ දී සති හයක් ගත වී ඇත. මේ වසරේ සාගින්නෙන් පෙලෙන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව සියයට 45න් ඉහල ගොස් මිලියන 50ට වඩා වැඩි වනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

මාර්තු මස අග දී කොන්ග්‍රසයේ ඒකමතික සහයෝගය ඇතිව අනුමත කරන ලද වෝල් වීදියේ සංගත වලට ඩොලර් බිලියන ගනනක ඇපදීම, කතිපයාධිකාරයේ ධනය විශාල ලෙස වැඩිකර ඇත. අඟහරුවාදා, ඇමරිකානු ප්‍රකෝටිපතියන්ගේ ධනය පිලිබඳව ෆෝබ්ස් සඟරාව තම නවතම යාවත්කාලීන වාර්තාව ප්‍රසිද්ධ කර  ඇත්තේ, පොහොසත්ම  400දෙනාගේ ධනය වසරකට පෙර පැවති ඩොලර් බිලියන 240න්, වාර්තාගත ඩොලර් ට්‍රිලියන 3.2 ක් දක්වා ඉහල නැඟී ඇති බව වාර්තා කරමිනි.

තෙවනුව, ගැඹුරු වන ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදය, තම රට තුල ඇති ගැටලු විසඳීමේ මාධ්‍යයක් ලෙස පාලක පන්තිය විදේශයන්හි යුද්ධය  දකිනු ඇති බවට වන අන්තරාය වැඩි කරයි. ට්‍රම්ප් චීනයට එරෙහි ප්‍රහාරයේ කොටසක් ලෙස, දකුනු චීන මුහුදේ ආක්‍රමනකාරී පියවර ගනිමින් සිටින අතර, බලයට පත්වුවහොත් ඩිමොක්‍රටිකයෝ,  රුසියාව සමඟ ගැටුම හා මැද පෙරදිග යුද්ධය තීව්‍ර කිරීමට තම කැපවීම ප්‍රදර්ශනය කරති.

ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, මෙම කොන්දේසිවලට ය. “ඇමරිකානු ෆැසිස්ට්වාදය එපා! ට්‍රම්ප් ඉවත් කිරීමට බලකෙරෙන මහජන ව්‍යාපාරයක් ගොඩනඟනු! ”යන 2019 ඔක්තෝබර් 19 වන දින තම ප්‍රකානශය තුල, සමාජවාදී සමානතා පක්ෂය මෙසේ ප්‍රකාශ කලේ ය:

ට්‍රම්ප් ජනාධිපති ධුරය පැහැදිලිවම ෆැසිස්ට් ලක්ෂන සහිත දක්ෂිනාංශික අධිකාරීවාදී තන්ත්‍රයක් තුලට වේගයෙන් අඬු විහිදවමින් සිටින බව, ප්‍රතික්ෂේප කිරීම කෙසේ වෙතත් අඩු තක්සේරු කිරීම වුව ද යමෙකු දේශපාලන යථාර්ථයට පිටුපස හැරවීමකි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ෆැසිස්ට්වාදයේ පිලිකාවෙන් සදාකාලිකව ම නිදහස් බැවින් “එය මෙහි සිදුවිය නොහැක” යන පැරනි කියමන නිරපේක්ෂකව ම යල්පැන ඇත. ට්‍රම්ප් වැනි මැරයකු ධවල මන්දිරයට පැන ගැනීම පිලිබඳ කාරනය ම පවත්නා දේශපාලන ක්‍රමයේ අවසාන අර්බුදයට සාක්ෂියකි.

මෙම ක්‍රියාදාමයන් පසුගිය වසර පුරා තීව්‍ර වී ඇති අතර එය කොරෝනා වෛරස් වසංගතය මගින් බෙහෙවින් වේගවත් කර ඇත. ට්‍රම්ප්ගේ ෆැසිස්ට් වාචාලකම සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ ප්‍රතිපත්තිවලට එරෙහි ව වැඩෙමින් තිබෙන කම්කරු පන්තියේ සමාජ ව්‍යාපාරය පරාජය කිරීමේ වෑයමකි.

කෙසේ වෙතත් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ එක ම කතිපයාධිකාරයේ තවත් කන්ඩායමකි. ඩිමොක්‍රටික් පක්ෂය, දේශපාලන බලයේ බේරුම්කරුවන් ලෙස සලකා මිලිටරි, ඔත්තුසේවා ඒ්ජන්සිවල ප්‍රමුඛ කන්ඩායම්වලට ආයාචනය කරන අතර, ට්‍රම්ප් තනතුර අතහැරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය ඔවුන් වෙත හැරෙනු ඇත. එහි ප්‍රධාන පරමාර්ථය, පාලක ප්‍රභූවේ අවශ්‍යතාවන්ට තර්ජනයක් වන ඕනෑ ම ආකාරයක සමාජ විරෝධයක් මැඩලීම යි.

