ශිෂ්‍ය මර්දනයට එරෙහිව කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂනයේ යෙදෙති

මේ වසරේ පෙබරවාරී මස කැලනිය විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එහි ශිෂ්‍යයන් තිහකට අධික සංඛ්‍යාවකට එරෙහිව පනවා තිබෙන පන්ති තහනම් කිරීම හා විභාග තහනම් කිරීම ඉවත් කරන ලෙස ඉල්ලා, එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහසකට ආසන්න පිරිසක් මේ මස 17 දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (විප්‍රකොස) ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 

වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දමා තිබියදී පවා විරෝධතාවට සැලකිය යුතු සිසු සහභාගීත්වයක් පැවතීම මගින් යලිත් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරවලට එරෙහිව සටන් වැඳීමට බහුතරයක් ශිෂ්‍යයන්ට පවත්නා අවශ්‍යතාවයයි. 

විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය “බලහත්කාරයෙන් ගලවා දැමීම” ශිෂ්‍යයන්ට එරෙහිව පරිපාලනයෙන් එල්ල කෙරුනු චෝදනාව යි. ඒ අනුව කිරිබත්ගොඩ පොලීසිය විසින් සිසුන් 16 ක් අත්අඩංගුවට ගත් අතර, ඉන් 10 දෙනෙකු ඇප මත නිදහස් කෙරුනි. ඇප නො ලැබුනු ශිෂ්‍ය සංගමයේ නායකයන් 06 දෙනෙකු දින 25 ක් පොලිස් අත්අඩංගුවේ රඳවා තැබුනි. 

ඉන් නොනැවතුන පරිපාලනය සිද්ධියට සම්බන්ධ කොට තවත් ශිෂ්‍යයන් ගනනාවකට එරෙහි දඩයම දියත් කොට තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබමය) අනුව, ශිෂ්‍යයන් 27 දෙනෙකු ට වසර දෙකක කාලයක් සඳහා තාවකාලික පන්ති තහනමක්, දෙවන වසර සිසුන් 05 දෙනෙකුගේ විශේෂවේදී උපාධිය සඳහා ලියාපදිංචිය අහෝසි කිරීමක්, තාක්ෂන පීඨයේ අවසන් වසර සිසුන් 05 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමත් දක්වා මෙම ප්‍රහාරය ගමන් කොට තිබේ.  

සීසීටීවී කැමරා සිසුන් විසින් කඩා බිඳදමා ඇතැයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුන ද ශිෂ්‍යයන් එය ප්‍රතික්ෂේප කරයි. ශිෂ්‍යයන්ගේ නිදහසට බාධා වන කැමරා ඉවත්කොට ඒවා යලි පරිපාලනයට භාර දුන් බව ශිෂ්‍ය සංගමය කියා සිටී.   

පසුගිය සතියේ විප්‍රකොස ඉදිරිපිට පැවති විරෝධතාවයෙන් අනතුරුව කැලනිය සරසවියේ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් හා ශිෂ්‍ය සංගමයට නායකත්වය දෙන අවිශිබම යේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන භික්ෂුව, විප්‍රකොස ලේකම් සමග සාච්ඡාවක නිරතව ඇත. එහිදි ශිෂ්‍යයන්ට එරෙහි චෝදනා හකුලා ගැනීම බලධරයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ, අනධ්‍යන සේවකයන්ගේ සහ ආචාර්යවරුන්ගේ නිදහස් ක්‍රියාකාරීත්වය අහුරාලන, විශේෂයෙන් ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සංවිධානය වන ශිෂ්‍යයන්, කම්කරුවන් දඩයමට ලක් කිරීමේ ඉලක්කයෙන් විශ්වවිද්‍යාල තුල සීසීටීවී කැමරා සවි කිරීමට මෑතකාලයේ බලයට පත් සෑම ආන්ඩුවක්ම උත්සහ දරා තිබේ.  

