ෆේස්බුක් ෆැසිස්ට් විරෝධී හා අරාජකවාදී කන්ඩායම් වාරනය කරමින්, ඔවුන් ව්‍යාජ ලෙස අන්ත දක්ෂිනාංෂික ප්‍රචන්ඩත්වයට සම්බන්ධ කරයි

මෙම ලිපිය අගෝස්තු 22 වනදා ඉංග්‍රීසි බසින් පලවින

දේශපාලන වාරන, එහි වේදිකාව මත සැලකිය යුතු තරම් උත්සන්න වෙද්දී, වාමාංශික හා අරාජකවාදී සංවිධාන ප්‍රචන්ඩකාරී ලෙස හා QAnon කුමන්ත්‍රන න්‍යායට සම්බන්ධ ෆැසිස්ට් මිලීෂියා කන්ඩායම් හා දක්ෂිනාංශික අන්තවාදීන් සමග ව්‍යාජ ලෙස සම්බන්ධ කරමින් ෆේස්බුක්, තම  "භයානක පුද්ගලයින් සහ සංවිධාන" ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමක් බදාදා දිනයේ දී ප්‍රකාශයට පත් කලේ ය. (QAnon යනු දේශපාලන ප්‍රභූන්, ව්‍යාපාරික නායකයින් හා හොලිවුඩ් තරු විසින් මෙහෙය වනු ලබතැ යි කියනු ලබන “පාතාල රාජ්‍ය” කුමන්ත්‍රන පිලිබඳ න්‍යාය)

"ප්‍රචන්ඩත්වයට සම්බන්ධ ව්‍යාපාර හා සංවිධාන අප ආමන්ත්‍රනය කරන ආකාරය පිලිබඳ යාවත්කාලීන කිරීමක්" යන නිව්ස්රූම් බ්ලොග් සටහනක ෆේස්බුක් පවසන්නේ, විරෝධතා මධ්‍යයේ "ප්‍රචන්ඩකාරී ක්‍රියාවන්ට සහාය දෙන මාර්ග අපගත (offline) අරාජකවාදී කන්ඩායම් සමග එක්සත් ජනපදය පදනම් කරගත් මිලීෂියා සංවිධාන හා QAnon කුමන්ත්‍රනයට බැඳී ඇති පිටු, කන්ඩායම් සහ ඉන්ස්ටග්‍රෑම් ගිනුම් වලට" එරෙහිව තමන් පියවර ගනිමින් සිටින බව යි.

"ප්‍රචන්ඩත්වය ඉල්ලා සිටින හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින අන්තර්ගතයන්" දැනටමත් ඉවත් කරන බව හා "ප්‍රචන්ඩකාරී මෙහෙවරක් ප්‍රකාශයට පත් කරන සංවිධාන සහ පුද්ගලයින්" තහනම් කරන බව, ෆේස්බුක් පවසන අතර, "කෙලින්ම ප්‍රචන්ඩකාරි ක්‍රියා සංවිධානය නො කොට ප්‍රචන්ඩ ක්‍රියා සැමරීම, ඔවුන් සතුව ආයුධ ඇති බව පෙන්වීම සහ ඒවා භාවිතා කරන ලෙස යෝජනා කිරීම හෝ ප්‍රචන්ඩකාරී හැසිරීම් රටා ඇති තනි තනි අනුගාමිකයින් සහිත, වර්ධනය වෙමින් තිබෙන ව්‍යාපාර අපි දැක ඇත්තෙමු" යි බ්ලොග් සටහන පවසයි.

ලොව පුරා මාසිකව බිලියන 2.7 ක ක්‍රියාකාරී පරිශීලකයින් සිටින “භයානක” පුද්ගලයින් සහ කන්ඩායම් පිලිබඳ ව පුළුල් කරන ලද ෆේස්බුක් අර්ථ දැක්වීම, සමාජ මාධ්‍ය වේදිකාවේ භාෂනය මැඩපැවැත්වීම අරමුනු කර ගෙන ඇති බව පෙන්නුම් කෙරෙන්නේ, එහි ප්‍රතිපත්තිය දැන්, “මහජන ආරක්ෂාවට සැලකියයුතු තර්ජනයක් ඇති කර ඇති නමුත්, භයානක සංවිධානයක් ලෙස නම් කිරීමට හා අපගේ වේදිකාව මත මොනයම් හෝ පෙනී සිටීමක් තිබීමෙන්, තහනම් කිරීමට අවශ්‍ය බරපතල කොන්දේසි සපුරන්නේ නැති සංවිධාන” ඇතුලත් කරතැ යි යන කාරනයෙනි.

