ශ්‍රී ලංකාව කෝවිඩ් 19 න් සුරක්ෂිත බවට වපුරන බොරුව ජාත්‍යන්තර සමීක්ෂන වාර්තාවෙන් බිඳවැටේ

ජාත්‍යන්තර චින්තන පර්ෂදයක් වන "ඩීප් නොලේජ් ගෲප්" ආයතනය කරන ලද මෑතම සමීක්ෂනයකට අනුව, කෝවිඩ් 19 වසංගතයෙන් සුරක්ෂිතවීමේ හැකියාව අනුව ලෝකයේ රටවල් ශ්‍රේනිගත කිරීමේදී ලංකාවට හිමිව ඇත්තේ 92 වන ස්ථානයයි. සැප්තැම්බර් 11 වැනිදා යාවත්කාලීන කරන ලද මෙම සමීක්ෂන වාර්තාවක අනුව වඩාත්ම සුරක්ෂිත රට බවට ජර්මනිය පත්ව ඇති අතර, නවසීලන්තයට සහ දකුනු කොරියාවට පිලිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිව ඇත. 

වාර්තාවට අනුව, ජපානය 5 වන ස්ථානයේත්, ඕස්ට්‍රෙිලියාව 6 වන ස්ථානයේත්, චීනය 7 වැනි ස්ථානයේත් පසුවේ. අසල්වැසි ඉන්දියාවට 80 වැනි ස්ථානය ද, ඇමරිකාවට 55 වැනි ස්ථානය ද හිමි ව තිබේ. මෙම ශ්‍රේනිගත කිරීමට අනුව මැයි සහ ජූලි මාසයන්හි ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ පිලිවෙලින් ඊශ්‍රායලය සහ ස්විස්ටර්ලන්තයටයි. වඩාත්ම අවදානම් රටවල් ලෙස සෝමාලියාව දකුනු සුඩානය, ඇෆ්ගනිස්ථානය හා මාලි යන රටවල් දක්වා ඇත. 

මෙම වාර්තාව මතුපිටින් බැලූවිට පරස්පරතාවයන් පෙනී යන නමුත්, වාර්තාව පදනම් වී ඇත්තේ හුදෙක් ඒ ඒ රටවල මෙතෙක් ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව සහ මරන සංඛ්‍යාවත් මත පමනක් නොවේ. එය පරාමිතික (parameters) 140 ක් මත පාදක වූ සංකීර්න විශ්ලේෂනයකින් සමන්විත වෙයි.

වාර්තාවේ කර්තෘවරුන්  ප්‍රකාශ කරන අන්දමට, වාර්තාව සැකසීම සඳහා දැනට කෝවිඩ් වලින් කෙතරම් බැට කා ඇති ද නැද්ද යන්න  එතරම් අදාල නොවේ. ඊට වඩාත්ම අදාල වන්නේ, නිරෝධායනය හා අගුලු දැමීම සඳහා දේශපාලන කැපවීමේ මට්ටම, ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය අතර කලමනාකරනයේ ස්වභාවය, වෛද්‍ය සේවයේ ගුනාත්මකභාවය සහ ධාරිතාව, රටෙහි ආර්ථිකය කෙරෙහි වසංගතයේ බලපෑම, හදිසි අවස්ථාවක් කලමනාකරනය කිරීමේ හැකියාව යන කාරනාවන් ය.

මෙම ආයතනය තවදුරටත් ප්‍රකාශ කරන්නේ; කොරෝනා වෛරස වසංගතය යනු, එන්නතක අවසාන  විසඳුමට විද්‍යාත්මක හා වෛද්‍ය ප්‍රජාවට ලඟාවිය හැකි වන තෙක්, සෘනාත්මක  ප්‍රතිවිපාක අවම කිරීම හා උදාසීන කිරීම සඳහා ප්‍රශස්තම උපාය මාර්ගික පියවර සැලසුම් කිරීමේ තීරනාත්මක අභියෝගයක් බවයි. ඔවුන් මෙම අධ්‍යයනය සැලසුම් කර ඇත්තේ ලෝකයේ රටවල් සහ ප්‍රදේශ 250 ක් ලබා ඇති ආර්ථික, සමාජයීය හා සෞඛ්‍ය ස්ථායිතාව වර්ගීකරනය කිරීම, විශ්ලේෂනය කිරීම සහ ශ්‍රේනිගත කිරීම සඳහාය.

එමෙන්ම, කොවිඩ්- 19 වසංගතය මගින් උත්ප්‍රේරනය වී ඇති ලෝක ආර්ථික අර්බුදය සහ ලෝක සෞඛ්‍ය අර්බුදයට විරුද්ධව සටන් කිරීමේ දී ඒ ඒ රටෙහි ශක්තිමත් බව, දුර්වලකම්, මුහුනදෙන තර්ජනයන් හා අවදානම්ද විශ්ලේෂනයට භාජනය කල බව වාර්තාව පවසයි. "ඩීප් නොලේජ් ගෲප්" ට අනුව, මෙම අධ්‍යයනය සඳහා දත්ත මූලාශ්‍රයන් (data sources) 600 කින් ලබාගත් දත්ත (data point) 35,000 ක් භාවිතා කොට ඇත.

