දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතින් ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්

මෙම ලිපිය පසුගිය සැප්තැම්බර් 6දා ඉංග්‍රීසි බසින් පල කෙරින.

ඉන්දියාව, බ්‍රහස්පතින්දා නව කොවිඩ්-19 ආසාදන ‌රෝගීන් 83,883ක් වාර්තා කලේ ය. ඒ, වසංගතය ආරම්භ වීමෙන් පසු ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව යි. මෙම සංඛ්‍යාවන් ද සමග දෛනික මරන සංඛ්‍යාව දල වශයෙන් 1,000 කින් ඉහල යන විට, එයින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, ඉන්දීය පාලක ප්‍රභූව වසංගතය පාලනය කිරීමට අසමත් වී ඇති බව යි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ දක්ෂිනාංශික ආන්ඩුව විසින් මාර්තු 25 වන දින සිට සති දහයක රටපුරා අගුලුලෑම වසංගතය පැතිරීම නැවැත්වීමට අපොහොසත් වූ අතරේ, මිලියන සිය ගනනක් කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විනාශකාරී සමාජ ප්‍රතිවිපාක අත්කර දුනි. අන් සියල්ලටමත් වඩා මීට හේතු වූයේ, රටේ කාලාන්තරයක් තිස්සේ හිඟන මට්ටමේ අරමුදලකින් නඩත්තු කල  සෞඛ්‍ය සේවා පද්ධතියට ප්‍රමානවත් අයෝජන සම්පාදනය කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වෛරසය ආසාදනයවූවන් සොයාගැනීමට සහ පරීක්ෂනය කිරීමේ බලගතු යාන්ත්‍රනයක් ස්ථාපිත කිරීමටත් අගුලුලෑමෙන් අත්කරගත් කාලය යොදාගැනීමට පාලක ප්‍රභූව අසමත් වූ බැවිනි. ඊට අමතරව, එය, දුගී දුප්පත් කම්කරුවන් සහ ග්‍රාමීය වැඩ කරන ජනතාව සඳහා මූනිච්චාවට ලබාදුන් මූල්‍ය හා සමාජ සහයෝගයෙන් ඔබ්බට කිසිවක් සැපයීමට හා සංවිධානය කිරීමට ප්‍රතික්ෂේප කලේ ය.

අනුක්‍රමනිකව, මධ්‍ය හා ප්‍රාන්ත ආන්ඩු, අප්‍රේල් මස අගින් අරඹා ජූනි ආරම්භයේ සිට සීග්‍ර කෙරුනු ධාවනයකින් යුතුව නැවත-වැඩට-යනු වැඩපිලිවෙලක් දියත් කල අතර එයාකාරයෙන් දැවැන්ත ලාභ පොදි ගසා ගැනීමේ වැඩපිලිවෙල නැවත ආරම්භ කිරීමට මහා ව්‍යාපාරවලට ශක්‍යාතාව විවර කලේ ය.  

නැවත වැඩට යාම,  ආසාදනවල තීව්‍ර හා පෙරනූ විරූ ඉහල යාමකට තුඩු දුන් අතර තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ජුනි මාසයේදී 500,000 කින් ද ජූලි මාසයේදී මිලියන 1.1 කින් ද  අගෝස්තු මාසයේදී මිලියන 2 කට ආසන්න ගනනකින්ද ඉහල ගියේ ය.

වෛරසය පැතිරීම අනවරතව වේගවත් වුවද මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව පැහැදිලිව අඟවා ඇත්තේ රට පුරා යලි අගුලු දැමීමක් සිදු නොකරන බවයි. ඒ වෙනුවට ආන්ඩුව සිදුකරන්නේ,  සීමා පැනවීම් දිගින් දිගටම ලිහිල් කිරීම යි. 

