මිනීමැරුම් චෝදනාවකට වැරදිකරුවූවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි: ධනපති පාලනයේ ආන්තික කුනුවීමේ ප්‍ර‍කාශනයක්

මිනී මැරුම් චෝදනාවලට වැරදිකරු ව මරන දඬුවම නියම ව සිටින ප්‍රේමලාල් ජයසේකර, සැප්තැම්බර් 8 වැනි දා, පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කතානායක ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මින් මතු, සෑම පාර්ලිමේන්තු සැසිවාරයක දී ම ඔහු බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන එනු ඇත. මිනීමැරුම් චෝදනාවකට වරදකරු ව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  වශයෙන් දිවුරුම් දුන් ප්‍රථමයා වශයෙන් ජයසේකර ගැන පුවත විදෙස් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල අවධානයට ලක් විය.

ප්‍රේමලාල් ජයසේකර සභාගර්භයට පිවිසෙද්දී ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීහු ඔහු අත්පොලසන් දී පිලිගත්හ. සැප්තැම්බර් 10 වැනි දා, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවැත් වූ රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයසේකරගේ නිර්දෝෂිබව වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට මරන දඬුවම නියම කල උපරිමාධිකරන විනිසුරු පක්ෂපාතී ව කටයුතු කර ඇතැයි ඇඟවුම් කරමින් කතා කලේ ය. “ඔහු ජ්‍යෙෂ්ඨ විනිසුරු හැටියට සිටියත් පත් කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාවෙන්. එහි සභාපති කරු ජයසූරිය, සාමාජිකයන් සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාල වැනි කට්ටියක්” යැයි ඔහු පැවසී ය. මෙම තිදෙනා එවකට ආන්ඩු පක්ෂය නියෝජනය කලහ.

ජයසේකර ජූලි 31 වැනි දා, රත්නපුර උපරිමාධිකරනයේ දී මරන දඩුවමට නියම වුනේ 2015 වසරේ පැවති ජනාධිපතිවරනයේ දී, කහවත්ත නගරයේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් සංවිධානය කරමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට ය. ඒ සමග ම, හිටපු සබරගමුව ප්‍රාදේශීය සභා සභික නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය ද මෙම අපරාධයට සම්බන්ධවීම හේතුවෙන් මරන දඬුවමට යටත් කෙරුනි.

මහින්ද රාජපක්ෂ, ඔහු ජනාධිපති ධුරය දැරූ සමයේ කම්කරු-පීඩිත මහජනතාව ගේ අරගල තලා දැමීම සඳහා යොදා ගැනීමටත්, විරුද්ධ පාක්ෂිකයන් බිය ගැන්වීමටත් පාර්ලිමේන්තු සභිකයන්ගේ සිට පහලට තම පක්ෂ යාන්ත්‍රනයේ දාමරික මදාවිකාරකම් දිරි ගන්වා ගැනීමට කටයුතු කලේ ය. විවේචනාත්මක ආකල්පයක් දරන මාධ්‍ය ආයතනවලට කඩා වැදී අලාභ හානි කිරීමට, මාධ්‍යවේදීන් බිය ගැන්වීමට, විරෝධතාවලට එරෙහිව මැර ප්‍රහාර සංවිධානය කිරීමට, පාර්ලිමේන්තුව, පලාත් සභා සහ ප්‍රාදේශීය සභා යන පරිපාලන ආයතනවල නියෝජිතයන් ම ඍජුව ම සම්බන්ධ ව සිටියහ. 

පසුගිය නොවැම්බරයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ තැන් පටන් හමුදාව මත වාරු වී ගොඩ නගන ජනාධිපති ආඥාදායක තන්ත්‍රයට අනුපූරක මැර කන්ඩායම් සංවිධානය කර ගනුවස්, ජයසේකර වැනි මැරයන් ට නීතියෙන් මුක්තිය ලැබෙන බව නැවතත් සහතික වීමට ජනාධිපති රාජපක්ෂට අවශ්‍ය වේ. 

ජනාධිපති රාජපක්ෂ, මාර්තු 26 වැනි දා, මිරිසුවිල් සමූල ඝාතක හමුදා නිලධාරි සුනිල් රත්නායක නිදහස් කලේ මහජනතාවට එරෙහි මිලිටරියේ කවර හෝ අපරාධයකට නීතියේ මුක්තිය හිමිවන බවට සහතික වීමට ය. 2000 වසරේ දී රත්නායක විසින් මරා දමනු ලැබූ ලමුන් තිදෙනෙකු ද ඇතුලත් සිවිල් වැසියන් අට දෙනාගේ මලසිරුරු වල දැමූ තැන් පවා පෙන්වා දීමට රත්නායකට සිදුවිය. මේ අතරේ, යුද අපරාධවලට සම්බන්ධ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් එල්ල කරගත් බිය වැද්දවීම් කෙරී ගෙන යයි. 

දේශපාලන පලිගැනීම් විමර්ශනය කිරීමට යයි ජනාධිපති රාජපක්ෂ පත් කල කොමිසම, 2008-2009 සමයේ කොලඹ දෙමල තරුනයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ නාවික හමුදා ප්‍රකාශක දසනායකට එරෙහි ව විභාග වෙමින් පැවති නඩු අත්හිටු වීමට නීතිපතිට නියම කලේ ය. මෙම කොමිසමේ ප්‍රධාන අරමුනක් වනුයේ, සීමිත ආකාරයෙන් හෝ එලි වී ඇති මිලිටරි අපරාධ යට ගසා එම අපරාධකරුවනට මුක්තිය ලබා දී මිලිටරියේ විශ්වාසය තහවුරුකර ගැනීම යි. 