"භයානක" සහ "ප්‍රචන්ඩකාරී" යැයි සිතන අයගේ අන්තර්ගතය යටපත් කිරීම ට ගන්නා ක්‍රියාමාර්ග ෆේස්බුක් පසුව ගෙනහැර දක්වන නමුත්, "විස්තරයේ ඇති" අර්ථ දැක්වීම ඊට නො ගැලපේ. මෙම ක්‍රියාමාර්ග අතරට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතින් ගිනුම් ඉවත් කිරීම, නිර්දේශ සීමා කිරීම, ප්‍රවෘත්ති සංග්‍රහයේ ශ්‍රේනිගත කිරීම අඩු කිරීම, සෙවීමේ දෘශ්‍යතාව අඩු කිරීම, ඉන්ස්ටග්‍රෑම් හි අදාල හැෂ්ටැග් (hashtags) වලින් ඉවත් කිරීම සහ අරමුදල් රැස් කිරීම තහනම් කිරීම ඇතුලත් විය හැකි ය.

ෆේස්බුක් විසින් අන්තර්ගතය තහනම් කිරීම, මකා දැමීම සහ මර්දනය කිරීම සඳහා භාවිත කරන බොහෝ ශිල්පීය ක්‍රම ලැයිස්තු ගත කර ඇති හෙයින් ව්‍යාපාරික කතාවලදී සඳහන්වන්නේ, "ඉවත් කිරීම, අඩු කිරීම සහ තොරතුරු සැපයුම" යනුවෙනි. ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතින සමාජ මාධ්‍ය දැවැන්තයාගේ ධනවාදී පදනම්වලට තර්ජනයක් වන විරුද්ධවාදී වාමාංශික හා සමාජවාදී අදහස් වලට එරෙහිව දේශපාලන වාරනය කිරීමේ සේවයේ දී මෙම ක්‍රමවේදයන් පරිපූර්න වන බව පැහැදිලි ය. වර්තමානයේ ෆේස්බුක් හි  වෝල් වීදියේ වටිනාකම ඩොලර් බිලියන 762ක් වන අතර එහි ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් (mark zuckerberg) ඩොලර් බිලියන 100 පුද්ගල ධනයක් රැස් කර ගෙන තිබේ.

ෆේස්බුක් විසින් දැනටමත් "කන්ඩායම් 790 ට වැඩි ප්‍රමානයක්, පිටු 100ක් සහ QAnon සමග බැඳී ඇති දැන්වීම් 1500 ක්" ඉවත් කර ඇති අතර, ඊට අමතරව "කන්ඩායම් 1950කට වැඩි ප්‍රමානයක් සහ ෆේස්බුක් හි පිටු 440ක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිනුම් 10,000 ට අධික සංඛ්‍යාවක් සඳහා සීමාවන් පනවා ඇත. නැගී එන අරාජකවාදීන් සහ දක්ෂිනාංශික කන්ඩායම් සමග සිටින වාමාංශික කන්ඩායම් පිලිබඳව ෆේස්බුක් මෙසේ පවසයි. "ඇන්ටිපා ලෙස හඳුනාගත හැකි අය ඇතුලුව මිලීෂියා සංවිධාන සහ කැරලි කෝලාහල ඇති කරන්නන් සඳහා, අපි මුලින් කන්ඩායම් 980ක්, පිටු 520ක් සහ දැන්වීම් 160ක් ෆේස්බුක් වෙතින් ඉවත් කර ඇත්තෙමු. ඉන්ස්ටර්ග්‍රෑම් හි මෙම කන්ඩායම් සහ සංවිධාන සම්බන්ධ හැස්ටැග් 1400 කට වඩා අපි සීමා කර ඇත්තෙමු.

මේ වන විට ෆේස්බුක් ජාලය තුල වසා දමා ඇති ෆැසිස්ට් විරෝධී හා වාමාංශික ක්‍රියාකාරීන්ගේ ගිනුම් පහත දැක්වේ.

 සමාජ අරගල පිලිබඳ වාර්තා කරන සහ සුදු ස්වෝත්තමවාදී හා නව නාසි ජාල වල ක්‍රියාකාරකම් හෙලි කරන අරාජකවාදී ප්‍රවෘත්ති ප්‍රකාශන වේදිකාව. 