පසුගිය සතියේ, එය,  සිය අගුලු ඇරීම 4.0 (අන්ලොක් 4.0) සැලැස්ම එලිදැක්වූ අතර එය දැන් ප්‍රාන්ත ආන්ඩුවල සහයෝගය සහිතව ක්‍රියාත්මක වේ. අගුලු හැරීම 4.0 යටතේ, දුර්වල වාතාශ්‍රය සහිත උමං දුම්රිය සැප්තැම්බර් 7දා  සිට (මාර්තු 7දායින් පසුව ප්‍රථම වතාවට) ධාවනය කිරීමට අවසර ලැබෙනු ඇත. සැප්තැම්බර් 21 වන විට උපරිම වශයෙන් 100 දෙනෙක් සහභාගිවීමේ කොන්දේසිය යටතේ ක්‍රීඩා, සමාජ හා සංස්කෘතික රැස්වීම් සඳහා අවසර දෙනු ලැබේ. මධ්‍යම ආන්ඩුවේ ස්වදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ, මධ්‍යම ආන්ඩුවේ අවසරයකින් තොරව සීමාකල  කලාපවලින් පිටත පලාත්වල අගුලු දැමීමට ප්‍රාන්ත රාජ්‍යයන්ට තවදුරටත් අවසර නැති බවයි. ඊට අමතරව ප්‍රාන්ත රජයන්ට ඒවායේ දේශසීමා වසා තැබීම තහනම් කර ඇත.

මහජන සෞඛ්‍ය සීමා කිරීම්වල අවසන් ඉතිරි පහදු පවා අතහැර දැමීමට ආන්ඩු පියවර ගන්නා විට, ඉන්දියාව පුරා සක්‍රිය (රෝහල්ගතව සිටින) කොරෝනා රෝගීන් සංඛ්‍යාව 800,000 ට වඩා ඉහල ගොස් තිබේ. දැවැන්ත අවතක්සේරු කිරීමක් වසයෙන් පුලුල් ලෙස සැලකෙන නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියානුවන් 68,584 ක් වෛරසයෙන් මිය ගොස් ඇත. බ්‍රහස්පතින්දා ගත වූ පැය 24 තුල මරන 1,043 ක් බලධාරීන් විසින් වාර්තා කරන ලදි.

අගෝස්තු මාසයේදී පමනක් ඉන්දියාව කොවිඩ්-19 රෝගීන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එය පසුගිය ජනවාරියේදී චීනයේ වසංගතය පුපුරා යාමෙන් පසු ඕනෑම මාසයක් තුල ඕනෑම රටක් වාර්තා කල ඉහලම රෝගීන් සංඛ්‍යාවයි. එමෙන්ම, අගෝස්තු මාසයේදී වෛරසයෙන් සිදු වූ මරන සංඛ්‍යාව 28,859 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය එයට පෙර මාසයේදී මියගිය සංඛ්‍යාවෙන් සියයට 50 ක පිම්මකි. ට්‍රම්ප් පරිපාලනය මෙන්ම, ඉන්දියානු බලධාරීන් ද කොවිඩ්-19 ආසාදිතයන්ගේ සීග්‍ර ඉහලයාම පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත්තේ,  වැඩිකල පරීක්ෂන එයට හේතුව බව පවසමිනි. පසුගිය මාස දෙක තුල ඉන්දියාව සිය පරීක්ෂන නාටකාකාර ලෙස ඉහල දමා ඇති බව සත්‍යයක් වුව ද එහි පරීක්ෂන අනුපාතය  තවමත් පවතින්නේ, ලෝකයේ අඩුම පරීක්ෂන අනුපාතවලින් එකක් ලෙසිනි. සැප්තැම්බර් 1දා වන විට ඉන්දියාව විසින් දහසකට පරීක්ෂන 32.13 ක් සිදු කර ඇත. මෙය, දකුනු අප්‍රිකාවේ අනුපාතයෙන් අඩකටත් වඩා අඩු වන අතර එක්සත් ජනපදයට වඩා අට ගුනයකින් පහල පරීක්ෂන අනුපාතයකි.