ශිෂ්‍යයන්ගේ හා කම්කරුවන්ගෙන් එල්ල වූ බරපතල විරුද්ධත්වය හේතුවෙන් එම මර්දන පියවර ප්‍රමාද කොට පැවතුනත්, බලයේ සිටි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එවැනි මර්දනයක් දියත් කිරීම සඳහා  වහා ඩැහැගනු ලැබීය. 

ප්‍රහාරය සිදු වූයේ, රටතුල වැටුප් හා ජීවන කොන්දේසි විනාශ කිරීමට එරෙහිව කම්කරු පන්තියේ, ගම්බද දිලිඳුජනයාගේ මෙන්ම, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ, ශිෂ්‍යයන්ගේ හා පාසල් ගුරුවරුන්ගේ බලගතු අරගල පුපුරා යමින් තිබූ තත්වයේ දී ය. 

ප්‍රහාරයත් සමගම  පාසල් හා විශ්වවිද්‍යාල තුලට හමුදා ඒකක ස්ථාපිත කිරීමට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පියවර ගනු ලැබූවේ ඒ හේතුවෙනි. රටපුරා මිලිටරිය දිගේලි කිරීමට අමතරව කම්කරු පන්තිය වාර්ගිකව භේද කිරීම ඉලක්ක කර ගනිමින් මුස්ලිම් ජනයාට එරෙහි සිංහල අන්තවාදී කල්ලි කන්ඩායම්වල ප්‍රචන්ඩ ක්‍රියාවලට ආන්ඩුව පාරකපා දුන්නේ ය.   

කෙසේ නමුත්, අප්‍රේල් ප්‍රහාරයෙන් තවත් වර්ධනය කෙරුනු පැවති ආන්ඩුවේ දේශපාලන අර්බූදය ගසාකමින්, “ජාතික ආරක්ෂාව” අනතුරේ හෙලා ඇතැයි ද තමා “ස්ථාවර” ආන්ඩුවක් ගොඩනගන බවට ප්‍රකාශ කරමින් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ රටතුල මිලිටරීකරනය වේගවත් කොට ඇති අතර විශ්වවිද්‍යාල තුල මර්දනය තවත් තීව්‍ර කොට තිබේ.  

“නවකවදය මැඩීමේ වැඩපිලිවෙල” යටතේ විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය බුද්ධි අංශය යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න පසුගිය දා ප්‍රකාශ කලේ ය. එය ආන්ඩුව විසින් මෙතෙක් රහසිගතව ක්‍රියාත්මක කරමින් පැවති මෙහෙයුමක්, වඩාත් ඉහල තලයක ක්‍රියාත්මක කිරීම පිලිබඳව නිල වශයෙන් නිවේදනය කිරීමකි. 

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තා කල පරිදි ගුනරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත, රාජ්‍ය බුද්ධි සේවය සහ ආන්ඩුවේ වෙනත් රහස් ඔත්තු සේවාවන්ගේ සහාය ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ම ලබාදෙන බවට සහතික වී ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසන පරිදී මීට සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු මෙම තීරනයට එකඟ වී ඇත.  

කැලනිය විශ්වවිද්‍යාලයේ දඩයමට ලක්වී සිටින සිසුන් නිදහස් කිරීම යලි ප්‍රතික්ෂේප කිරීම මගින් රාජපක්ෂ ආන්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය පෙන්වා ඇත්තේ ශිෂ්‍ය විරෝධත්වය හමුවේ තම මර්දනීය වැඩපිලිවෙල ආපස්සට නොගන්නා බවයි.

පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් කරන ලද කප්පාදු හේතුවෙන් නිර්මානය කෙරී ඇති, විශ්ව විද්‍යාල නේවාසිකාර හිඟය ඇතුලු ශිෂ්‍ය සුභසාධන ගැටලු වසංගත තත්වයේ දී තවත් තීව්‍ර කෙරී ඇති අතර, එම ගැටලු  විසඳනු යන්නත් 17 වන දා විරෝධතාවයේ ඉල්ලීම් අතර විය. කැලනිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පහසුකම් පවතින්නේ සරසවියේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 40 ටත් අඩු පිරිසකටයි. වසංගතයට නිසි සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීමට නම් එක් ශිෂ්‍යයෙකුට එක් කාමරයක අවශ්‍යතාවය මතු කර ඇති තත්වයක දී නේවාසිකාරවල ඌනතාවය දරුනු ආකාරයට ඉස්මතු වී තිබේ.  