 "විප්ලවවාදීන්ගේ ජාත්‍යන්තර ජාලයක් "ලෙස තමන් ම හඳුන් වා ගන්නා, වාමාංශික හා අරාජකවාදී ප්‍රකාශන සංවිධානය. 

(ශාන්තිකර වයඹ යොවුන් විමුක්ති පෙරමුන):එය "පූර්න විමුක්තිය සඳහා ඍජු ක්‍රියාකාරකම්වලට කැපවී සිටින ස්වාධීන තරුන සාමූහිකයේ විමධ්‍යගත ජාලයක්" යැයි පවසන කන්ඩායමක් වන අතර මෑතක දී ඔරිගන්හි පැවැති විරෝධතාවන්ට සම්බන්ධ වී තිබේ.

මෙවැනි කන්ඩායම් එහි "භයානක" සහ "ප්‍රචන්ඩකාරී" පුද්ගලයින් සහ සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කිරීමේ කිසිදු ප්‍රශ්නයක් නැති නමුත්, ෆේස්බුක් සහාය දෙමින් සිටින්නේ එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය හා එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව විසින් කම්කරු පන්තිය තුල හා තරුනයින් අතර විරුද්ධත්වය දක්ෂිනනාංශික, නව නාසි සහ පැසිස්ට් මිලීෂියා පුද්ගලයින්ගේ හා කන්ඩායම් වල ප්‍රචන්ඩත්වයට සමාන කිරීමේ උත්සාහයට යි. 

එක්සත් ජනපදයේ දෘෂ්ටිවාදාත්මක ව අභිප්‍රේරනය වූ ප්‍රචන්ඩත්වයේ මෑත ඉතිහාසය හෙලි කරන්නේ, ෆේස්බුක් විසින් මෙම කන්ඩායම් අන්ත දක්ෂිනාංශය සමග සාවධ්‍ය ලෙස හඳුනා ගැනීම යි. මාර්ගස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශනයක් වන,ඉන්ටසෙප් (Intercept ) හි නටාෂා ලෙනාඩ් ගේ වාර්තාවකට අනුව " අන්ත දක්ෂිනාංශය පසුගිය දශක තුන තුල මිනීමැරුම් 329 ක් සිදුකර ඇති බව, පිලිකුල් සහගත ලෙස, පුන පුනා ප්‍රකාශ කරයි. නමුත් කිසිවක් ඇන්ටිෆා වලට ආරෝපනය කර නොමැත. 2009 සිට 2018 දක්වා කාලය තුල එක්සත් ජනපදය තුල අන්තවාදී ඝාතනවලින් සියයට 73 ක ට සුදු ස්වෝත්තමවාදීහු හා අන්ත දක්ෂිනනාංශික අන්තවාදීහු වගකිව යුතු වූහ. එමෙන් ම පොලිසිය විසින් කරන ලද , රාජ්‍ය අනුමත වර්ගවාදී ඝාතන ගැන සඳහන් කිරීමක් වත් නො මැත".

අනුස්මරන දිනයේ දී මිනියාපොලිස් පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම මගින් අවුලුවන ලද පොලිස් ප්‍රචන්ඩත්වයට හා මර්දනයට එරෙහි ජාතික පරිමාන හා ගෝලීය මහජන විරෝධතා අතරතුර, පසුගිය මාස 3 තුල වම ප්‍රචන්ඩකාරී යැයි හංවඩු ගැසීමේ උත්සාහය තීව්‍ර වී තිබේ. ඩිමෝක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන් මෙන්ම සංගත  මාධ්‍යයන්ද මෙම උද්ඝෝෂන, "ප්‍රචන්ඩ" සහ "කැරලි" ලෙස අපහාස කර ඇති අතර, ට්‍රම්ප් අවස්ථා කීපයක දී කියා ඇති පරිදි,"රැඩිකල් වම" සහ "අරාජකවාදීන්" ඇමරිකානු නගර අත්පත්කර ගැනීම නීතිය හා සාමය ඇතිකිරීම මගින් මර්දනය කල යුතු ය.

