විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා හා වැටුප් කප්පාදු සැලැස්මක් ඉදිරිපත් කරයි

ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (ශ්‍රීලවීසේකා) එහි පුර්නකාලීන කාර්ය මන්ඩලය අඩු කිරීම අරමුනු කර ගත් රැකියා කප්පාදු සැලැස්මක් ක්‍රියාවට දැමීමට සලසුම් කර ඇත. ඒ අනුව වැටුපෙන් අඩක් ලබාගෙන නිවාඩු ගෙන නිවසේ සිටීමට හෝ සාමාන්‍ය පරිදි සේවයේ යෙදීමට කැමැත්ත සඳහන් කර, සැප්තැම්බර් 15 වෙනිදාට පෙර අයැදුම්පත්  ඉදිරිපත් කරන ලෙස සේවකයන්ගෙන් ඉල්ලා ඇත. නිවාඩු ලබා නිවසේ සිටීමට කැමැත්ත පල කරන සේවකයන්ට මෙම වසරේ ඔක්තෝබර් 01 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු ලබා දීමට නියමිතය. එලෙස නිවාඩු ලබන්නන් සඳහා අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් සඳහා දායක මුදල් බැර කිරීම සිදුවන්නේ ද ඔවුන් ලබන අඩ වැටුපට සාපේක්ෂව ය. එය ඍජුව සේවකයන්ගේ විශ්‍රාම වැටුප අඩු වීමට තුඩු දෙන කොන්දේසියකි.

මෙය සේවකයන්ගේ "කැමැත්ත මත" තාවකාලිකව ක්‍රියාවට දමන සැලැස්මක් ලෙස පෙන්නුම් කිරීමට වීසේනිකා කලමනාකාරිත්වය උත්සාහ දරා ඇතත්, සත්‍යය වන්නේ, එය කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සෙසු සමාජ ප්‍රතිලාභ කප්පාදු කිරීම තුලින් කොවිඩ් වසංගතයෙන් ගැඹුරු වී ඇති ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට තීන්දු කර ඇති පුළුල් සැලැස්මක කොටසක් බවයි.

කොවිඩ්19 වසංගතය හේතුකොට ගෙන  කාර්යාංශයේ ආදායම පහත වැටීම නිසා මෙවැනි වැඩ පිලිවෙලවල් කිහිපයක් යෝජනා වී ඇති බවත් ආයතනයේ "අනාගතය" වෙනුවෙන් එවැනි තීරන ගත යුතු  බවත් ශ්‍රීලවීසේකා සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.ඊ. වන්සේකර මාධ්‍යයට පවසා තිබේ. වැටුපෙන් අඩක් ගෙවීමේ පදනම මත කාර්ය මන්ඩල සේවකයන් නිවාඩු යැවීමට අමතරව විසේනිකා විසින් පවත්වාගෙන යනු ලබන පුහුනු මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමට ද තීරනය කර ඇති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

රටපුරා එවන් පුහුනු මධ්‍යස්ථාන 18 ක් තිබෙන  අතර ඒවා මගින් විදේශ භාෂාවන් හා ඇවතුම් පැවතුම් පිලිබඳ මුලික පුහුනුවක් ලබා දීම ද, සහන ගාස්තු යටතේ එන්වීකිව් පාඨමාලා පවත්වාගෙන යාම හා ගෘහ පාලිකාවන් සඳහා අවශ්‍ය පුහුනුව ලබාදීම ද සිදු කෙරෙයි. පුහුනු මධ්‍යස්ථාන වසා දැමීම තුල සංක්‍රමනික කම්කරුවන් සඳහා සැපයෙන මෙම සේවාවන් නොලැබෙනු ඇත. ඒ වෙනුවට ඔවුන්ට සිදුවන්නේ අවශ්‍ය පුහුනුව වැඩි මුදලක් ගෙවා පුද්ගලික ආයතන මගින්  ලබා ගැනීමට ය.  

සුබසාධන වැඩ සටහන් කප්පාදුව යටතේ සංක්‍රමනික කම්කරුවන්ගේ දරුවන් සඳහා ලබාදෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව, දරුවන් රැකබලා ගැනීමේ වැඩ සටහන්, දරුවන් සඳහා පාසල් උපකරන ලබාදීම, සංක්‍රමනික කම්කරුවන් සඳහා නිවාස හා ස්වයං රැකියා, අඩු පොලී නය ලබාදීම අත්හිටුවීමක් ද සිදුවනු ඇත.