වසංගතය හේතුවෙන් වසා දමා තිබු විශ්වවිද්‍යාල බොහොමයක් මේ සතියේ යලි විවෘත කරන්නේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව කිසිදු සහතිකයකින් තොරව ය. ජුනි 22 දා පරිගනක පීඨයේ, විද්‍යාපීඨයේ සිසුන් සඳහා සරසවිය ආරම්භ කලත් අධ්‍යයන කටයුතු නවතා දැමීමට සිදු වී ඇත්තේ එම සිසුන්ට සෞඛ්‍යය ආරක්ෂිත ලෙස නවාතැන් ගැනීමට අවශ්‍ය තරම් නේවාසිකාගාර පහසුකම් සරසවිය තුල නොමැතිවීම හේතුවෙනි. 

කැලනිය විශ්වවිද්‍යාලය තුල 11,000 ට අධික ශිෂ්‍ය ප්‍රජාවක් අධ්‍යයන කටයුතුවල නිරත වී සිටින්නේ අක්කර 5 ක පමන සීමිත භූමි ප්‍රමානයක් තුල ය. ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය නේවාසිකාගාර, දේශනශාලා, ආපනශාලා, කියවීම් ශාලා ප්‍රමානවත් නොවන අතර අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මන්ඩල ඇතුලු සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවට පවතින සනීපාරක්ෂක සේවා කිසිසේත් ප්‍රමානවත් නොවේ.   

ශිෂ්‍යයන්ට අත් සේදීම සඳහා ප්‍රමානවත් ජල කරාම නොමැති බවටත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රමානවත් වෛද්‍ය පහසුකම් හා නේවාසිකාගාර ඇතුලු අනෙකුත් පහසුකම් සපයා නොමැති බවටත් ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පරිපාලනයට හා ආන්ඩුවට චෝදනා කර සිටී. එසේම, ඔවුන් දඩයමට ලක්වී සිටින සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටී. 

කැලනිය විශ්වවිද්‍යාලයේ මර්දනය පිලිබඳව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අවිශිබම කැඳවුම්කරු ජිනරතන භික්ෂුව “ශිෂ්‍ය ව්‍යාපාරය (අවිශිබමය) කියන්නේ ලදරු ව්‍යාපාරයක් නෙමේ. වසර 40 ක අත්දැකීම් මතයි අපි පදනම් වන්නේ. අවලාද නගලා අපිව වට්ටන්න බෑ. කරුනාකරලා ඒක මතක තියා ගන්නැයි” ආන්ඩුවට හිස් තර්ජනයක් කලේ ය. 

කෙසේ නමුත්, මෙම චෝදනා නැගීම් හා තර්ජන සෑමවිටම කෙලවර වී ඇත්තේ විරෝධතා වට කිහිපයකින් පසු තවත් ශිෂ්‍ය කන්ඩායමක් අත්අඩංගුවට ගැනීමකිනි. එසේත් නැතහොත් නිදහස් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වර්ධනය වන බහුතරයක් ශිෂ්‍යයන්ගේ සහ මහජනයාගේ විරෝධය අපගමනය කිරීම අරමුනු කොටගත් ආන්ඩුවේ  උපාමාරුවකිනි.  මෙම උපාමාරු අවිශිබම නායකයන් විසින් “දැවැන්ත ජයග්‍රහන” ලෙස නිරන්තරව හුවා දැක්වේ. නමුත්, සිසුන් යථාර්ථයේ දී මුහුන දෙන්නේ, වඩ වඩාත් ගැඹුරුවන කප්පාදුවකට සහ  සහ තීව්‍ර වන ශිෂ්‍ය මර්දනයකට ය.  