ජුනි මාසයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් උද්ඝෝෂනයේ උච්චතම අවස්ථාවේ දී නීතිපති විලියම් බාර්(William Barr) "මහජන සාමය අඩපන කිරීම සඳහා නිර්මානය කර ඇති නොවරදින ප්‍රචන්ඩ ක්‍රියාවල" නිරතවන "රාජ්‍ය විරෝධී අන්තවාදීන්" පිටුදැකීමට කැප වූ කාර්ය සාධක බලකායක් නිර්මානය කලේ ය. අධිකරන දෙපාර්තමේන්තුවේ සියලුම නීතිය ක්‍රියාත්මක කරන නියෝජිතයන්ට ඔහු දුන් නියෝගය තුල බාර් මෙසේ ලිවී ය."වෙනත් නීති විරෝධී ක්‍රියා අතර, මෙම අන්තවාදීන් පොලිස් නිලධාරීන්ට හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට දරුනු ලෙස පහර දී රාජ්‍ය හා පෞද්ගලික දේපල විනාශ කර අහිංසක මිනිසුන්ට තර්ජනය කර තිබේ."

තවද, "ප්‍රචන්ඩ ක්‍රියා" සිදු කලේ "ඇන්ටිෆා ලෙස හඳුනා ගන්නා අය" පසෙකින්,  ඝාතන හා වෙනත් සාපරාධී ක්‍රියාවල නියලී සිටින, අන්ත දක්ෂිනාංශික බුගාලු නම් මිලීෂියා නියෝජිතයින්" අන්තවාදීන් බව බාර්ගේ සටහන සඳහන් කලේ  ය.

මේ අතර සෙනෙට් සභික ටෙඩ් කෘෂ් (ටෙක්සාස් ප්‍රාන්ත රිපබ්ලිකානුවෙකි) අගෝස්තු 4 වන දින සෙනෙට් අධිකරන කමිටු නඩු විභාගයක මුලසුන හෙබ වූ අතර  එහි දී ඔහු කියා සිටියේ, "අපි රට පුරා දරුනු ප්‍රචන්ඩත්වයක් දකිමින් ඉන්නවා, අපි අපේ රට ඉරා දමනවා දකිමින් ඉන්නවා. ප්‍රචන්ඩ අරාජකවාදීන් හා මාක්ස්වාදීන් විරෝධතා ඩැහැ ගන්නේ,  ඒවා  කැරලි කෝලාහල බවට පත්කරලා තමන්ගේ සෙසු ඇමරිකානුවන්ගේ ජීවත හා ආරක්ෂාවට සෘජු ප්‍රහාර එල්ල කිරීමට" බව යි. 

මෙම ස්ථාවරය බාර්, ට්‍රම්ප් හා රිපබ්ලිකන් පක්ෂයට පමනක් ආවේනික නො වේ. දසක ගනනාවක් තිස්සේ ජීවන තත්ත්වයන් හා සමාජ වැඩ සටහන්වලට පහරදීමෙන් විනාශයට පත්ව ඇති එක්සත් ජනපදය පුරා නගරවල ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ විරෝධතා වල පස්වන රාත්‍රියේ දී, 2020 මැතිවරනයේ දී ජනාධිපති තනතුරු සඳහා තරඟ වදින අනාගත ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝසප් බිඩෙන්, විරෝධතාකරුවන් විසින් ප්‍රජාවන් පුච්චා දැමීම හා "අනවශ්‍ය විනාශයක්" සිදු කිරීම හෙලා දුටුවේ ය.

පොලිසිය හා ෆෙඩරල් ඒජන්තයින් විරෝධතාකරුවන්ට පහර දෙන අතර සාමකාමී උද්ඝෝෂනවලට එරෙහිව ජාතික ආරක්ෂක භටයින් කැඳවා බලමුළු ගන්වා තිබියදී බිඩෙන්, නගරවල දිරාපත් වීම ගැන මහජනයාට දොස් පැවරුවේ, "ප්‍රජාවට සේවය කරන ව්‍යාපාර කොල්ල කන හා වසා දැමීමේ ප්‍රචන්ඩත්වය" "ඇමරිකානු ප්‍රතිචාරය නොවේ" යැයි පවසමිනි. ජූනි අග දී බිඩෙන් තම ස්ථාවරය පුනුරුච්චාරනය කලේ "ගිනි තැබූවන් සහ අරාජකවාදීන්ට" එරෙහිව නඩු පැවරිය යුතු බව කියමිනි.

කොංග්‍රස්  සභික ජෙම්ස් ක්ලිබර්න් (දකුනු කැරොලිනා ප්‍රාන්ත ඩිමොක්‍රටිකයෙකු,) හා  චිකාගෝ හි ඩිමොක්‍රටික් නගරාධිපති ලොරි ලයිට්ෆුට් මෙම අදහස ම ප්‍රකාශ කර ඇත. නිව් යොක් ටයිම්ස් ප්‍රවෘත්තියට අනුව, පොලිස් ප්‍රචන්ඩත්වය අවසන් කරන ලෙස ඉල්ලා විරෝධතා කරුවන්ට පොලිසිය පහර දුන් පසු ඔවුන් කියා සිටියේ, "මෙම සාපරාධී හැසිරීමෙහි යෙදී සිටින අයට පැහැදිලි විය යුතුයි.අපි උඹලා පස්සේ ඉන්නවා" කියා යි.