මෙම අධ්‍යයනයට අනුව, රැලි ආකාරයට නැවත නැවතත් කඩාවදින මෙම වසංගතය  ලංකාව තුල ව්‍යාප්ත වුවහොත් අත්විඳින්නට සිදුවන ඛේදවාචකය ඉන්දියාව, ඇමරිකාව, බ්‍රසීලය අභිබවා යන බව සිතා ගැනීමට අසීරු නැත.

ඔවුන් මෙම විශ්ලේෂනයේ දී භාවිතා කල නිරෝධායන කාර්යක්ෂමතාව යන පහසුකම ගෙන බලමු. ලංකාව තුල යම් මොහොතක නිරෝධායනය කල හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 7000 ක් බව ආන්ඩුව පවසයි. මෙම සීමිතභාවය හේතුවෙන්ම, විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට ගෙන ඒම නරුම ලෙස අත්හැර දමා ඇති රාජපක්ෂ ආන්ඩුව, ඔවුන් දසදහස් ගනනක් වසංගතයට සහ අනාථභාවයට ගොදුරු කර ඇත.  

ඒ වගේම අධීක්ෂනය සහ හඳුනාගැනීම සැලකිල්ලට ගෙන ඇත. හඳුනාගැනීම යටතේ ලංකාව තුල දිනකට කරනු ලබන්නේ පීසීආර් පරීක්ෂන 2000 ක් 3000 අතර සංඛ්‍යාවකි. එය මෙම සටහනේ ඉදිරියෙන් සිටින රටවල් සමග ගත් විට ඉතා පහල අගයකි. මහජන සනීපාරක්ෂාවේ පහත් මට්ටම්, දිගුකාලීනව විඳවන දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝගීන්ගේ අධික ප්‍රතිශතය, භූ දේශපාලනික අවදානම යන කරුනු ද මෙම ශ්‍රේනිගත කිරීමේදී ලංකාව පතුලටම ඇද වැටීමට හේතුවී ඇත. 

වසංගතය ජයගත්තේ යැයි ව්‍යාජ ලෙස පම්පෝරි ගසනවා මිස, වසංගතය ව්‍යසනකාරී ලෙස කඩා වැදුනහොත් අවශ්‍ය වන ඉහල රෝහල් ධාරිතාවන් වර්ධනය කිරීම සහ පුද්ගලික ආරක්ෂන උපකරන ගබඩා කිරීම සඳහා කවර හෝ වැඩපිලිවෙලක් නොමැතිවීම ද මෙම පහල වැටීමට හේතු කාරක වී තිබේ. 

හදිසි අවස්ථාවන්ට මුහුන දීමේ හැකියාව යටතේ එම රටවල් ඉතිහාසයේ ජාතික ආපදාවන්ට මුහුන දී ඇති අයුරු වැනි කරුනු ද අවධානයට ලක් කර ඇත. ඩෙංගු වසංගතය නිසා 2019 සිට 2020 මැයි දක්වා පමනක් 100,000 ක් ආසාදනය වී ඉන් 90 ක්  මිය ගොස් ඇත. මෙම ආසාදිත රේට්ටුව අනෙක් රටවල් වලට සාපේක්ෂව ඉහල අගයක් ගනී. සුවිසල් ජනගහනයක් ඇති ඉන්දියාවේ එය 136,000 ක් වේ.  

ලෝක පරිමානවත් ලංකාව තුලත් අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා සෞඛ්‍ය ප්‍රතිපාදන කප්පාදු කරමින් සිටින තතු හමුවේ ලෝකයේ කිසිදු රාජ්‍යයක් වසංගතයකට සාර්ථකව මුහුන දීමට සමත් වී නැත. එයට කම්කරු පන්තියට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී ඇති බව සියලු දත්ත සැලකිල්ලට ගත් කල පැහැදිලිවේ. මෙම වාර්තාවට අනුව පලමු ස්ථානය ගන්නා ජර්මනියේ පවා පුද්ගලයින් 264000 ක් ආසාදනය වී 10,000 ක් පමන මරනයට පත් වී ඇත.

වසංගතය මගින් ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර කෙරී ඇති තතු යටතේ, වසංගතය බරපතල ලෙස ව්‍යාප්ත වූවහොත්, රෝගීන් හඳුනාගැනීම සඳහා පරීක්ෂන දැවැන්ත පරිමානව ඉහල දැමුනු, නිරෝධායන ධාරිතාව මනාව පුලුල් කෙරුනු, ආරක්ෂිත උපකරනවලින් සමන්විත සෞඛ්‍යය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මුදල් වියදම් කිරීමේ කවර හැකියාවක් හෝ සූදානමක් රාජපක්ෂ ආන්ඩුව ඇතුලු පාලක පන්තියට නොමැත. "ඩීප් නොලේජ් ගෲප්" සමීක්ෂන වාර්තාව මගින් හෙලිදරව් කෙරී ඇත්තේ එයයි. අප කම්කරු පන්තියට බරපතල ලෙස අනතුරු අඟවන්නේ දරුනු ව්‍යසනයකට ඉඩ විවර වී ඇති බවයි.

Loading