මේ අතර සංක්‍රමනික කම්කරුවන් ගේ සුබසාධනය සඳහා විදේශයන් හි ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් කාර්යාල  වල පවත්වාගෙන යන  කම්කරු කාර්යාල වසා දැමීමට සහ එම කටයුත්ත විදේශ කටයුතු අමාත්‍යංශයට පැවරීමට තීන්දු කර ඇති බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍යයට පවසා ඇත. එම කාර්යාල පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 900 ක් වැය  වන බවත් එය මුදල් නාස්තියක් බවත් ඔහු සඳහන් කර තිබේ. 

මෙම සේවාව 1994 කම්කරු අමාත්‍යංශය යටතට ගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සංක්‍රමනික කම්කරුවන්ගේ සුබසාධන කටයුතු නිසි ලෙස සිදු නොවන  බවට චෝදනා එල්ල වූ තතු තුලය. රාජ්‍ය වියදම් කප්පාදුවේ කොටසක් ලෙස යලිත් එය විදේශ කටයුතු අමාත්‍යංශයට පැවරීමට ගෙන ඇති තීරනය තුඩු දෙනු ඇත්තේ, සංක්‍රමනික කම්කරුවන්ගේ සුබසාධන කප්පාදුවට අමතරව, කම්කරු අමාත්‍යංශයේ සේවකයන් ගේ රැකියා කප්පාදුවකට ය.

දැනටත් සංක්‍රමනික කම්කරුවන්ට හාම්පුතුන්ගෙන් සිදුවන හිරිහැර, කායික හිංසනය, වැටුප් නොගෙවීම ආදී ගැටලුවල දී අවශ්‍ය නෛතික සහ සමාජ රැකවරනය සැපයීම සිදුවන්නේ අතිශයින් ම අල්ප වශයෙනි. ඒ පිලිබඳව සංක්‍රමනික කම්කරුවන්ගෙන් නිරන්තරව චෝදනා එල්ල වන අතර කොවිඩ් 19 වසංගතය තුල තමන් මුහුන  දී සිටින ගැටළු සම්බන්ධයෙන් නිසි පිලිසරනක් නොලැබෙන  බවට දසදහස් ගනනක් කම්කරුවෝ ආන්ඩුවට චෝදනා කරති.  තානාපති හා මහකොමසාරිස් කාර්යාවල පවත්වාගෙන යන කම්කරු කාර්යාල වසා දැමීම මගින් මෙම තත්වය වඩාත් නරක් වනු ඇත.

පසුගිය වසර පහ තුල ශ්‍රී ලංකාවේ සංක්‍රමනික කම්කරුවන්ගෙන් රජයට ලැබුන විදේශ ආදායම පිලිවෙලින්, 2015 දී ඩොලර් බිලියන 7, 2016 දී බිලියන 7.2, 2017 දී බිලියන 7.1, 2018 දී බිලියන 7 සහ 2019 දී බිලියන 6.7 කි. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ආදායම බරපතල ලෙස පහත වැටී ඇති අතර රාජපක්ෂ ආන්ඩුව විසින් යෝජිත ඉහත කප්පාදු සැලසුම් වල එල්ලය වනුයේ, පාඩුව විසේනිකා සහ කම්කරු අමාත්‍යංශයේ සේවකයන් මත පැටවීමය. එමෙන් ම, කොරෝනා වසංගතය විසින් රැකියා අහිමිවීමට සහ විවිධ දුෂ්කරතාවයන්ට මුහුන දී සිටින සංක්‍රමනික කම්කරුවන් දසදහස් ගනනකගේ, විශේෂයෙන් ම, මැද පෙරදිග රටවල දුග්ගැනවිලි මුලුමනින් ම පාහේ රාජපක්ෂ ආන්ඩුව විසින් නොතකා හැර තිබේ.

විවිධාකාර කන්නලව් කිරීම් සහ විරෝධතා මැද විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්ගෙන් 15,000 ක් පමන ආපසු ගෙන්වාගෙන ඇති නමුත් තවත් 40,000-50,000 ක් පමන එලෙස සිරවී සිටින බව වාර්තා වී ඇත.

විසේනිකා හා කම්කරු අමාත්‍යංශයට අමතරව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ  සේවකයන්ගේ අතිකාල කැපීමට ආන්ඩුව පියවර ගෙන ඇත. අගෝස්තු 18 දාතමින් ආයුර්වේද කොමසාරිස් කේ.ඩි.එස්. කුමාරතුංග විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් දීමනා කපන ලෙස අමාත්‍යංශ ප්‍රධානින් වෙත දැනුම් දී ඇත.  ඒ  අනුව රජයේ නිවාඩු දිනවල සහ සති අන්ත නිවාඩු දිනවල රාජකාරි කිරීම් වෙනුවෙන් ගෙවීම් ලබා ගැනීම සඳහා එම දිනට/දිනයන්ට පෙරාතුව හෝ පසුව එලඹෙන සතියේ අඛන්ඩව සේවයට පැමින තිබිය යුතු ය. සේවකයා විසින් ඔහුට හිමි පුද්ගලික නිවාඩු ගෙන ඇත්නම් රජයේ සහ සති අන්ත නිවාඩු දින සේවාවන් සඳහා දීමනා ඔහුට හිමි නොවේ.