පසුගිය සතිය පුරා බිඩෙන්, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතා හෙලා දැක, සමාජවාදයට පහර දී ඇති අතර, හැකි උපරිම දක්ෂිනාංශික පදනමක් මත තම උද්ඝෝෂනය මෙහෙයවන බව පැහැදිලි කර තිබේ. මැතිවරනයේ අවසාන අදියරේ දී ඩිමොක්‍රටිකයින් උත්සාහ කරමින් සිටින්නේ, එක්සත් ජනපදය තුල වාමාංශික විරුද්ධත්වය “විදේශීය විරුද්ධවාදීන්ගේ” කාර්යයක් ලෙස වඩාත් පැහැදිලිව ඉලක්ක කිරීම සඳහා රුසියාවට එරෙහි සිය උද්ඝෝනය නැවත පන ගැන්වීමට ය.

වර්ධනය වන සිවිල් යුද්ධ තත්වයක් යටතේ බිඩෙන්, “මධ්‍යස්ථ  මිනිසා” ලෙස තෙමේ ම පෙනී සිටී. ඔහුගේ උද්ඝෝෂනය ජනතාව මුහුන දෙන සමාජ ව්‍යසනයට විසඳුම් සෙවීමට කිසිවක් ඉදිරිපත් නො කරයි. ඉරාක යුද්ධයේ ප්‍රමුඛ නිර්මාන ශිල්පීන් ඔවුන්ගේ “සභාගයේ” කොටසක් ලෙස පිලිගන්නා ඩිමොක්‍රටිකයින්, මිලිටරි ප්‍රචන්ඩත්වය විවෘත ව වැලඳ ගැනීම, ෆැසිස්ට් ට්‍රම්ප්ට “මිලිටරි-කාර්මික සංකීර්නයේ” විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමට පවා ඉඩ දෙයි.

පාලක ප්‍රභූවේ ආර්ථික හා මූල්‍ය උත්සුකතාවන්ට වලකපන ඕනෑම ප්‍රශ්නයක් මතු කිරීමට ඩිමොක්‍රටිකයෝ සියල්ලට ම වඩා විරුද්ධ වෙති. බලයේ සිටින්නේ නම බිඩෙන් උද්ඝෝෂනය හඹා යනු ඇති සමාජ පිලිවෙත් පිලිබඳ ඇඟවුමක්, සඳුදා පල කෙරුනු වොෂින්ටන් පෝස්ට් ලිපියක ඉඟි කෙරුනි.  පක්ෂයේ “සැන්ඩර්ස්-වොරන්” පිල සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් වූ, බිඩෙන් උද්ඝෝෂනය  විසින් නිකුත් කරන ලද, දුර්වල ප්‍රතිසංස්කරනවලින් සමන්විත ආර්ථික යෝජනා ගැන සඳහන් කරමින් පෝස්ට් පත්‍රය මෙසේ ලිවී ය.

එහෙත් වෝල් වීදියේ නායකයන් සමඟ පැවති පෞද්ගලික ඇමතුම් වල දී බිඩෙන් උද්ඝෝෂනය පැහැදිලි කලේ, එම යෝජනා බිඩෙන්ගේ න්‍යාය පත්‍රයට කේන්ද්‍රීය නො වන බව යි. “ඔවුන් මූලික වශයෙන් කියා සිටියේ, 'සවන් දෙන්න, මෙය වොරන් (නියෝජනය කරන) ජනතාව සතුටින් තබා ගැනීම සඳහා වූ අභ්‍යාසයක් පමනක් වන අතර, ඒ ගැන ඕනෑවට වඩා කියවන්න එපා,” යැයි සෙනෙට් එලිසබෙත් වොරන්ගේ ලිබරල් ආධරාකරුවන් ගැන සඳහමින්, එක් ආයෝජන බැංකුකරුවෙක් පැවසී ය. පුද්ගලික කතා විස්තර කිරීමේදී නිර්නාමිකභාවයේ කොන්දේසිය පිලිබඳ ව කතා කල බැංකුකරු කියා සිටියේ පනිවුඩය විවිධ ඇමතුම් මගින් ලබා ගත් බව යි.