ජනාධිපති රාජපක්ෂ තම සෝයුරා වන මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කරද්දී, හමුදාව තුල රහස් ඝාතක කල්ලි පවත්වා ගෙන ගිය බව එවකට හමුදාපති වශයෙන් කටයුතු කල සරත් ෆොන්සේකා 2017 දී පිලිගත්තේ ය. ලසන්ත වික්‍රමතුංග ඇතුලු රාජපක්ෂ ආන්ඩුවේ සහ මිලිටරියේ විවේචකයන් පැහැර ගෙන යාමට, බිය ගැන්වීමට හෝ මරා දැමීමට මෙම කල්ලි ක්‍රියාත්මක වූහ.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලැබී ඇති 20 000ක් පමන වන පැමිනිලි සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනවාරියේ දී සඳහන් කලේ ඔවුන් මිය ගොස් ඇති බවට මරන සහතික නිකුත් කර පරීක්ෂන අවසන් කරන බවයි. සිවිල් යුද්ධයේ අවසන් සටන්වල දී සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමීම රාජපක්ෂ විිසින් යුක්ති යුක්ත කලේ, ‘යුද මුක්ත කලාපවලින්’ පිටත සිටින සියල්ලන් එල්ටීටීඊ හිතවාදීන් යයි පවසමිනි.

වර්ගවාදී යුද්ධයේ දී වර්ධනය කරන ලද මර්දන යන්ත්‍රය, අනතුරුව කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල රුදුරු ලෙස තලා දැමීමට මහින්ද රාජපක්ෂ තන්ත්‍රය විසින් යොදා ගැනුනි. යුද්ධයෙන් පසු නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට පවරන ලද අතර නාගරික දුගීන්ගේ පැල්පත් නිවාස බලාත්කාරය යොදවමින් කඩා ඉවත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙය වීම යටතේ ය. රතුපස්වල ජල දූෂනයට එරෙහි ව උද්ඝෝෂනය කල නිරායුද ගම්වාසීන්ට පහර දී වෙඩි තබා පාසල් ශිෂ්‍යයන් දෙදෙනෙක් සහ තරුනයෙක් මරා දමනු ලැබූහ.

වැඩෙන පන්ති අරගල රැල්ල තලා දැමීමට සමත් ‘ශක්තිමත් ආන්ඩුවක්’ ගොඩ නැගීම සම්බන්ධ උත්සුකයේදී ධනපති සංස්ථාපිතයේ සැලකිය යුතු පිරිසකගේ අවධානය, ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිත්වයෙන් යුත් තන්ත්‍රයක් බලයට ගෙනඒම කෙරෙහි යොමු වූයේ, කම්කරු පන්තියට එරෙහි ඔහුගේ සාපරාධී වාර්තාව නිසා ම ය. හිසේ සිට දෙපතුල දක්වා ලේ තවරාගත් අපරාධකරුවෙකු, සංයමයෙන් යුත් දැක්මක් සහිත නායකයෙකු ලෙස පින්තාරු කොට පෙරට ගැනීමට දක්ෂිනාංශික වෘත්තිකයන්, ධනපති මාධ්‍ය සහ සංඝ සංස්ථාපිතය කටයුතු කලහ.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් අටවන ලද බොරු නඩුවකින් තමන් දඩයමට ලක්ව ඇති බවට ජයසේකර කරන ප්‍රකාශයන්ට විශාල ප්‍රචාරයක් ලබා දෙමින්, සංස්ථාපිතයේ මාධ්‍ය ජයසේකර කෙරෙහි සහනුකම්පී ලිපි පල කරමින් සිටී. 

ජයසේකරගේ පත්වීව මගින් ව්‍යවස්ථා උල්ලංඝනයක් සිදුව ඇතැයි කෑමොර ගසන විපක්ෂය, පත්වීමේ ඉහත අරමුනු වසන් කරයි. මේ අතර, පාර්ලිමේන්තුව වැනි "උත්තරීතර" ආතනයකට මරන දඬුවම නියම වූ අයෙකු පත් වීම "ගැටලුවක් බව" ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක පවසයි. 

කම්කරු පන්තිය ලෙයින් මැඬීමට නිර්මානය කෙරුනු, වර්ගවාදී සහ ආගම්වාදී ව්‍යවස්ථාව සම්මත කල ධනපති පාර්ලිමේන්තුවට කවර හෝ උත්තරීතර බවක් නැතිවා මෙන් ම, අධිකරනයෙන් මිනීමරුවෙකු බවට තීන්දු වූවකු ඇතුලුවීමෙන් කෙලෙසී යාමට අමුතු පාරිශුද්ධත්වයක් එයට ඇත්තේ ද නැත. රාජපක්ෂගේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ උද්ඝෝෂනය ද කම්කරු පන්තියට එරෙහි අපරාධවලට නෛතික රාමුවක් සම්පාදනය කර ගැනීම අරමුනු කර ගත්තකි.

Loading