මීට පෙරාතුව  ශ්‍රී ලංකන් එයාර්, තැපැල්, සෞඛ්‍යය, ශ්‍රී ලංකා රුපවාහිනී ඇතුලු රාජ්‍ය ආයතන වල වැටුප් හා දීමනා කප්පාදුව හෝ මාස කිහිපයකට එකී ගෙවීම් අත්  හිටුවීමේ පිලිවෙත් ක්‍රියාවට දැමුනි. 

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා දමා තිබු අගුලු ඉවත් කර "ආර්ථිකය යලි විවෘත කිරීම" යටතේ "ආරක්ෂන ක්‍රමවේදයක්" ලෙස, ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව තීන්දු කිරීමේ බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතන ප්‍රධානින් ට සහ පුද්ගලික හාම්පුතුන්ට පැවරීය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කම්කරුවන්ට අනතුරු ඇඟවූ පරිදි මෙම සැලසුම් "ආරක්ෂන ක්‍රමවේදයක්" නොව කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සමාජ සුබසාධන කප්පාදු කිරීමේ ක්‍රමවේදයක් බව දැන් රාජපක්ෂ ආන්ඩුව විසින් රාජ්‍ය ආයතන තුල ක්‍රියාවට දැමෙන කප්පාදු පිලිවෙත් මගින් සනාථ  වී තිබේ.

රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව හා ප්‍රතිව්‍යූහකරනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දිගු කාලීන නියෝගයකි. එමෙන් ම, රාජ්‍ය අංශයේ සේවක නඩත්තුව රජයට බරක් බව බලයේ පැවති ආන්ඩු විසින් පසුගිය වසර වල නිරන්තර ව අවධාරනය කෙරුනි. රජයට ආදායම් ලෙස ලැබෙන ආදායමෙන් සියයට 44 ක් රජයේ සේවකයන් සඳහා වැයවන බවත් එය රජයට මහත් බරක් බවත් 2018 සැප්තැම්බර් මාසයේ එවකට හිටපු භාන්ඩාගාර ලේකම් ආර්.එස්.එච්. සමරතුංග  ලංකා වෙලඳ සේවක සංගමයේ රැස්වීමක දී සඳහන් කර තිබුනි. 

කොරෝනා වසංගතය හේතුවෙන් සංක්‍රමනික  කම්කරුවන්ගෙන් ලැබෙන විදේශ විනිමය පහත වැටීම, සංචාරක කර්මාන්තයේ හා අපනයන කර්මාන්තයේ බිඳ වැටීම, විදේශ නය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක් ගෙවීම ඇතුලු කරුනු හේතුවෙන් රාජපක්ෂ ආන්ඩුව බරපතල මුල්‍ය අර්බුදයකට මුහුන දී සිටී. කම්කරු පන්තියේ අයිතීන්ට එරෙහි ප‍රහාරය තීව්‍ර කෙරී ඇත්තේ එම තතු තුලය.

පුද්ගලික අංශයේ මිලියනකට වැඩි සංඛ්‍යාවකට රැකියා අහිමි වී තිබේ. වැටුප් හා දීමනා කප්පාදුව සමග වැඩ වේගවත් කෙරී ඇත. ඊට අමතරව ශ්‍රම පිරිවැය කැපීමේ කොටසක් ලෙස කාර්යාල සේවකයන් නිවෙස් වල සිට වැඩ කිරීමට පෙලඹවීම පුද්ගලික අංශයේ ද පිලිවෙතක් බවට පත් වී ඇත.

රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේ ම කම්කරුවන්ට එරෙහි මෙම ප්‍රහාරයන් ක්‍රියාවට දැමෙන්නේ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිවය.

රාජපක්ෂ ආන්ඩුව සහ පුද්ගලික හාම්පුතුන් විසින්  ක්‍රියාවට දමන මෙම කප්පාදු සැලසුම් අධිරාජ්‍යවාදී සහ ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමනු ලබන ගෝලීය ආර්ථික ප්‍රතිව්‍යූහකරනය සමග අත්‍යන්තයෙන් බැදී ඇත. දැනටමත් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමි වී ඇති අතර ජාත්‍යනතර කම්කරු සංවිධානයට අනුව මෙම වසර අග වන විට එය මිලියන 305 ක් පමන වනු ඇත.

කම්කරු පන්තියට තම අයිතීන් රැකගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩ නගන කම්කරු ක්‍රියාකාරී කමිටු මගින් ගෙනයන, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි.

කියවන්න:කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි

Loading