නිල සංඛ්‍යාලේඛන මගින් සම්පාදනය කෙරෙන්නේ වසංගතයේ සැබෑ බලපෑම පිලිබඳ නොපැහැදිලි පිලිබිඹුවක් පමනක් බව වෛද්‍ය විශේෂඥයින් පුනපුනා අවධාරන කර තිබේ. සඳුදා,  දි වයර් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හාවඩ් ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අෂිෂ් ජහා සඳහන් කලේ මේවනවිටත් ඉන්දියාවේ තත්‍ය  කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 30 ක් පමන විය හැකි බවයි. "අපි එයින් ඇහිඳගන්නේ 70,000-80,000 ක් හෝ සියයට 15 ක් පමනයි. සියයට 85 ක් නොසලකා හැර තිබෙනවා ඔහු කීවේ ය. " ඉදිරි දින හා සති වලදී ආසාදන සංඛ්‍යාව ඉහල යනු ඇත."

 “දශක ගනනාවක් තිස්සේ ඉන්දියාව සිය සෞඛ්‍ය පද්ධතිය සඳහා යොදවා ඇති අඩු ආයෝජන” වෙත අවධානය යොමු කරමින් මහාචාර්ය ජ්හා තවදුරටත් මෙසේ පැවසීය: “එහි පිරිවැය ඇත්ත වශයෙන්ම අප කරා එමින් තිබෙනවා. ආන්ඩුවෙන් කෙරෙන අප්‍රමානවත් ආයෝජන  (හේතුවෙන්). . . අපට ප්‍රාථමික රැකවරනයක් නැත. . .  මෙහි වියදම ජනතාවට  දැරීමට සිදුවනු ඇත. ”

කොංග්‍රස් පක්ෂය විසින් මෙහෙයවන සහ ඉන්දියාවේ නිවුන් ස්ටැලින්වාදී පක්ෂ වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, සෞඛ්‍ය වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් හෝ ඊට අඩු ප්‍රමානයකට සීමා කලහ

සමස්ත පාලක ප්‍රභූව දැන්,  වෛරසය පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සලසන “රංචු ප්‍රතිශක්තිය” (herd immunity) යන මිනීමරු ප්‍රතිපත්තිය වැලඳගෙන සිටිති. රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් ඇතුලු මෙම ප්‍රතිපත්තියේ ප්‍රකාශකයින් විවෘතව පිලිගෙන ඇත්තේ මෙහි ප්‍රතිපලයක් ලෙස මිලියන ගනනක් මිනිසුන් මරනයට පත්විය හැකි බවයි. කෙසේ වෙතත්, පාලක පන්තිය මෙය සලකන්නේ, ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ සහ සංගත ප්‍රභූවේ ලාභය සහ ධනය ආරක්ෂා කරගැනීම සඳහා ගෙවිය යුතු මිලක් ලෙස ය.

වෛරසය කොතරම් පුලුල්ව පැතිරී ඇත්ද යත්, ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 1,000 ක් තරම් දුරින් පිහිටි අන්දමන් සහ නිකොබාර් දූපත්වල පවා ආසාදිතයන් හඳුනාගෙන තිබේ. ආන්තික දරිද්‍රතාවෙන් හා හුදෙකලාව ජීවත් වන එනයින් වෛරසයට පහසුවෙන්ව ගොදුරුවිය හැකි ස්වදේශීය ගෝත්‍ර සාමාජිකයන් අතරින් අවම වශයෙන් ආසාදන 10 ක් වාර්තා වී තිබේ.