ට්‍රම්ප් පිලිබඳ ඩිමොක්‍රටික් පක්ෂයේ  සියලු හෙලා දැකීම් සම්බන්ධයෙන් ගත් විට, ඔහු හඹා යමින් සිටින ප්‍රතිපත්තිවල ෆැසිස්ට් ස්වභාවය සඳහන් නො කරයි. ට්‍රම්ප් පසුගිය මැතිවරනයේදී ඡන්ද මිලියන තුනකින් පරාජයට පත් වුව ද, ඩිමොක්‍රටික් පක්ෂයේ ක්ෂනික ප්‍රතිචාරය වූයේ, එහි සහයෝගිතාවය ට්‍රමප්ට ලබා දීම බව සිහිපත් කල යුතුය. මෙම මැතිවරනය එක ම කන්ඩායමේ දෙපැත්තක් අතර “ගෙදර ඇතුලේ කෝලාහලයක්” බව ඔබාමා පැවසී ය.

නොවැම්බර් 3 දා ඩිමොක්‍රටිකයින් පරාජයට පත් වුවහොත් හෝ ඔවුන් ජයග්‍රහනය කලත් ප්‍රතිචාරය ඊට වඩා වෙනස් නොවනු ඇත. ඔවුන් වහාම ට්‍රම්ප්ට සහ රිපබ්ලිකන් පක්ෂයට සාමයේ සංඥාව නිකුත් කරනු ඇත.

ට්‍රම්ප්ට අනුගාමිකත්වයක් ආකර්ෂනය කර පවත්වා ගැනීමට ඇති හැකියාව, බොහෝ දුරට ඩිමොක්‍රටිකයින්ට කිසිවක් ඉදිරිපත් කිරීමට ඇති නො හැකියාවේ ප්‍රතිඵලයකි. අවසානයේ දී, සැබෑ වෙනස්කම් ආන්තික වන අතර සියල්ලට ම වඩා විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. සමූහ මරන හා සමාජ විනාශයේ කොන්දේසි යටතේ තරගය කරට කර වුවත්, ඩිමොක්‍රටික් පක්ෂයට එය අධිචෝදනාවකි. පොදුවේ පිලිගන්නා අභියාචනයක් ඉදිරිපත් කිරීමට පක්ෂය අසමත් වන්නේ එය නියෝජනය කරන පන්ති උත්සුකතා නිසා ය.

කම්කරු පන්තියේ මූලෝපායට මඟ පෙන්විය හැක්කේ මැතිවරනයේ අංක ගනිතයට  නො ව පන්ති අරගලයේ තර්කනයට යි.

ජනාධිපති තනතුර සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ ජෝශප් කිෂෝර් සහ උප ජනාධිපති තනතුර සඳහා නොරිස්සා සැන්ටා කෘස් තරඟ කරන අතර,  අපගේ මැතිවරන උද්ඝෝෂනය තුල අපගේ සියලු අවධානය යොමු කරන්නේ කම්කරු පන්තික විරුද්ධත්වයේ වර්ධනය වෙත යි. මැතිවරනය දැකිය යුත්තේ අවසානයක් ලෙස නො ව පුලුල් ක්‍රියාදාමයක  කොටසක් ලෙස ය. ධවල මන්දිරයේ ට්‍රම්ප් හෝ බිඩෙන් සිටිය ද එය හමුදාවේ සෘජු මැදිහත්වීමක ප්‍රතිඵලයක් වුව ද ඒ ඕනෑම තත්වයකදී පක්ෂය කම්කරු පන්තිය සූදානම් කරනු ඇත.

කම්කරු පන්තිය තුල දැනටමත් විරෝධතා වර්ධනය වෙමින් පවතී. පැතිර යන වසංගතය මධ්‍යයේ පාසල් නැවත විවෘත කිරීමට දරන උත්සාහයට එරෙහිව ගුරුවරු  හා දෙමාපියෝ බලමුලු ගැන්වෙමින් සිටිති. කථිකාචාර්යවරුන් හා උපාධිලාභී සිසුන් 1,000 ක් ඊයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ ආරම්භ කල වර්ජනය ද ඇතුලුව, භයානක ලෙස විද්‍යාල හා විශ්ව විද්‍යාල  නැවත විවෘත කිරීමට එරෙහිව අධ්‍යාපනඥයින් සහ සිසුන් සටන් කිරීමට පටන් ගෙන ඇත. 