අවිශිබමය දේශපාලනිකව මෙහෙයවෙන්නේ, ධනපති ආන්ඩුවල ප්‍රහාර පරාජය කිරීමේ ඓතිහාසික ශක්‍යතාවය ඇති එකම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ ශිෂ්‍යයන් බලමුලු ගැන්වීමට මුලුමනින්ම හතුරු ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ ය. අප්‍රේල් ප්‍රහාරයෙන් පසුව පාසල් හා විශ්වවිද්‍යාල තුලට හමුදාව යෙදවීමට සිරිසේන-චික්‍රමසිංහ තන්ත්‍රය පියවර ගත්විට පෙසප හි මගපෙන්වීම යටතේ අවිශිබම එයට සහාය දුන්නේය.

වසංගතය මැඩීමේ මුවාවෙන් ජනාධිපති රාජපක්ෂ විසින් තීව්‍ර කරන ලද මිලිටරීකරන වැඩ පිලිවෙලට පූර්න සහයෝගය දෙමින්, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන පමනක් නොව, දෙමල සහ මුස්ලිම් ධනපති පක්ෂ, රාජපක්ෂගේ ඊනියා සර්ව-පාක්ෂික සමුලුවට බඩගෑ විට, එයට තමා නොකැදවීම සම්බන්ධයෙන් ඉමහත් කනස්සල්ලට පත් පෙසප, රාජපක්ෂට තම සහයෝගය ලබාදෙන බවට ලිපි ලිවීය. 

විශ්ව විද්‍යාල තුලට ප්‍රසිද්ධියේම රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීම වැනි ප්‍රජාතන්ත්‍ර-විරෝධී මර්දනීය පියවරයන් සදහා රාජපක්ෂ ගැම්ම ගන්නේ මෙම ධනපති සහ ව්‍යාජ-වාම පක්ෂ ලබාදෙන නරුම සහයෝගයේ වාරුවෙනි. අවිශිබම හෝ පෙසප මේ වනතුරුත් විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීම මගින් පැහැදිලි වන්නේ මෙම ව්‍යාජ-වාම ව්‍යාපාර ධනේශ්වර අර්බූදය හමුවේ කොතරම් දකුනට ගමන් කොට තිබේද යන කාරනයයි. 

කොරෝනා වසංගතයෙන් ගැමූරු කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ රටක් රටක් පාසා පාලක පංතීහු, එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව නැගී සිටින කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් පීඩිතයන් ලෙයින් මැඩීම සදහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වෙමින් සිටිති. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති රාජපක්ෂ යත්න දරන්නේ එවන් ආඥාදායකත්වයකට අවශ්‍ය නීතිමය රාමුව සම්පාදනය කර ගැනීමටයි.  

මෙහිදී රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා පාලක පංතීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ විශ්ව විද්‍යාල ශිෂ‍්‍යයන් ඇතුලු වේගයෙන් රැඩිකලීකරනය වන තරුන ජනතාවයි. කැලනිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට එරෙහි දඩයම සහ “නවක වදය මැඩීමේ” මුවාවෙන් විශ්ව විද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවීම සමස්ත කම්කරු පන්තිය මත දිගේලි කිරීමට යන නව ප්‍රහාරයන් පෙර ඇඟවුම් කරයි. 

“නවක වදයට එරෙහි වීම”, “ජාතික ආරක්ෂාව” ආදී කවරාකාරයක වහන්තරාවක් යටතේ හෝ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ, අනධ්‍යන සේවකයන්ගේ සහ ආචාර්යවරුන්ගේත් දේශපාලන අයිතීන් තලා දැමීමට ගෙන යන ආන්ඩුවේ මර්දන පිලිවෙත් පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ, ජීවන හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් දීනා ගැනීම සඳහා වූ කම්කරු පන්තියේ නායකත්වයෙන් පොදු අරගලයක් පෙරට ගැනීමෙන් පමනි. 

Loading