මෙම වසංගතය, දියවැඩියාව හා හෘද රෝග වැනි වෙනත් ප්‍රධාන රෝගවලින් පෙලෙන රෝගීන් මිලියන ගනනක් අවදානමට තල්ලු කර ඇත. දිල්ලියේ මෙට්රෝ හොස්පිට්ල්ස් සහ හෘද ආයතනයේ මැදිහත් හෘද රෝග විශේෂඥයෙකු (interventional cardiologist)  වන සමීර් ගුප්තා අගෝස්තු 26 වන දින ඉන්දියාස්පෙන්ඩ් වෙබ් අඩවියට පැවසුවේ, කොවිඩ්-19 රෝගීන්ගේ හදවත් වලට හානි කරන බවත්, පූර්ව-හෘද රෝග ලක්ෂන ඇති අය විශේෂයෙන්ම මියයෑමේ අවදානමක් ඇති බවත්ය. “සුවය ලැබූ” කොවිඩ්-19 රෝගීන්, හෘද පේශි තාවකාලිකව දුර්වල වීමෙන් සිදුවන මානසික ආතතිය සහ ඉදිමුම හේතුවෙන් හෘද පේශිවල ඇතිවන දුර්වලතාවක් වන මයෝකාඩයිටිස්  හේතුවෙන් යලි රෝහල් කරා පැමිනෙන බව, ඔහු වැඩිදුර අවධාරනය කලේය.

කෙසේ වෙතත්, පාලක පන්තිය වඩාත්ම සැලකිලිමත් වන්නේ ගැඹුරු වන ආර්ථික අර්බුදයෙන් ඔවුන්ගේ ධනයට ඇති තර්ජනය ගැන ය. මෙයින් ගොඩ ඒමට මෝදි යෝජනා කරන්නේ, කම්කරු නීති සංශෝධනය කිරීම සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායන් ලාබෙට විකුනා දැමීම ද ඇතුලුව ආයෝජක හිතකාමී “ප්‍රතිසංස්කරනවල”  නව රැල්ලක් ක්‍රියාත්මක කිරීමටයි. ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (එන්එස්ඕ) අගෝස්තු 31 දා නිකුත් කල දත්ත වලට අනුව අප්‍රේල්-ජූනි කාර්තුවේදී ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතය සියයට 23.9 කින් පහත වැටී තිබේ. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව මෙය ඕනෑම ප්‍රධාන ආර්ථිකයක විශාලතම කඩාවැටීම විය.

ඉන්දියාවේ ප්‍රාන්ත ආන්ඩු 28 ඒවායේ වියදම් කපා හැර ඇති අතර ඔවුන්ගේ මුල්‍ය තත්ත්වය නරක අතට හැරෙත්ම බොහෝ ප්‍රාන්ත ආන්ඩු රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම ප්‍රමාද කරමින් සිටිති. එක් තක්සේරුවකට අනුව භන්ඩ හා සේවා බද්දෙන් (ජීඑස්ටී) ලැබෙන ආදායමේ හිඟය රුපියල් ට්‍රිලියන 2.35 (ඇමරිකානු ඩොලර් බිලියන 32.18) දක්වා ලඟා වී තිබේ. වියදම් කප්පාදුව බලාත්මක කිරීම ගනන් බලා කරන ලද සැලස්මකට අනුව, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් ප්‍රාන්ත ආන්ඩුවලට ගෙවිය යුතු නිශ්චිත ජීඑස්ටී ආදායම් පංගුව ගෙවීම අත්හිටුවා තිබෙන අතර, මධ්‍යම ආන්ඩුවේ ආර්ථික ඇමැතිනී නිර්මලා සීතාරාමනන් (ප්‍රාන්ත ආන්ඩුවලට) පවසා ඇත්තේ ඉන්දියානු මධ්‍යම බැංකුවෙන් "විශේෂ නය පහසුකම් වැඩපිලිවෙල" යටතේ නය ලබා ගැනීමෙන් එකී මූල්‍ය අඩුපාඩු සපුරාගන්නා ලෙසයි.