මෝටර් රථ කම්කරුවන්, ඇමසොන් කම්කරුවන්, ප්‍රවාහන කම්කරුවන්, සේවා කම්කරුවන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් අතර, යලි වැඩට දැක්කීමට හා සූරාකෑම වැඩි කිරීම පිනිස වසංගතය භාවිතා කිරීමට සංගත විසින් දරනු ලබන උත්සාහයට   දැඩි කෝපයක් පවතී. “අතෘප්තියේ ශීත ඍතුව”  කැකෑරෙමින් තිබෙන්නේ, මිලියන ගනන් රැකියා අහිමිවීම, දරිද්‍රතාව හා නෙරපා හැරීමට මුහුන දීම සමගිනි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු මැයි මස අග ඇවිල ගිය, පොලිස් ප්‍රචන්ඩත්වය හා වර්ගවාදය පිලිබඳ අඛන්ඩ විරෝධතා සමඟ මෙය ඒ්කාබද්ධ වේ. පොලිස් ප්‍රචන්ඩත්වයේ නො නවතින වසංගතයෙන් අවුළුවන විරෝධතා, ගැඹුරු සමාජ කෝපයට සහ මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් අතර නැවත සටන් කිරීමට ඇති කැමත්තට ප්‍රකාශනයක් ලබා දී තිබේ.

කම්කරු පන්තියේ විවිධ කොටස්වල අරගල, ස්වාධීන කම්හල්, සේවා ස්ථාන හා  නිවාස ප්‍රදේශවල ආරක්ෂක කමිටු පිහිටුවීම මගින් සංවිධානය කර එක්සත් කල යුතු ය. ආපසු පාසැල් වලට දැක්කීමේ උද්ඝෝෂනයට එරෙහි ගුරුවරුන්ගේ සටන්, විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට එරෙහි සිසුන්ගේ අරගල, වැඩපොලවල ඇති භයානක තත්වයන්ට එරෙහිව කම්කරුවන්ගේ සටන්, සමාජ විනාශයට එරෙහිව රැකියා විරහිතයින්ගේ සටන් හා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව තරුනයින්ගේ සටන් එකට සම්බන්ධ කල යුතු ය. 

සෑම අරගලයක් තුලම මතුවන ප්‍රශ්නය, දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය යි: එනම් කුමන පන්ති පාලනය කරන්නේ ද කාගේ අවශ්‍යතා අනුව ද යන්න යි. අර්බුදයට ඇති එක ම විසඳුම, ධනේශ්වර පද්ධතියට එල්ල කෙරෙන ප්‍රහාරයයි. ධනවතුන්ට ඇප ලබා දීම හා මිලිටරිවාදය හා යුද්ධයට මුදල් යෙදවීම කෙරෙන් සමාජ සම්පත් විශාල වශයෙන් ඉවතට හැරවීම අවශ්‍ය වේ. කතිපයාධිකාරීන්ගේ ධනය අත්පත් කර ගත යුතු අතර, ජීවිත බේරා ගැනීම සඳහා ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත වැඩසටහනක් සඳහා කොන්දේසි නිර්මානය කිරීමට දැවැන්ත සමාගම් හා බැංකු මහජන උපයෝගිතා බවට පත් කල යුතු ය.

වසංගතයට එරෙහි සටන මූලික වශයෙන් වෛද්‍ය ප්‍රශ්නයක් නො වේ. සමාජ අසමානතාව, දරිද්‍රතාව, යුද්ධය, පාරිසරික පරිහානිය හා ආඥාදායකත්වය යන කම්කරු පන්තිය මුහුන දෙන සෑම විශාල ගැටලුවක් සමග මෙන්ම, එය දේශපාලන හා විප්ලවීය ප්‍රශ්නයකි. එය ධනවාදය පෙරලා දැමීමට හා සමාජ අවශ්‍යතා මත පදනම්ව සමස්ත සමාජය ම ප්‍රතිව්‍යුහගත කිරීමට, කම්කරු පන්තිය තමන්ගේ අතට  බලය ගැනීමේ අවශ්‍යතාව මතුවෙයි.

මෙම ක්‍රියාමාර්ගය, එක්සත් ජනපදයේ කම්කරු පන්තියේ සියලු අරගල එක්සත් කිරීමේ පදනම බවට පත්විය යුතුවාක් මෙන් ම, ලොව පුරා කම්කරුවන්ගේ අරගලයන් සඳහා මූලිකත්වය ද සම්පාදනය කල යුතු ය.

ඉදිරි මාස දෙක තීරනාත්මක ය. සසප හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අපගේ සහෝදර පක්ෂ, කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමේ අරගලයෙහි පෙරමුන ගෙන සිටිති. මෙය වඩාත්ම හදිසි දේශපාලන කර්තව්‍යයයි. ගත යුතු අත්‍යවශ්‍ය නිගමනය,  සමාජවාදී සමානතා පක්ෂයට බැඳී එය ගොඩනැගීම යි.

Loading