නොවැම්බර් මාසයේ එක්සත් ජනපද ජනාධිපතිවරනය සඳහා සූදානම් වීමේ දී සිලිකන් නිම්න තාක්ෂනික ඒකාධිකාරයන් හා ධවල මන්දිරය අතර මෑත රහස් රැස්වීම්වල අරමුන හා ප්‍රතිඵල පැහැදිලි වෙමින් තිබේ. ලෝසවෙඅ විසින් වාර්තා කරන ලද පරිදි, ෆේස්බුක් ට්විටර්,ලින්ක්ඩ්ඉන් හා රෙඩිට් ඇතුළු ප්‍රධාන තාක්ෂනික සමාගම් 9 ක නියෝජිතයන් එක්සත් ජනපද ආන්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ ජාතික බුද්ධි අංශය සමග අගෝස්තු 12 වන දින "මැතිවරන ආරක්ෂාව" සාකච්ඡා කිරීමට රැස්වූ අතර, මාර්ගගත (online) රැස්වීමෙන් පසු මොනයම් හෝ තොරතුරක් මහජනයාට වාර්තා නො කෙරුනි. 

ඇන්ටිපා "ප්‍රචන්ඩකාරී" මෙන් ම "භයානක" යැයි හඳුනා ගන්නා අයට ෆේස්බුක් හා අනෙක් අය විසින් කරන ලද නිමක් නැති යොමුකිරීම්, සැබැවින්ම ට්‍රම්ප් පරිපාලනයට සහාය ප්‍රකාශ කරන අතර ප්‍රචන්ඩ ක්‍රියා සිදු කල හා පුද්ගලයන් පැහර ගත් අන්ත දක්ෂිනනාංශික අන්තවාදීන් සමග වාමාංශික හා අරාජකවාදී කන්ඩායම් ඒකාබද්ධ කිරීමේ සම්පූර්න ප්‍රතිගාමී ස්වභාවය සනාත කරයි. 

ගූගල් ඇන්ටිපා සෙවීම මගින් ලැබෙන්නේ එම නම සඳහා විකිපීඩියා ප්‍රවේශයක් පමනී. මෙම නම සහිත සංවිධානයක් සඳහා එක්සත් ජනපදය, යුරෝපය හෝ ලෝකයේ වෙනත් තැනක නිල වෙබ් අඩවියක් නොමැත. ෆැසිස්ට් විරෝධී පනිවිඩය සමඟ පැහැදිලිව හඳුනා ගන්නා පුද්ගලයින් සිටින අතර, ඇන්ටිෆා නම් සංවිධානයක් එක්සත් ජනපද රජයට එරෙහි අන්ත ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධිකරනය කරමින් සිටිතැ යි යන ප්‍රකාශය සහමුලින් ම ගොතන ලද්දකි

ඒ වෙනුවට, සමාජ මාධ්‍ය ඒකාධිකාරිය තීරනාත්මක අංගයක් වන පාලක සංස්ථාපිතය, සියල්ලට වඩා බිය වන්නේ කම්කරුවන් සහ තරුනයින් විශාල පිරිසක් දීවීපක්ෂ දේශපාලන ක්‍රමයෙන් මිදී සමස්ත ධනේශ්වර දේශපාලනයෙන් ස්වාධීනව සමාජවාදය සඳහා වන අරගලයේ පදනම මත පිහිටා සංවිධානය වීමට පටන් ගනු ඇතැ යි යන බියෙනි. දේශපාලන වාරනය පිලිබඳ සමාජ මාධ්‍යවල සහ අන්තර්ජාලයේ දිනෙන් දින ව්‍යාප්ත වන විෂය පථය වඩාත් පුළුල් ලෙස නොවැම්බර් 3 මැතිවරනයට පෙර සති කිහිපය තුල  වර්ධනය වීම නිශ්චිත අතර, ඉන් ඉක්බිතිව එක්සත් ජනපද පාලක පන්තිය විරුද්ධවාදයේ සියලු සලකුනු යටපත් කිරීමට උත්සාහ කරනු ඇත.