විරුද්ධ පක්ෂවල නායකත්වයෙන් යුත් ප්‍රාන්ත ආන්ඩු  ඇතුලු ආන්ඩු කිහිපයක් රජයේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, මධ්‍යම ආන්ඩුව එම මුදල් නයට ගෙන ආන්ඩුවලට ලබා දෙන ලෙස ඒවා ඉල්ලා සිටී. මෙම ආරවුල මොනයම් ආකාරයෙන් විසඳනු ලැබුව ද ආදායම් පහත වැටීමේ ප්‍රතිපලයක් ලෙස දැඩි කප්පාදු පියවරයන් මගින් කම්කරුවන්ට සහ ග්‍රාමීය වැඩකරන ජනයා මත පැටවෙන බර  ඉහල නැංවෙනු ඇත.

කම්කරුවන්ගෙන් බහුතරයකගේ තත්වයන් දැනටමත් විනාශකාරී ය. මෝදි මාර්තු මාසයේදී කොවිඩ්-19 අගුලු දැමීම ප්‍රකාශයට පත්කල වහාම, ඊනියා අවිධිමත් අංශයේ මිලියන 100 කට අධික කම්කරුවන්ට, වැඩි වශයෙන් දුර බැහැර ග්‍රාමීය දිස්ත්‍රික්කවලින් ආ සංක්‍රමනික සේවකයින්ට එක රැයකින් රැකියා අහිමි විය. ආන්ඩුව ඔවුන්ට ලබා දුන් සාගත සලාකවලට නොවැඩි දේ හේතුවෙන් බොහෝ අය දිවි ගලවා ගැනීම සඳහා පුන්‍යායතනවලින් ලබා දෙන ආහාර සලාක මත යැපීමට සිදුවිනි. 

ස්ථිර පදනමක් මත සේවයේ ‍‍‍‍යෙදෙන කම්කරුවන් ද බේරී නැත. ආර්ථික දර්ශක නිරීක්ෂනය කරන ස්වාධීන ආයතනයක් වන ඉන්දියානු ආර්ථික අධීක්ෂන මධ්‍යස්ථානයේ (CMIE) නව දත්ත මගින් ඇස්තමේන්තු කර ඇත්තේ අප්‍රේල් සහ ජූලි අතර ස්ථිර රැකියා මිලියන 18.9 ක් අහිමි වී ඇති බවයි.

රට පුරා වෛරසය පැතිරීම හේතුවෙන් හටගත් සමාජ ව්‍යසනය උත්සන්න වෙමින් තිබියදීත්, ඉන්දියාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඒ පිලිබඳව වැඩි අවධානයක් යොමු නොකලේ ය. ඒ වෙනුවට, එහි මූලික අවධානය යොමුව ඇත්තේ  ජූනි මැදභාගයේදී සිදුවූ ජනප්‍රිය බොලිවුඩ් නලුවෙකු වන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ දිවි නසා ගැනීම පිලිබඳව ය. එමෙන්ම, දෙරට අතර තථ්‍ය දේශ සීමාව හඳුන්වන තත්‍ය පාලන රේඛාව (එල්ඒසී) ඔස්සේ දැනට ඇදීයන ඉන්දු-චීන ආතතීන් සම්බන්ධයෙන් යුදවාදී ඉන්දියානු ජාතිකවාදී වාතාවරනයක් ඇති කිරීමට මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රයත්නයන් තීව්‍ර කරමින් සිටියි.

දුක් වේදනා හා මරන පිලිබඳ සංගත මාධ්‍යවල නොතැකීම, සමස්තයක් වශයෙන් ඉන්දියානු පාලක පන්තියේ කුරිරු හා මුද්ධ ආකල්පයට අනුකූල වේ. මෝදිගේ පාලක හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය සම්බන්ධයෙන් පමනක් නොව, කොන්ග්‍රසය ඇතුලු විවිධ ප්‍රාදේශීය හා කුල පදනම් කරගත් ධනේශ්වර පක්ෂ සම්බන්ධයෙන් සත්‍යය වන්නේ ද මෙය යි.

Loading